විමලනාත් වීරරත්න

මංගල සමරවීර ජීවිතයෙන් සමුගැනීමත් සමග ලංකාවේ ඉතුරු වී සිට අවසාන ලිබරල්වාදියාත් සමාජයට අහිමි වූ බව හැඟවෙන කතා ගොන්නක් සමාජ මාධ්‍යයෙහි සංසරණය විය. ඒ බොහෝ දෙනෙක් මංගලට සාමාජීය වශයෙන් වීර භූමිකාවක් දුන්නේ ඔහුගේ මෑත ඉතිහාසය විමසුමට ලක් කිරීමෙනි. ඒ ගැන දිගු සටහන් ලියූ සමහරු මංගල අධ්‍යයනමය අරුතකින් ඇසුරු කර තිබුණේ ඉතාමත්ම මෑත ඉතිහාසය තුළ බව ලිවීම්වලින් පැහැදිලි වුණි. අතීතය නරක් වී තමන් ජීවිතය ගත කළ අවසාන කාලය වර්ණවත් කරගත් පුද්ගලයන් ලෙස අංගුලිමාලගේ සිට ලංකාවේ කැප්පෙටිපොළ දක්වා අය ගත්තත් වැඩිපුරම ඇගැයුමට බඳුන්ව ඇත්තේ ඔවුන්ගේ අවසාන වර්ණවත් අවදිය බව සැබෑවය. වැරදි සිදුවීමත් එම වැරදි හදාගෙන අනාගතයට යාමත් යන කාරණාද්වයේදී ශිෂ්ට සමාජය ඒ දෙවැනි අවස්ථාව භාරගත යුතුය. අංගුලිමාල තෙරුන් වහන්සේ පසුව මාර්ග ඵල ලැබූවත් බුදු දහමට අනුව නම් ඇඟිලි කැපීමේ ආදීනව ඵල දෙනු ඇත. කැප්පෙටිපොළත් තමා කළ වරද තේරුම් ගෙන වීර නාමය පටබැඳ ගන්නා විට සෑහෙන ප‍්‍රමාදයක් සිදුවී තිබුණි. සමහරවිට වෙල්ලස්සේ කැරැල්ලේ පරාජයටත් එය හේතුවන්නට ඇත. මන්ද ජනතාව පටන් ගත් එම අරගලයට ප‍්‍රභූන්ගේ සහයෝගය මෙන්ම නායකත්වය ලැබෙන්නේ ප‍්‍රමාද වී නිසාය. මංගල සමරවීරට අදාළව ‘කැප්පෙටිපොළ අනුසාරී ප‍්‍රමාදය’ හෙවත් මංගලගේ අතීත භාවිතය ඔහුව ඔසවා තැබූ ලිබරල්වාදයට ප‍්‍රතිපක්ෂව කෙසේ ක‍්‍රියා කරනු ඇත්ද? කැප්පෙටිපොළ ප‍්‍රමාද වී වීර වූයේය. මංගල ප‍්‍රමාද වී ලිබරල් වූයේය. දෙදෙනාම බෞද්ධයෝ වුවත් අප‍්‍රමාද නොවුණෝය. විජේවීර පවා ‘ඇත කටුගෙයි හිස් කබළක්’ යනුවෙන් කැප්පෙටිපොළ ගැන ලිව්වා විනා තම මෙරට දේශපාලන වීරයා ගැන සමබර විනිශ්චයකට ආවේ නැත. මංගලට අවසානයේ ලැබුණේත් විජේවීර කැප්පෙටිපොළට දුන්නාටත් වඩා බරපතළ විනිශ්චයකි. ඒ අවසන් ලිබරල්වාදියාත් අහිමිවීමෙන් අහෝ අප සදා දුකෙහිය, ගොඩඒමක් නැත, ලිබරල්වාදයද කුජීතය යන්නය.

