නිමල් අබේසිංහ

ශ්‍රී ලංකාවේම කොටසක් වන ‘පෝට් සිටි’යට ශ්‍රී ලංකාවේ අණපනත් 7ක් බලනොපාන බව කියැවේ. එසේ වන්නේ පෝට් සිටිය වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඒමට නියමිත පනත ක්‍රියාත්මක වූවොතින්ය. එය එසේ නම් ඉන් හැඟෙන්නේ ‘පෝට් සිටි’ය වෙනත් රටක් බව නොවේද?


ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එහෙත් ‘පෝට් සිටි’ යට බලනොපාන අණ පනත් වන්නේ පහත සඳහන් ඒවාය.
වර්ෂ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත, 252 වන අධිකාරිය වූ මහ නගර සභා ආඥා පනත, වර්ෂ 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත, 269 අධිකාරිය වූ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, වර්ෂ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, වර්ෂ 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනත, 1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පනත සහ අණ පනත් පෝට් සිටියේ පරිපාලනයට අදාළ නොවේ.


විද්වතුන් පවසන ආකාරයට කොහේ හෝ ඉඩමක් නැතිනම් භූමියක් තිබූ පමණින් එය කිසියම් රටකට අයත් නොවේ නම් එය එකී රටේ නීති පද්ධතියට යටත් නොවේ. එනයින් බලන කල පෝට් සිටිය යනු අපබ්‍රංසයකි. ඒ එහි පාලනය නිශ්චිතව අයත් වන්නේ කුමන රටකට දැයි අපැහැදිලි තත්ත්වයක් තුළය. කෙසේ වුවත් පෝට් සිටියේ, ජලය, විදුලිය, දුරකතන සැපයීම සහ එහි එකතු වන කසළ කළමනාකරණය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට පැවරේ. මෙහිදී ඉතා වැදගත් ප්‍රශ්න කීපයක් පැන නගී. නියං සමයන්හිදී කොළඹ නගරයටවත් හරිහැටි ජලය සැපයීමට නොහැකි පසුබිමක පෝට් සිටිය වැනි විශාල වශයෙන් ජලය පරිහරණය වන ව්‍යාපෘතියකට ජලය සපයන්නේ කෙසේද? දෙවැන්න විදුලිය සැපයීමේදීද විදුලිබල මණ්ඩලය තවමත් සිටිනුයේ විශේෂයෙන් නියං සමයන්හිදී රටට අඛණ්ඩව විදුලිය සැපයීමට නොහැකි තත්ත්වයකය. මේ කරුණු දෙක ගත්විටදී වුව විශාල බියක් දැනේ. එයට හේතුව නම් ජල, විදුලි හිඟයකදී රටේ අවශ්‍යතාවන් අමතක කර පෝට් සිටියට ප්‍රමුඛතාව දී ජලය හා විදුලිය සැපයීමට රජය පෙළඹෙන්නට ඇති ඉඩකඩය. එවැනි ඉදිරි අවශ්‍යතාවන් සලකා බලා මෙරටේ මෙන්ම පෝට් සිටියේද ජල හා විදුලි පරිභෝජනය සලකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග විධික්‍රම ක්‍රියාත්මක කරන්නට රටේ පැවති හෝ පවතින ආණ්ඩු කිසිවක් කටයුතු කර තිබේද?

අනෙක් ප්‍රධානම ගැටලුව වන්නේ පෝට් සිටියේ කසළ කළමනාකරණයය. පෝට් සිටි ව්‍යාපෘතිය තුළ කසළ කළමනාකරණ වැඩසටහනක් ඇති බවට තොරතුරු නැත. එය පැවරෙන්නේ මෙරටටය. තවමත් මෙරටෙහිද නිසි කසළ කළමනාකරණයක් නැතිව තවත් දැවැන්ත කසළ ටොන් ගණනාවක් කරගහන්නට මෙරටට සිදුවේ. ඒ සඳහා අප සමත් වේවිද? මේ නිසා රට පුරා තවත් කසළ කඳු ගොඩ ගැසේවිද? පෝට් සිටිය සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වූ විද්වතුන් පවා මේ ගැන අවධානයක් යොමු කළ බවක් නොපෙනේ. එහෙත් එයද ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රජයයන් මුහුණ දෙන අති දැවැන්ත ගැටලුවක් බවට පත්වෙනවාට සැක නැත. අප සතු ශක්‍යතාවන් අබිබවා යන ක්‍රියාකාරකම් ඉදිරියේ අප අසමත්වීම වැළැක්විය නොහැකි බව මෙතෙක් ශ්‍රී ලංකාවේ පාලකයන් ක්‍රියා කර ඇති ආකාරය අනුව සිතා ගන්නට නම් පුළුවන.


අනෙක් වැදගත් කාරණාව විද්වතුන් විසින් දක්වන අදහස්ය. ඔවුනට අනුව පෝට් සිටිය තුළ මුදල් හුවමාරු වන්නේ නිදහසේය. ඒ සඳහා වාරණ පැනවීමට ශ්‍රී ලංකාවට ඉඩක් නැත. එලෙසම කැසිනෝ වැනි සූදු ව්‍යාපාර සඳහා ඕස්ටේ්‍රලියාවේ මෙන් අධික බදු පැනවීමට නොහැක. ඒ පෝට් සිටියේ පරිපාලනය ශ්‍රී ලංකා රජයෙන් බැහැරව සිදුවෙන බැවිනි. මේ හේතුව නිසා පෝට් සිටිය ලෝකයේ මනිලොන්ඩරිය නැතිනම් කළු සල්ලි සුදු කරන එසේත් නැතිනම් මුදල් විශුද්ධිකරණ මධ්‍යස්ථානය බවට පත්වීමේ ඉඩකඩ බොහෝ සෙයින් තිබේ. ■

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here