ශ‍්‍රීලාල් සෙනෙවිරත්න

නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමට ආණ්ඩුව ගෙන තිබූ තීරණය වෙනස් කළ බවත්, සීයට සීයක් වරාය අධිකාරිය යටතේම ඉදිරි සංවර්ධන කටයුතු සිදු කෙරෙන බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප‍්‍රකාශක කියනවා. වෘත්තීය සමිති අගමැතිවරයා සමග කළ සාකච්ඡුාවේදි අගමැතිවරයාත් ඒ බවට සහතික වූ බවටත් මාධ්‍ය වාර්තා කරනවා. නමුත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කර තිබෙන්නේ වරාය ගිවිසුම ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නට රජය එක`ගවූ බවත්, එහිලා ඒක පාර්ශ්වික තීන්දු ගැනීමට ලංකාවට හැකියාවක් නැති බවත්. නැගෙනහිර ජැටිය අදානිට නොදුන්නත් බටහිර ජැටියට විදෙස් ආයෝජන කැඳවන බවකුත් ඔය අතරේ අහන්න ලැබෙනවා. ඇත්ත වශයෙන්ම සිදුවන දේ ගැන ඔබවහන්සේ දැනුවත්ද?

නාලක ගොඩහේවා ඇමැති මට කිව්වේ වරායේ අය කිව්ව විදිහට ඒ අයටම ඒක හදන්න බාර දෙන්නත්, අදානිට නොදෙන්නත් තීරණය කළා කියලා. මමත් අගමැතිගේ ප‍්‍රකාශය දැක්කේ මාධ්‍යයෙන්. මම ඔය කිසිම මැති ඇමතිවරයෙක් එක්ක මේ ගැන සාකච්ඡුාවලට ගියේ නෑ. හාමුදුරුවරු කිහිප නමක් එකතු වෙලා අපේ විරෝධය ජනාධිපතිතුමට ලියලා යැව්වා. ඊට පස්සේ මාධ්‍ය මගින් අපි අපේ විරෝධය ප‍්‍රකාශ කළා. මහා සංඝරත්නයේ උද්ඝෝෂණ, ජනතා උද්ඝෝෂණ, වරාය වෘත්තීය සමිති ඉල්ලීම් සියල්ල සලකා නැගෙනහිර ජැටිය අදානිට නොදෙන්න ආණ්ඩුව තීරණය කළා කියලයි මම දන්නේ. නමුත් දැන් නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය දෙන්න යනවා නම් ඒකටත් අපි විරුද්ධයි.

ජනාධිපතිවරයා ගම සමග පිළිසඳර වැඩසටහනකදී පැහැදිලි කළා ප‍්‍රතිඅපනයන විෂයෙහිදී ඉන්දියාවේ තිබෙන වැදගත්කම. ඒ වගේම විදෙස් රටවල් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අහෝසි කිරීමේ පවතින දුෂ්කරතාව. ශ‍්‍රී ලංකාව ඉන්දියාව සහ ජපානය අතර මේ සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ පහුගිය ආණ්ඩුව කාලේ කියලත් ආණ්ඩුව කියනවා. ඒ පසුබිම තුළ ඉන්දියාව අමනාප කරගන්නෙත් නැතිව මේ ගැටලූව විසඳාගත හැකි ආකාරයක් ඔබවහන්සේ දකිනවාද?

මේගොල්ල දැන් පහුගිය ආණ්ඩුවට චෝදනා කරනවා පහුගිය ආණ්ඩුව ගිවිසුමක් ගැහුවා කියලා. ඒගොල්ල කියනවා ගිවිසුමක් ගැහුවේ නෑ සාකච්ඡුා මට්ටමෙන් විතරයි පැවතුණේ කියලා. ගිවිසුම ගහලා තියෙන්නේ 2019 මැයි මාසේ මේ ආණ්ඩුවෙන් කියලත් කියනවා. ඕවායේ ඇත්ත නැත්ත අපි දන්නේ නෑ. ලිඛිතව ඕවා කිසිවක් ආණ්ඩුව ජනතාවට පෙන්නලත් නෑ. ඔය විදිහට එක එක අතට ප‍්‍රකාශ කරන්න කාටත් පුළුවන්. ඉන්දියාවේ හොඳ හිත දිනාගන්න කියලා අපිට විශාල පාඩුවක් වෙන දේකට කැමැති වෙන්ඩ අපිට බෑ. ඉන්දියාවත් එක්ක සාකච්ඡුා කරලා, ඒක ඉන්දියාවට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඉන්දියාව ලොකු රටක් වුණාට ඉන්දියාවට අයිතියක් නෑ අපිට බලපෑම් කරන්න. අවුරුදු දාහස් ගණනක් තිස්සේ මේ රට ඉන්දියාව පාමුල තිබුණා. විවිධ ආක‍්‍රමණ ආවා. ඒවා පරාජය කළා. ඒ නිසා ඉන්දියාව බලගතුයි කියලා, ඉන්දියාවේ හොඳ හිත දිනාගන්න කියලා ඉන්දියාවට ඕනේ ඕනේ විදිහට වැඩකරන්න බෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළා වගේ කළමනාකරණයක් කරලා ඉන්දියාවේ හොඳ හිත තියාගන්න පුළුවන්නේ.