මංගල දරනවා යැයි කියන ලිබරල් මතයට අනුව ඔහුගේ පරමාදර්ශී නායකයා විය යුත්තේ චන්ද්‍රිකා නොව රනිල්ය. එහෙත් 1994 නම් නිශ්චිත මොහොතේදී මංගල චන්ද්‍රිකාගේ පිලේ තරුණ සෙනෙවියකු වීම අපට තේරුම් ගත හැකිය. ඊට 17 වසරක එජාපයේ මර්දනකාරී පාලන රටාව හේතුවිය. එහෙත් 2004දී යළි ඔහු රනිල් වෙනුවට මහින්ද තෝරා ගැනීම කවර ලිබරල්වාදයකට අනුව සිදුවූවක්ද යන්න පැහැදිලි කරගත හැකිද? චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ 1999/2000 කාලයේ ඔහු ජනමාධ්‍ය ඇමති ධුරය දැරුවේය. 1999 ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට පුරහලදී බීපු රන්කිරි කටින් එන්නට පීඑස්ඞීය පහර දුන් විට මංගල කීවේ පෙළපාළියේ පැමිණි එජාපයේ පිරිස ජනමාධ්‍යවේදීන්ට පහර දුන් බවය. මෙම උද්ඝෝෂණය වාර්තා කිරීමට රාවය පුවත්පත වෙනුවෙන් සහභාගි වූයේ ඡායාරූප මාධ්‍යවේදී අජිත් සෙනෙවිරත්නය. අන් සියලූම පුවත්පත්වල ඡායාරූප මාධ්‍යවේදීන්ට පොලූ පහර දී ඇඳුම් ඉරා, තුවාල කර කැමරා ආම්පන්න පොඩි පට්ටම් කිරීමට ජනාධිපති ආරක්ෂක අංශයේ මැර පිරිස්වලට හැකි වුවත් අජිත් සෙනෙවිරත්න සිය කැමරාව බේරා ගැනීමට සමත් විය. එහි සිදුවූ සියල්ල ඡායාරූප ගතව තිබුණි. පහර දුන්නේ කවුද යන වග හඳුනා ගැනීමට එමගින් පසුදිනම හැකිවූ අතර මංගලගේ ප‍්‍රකාශය බොරු කිරීමට එම ඡායාරූප සමත් විය. එදා මංගලගේ ලිබරල්වාදය තිබෙන්නට ඇත්තේ කොහේදැයි ඔහු අවසාන ලිබරල්වාදියා ලෙස හඳුන්වන රිප් වැන් වින්කල්ලාගෙන් අසමි.

උක්ත සිදුවීම වූ දවසේ මම, ජවිපෙ කොටුවේදී සංවිධානය කර තිබුණු උද්ඝෝෂණය වාර්තා කිරීමට ගොස් සිටියෙමි. පුරහල සිද්ධිය දැනගත් සැණින් කුරුඳුවත්ත පොලිසියට ආවෙමි. ජනප‍්‍රිය සමරදිවාකර (යුක්තිය) අශෝක ද සිල්වා (සන්ඬේ ලීඩර්) ඇතුළු ඡායාරූප මාධ්‍යවේදීහු පිරිසක් උඩුකයට ඇඳුම් රහිතව එහි සිටියහ. පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව අජිත් සෙනෙවිරත්න සහ මම රාත‍්‍රී හතට පමණ කැමරාව සඟවාගෙන සලාකා ආයතනයට ගියේ ඡායාරූප මුද්‍රණය කරවා ගැනීමටය. පැය එකහමාරක් පමණ එහි රැඳී සිට යළි ත‍්‍රීවිලරයකින් මහරගම කාර්යාලය දක්වා එනවිටත් අප කිසියම් පිරිසකගේ ලූහුබැඳීමට ලක්විය. මේවා සිදුවූයේ ලිබරල් යැයි කියන මංගල ජනමාධ්‍ය ඇමති ධුරය දරන සමයෙහිය. සමහරවිට අද ඔහු ගැන සමාජ මාධ්‍යයේ නන්දොඩවන පිරිස් මේ අතීතය නොදන්නවා විය හැකිය. ඒවා වැරදි ක‍්‍රියා වුවත් එම වැරදි නිවැරදි කරගෙන මංගල ලිබරල් ගමනක් යාමට අදිටන් කරගත්තා පමණක් නොව, ඒ පිළිබඳ යම් අභ්‍යාසයක කිසියම් කලක් නිරත වූ බවද කිසියම් කෙනෙක් මීට පිළිතුරු ලෙස කිව හැකිය. එහෙත් බලය තිබෙන විට මොළය නැති ප‍්‍රශ්නය අන් අයට සේ ම මංගලටත් බලපෑවේය.

