දිනී ජයසේකර


“අපි අටපහ රාජකාරියක් නෙවෙයි පැය විසිහතරක රාජකාරියක් කරන්නේ. වී වේවා, පලතුරු වේවා, එළවලු වේවා, වගා කරල නිකන් ඉන්න වෙලාවක් නැහැ. රැයක් දවාලක් නැතිව වැඩ කරල අස්වැන්න ගන්න වෙන්නේ.”


දේශීය ගොවියා රටේ බහුතරයගේ ආහාර අවශ්‍යතා සැපිරුවත් පොදුවේ ගත් විට ගොවියා වෙනුවෙන් වත්මන් රජය ගන්නවා යැයි කියූ තීන්දු එකක්වත් තවමත් ගෙන නැත. අයවැය වාර්තා ඉදිරිපත් කරමින් ගොවියා වෙනුවෙන් බර ඉලක්කම් සහිත මුදලක් වෙන් කළ කිසිදු ආණ්ඩුවක්, එම මුදල් හුදෙක් ගොවීන්ගේ සුබ සෙත උදෙසා වියදම් කර නැත. වත්මන් ආණ්ඩුවෙන්ද එසේ බලාපොරොත්තු වීම මිරිගුව පසුපස යාමක් බඳුය.


ගොවීහු පවසන පරිදි ඔවුන්ගේ වගාවන් සදහා වෙන් කළ යුතු පොහොර කලට වෙලාවට ලැබෙන්නේ නැත. වී වගා කරන ගොවියා ගොයම පූදින මොහොතේ යෙදිය යුතු පොහොර ගොයම පීදි සති තුනක් යනතෙක් ලැබෙන්නේ නැත. එළවලු පලතුරු වගා කරන ගොවියාට පොහොර මිලට ගැනීමටවත් නැත. එයින් පැහැදිලි වන්නේ කෘෂිකර්මාන්ත කළමනාකාරීත්වයේ පවා බොහෝ ගැටලු ඇති බව නොවේද? මෙවන් නොසලකාහැරීම් මැද ගොවියා කෘෂිකර්මාන්තයෙන් යැපෙන්නෙක් ලෙස පොළවේ පය ගසා සිටීමත් පුදුමයක් යැයි කිව හැකිය. මේ ඔවුන්ගේ කතාවයි.


අය-වැය සහ 1500


“රුපියල් 1000ට තිබුණු පොහොර මෙවර අයවැයෙන් රුපියල් 1500ට ලබා දෙනවා කියලා කීවා. නමුත් ඔය කියන 1500ට නම් පොහොර ගන්න කොහෙවත් නැහැ. කඩවල පොහොර යන්නේ රුපියල් 1700ට 2000 වගේ. ආණ්ඩුව පත් වෙන්න කලින් කිව්වේ සහන මිලට පොහොර දෙන්නම් කියලා. ඒත් සහන මිලට තියා නියම කරලා තියෙන මිලටවත් පොහොර නැති එකයි ප්‍රශ්නේ. අඩුම ගානේ අපි පොහොර රුපියල් 1700ට ගන්නත් සූදානම් කියමුකෝ. හැබැයි එහෙම ගන්නවත් පොහොර නැහැ. ඉතිං අපට තේරෙන්නෙ වත්මන් ආණ්ඩුව විතරක් නෙවේ මෙතෙක් පත් වූ හැම ආණ්ඩුවකටම ඕන වෙලා තියෙන්නෙ දේශීය ගොවියව මරල දාන්නද කොහෙද?” ජේ. චන්ද්‍රකුමාර එසේ පැවසුවේය.