වරාය අධිකාරියේ සභාපති ධුරය දරන විශ‍්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක ප‍්‍රකාශයක් කර තිබෙනවා දියුණු කරන්න නම් මුළු රටම විදේශයට විකුණන්න ඕනෙ කියලා. යහපාලන ආණ්ඩුව මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් රැුවටුවා වගේ මේ ආණ්ඩුව ඔබවහන්සේලාත් රවටනවාද කියා සැකයක් මතුවෙනවා නේද?

ඔහුගේ පුද්ගලික බූදලයක් නම් එහෙම කරන්න පුළුවන්. දේශපාලකයන්, නිලධාරීන්, මේගොල්ල මේ තාවකාලිකව මේවායේ භාරකාරයන් හැටියට පත්වෙන අය මිසක් රටේ පොදු දේපළවල අයිතිකාරයෝ නෙවෙයි. අයිතිකාරයෝ මහජනතාව. මහජනතාවගේ අයිතිය ගැනයි අපි කතා කරන්නේ. භාරකාරයන්ට පුළුවන්කමක් නෑ අපේ රටේ සම්පත් විකුණන්න. ඉතිහාසය පුරාම රටේ පාලකයෝ හිටියේ භාරකාරයෝ හැටියට. ඉස්සෙල්ලාම දේවනාම්පියතිස්ස රජ්ජුරුවන්ට මිහිඳු හාමුදුරුවොනේ කිව්වේ ඔබ මේ රටේ අයිතිකාරයා නොව භාරකාරයා පමණයි කියලා. ඒක අදටත් එහෙමම තමයි. ඒවා ගැන දැනගෙන කතා කරන්න ඕනේ කවුරු වුණත්. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට යහපාලන ආණ්ඩුව කළා වගේ මේ ආණ්ඩුව අපිව රවටන්න, අන්දන්නවත් හිතුවත් ඒක කරන්න ආණ්ඩුවට බෑ. මම දැන් අවුරුදු හතළිහක් ජාතික දේශපාලනයේ ඉඳලා තියනවා කිසි කෙනෙකුට අහුවෙලත් නෑ, රැුවටිලත් නෑ. කිසිකෙනෙකුට අපිව අන්දන්න පුළුවන් වෙලත් නෑ. ආණ්ඩුව හිතනවා නම් එහෙම කරන්න ඒක තදබල වරදක්.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන්නට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් කරලා එහි වාර්තාව ජනාධිපතිවරයාට භරදී තිබෙනවා. රුපියල් කෝටියක පමණ වියදමක් දරමින් අවුරුද්දක් තිස්සේ කොමිසම සාක්ෂි විමසීම් කළත් ප‍්‍රහාරයේ මහ මොළකරුවන් අනාවරණය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් විවේචනයක් පවතිනවා. ඔබවහන්සේලා මේ ගැන සෑහීමකට පත්වෙනවාද?

සාක්ෂි විභාගය ඉවර වෙලා ඒගොල්ල යම්කිසි ක‍්‍රියාමාර්ගයක් ගන්න එපායැ. ඒ ගන්න ක‍්‍රියාමාර්ගය අනුව තමයි ඒ කොමිසම සාර්ථක වුණාද, අසාර්ථක වුණාද කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. නැතිව කියන්න බෑ. කොහොම නමුත් වරදකරුවන් හොයා ගන්න මෙච්චර කල් පමාවීම ලොකු අඩුවක්. දුර්වලකමක්. කලින්ම මේක කරන්න තිබුණා. කාදිනල්තුමා කියන්නෙත් ඒක. බුද්ධි අංශවල සහාය ලබාගෙන කොමිසමට පුළුවන්කම තිබුණානේ ඉන්දියාවේ ඉන්නවා කියන සාරා වැනි අය ගෙන්න ගන්න. නමුත් එහෙම නොකිරීමෙන් පෙනෙනවා මෙතන මොකක් හරි අඩුවක් තිබෙන බව.

