ටිරන් කුමාර බංගගමආරච්චි


විජයග්‍රාහී සැමරුමේ එකොළොස් වසර සැමරීමත් මහ ඉහළින්ම විය. කොරෝනා අස්සේ වුව ඒ මතකය ඇවිස්සීම රාජපක්ෂලා අමතක නොකළෝය. එය අමතක කොට කොහොමද? එය යට ගසා උඩට එන්නේ කෙසේද?


ලාංකේය ජනතාවට දැන් රතිඤ්ඤා පත්තු කරන්නට හෝ කිරිබත් කරන්නට හේතු වුවමනා නැත. මරණයක් සමරා මුලින්ම රතිඤ්ඤා පත්තු කළේ කිරිබත් කෑවේ රණසිංහ ප්‍රේමදාසගේ මරණයත් සමගය. ඉන්පසු ජයටම රතිඤ්ඤා පත්තු කරමින්, ජාතික ධජ ළෙලවමින් හන්දියක් හන්දියක් ගානේ එක දිගටම කිරිබත් කෑවේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඝාතනය සැමරීමටය. ප්‍රභාකරන්ගේ අතින් මියැදෙන ප්‍රේමදාසගේ මරණයත් සමරන සිංහලයා පසුව ප්‍රභාකරන්ගේ මරණයත් සමරති. සිංහලයාට ඕනෑ එකක් ඔට්ටුය. “මේ රටේ මිනිස්සු වෙනස්” කියන්නේ එවැනි අර්ථවලිනි.


කවුරු කොහොම කීවද යුද්ධය අහවරවීම හොඳය. එය පක්ෂ භේදයකින් තොරව ජාති භේදයකින් තොරව මේ රටේ ජනතාව සැමරුවකි. කිරිබත්, රතිඤ්ඤා සැණකෙළි දේශපාලන වුවමනා මත ගොඩනැගීම් වුවද ජනතාව ලෙස පොදුවේ යුද්ධය අහවරවීම සෑම ලොකු ආශ්වාදයක් කොට සැලකූ බව නොකියාම බැරිය. මේ පළමු යුද සැමරුම ගැනය. කොටින්ම ඒ මොහොතේ යුද ජයග්‍රහණය කාගේවත් තනි බූදලයක් නොවීය. කොටින්ම එය නියම පිරික්සුමකට බඳුන් කරන්නේ නම් ‘පීපල්ස් වෝ’ එකක් බවට පත්වී තිබුණි.


ඉතිහාසය නැවත මතක් කරන්නේ නම් මහින්ද රාජපක්ෂ ජනපති ලෙස යුද්ධය මෙහෙයවන්නට ලෑස්තිවීමත් සමග ඔහු මුලින් කළේ තමාට සහය වන ලෙස බොහෝ පිරිස්වලට ආයාචනය කිරීමය. සියලුදෙනාගෙම එකතුව වුවමනා බව ඒත්තු ගැන්වීමය. ඒ මොහොතේ එය අවංකවම රට රකින වුවමනාවක් ලෙස පෙනුණා සේ ම එහි අවංකකමක්ද විය. මේ නිසාම ජවිපෙ, හෙළ උරුමය වැනි පක්ෂ සේ ම මහජනතාවද විශාල රැල්ලක් ලෙස ඊට එකතු විය. ඒ තුළ මුස්ලිම් නියෝජනයද තිබූ බව අමතක නොකළ යුතුය. එදා වීරයන් වූ මුතාලිෆ්ලා ඉතිහාසය තුළ කුණු බක්කියට වැටීම අභාග්‍යයකි.