ගොවියාගේ අර්බුදය පිළිබඳව දේශපාලකයන්ගේ පුළුල් සංවාද නිතර රූපවාහිනියේ නම් දකින්නට ලැබේ. නමුත් එසේ ගොවියා වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු ප්‍රායෝගිකව බිමේ ක්‍රියාත්මක නොවීම පිළිබදව ඇත්තේ ගැටලුවකි. 2021 අයවැයේ මූලිකවම කෘෂිකර්මය වෙනුවෙන් කළ යෝජනා අනුව එහි මූලික පරමාර්ථය නම් “ බත බුලතින් සරු රටක් ”ය. එහි සදහන් වූයේ,


“සහල්, බඩඉරිඟු, කුරහන්, තල සහ උඳු ආදී ධාන්‍ය වර්ග සඳහා සහතික මිල ක්‍රමය මගින් එම ගොවීන් දිරිමත් කිරීමට අප සහතික වනවා. එළවලු පලතුරු පොල් වැනි වගා නිෂ්පාදන වලටත් මෙය ආශිර්වාදයක්. එබැවින් සෑම දිස්ත්‍රික්කයකටම, දිස්ත්‍රික් ලේකම්වරුන් හා පොහොර ලේකම් කාර්යාල පොහොර සැපයුම සහතික කිරීමට වගබලාගත යුතු වෙනවා. ඒ සදහා වී පොහොර නොමිලේ ලබා දීමටත් අනෙකුත් වගාවන් සඳහා කිලෝ 50ක් රුපියල් 1500ක සහන මිලකටත් ලබාදීම සහතික කරනවා. මෙයට සමගාමීව කාබනික පොහොර භාවිතය වැඩි කරමින් උසස් ගුණයෙන් යුත් මිශ්‍ර පොහොර භාවිතය දිරිගන්වන කාබනික භෝග වගා කලාප සංවර්ධනය කරනවා.” යන්නය.


වැඩකට නැති කමිටු වාර්තා

2007 වර්ෂයේදී වී වගාව සඳහා පොහොර නිර්දේශ කමිටු වාර්තාවට අනුව ගොවියා තම වගාවන් සඳහා ලැබිය යුතු පොහොර ප්‍රමාණයන් පැහැදිලිව හඳුන්වා දී ඇත. එහිදී මාස තුනහමාරේ වී සඳහා මූලික පොහොරවලට (වැපිරීමට පෙර) අක්කරයකට යූරියා කිලෝ 5ක් ද, ටීඑස්පී කිලෝ 45ක් ද, එම්ඕපී කිලෝ 20ක් ද, සින්ක් සල්ෆෙට් කිලෝ 2ක් ද වේ. පළමු මතුපිට පොහොර වපුරා සති දෙකේදී යූරියා කිලෝ 35ක් අවශ්‍ය වේ. දෙවන මතුපිට පොහොර වපුරා සති පහේදී යූරියා කිලෝ 55ක් අවශ්‍ය වන අතර තෙවනි මතුපිට පොහොර වපුරා සති හතේදී යූරිය කිලෝ 30ක් අවශ්‍ය වේ. තවද එම්ඕපී කිලෝ 25ක් ද අවශ්‍ය වේ. සියල්ලෙහි දළ එකතුව යූරිය පොහොර පමණක් කිලෝ 125කි. ටීඑස්පී පොහොර කිලෝ 45කි. එම්ඕපී පොහොරද එකතුව කිලෝ 45කි. එසේ අවශ්‍යව තිබුණද ගොවියාට ඉන් අඩක්වත් නොලැබෙන බව ඩබ්ලිව්. ගුණපාල ගොවි මහතා අප සමග පැවසුවේය.


“යූරියා සහනාධාර පොහොර ලෙස කිලෝ 66ක් හෝ 72ක් පමණ දෙන්නේ. ඒ දෙන්නෙත් මහා වාරිමාර්ග සුළු වාරිමාර්ග අහස් දිය කියලා තුනකට කඩලා. එතකොට ටීඑස්පී අක්කරයට පොහොර කිලෝ 5යි දෙන්නේ. එම්ඕපී පොහොරත් අක්කරේට කිලෝ 9ක් වගේ තමයි දෙන්නේ. සින්ක් සල්ෆේට් කියන පොහොර වර්ගය ලබා දෙන්නෙම නැහැ. නොමිලේ පොහොර දෙනවා කීවාට ඒක නොමිලේ පොහොර දීමක් වෙන්නෙත් නැහැ. අක්කරයකට පොහොර ගන්න කෙනා ප්‍රවාහන ගාස්තු කියලා රුපියල් තුන්සියයක හාරසියයක මුදලක් ගෙවන්න ඕනි. ඒ මදිවට දවසක් දෙකක් රස්තියාදු වෙන්න ඕනි. ”


“කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නින්දෙන් ඉන්න බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද අපි හැමදාම කියනවා නියමිත වෙලාවට පොහොර ලැබෙන්නෙ නැහැ කියලා. ලැබෙන පොහොරත් මදි කියලා අපි නිතර නිතර කියනවා. නමුත් මේ කිසිම දෙයක් ගණන් ගන්නෙ නැතිව තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ. අඩුම තරමේ අපිට පොහොර සහනාධාර නැතිව සහනදායී මුදලකට පොහොර මිලදී ගන්නවත් වැඩ පිළිවෙළක් සකස් කෙරුව නම් ඒ ඇති.” එසේ පැවසුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ වී ගොවියෙකි.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පමණක් නොව ආනයන නවතා අපනයන ඉහළ දමනවායැයි කියූ ආණ්ඩුවත් අද ගමන් කරන්නේ නිහඬ පිළිවෙතකය. නමුත් ඉන් විශාලතම හානිය වන්නේ දෛනිකව ගොවිතැනේ යෙදෙමින් රටේම ආහාර අවශ්‍යතාව සපුරාලීමට උත්සාහ දරන ගොවියාටය. එසේ උත්සහයක නිරත වන ගොවියාගේ පොහොර කප්පාදු කිරීම අනුමත කළ නොහැකිය. පොහොර සහනාධාරයක් වශයෙන් ලබාදීමට රජය සතුව වත්කමක් නොමැති නම් ගොවියාට සහනදායි මිලකට පොහොර මිලදී ගැනීමටවත් වැඩපිළිවෙළක් සැකසිය යුතුව ඇත. මන්ද ඉන් දේශීය ගොවියාව ආරක්ෂා වනවා සේ ම ලංකා ආර්ථිකයේ පිබිදීමක්ද ඇති විය හැකි බැවිනි.


එළවලු-පලතුරු පොහොර සහ ප්‍රමිතියේ අවුල


“වී ගොවියාට පොහොර සහනාධාර ලැබෙනවා. ඕනම රජයක් පත්වෙලා පොහොර සහනාධාර සඳහා මුදලක් වෙන් කරනවා. නමුත් එළවලු-පලතුරු වගා කරන ගොවියට පොහොර සහනාධාරයක් ලැබෙන්නෙ නැහැ. එයාල කඩෙන් තමයි පොහොර ලබා ගත යුත්තේ. සමහර වෙලාවට කඩෙත් පොහොර ගන්න නැහැ. එහෙම වටපිටාවක තමයි අපි ගොවිතැන් කරගෙන ඉන්නේ.” එසේ පැවසුවේ එළවලු ගොවියකු වූ තරංගය.


2021 අයවැයෙන් රුපියල් 1500ට පොහොර ලබා දිය යුතුයි යන්න පැවසුවද පොහොර ලබා ගැනීමට ඇති කිසිදු ස්ථානයක රුපියල් 1500ට පොහොර නොමැති බව ගොවියන් නගන චෝදනාව විය. එසේ නොමැති වීම ගොවියන්ගේ පසුබිමින් සාධාරණ නොවන අතර ඉහළ දැමූ මිල සමග පොහොර වල ප්‍රමිතියද අහිමි වී ඇති බව ගොවීහු පවසති. ඒ ගැන පොල්පිතිගම විජේසිංහගේ අදහස මෙසේය.


“රජය ඕන ඕන විදියට මිල ගණන් වෙනස් කරල කියනවා. නමුත් ඒ මිල ගණන්වලට වෙළෙඳපොලේ බඩු නැහැ. අපි පොහොර ගන්න ගියාම රුපියල් 1800ක් විතර වියදම් කරල පොහොර අරගෙන ඇවිත් බීජවලට දානවා. මුල් ටිකේ ගැටලුවක් නැහැ බීජ වැඩෙනවා. නමුත් සති දෙක විතර යද්දි කොළ කහ පාටක් ගන්නවා. පිට කවරයේ තියෙන ප්‍රමිතිය ඇතුළෙ නැහැ. ඒකෙන් පාඩු ලබන්නෙත් අපිමයි. මොකද අපි මුදල් වියදම් කරලා පොහොර ගන්නෙ බීජවලට අවශ්‍ය නිසා. හැබැයි ඒ පොහොර නිසාම සමහරක් වෙලාවට බීජ මැරෙනවා. එක්කො අස්වැන්න බාල වෙනවා. එතකොට අපිට කර කියාගන්න දෙයක් නැතිව යනවා. අපි අහන්නේ ඇයි දේශීය ගොවියට මෙච්චර කෙනෙහිලිකම් කරන්නේ කියලා.”