විදෙස් සේවය සඳහා සුදුසුකම් සපිරූ අය කොතෙකුත් සිටියදී දේශපාලන සුදුසුකම් මත මැති ඇමතිවරුන්ගේ සහ ආණ්ඩුවේ ගජමිතුරන්ගේ දරුවන්ට ඒ පත්වීම් ලබාදෙමින් පවතින බව අනාවරණය වෙනවා. මේක 2015ට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවත් අනුගමනය කළ පිළිවෙතක්. සම`ගි ජන බලවේගයේ සංවිධායක තිස්ස අත්තනායකගේ දුවටත් ඕස්ටේ‍්‍රලියා තානාපති කාර්යාලයේ තුන්වෙනි නිලධාරි තනතුරක් ප‍්‍රදානය කර ඇති බව වාර්තා වෙනවා. මේ කටයුතු ඔබවහන්සේලා අනුමත කරනවාද?

මේ රටේ දේශපාලකයන් යම්කිසි තැනකදි පක්ෂ පාට භේදයක් නැතිව එකතු වෙලා යම් යම් ගනුදෙනු කරගන්නවා. ඒක වැරදියි. ඒ නිසා තමයි අපිට මේ රට නැගිට්ටවන්න බැරි වෙලා තියෙන්නේ. මේ අය රට ගැන හිතනවා නම් එහෙම වෙන්නේ නෑ. දැන් අපේ විදේශ තානාපති සේවය ඉතාම දුර්වලයි. විදේශ තානාපතිවරු රට වෙනුවෙන් පෙනී හිටින්නේ නෑ. වෙන වෙන දේවල් තමයි කරන්නේ. හරි විදිහට එහෙම පෙනී හිටියා නම් කොටි ඩයස්පෝරාවක් බිහිවෙන්නේ නෑ. ඒවා ගැන කිසිම වගකීමක් අවබෝධයක් නැතිව තමයි තානාපති සේවය කටයුතු සිදුවෙන්නේ. ඒකට හේතුව තමයි ඔය විදිහට දේශපාලනය මත තානාපතිවරුන් සහ තානාපති කාර්යාල නිලධාරීන් පත්කර යැවීම. ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. මහින්ද රාජපක්ෂ ජනාධිපති කළත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කළත්, කවුරු කළත් ඒක සම්පූර්ණයෙන් වැරදි වැඩක්.

යහපාලන ආණ්ඩුවට කොපමණ චෝදනා එල්ල වුණත් ඒ කාලේ තිබුණු සමාජ සුරක්ෂිතභාවය මේ වෙනකොට බරපතළ ආකාරයෙන් බිඳ වැටෙමින් තිබෙන බව පෙනෙනවා. අත්අඩංගුවේ සිටින සැකකරුවන් මරණයට පත්වෙනවා. බන්ධනාගාර තුළ වෙඩි තබා සිරකරුවන් ඝාතනය කෙරෙනවා. හාමුදුරුවරුන් පවා අභිරහස් ලෙසින් ඝාතනය කෙරෙමින් තිබෙනවා. ඵෙතිහාසික වටිනාකම් සහිත පුරාවස්තු ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලන බලවතුන් විසින් විනාශ කරනවා. ඔබවහන්සේලා මේ ආණ්ඩුව පත් කරගන්න කොට මෙවැනි දේවල් බලාපොරොත්තු වුණාද?

ඒ ගැන අපිට කිසිම සතුටක් නෑ. අපි ඒවා අනුමත කරන්නෙත් නෑ. රජයක් වශයෙන් මොන රජයක් වුවත් දැනගන්න ඕනේ එහෙම නොවෙන්න ඉඩ හදාගන්න. එහෙම කරපු අය හොයලා ඒ අයට දඬුවම් දෙන්න. එහෙම නැත්නම් දිගින් දිගටම ඕවා කරන්ඩ මිනිස්සු පෙළඹෙනවා. ආණ්ඩුව ඒකට අවස්ථාව නොදිය යුතුයි. විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා බොහොම අසරණව පන්සල්වල වැඩ ඉන්නේ. යමක් කමක් තියන තැන් තියනවා. නැතිම තැනුත් තියනවා. තියන තැන් කියා සිතාගෙන මේ විදිහට සල්ලි ගන්න උත්සාහ කරන්න පෙළඹෙනවා, මේවා ගැන හරියට හොයා බලා තීන්දුවක් නොදුන්නොත්. ඒ නිසා රජයේ වගකීම ඉෂ්ට කරන්න කියලා තමයි කියන්න වෙන්නේ.