එහෙව් පොදු එකඟතාවකින් සාමූහිකව ඇදුණු ‘පීපල්ස් වෝ’ එක පළමු සැමරුමෙන් පසු රාජපක්ෂලා තනි අයිතියට ගත්හ. එතැන් සිට යුද්ධය අහවර කොට ඇත්තේ රාජපක්ෂලාය. එහි වෙන අය නැත. ඉතිහාසයේ මේ යුද්ධය අහවර කිරීමට ජවිපෙ සහ හෙළ උරුමය දුන් සහය ජනතා ඔළුගෙඩි ඊට අනුගත කිරීමට ඔවුන් ගත් උත්සාහයන් පසුකාලීන විග්‍රහවලදී කවුරු කොහොම නිශෝධනය කළත් ඒ මොහොත අනුව එය දේශපාලනිකව සාධාරණ මැදිහත්වීමකි. සැමට දේශපාලනය කිරීමට රට වුවමනා බව සිතීමකි. ජාතිය අවශ්‍ය බව කල්පනා කිරීමකි. එහි කිසිදු වරදක් සෙවිය නොහැකිය. දේශපාලනිකව, මතවාදීව දක්ෂිණාංශිකද, වාමාංශිකද නොව තම අදහස් පළකිරීමට පොළොවක් වුවමනා බව සිතීම එහි ගැඹුරය. එහෙත් අවසානයේ සිදුවූයේ ඒ පොළොව තුළ සාමූහිකව වැපිරූ අස්වැන්න රාජපක්ෂලා තනිව නෙළා ගැනීමය.


යුද්ධය අහවර කිරීම තම ජීවිත තිබෙන තුරු පරම්පරාවලට බෙදා ගන්නා භුක්තියක් බවට රාජපක්ෂලා තද කර ගත්හ. එකල නියම යුද හිමිකරුවා මහින්ද රාජපක්ෂය. ඒ නිසා ඔහු දෙවැනි වර අත උඩින් දිනුවේය. යුද්ධය ඉවර කළ මහින්ද රටේ හිමිකරුවා භාරකරුවා වීම කොතෙක් නරකවීද යත් ඔහු සිය ජනපතිකම අතහරින්නටද මැලි විය. ව්‍යවස්ථාව වෙනස් කරමින් දිගටම සිටීමේ පිඹුරු සැකසුණි.


යුද ජය එජාපයට ගැනීම


මේ යුද්ධය නිසා එජාපය ලොකු නිද්‍රාවකට පත්විය. ඔවුන් වුව ජනතා කැමැත්ත යුද ජයග්‍රහණයෙන් ගලවා ගැනීම පහසු නැති බව සිතීය. ඒ නිසාම දෙවැනි වර ජනපති ධුරයට එන මහින්ද පරද්දන්නට ඔවුන් සිතුවේ හොඳම තුරුම්පුව ලෙස ඒ මොහොතේ ඔවුන් කල්පනා කළේ සරත් ෆොන්සේකාවය. ඒ යුද්ධය මෙහෙය වූ හමුදාපති ඔහු වූ නිසාය. ෆොන්සේකා එජාපය පොදු අපේක්ෂකයා ලෙස කර තබා ගැනීමත් සමග යුද්ධය අහවර කිරීමේ කොටස්කරුවකු බවට එජාපය පත්විය. ඍජුව එතෙක් මගහැර තිබූ පොදු සටන් පාඨය ඔවුන්ටද ඔසවාගෙන යෑමට හැකියාව ශක්තිය ලැබුණි. ඒ අනුව බලන කල එජාපයේ දේශපාලන දැක්ම ඉදිරිගාමීය. කොටින්ම රාජපක්ෂලා අත්අඩංගුවට ගත් යුද ජයග්‍රහණය බෙදාහැරීමට පටන් ගත්තේ මුලින්ම එජාපයය. මහින්දගෙන් යුද ජයෙහි කොටසක් ෆොන්සේකා ලියා ගන්නා විට යුද්ධයේ ජය තමන්ට ලියා ගැනීමේ හිමිකරුවෝ හැමතැනම පැළ විය. එය බෝ වුණේ ඉන්පසුවය. ගෝඨාභයගේ දුරස්ථර ඥාතියෙක් වන සී.ඒ. ප්‍රේමචන්ද්‍ර කෘතියක් ලියා එයට ‘ගෝඨාස් වෝ’ ලෙස නම් තැබීය. යුද්ධය තනි පුද්ගලයකුට ලියාදීම එතැනින් ඇරඹිණි. එතැන් සිට සැමට ආශාව ඉපදුණි. ලියන්නට ලියන්නෝ නොආ නිසා මිස ‘ෆොන්සේකා වෝ’, ‘රොෂාන් වෝ’, කරන්නාගොඩ වෝ’, ‘වීරසේකර වෝ’, ‘ජයන්ත වික්‍රමරත්න වෝ’ ලියන්නේ නම් සැවොම ආශා නොවේ යැයි කාට කිව හැකිද? එය දැන් වන විට ශවේන්ද්‍රට, කමල්ට වුව නැතැයි කිව හැක්කේ කෙසේද? යුද්ධය අහවර කිරීමේ නෛතික බලය තමන් සතුකර ගැනීමේ කඩිනම් තදියම මේ සැමට සේ ම දේශපාලකයන්ටද විය. අද අපි මේ යුද ජයග්‍රහණ සැමරුම රාජපක්ෂලා තුළින් අත්වින්දද මේ ආශාව බොහෝ අයට ඇත. මෙය නැවත නැවත පාදා ගතහැකි ඉල්ලමක් බව දේශපාලකයෝ හොඳාකාරවම දනිති. මේ සැමරුම් දැඩි ලෙස විවේචනය කිරීමට අද වුව එජාපයට, ජවිපෙට හැකිද? දෙමළ ජාතික සන්ධානය වුව ඊට විරුද්ධව ඒ අයගේ විරු සැමරුම් හරහා කරන්නේද? මේ දේම නොවේද? රාජපක්ෂලාගේ මග යෑමම නොවේද? වෙනසකට ඇත්තේ ඒ සැමරුමට නීත්‍යනුකූලභාවයක් ආණ්ඩු නොදීමය. මේ දෙගොල්ලෝම ඇහිඳින්නේ ඡන්දය.