අනෝජා වීරසිංහගේ මොනරාගල පිහිටි සිනමා කෞතුකාගාරයට ගිනි තැබුවේ මංගල නොවේ. එහෙත් ඒ මංගල මාධ්‍ය ඇමති තනතුර දරන සමයේදීමය. රූකාන්ත-චන්ද්‍රලේඛා දෙපළගේ කොණ්ඩා කපා ශරීර පෙට‍්‍රල්වලින් නහවා මරණීය තර්ජන කරන්නේ මංගල මාධ්‍ය ඇමති සමයේය. ඒවා චන්ද්‍රිකාගේ කුස්සි කැබිනට්ටුවේදී ගත් තීන්දු අනුව අපරාධකාරයන් ලවා සිදු කළ දේවල්ය. ලිබරල් ආරච්චිලාගේ මංගල සමරවීර ඒ කුස්සියේ ප‍්‍රධාන කෝකියෙකි. තමාගෙන් වැරදි සිදුවී ඇති බව ඔහු ඛේමාගේ කොලූවා නමින් පැවැත්වූ උත්සවයේදී කිව්වත්, ඔහු එම වැරදි ගැන සැබෑ ස්වයං විවේචනයක් කර තිබෙනවාද? ලිබරල්වාදීන්ටත් අවශ්‍ය අවස්ථාවල කුරුඳු පොලූ අත දැරීමට අයිතියක් ඇතැයි යනුවෙන්වත් ඔහු කොතැන හෝ ස්වයං විවේචනයක් කර තිබෙනවාද? මා දන්නා තරමින් නැත.

මංගල ප‍්‍රධාන අමාත්‍ය ධුර දැරූ සමයේ ඉහත බොහෝ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා සහ කුමාර් පොන්නම්බලම් ඝාතනය වැනි මිනිස් ඝාතන සිදු කැරුණේ ජනාධිපතිනියගේ රැුළට වැටී සිටි අපරාධකාරයෝ අතිනි. බැද්දගානේ සංජීව, තාර අජිත්, මොරටු සමන්, ධම්මික පෙරේරා වැනි අය එම අපරාධකාරී ක‍්‍රියාවන්හි නිරත වන බව ලිබරල් මංගල නොදැන සිටියේද? නැතහොත් ඒ වන විට මංගල ලිබරල් නොව ෆැසිස්ට්ද? එකල මංගල චන්ද්‍රිකාගේ අපරාධකාර වළල්ලේ සගයන්ට මල්ලී කියා ආමන්ත‍්‍රණය කරන විට මංගල ලිබරල් යැයි, අද මංගලට ලිබරල් කියන නංගිලා මල්ලිලාට මෙන් උන්ටත් සිතෙන්නට ඇත.

ඉකුත් සමයේ මංගල ලිබරල් නායකයකු බව කීමට පාදක කරගත් සාධක සරල වැඩි බව පෙනී යයි. ලොකු නියෝජනය අතහැර සරල නියෝජනය තුළින් මිනිසකු තීරණය කිරීම සදොස්ය. මංගලත් මුහුණ දුන්නේ ඒ ඇබැද්දියටය. දේශපාලනඥයන්ට පාසල් දරුවන් නොවැඳිය යුතු බව ඔහු පාසලකදී දරුවන්ට කීවේය. ඔහු ලිංගිකත්වය නොවලහා හෙළිදරව් කිරීමද ප‍්‍රගතිශීලී පියවරක් ලෙස කියවෙයි. ජාතිවාදී, ආගම්වාදී සංඝයා වහන්සේලාට ඍජුව විරුද්ධවීම, ආගම ඇදහීමේදී මෙන්ම ජීවිතයේ සෙසු සාමාන්‍ය දේවල් කෙරෙහි විවෘත මනසකින් බැලූ නිසා ඔහු ලිබරල් පුද්ගලයෙකු ලෙස හැඳින්වුණි. සමහරු ඒවා අතිශයෝක්තියට නංවති. එහෙත් මේ කිසිවකින් රටට වැඩක් වූයේ නැත. ආකල්පමය වශයෙන් ජන මනස් වෙනස් කිරීමට ඔහුගේ ඇතැම් අදහස් වැදගත් නොවනවා යැයි මම නොකියමි. එහෙත් හුදු ආකල්පමය වශයෙන් නොව, සැබෑ ලිබරල්කම ප‍්‍රායෝගිකවම යථාර්ථයක් කළ හැකි අවස්ථා ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති ධුර දරන ලද කාලයේදී අතහැර ඇත. එකල ඔහුට ලිබරල්කම අළුයම ඉවතලන කෙළ බවට පත්ව තිබුණිද?

මංගල ඉතාම අවංක නම් අපරාධකාරයන් සමග ගෙන ගිය චන්ද්‍රිකා පාලනය තුළ ඔහුට ලිබරල්වාදියකු වන්නට තිබුණි. මංගල පසුව වරද දැනගෙන හා වරද පිළිගෙන වෙනස් වූ බවට කිසියම් කෙනෙකු කියනවා නම් ඔහුට තවත් කරුණක් මතක් කරමි.