20 වෙනි සංශෝධනයෙදිත් අපි දැක්කා ප‍්‍රධාන නිකායන් දෙකක් ඒකාබද්ධව නිවේදන පවා නිකුත් කරමින් කරන්න එපා කියූ දේවල් ආණ්ඩුව තනි මතයට සිදු කළා. බලයට පත් කළ බලවේගයන් නොසලකා ආණ්ඩුව එවැනි ගමනක් යනවා නම් ඔබවහන්සේලාට මොකක්ද කළ හැක්කේ?

එහෙම ඒවායෙදි කෙළින්ම ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින්න අපි ඉදිරිපත් වෙන්නේ නෑ. මොකද අපිට තියෙන ප‍්‍රශ්නය තමයි මේ ආණ්ඩුව කඩාදාලා අපි කාටද සහයෝගය දෙන්නේ කියන එක. මමත් සංඝයා වහන්සේලාත් විශාල දායකත්වයක් දුන්නා ජනාධිපතිවරණයටත් මහා මැතිවරණයටත්. එහෙම දුන්නේ යහපාලනයේ තිබුණු දොස් අපි දැක්ක නිසා. මේ අය පත්කර ගත්තාම ඒවා නැතිව රට පාලනය කරයි කියලා හිතන නිසා. ආණ්ඩුව දිගින් දිගටම අපේ වචනයට ඇහුම්කන් නොදී කටයුතු කරනවා නම් ඉස්සරහට අපිට දැඩි ක‍්‍රියාමාර්ග ගන්න වෙයි. ඒවා මොනවද කියා දැන්ම කියන්නේ නෑ. හාමුදුරුවරු කතා කරන්නේ මහජනතාව වෙනුවෙන් මිස දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නෙවෙයි. ආණ්ඩුවට මහජනතාව දිනාගන්න ඕනේ නම් හාමුදුරුවරු කියන දේට සවන් දෙන්න වෙනවා. එහෙම නොදුන්නොත් ජනාධිපතිතුමා කොච්චර ඔය ගම්වලට ගිහිල්ලා මිනිස්සුත් සමග කතා කරලා, ගම සමග පිළිසදරක් කරලා, ඒගොල්ලන්ගේ ප‍්‍රශ්න විසඳුවත් අන්තිමේදී හාමුදුරුවන්ගේ පැත්ත තමයි මිනිස්සු ගන්නේ. ඒක හොඳට තේරුම් අරගෙන ආණ්ඩුව ඉදිරියේදි වැඩ කරන්න ඕනේ.

චම්පික රණවක හෙළ උරුමය පක්ෂයෙන් ඉවත්ව වෙනම දේශපාලන ගමනක් අරඹා තිබෙනවා. තීරණාත්මක අවස්ථාවක් පැමිණියහොත් සිංහල බෞද්ධ නව නායකත්වයක් සඳහා ඔහුට අනුග‍්‍රහ දැක්වීමට ඔබවහන්සේලාට සිදුවෙයිද?

මට නම් කිසිසේත්ම එහෙම විශ්වාස කරන්න බෑ. එයා හැම තිස්සේම මිනිස්සු රැුවට්ටුවා. මෙයා බුද්ධාගම තමන්ගේ වැඩවලට පාවිච්චි කරනවා. දැනුත් ඔය කරන්න යන්නේ ඒක. එයාට තියනවා ජනාධිපතිවීමේ, අගමැතිවීමේ මේනියාවක්. ඒවාට මේ රටේ තියන ජාතිකත්වය සහ ආගමිකත්වය යොදා ගැනීමේ කූට උපක‍්‍රමික වැඩපිළිවෙළක් එයාගේ තියනවා. ඒක අපි දන්නවා. ඒ නිසා එයා අනාගතයේදි රට බාරගන්න හෝ රට බාරදෙන්න සුදුසු පුද්ගලයෙක් කියලා අපිට කිසිසේත්ම හිතන්න බෑ.

කොවිඞ් වසංගතයත් සමග පුළුල් වශයෙන් සමාජගත කළ ආගමික මිථ්‍යාවන් දෙකක් බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ ‘කාලි කොවිඞ් පැණිය’ සහ ‘රතන සූත‍්‍රය’ පත්වූ බවක් නිරීක්ෂණය වෙනවා. කාලි පැණිය බීව සෞඛ්‍ය ඇමැතිවරිය මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් දැඩි සත්කාර ඒකකයක ප‍්‍රතිකාර ලබනවා. විවිධාකාර ආගමික වැඩසටහන් යටතේ රට පුරා රතන සූත‍්‍රය සජ්ජායනා කළත් මේ වන තුරුත් කොවිඞ් දෙවෙනි රැුල්ල පාලනය කරගත නොහැකිව තිබෙනවා. ජනතාව තවදුරටත් මේවා ගැන විශ්වාසය තැබිය යුතුද?