යුද ජය අමතක වීම


මහින්දගේ දෙවැනි කාලය සමග යුද්ධය පවා අමතකව මහින්දලාගේ ක්‍රියා ජනතාව තුළ ඉතිරි විය. ඒ නිසාම ඔහු සමග තවදුරටත් යෑම අනතුරුදායක බව පෙනෙන්නට විය. ඒ අස්සේ ආ ඡන්දයෙන් උපරිම පළ නෙළා ගන්නට සිරිසේනට දමා වුව එජාපයට හැකිවිය. එහෙත් එය රැක ගැනීමට එජාපයට හැකියාවක් නොවුණි. ‘යහපාලනය’ යන වචනය යුද ජයග්‍රහණ සියල්ල අබිබවා ජන මතයට රිංගවිය හැකි වුවත් ඒවා ජනතාවට කාවද්දන්නට යහපාලනය අටවා ගත් අයට නොහැකි විය. සැබැවින්ම යහපාලනය ගැන වටහාගත යුත්තේ ජනතාව තෝරා ගත් දේශපාලන අම්බලමක් ලෙසය. ඔවුන් කළේ තාවකාලිකව ගිමන් හැරීමකි. එය අම්බලමක් ලෙස නිර්මාණය කළේද එහි නිර්මාතෘවරුන්මය.


පාස්කු ප්‍රහාරය


අද නොව තව කාලයකට වුව රාජපක්ෂලා සතු බරපතළම සටන් පාඨය යුද්ධය අහවර කිරීමය. එය ඔවුන්ගේ පවුල සතු බූදලයක් බවට ඔවුන් සින්නක්කරව ලියාගෙන හමාරය. එය කුමන දේශපාලන තර්ක දැම්මද ආපසු හැරවිය හැකි නොවේ. එය තවත් තහවුරු කිරීම ‘පාස්කු ප්‍රහාරය’ හරහා සිදුවිය. ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කනාමැදිරි එළියටත් බයයි කියන්නා සේ තිස් වසරක යුද්ධය උතුරු පොළොවේ මෙන්ම දකුණු පොළොවේද බොහෝ විනාශයන් සනිටුහන් කළේය. උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් තුළද ජීවිත අවදානම නිරන්තරවම තිබුණි. මේ නිසා කවුරු බණ කීවද යුද්ධයක් යන වචනයට මතුවීමට ඉඩ දෙන්නට ජනතාව කැමති නැත. පාස්කු ප්‍රහාරය සමග නැවත තිස් වසරද කම්පනය වන්නට විය. රාජපක්ෂලාට නැවත පණ ගසන්නට ඖෂධය හමුවිය.