1990දී එජාප මර්දනයට එරෙහිව මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ඡායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වුණි. චම්පික රණවක හා රතන හිමි එහි ප‍්‍රමුඛත්වය දැරූහ. එච්.ආර්. පියසිරිගේ මැර කණ්ඩායමක් ක‍්‍රීඩා පිටියට පැන ඡායාරූප කුඩු පට්ටම් කළහ. එහිදී සංවිධායකයන් වෙනුවෙන් හා එහි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ තරුණ මන්ත‍්‍රීවරයකුව සිටි මංගල සමරවීරය. වසර 10ක් ඇවෑමෙන් මංගලගේ එම ප‍්‍රගතිශීලී ලකුණ මුළුමනින් ක්ෂය වී ජනමාධ්‍යවේදීන්ට පහරදීමට ක‍්‍රියා කරන හා එය අනුමත කරන ස්ථාවරයකට විතැන් වූයේ ඔහු සතු කවර ලිබරල් ගති ගුණයක් නිසාද? ඉන් පෙනී යන්නේ බලය සඳහා ඔහු අවස්ථාවාදී වීම හැර අන් කුමක්ද? මේවා මහින්ද රාජපක්ෂ මියගිය අයගේ ඡායාරූප රැගෙන ජිනීවා යාමට තැත් කිරීම බඳු ක‍්‍රියාවන්මය. බලය ලැබුණු පසු ඔවුහු සේල්ස් රෙෆ්ලාගේ භූමිකාවේ සිට නිර්මාපකවරුන් හෙවත් නිෂ්පාදකවරුන් බවට පත්වෙති. මේ යථාර්ථය ජනතාව තේරුම් ගත යුතුව ඇත.

මංගල තමන් ගිය අතීත දේශපාලන මග වැරදි බව තේරුම් ගෙන පුනරුදය ව්‍යෘපාරයේ වැඩ කිරීමට පැමිණි බව එහි නියමුවෝ එක් අවස්ථාවකදී කීහ. එම සහසම්බන්ධයෙහි ව්‍යාජය තේරුම් ගත් ඇතැම් පුනරුදය සාමාජිකයෝ එම ව්‍යාපාරයෙන්ද ඉවත් වූහ. මෙම කල්ලි ගැසීම්වල සැබෑව නම් මංගලට පිහිනීමට මුහුදේ හෝ ගෙඟහි ඉඩ ලැබෙන තුරු පිහිනීම සඳහා කුඩා වතුර ටැංකි සොයා ගැනීමය. මංගල සමරවීර මුහුදේ, ගෙඟ් පිහිනමින් සිටි අවදියේ පුනරුදය, ‘සැබෑ දේශපේ‍්‍රමියෝ’ වැනි පොඩි පොඩි ටැංකිවල පිහිනීමට ආවේ නැත. තමන් නියෝජනය කළ කළු රෙජීමයට එරෙහි කුඩා ව්‍යාපාර, මෙන්ම පුවත්පත් ඔහු සතුරු ආකල්පයකින් දුටුවේය. මංගල සමරවීර මහතාට ලිබරල් උපාධිය දෙන පිරිස් මේ සත්‍ය දෙස විමසුම් නුවණින් බැලිය යුතුය.

මංගල සාපේක්ෂ ප‍්‍රගතිශීලියකු විය හැකිය. රාජපක්ෂලාට සාපේක්ෂව ගතහොත් ඔහු ජාති-ආගම්වාදියකු නොවේ. ආචීර්ණ කල්පිකයකුද නොවේ. එහෙත් ඔහු ප‍්‍රදර්ශනය කළ බාහිර හා අභ්‍යන්තර සැහැල්ලූ ප‍්‍රගතිශීලීත්වයෙන් රටට වැඩක් වූයේ නැත. ඔහුට ප‍්‍රගතිශීලීව කටයුතු කිරීමට තිබුණු කාලයේ ප‍්‍රායෝගිකව ලිබරල්වාදය අභ්‍යාස කිරීමට හැකියාව ලැබුණි නම් මංගල තුළින් ප‍්‍රබන්ධ ලිබරල්වාදියා වෙනුවට ශිෂ්ට දේශපාලකයා බිහිකර ගැනීමට තිබුණි. අප පණ තිබෙන කාලයේ වගකීම් ඉටු නොකර පණ යන මොහොතේදී වගකීම් ඉටු කිරීමට තව ටික කාලයකට පණ ඉල්ලා සිටීමෙන් පළක් නැති බවත් අවධාරණය කළ යුතු වෙයි. එම අවධාරණය මංගලට වුවත් අද ඔහු නැත. ජීවතුන් අතර සිටින අය හෝ එය පිළිගනිත්වා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here