ඒ දෙක එක සමානව සලකන්න බෑ. කෑගල්ලේ ධම්මික වෙද මහත්තයාගේ වැඩපිළිවෙළ ප‍්‍රචාරය, ප‍්‍රසිද්ධිය මුල් කරගෙන ක‍්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළක්. ඒ බෙහෙතෙන් කොරෝනා සුව වෙනවාද නැත්ද කියන එක අපිට කියන්න බෑ. එහෙම සුව වෙන බවක් අපිට දැනගන්න ලැබිලත් නෑ. නමුත් ඒකට අනවශ්‍ය විදිහට ප‍්‍රචාරය දීලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මැති ඇමැතිවරු බීලා කරපු වැඩෙන් ඒක හෑල්ලූවට ලක්වුණා. වැදගත්කමක් ලැබුණේ නෑ. ඒ පැණියෙන් කොරෝනා සුව වෙනවා නම් ඒ ගැන පරීක්ෂණ කරලා තහවුරු කරගත්තාට පසුව තමයි ප‍්‍රචාරයට යන්න තිබුණේ. එහෙම නොවී ප‍්‍රචාරය මගින් සමාජයට දෙන්න ගිය නිසා දැන් මිනිස්සු ඒක ගණන් ගන්නේ නැති මට්ටමට වැටිලා තියනවා. රතන සූත‍්‍රය එහෙම නෙවෙයි. රතන සූත‍්‍රයෙන් ලෙඩ සුව වෙනවා කියන එක අපි අත්දැකලා තියනවා. ඒ නිසා කිසි කෙනෙකුට ඒ ගැන තර්ක කරන්න බෑ. කොරෝනා රෝගයටත් රතන සූත‍්‍රය දේශනා කිරීමේ වැඩපිළිවෙළක් බොහොම පැහැදිලිව පිරිසිදුව රට පුරා පිරිත් පැන් ඉහළා ක‍්‍රියාත්මක කළා නම් හරියනවා. නමුත් එහෙම දෙයක් මෙතනදි වුණේ නෑ. එහෙම නොවීම නිසා රතන සූත‍්‍රයෙන් ලෙඩ සුව කරන්න බැරිය කියලා ඔප්පු වෙන්නෙත් නෑ. විශාලා මහනුවර පිරිත් දේශනා කළාට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට නියම කළා විශාලා මහනුවර පුරාම ඒ පිරිත් පැන් ඉහින්න කියලා. ඒකෙන් තමයි විශාලා මහනුවර ඒ සුවය ලැබිලා තියෙන්නේ. අපේ රටේ රතන සූත‍්‍රයෙන් පිරිත් පැන් ඉහින්න එහෙම දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වුණෙත් නෑ. ඒ නිසා රතන සූත‍්‍රය දේශනා කිරීමෙන් ලෙඩ සුව කරන්න බැහැ කියන නිගමනයට අපි එන්නේ නෑ.

රතන සූත‍්‍රය දේශනා කිරීමෙන් විශාලා මහනුවර තුන් බිය දුරු වුණා කියන කතාව ත‍්‍රිපිටකයේ ඇතුළත්ව නැති පසුකාලීනව බෞද්ධ සාහිත්‍යයට එකතු වුණු කතාවක් නේද?

ත‍්‍රිපිටකයේ ඛුද්ධක නිකායේ රතන සූත‍්‍රය තියනවානේ. එහෙම ඵෙතිහාසිකව ආ වැඩපිළිවෙළකට කොහොමද එක සැරේම අපි විරුද්ධ වෙන්නේ. ඔය බටහිර උගත්තු කියන අය තමයි පටන් ගත්තේ මූලික බුදු දහමයි, පශ්චාත් කාලීන බුදු දහමයි කියලා වර්ග කරලා. දැන් ඒ මග යන අපේ උගත්තු යැයි කියන මිනිස්සුත් මේවා පසුකාලීනව කියලා කියන්න යනවා. ඒකෙන් වෙන්නේ බුදු දහම හෑල්ලූ වෙන එක. අටුවාවේ තමයි ඔය නිදාන කතාව තියෙන්නේ. අටුවාවල තියෙන්නෙත් බුද්ධ කාලේ ඉඳලා පවත්වාගෙන ආපුවනේ. පසු කාලේ ඒවත් තියනවා. නමුත් ඒවා වෙනම වාර්තා කරලා තියනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here