ඒ නිසාම අප මේ එකොළොස්වැනි යුද සැමරුම කොරෝනා අස්සේ වන යුද සැමරුම කිසිසේත්ම සුළු කොට තැකිය යුතු නැත. එය පළමු යුද සැමරුම තරම්ම නැවත රාජපක්ෂලාට නැවුම්ය. එදා අයියා සැමරූ මහා විජයග්‍රාහී සැමරුම අයියාගේ බලය අහිමිව මුල්ලට වද්දී නැවත පණ ගසා ඔහු සමග නැගිටීමට ගෝඨාට හැකිවීමත් සමග මේ සමරණුයේ අලුතින්ම යුද සැමරුමකි. එදා මහින්ද සැමරූ යුද අවසානය වෙනුවට අද ගෝඨා සමරනුයේ යුද ආරම්භයකි. එනම් නැවත යුද බිය පාස්කු හරහා ජනතාවට ඒත්තු ගැන්වී ඇත. කොරෝනා මැද පාස්කු මහ ඉහළින් සමරා ගෝඨා ආණ්ඩුව ජනතාවට මතක් කළේ ආයේ ප්‍රහාර ඇති බවය. මේ යුද සැමරුම් හරහා කියනුයේ ඒවාට පිළියම් ඇති බවය. යුද ජයග්‍රහණය මෙන්ම පාස්කු ප්‍රහාරයද රාජපක්ෂලා පහසුවෙන් අමතක නොකරති. මේ දෙකම එක ලෙස මොවුහු පෝෂණය කරනවා ඇත.


යුද්ධ සහ ඡන්ද


යුද්ධ තරමටම රාජපක්ෂලා ඡන්දවලට කැමති බව කිව යුතුය. ඔවුහු ඡන්ද ගැන සිතනුයේ ප්‍රජාතන්ත්‍රවාදී අරුතට වඩා ප්‍රතිවාදීන් සමග කරන යුද්ධයක් යන අරුතෙනි. සැබැවින්ම ඔවුන් කරනුයේ කතිර යුද්ධයකි. දේශපාලනිකව සෙසු දේශපාලන චරිත කුඩු පට්ටම් කර සුන්නද්දූලි කිරීමට රාජපක්ෂ නඩය සමතුන්ය. රාජපක්ෂලා ඊට උචිත නියම වාග් හමුදාවක් හදාගෙන ඇත. එබැවින් රාජපක්ෂලාට ඡන්ද යනු විනෝදයකි. එජාපය එහි ගොදුරකි. ප්‍රේමදාසගේ මරණයත් සමග එජාපයේ ඡන්ද මැෂිම විනාශ වූවා සේ ම ප්‍රභාකරන්ගේ මරණයත් සමග රාජපක්ෂලාගේ ඡන්ද මැෂිම පණ ගසා මතුවිය. මේ මරණ දෙකටම කිරිබත් කා සැමරීමේ යටි අරමුණ සොයා යන්නේ නම් එහි පිටුපස ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෙවණැල්ල බව පැහැදිලිය. ඒ කිරිබත්වලට නියම ලුණු මිරිස වූයේ රාජපක්ෂලාම බව තහවුරුය. විද්දේ පඳුරට. වැදුණේ හාවාට. තමන් පාස්කු ප්‍රහාරයේ ඉලක්කය පල්ලි වුවත් පුපුරා ගියේ සිරිකොතය. රාජපක්ෂලා නියම ඡන්ද ලකුණ ලෙස යොදා ගත යුත්තේ පොහොට්ටුව නොව බෝම්බයය.


යුද සැමරුම්, විරු සැමරුම්, පාස්කු ප්‍රහාර සැමරුම් මේ සියල්ල නියම දේශපාලන අරුත්ය. ඒවාට විරුද්ධ වනවාට වඩා ඒවා සැමරුම හොඳය. ගෝඨා යුද විරු සැමරුම කරන විට එජාපය කළයුත්තේ ෆොන්සේකා සමග යුද විරු සැමරුමය. මේවාට විරුද්ධ වනවාට වඩා කොටස්කරුවන් වීම යහපතකි. එසේ වීම එතරම් අමාරු නැත. මේ සැම රාජපක්ෂලා මෙන්ම යුද ජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට කැමතිය. අකමැති රාජපක්ෂලා එය වෙන කාටවත් නොදීමය. ඒ හැර වෙන ඇත්තක් ඇත්ද?