දේශීය ගොවියා තලා, මරා දමනවා වෙනුවට ඔවුන් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව මීට වඩා වැඩි ඉඩක් වෙන් කළ යුතුව ඇත. මන්ද රටේ අවශ්‍යතාව අපනයන ඉහළ දැමීමට නම් ඊට අත්‍යවශ්‍යම පුද්ගලයන් අතරින් එක් කොටසක් වන්නේ ගොවීන්ය. එසේ නම් ගොවියා වෙනුවෙන් ඉඩක් වෙන් කළ යුතුය.


විද්‍යාත්මක ක්‍රමවේදයක් නැහැ
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක
නාමල් කරුණාරත්න


වර්තමානයේදී අපි පාවිච්චි කරන පොහොර ප්‍රමිතියෙන් තොර පොහොරයි පාවිච්චි කරන්නේ. එහිදී යූරියා සහ එම්ඕපී කියන පොහොර වර්ග දෙක තමයි පාවිච්චි වෙන්නේ. ලෝකයේ දියුණු රටවල මූලික ද්‍රව්‍ය අඩංගු කරලා පොහොර වර්ගීකරණයක් අනුව තමයි පාවිච්චි වෙන්නේ. පොහොර පාවිච්චි කිරීමේදී ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේක වෙනස් වෙනවා. මොකද පසේ පීඑච්අයි අගය පිළිබඳ අවදානමක් යොමු කළ යුතු වෙනවා. පසේ මූලද්‍රව්‍ය සම්බන්ධව අධ්‍යයනයක් කළ යුතුව තිබෙනවා. මොකද පසේ අඩු මූලද්‍රව්‍ය තමයි පොහොර මගින් සැපයිය යුත්තේ. මේ වගේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවද කියලා ගැටලුවක් තියෙනවා.


ප්‍රධාන වශයෙන් ගොවියා විසින් කරන එක චෝදනාවක් තමයි, යූරියා පොහොර ගහපුවාම ගොයම නිල්ල වැටිලා එන්නේ නැහැ කියන එක. යූරියා ගහපුවාම වගාව නිල්ල වැටෙනවා. එහෙත් එහෙම වෙන්නෙ නැහැ. දැන් තියෙන පොහොර පාවිච්චි කරාම. අනෙක් කාරණේ පොහොර දියවෙන්නෙ නැහැ. පොහොර දියවීම ප්‍රමාද වෙනවා කියන්නේ ශාකයට පොහොර උරාගැනීම පරක්කු කරනවා. එතකොට ගොවියා විශ්වාස කරනවා මේ පොහොර ප්‍රමිතියෙන් තොර පොහොර කියලා. ආණ්ඩුව සමත් විය යුතුයි ගොවියා තුළ ඇති මෙම මතය ඉවත් කරීමට. මොකද එසේ නොවුණොත් ගොවියා විසින් නිශ්චිත කර ගන්නවා පොහොර ප්‍රමිතියෙන් තොරයි කියලා.


මේ සියලු පැහැදිලි කිරීම් සහිතව බලන විට ප්‍රමිතියෙන් තොර පොහොර ලබා ගන්න කොට වුවද ගොවියාගේ පොහොර කප්පාදුවකට ලක් කළා. දෙන පොහොර ප්‍රමාණය අඩු කළා. සාමාන්‍යයෙන් ප්‍රදේශයකට පොහොර වෙන් කරද්දි ඒ ප්‍රදේශයේ පසට ගැළපෙන විදියටයි පොහොර ප්‍රමාණය වෙන් කරන්නේ. ■