සංවාද සටහන : ශාන්ති දිසානායක

ඔබේ ගම් පළාත් කොහේද?


පාසියන්කඩවල. පුරාණ ගමක්. ගම පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ අම්මලාට ඉඩමක් ලැබෙනවා. මම උපන්නේ ගෙදර. 1953 මාර්තු 20 වැනිදා. මගේ අම්මා පුංචි මැණිකේ. තාත්තා ටිකිරි බණ්ඩා. ඔහු වෙල් විදානේ. ඔහු වාරියපොළ. ඔහුගේ මුත්තා එන්නේ ඉන්දියාවේ කේරළයෙන් දළදා වහන්සේ ආරක්ෂා කරන්න. ඔවුන් අතිදක්ෂ මල්ලවපොර සූරයන්.

වෙල් විදානෙගෙ පුතා දරිද්‍රතාව නම් අත් වින්දෙ නැතුව ඇති.


නෑ. යහමින් කුඹුරු තිබුණු සශ්‍රීක පවුලක්. අයියලා දෙන්නටයි, අක්කටයි, මල්ලිලා දෙන්නටයි, නංගිටයි උගන්වන්න තමා අම්මාත් තාත්තාත් හුඟක් වෙහෙසුණේ. පානියන්කඩවල ගාමිණී මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන අපි හත්දෙනාම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට යවන්න ඔවුන් පසුබට වෙන්නෙ නෑ. තාත්තාගේ උගත්කමත් අම්මා ප්‍රභූ පවුලක වීමත්, අපට අග හිඟයක් නැතිකමත් ඊට හේතු වෙන්න ඇති.


පුරාණ පුංචි ගමක ලොකු පවුලක ලස්සන කතාව 1968දී හමාර වෙන්නෙ කොහොමද?


ඔව්. එතෙක් නිසංසලේ ගලා ගිය අපේ ජීවිත දරුණු සුළි කුණාටුවකට හසුවෙනවා. ඒ එක වෙඩි උණ්ඩය අපි අටදෙනෙක්ගේ ජීවිත වෙනස් කරනවා. ගම් සභා ඡන්දයට එවරට තරග නොකළත් තරග වදින අපේක්ෂකයාට උදව් කිරීම නිසා මගේ තාත්තා වෙඩි තියලා මරනවා ඡන්දයට පෙර දවසේ. වාමාංශික අදහස් තිබුණු තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයෙක්. තාත්තාට කඩයක් තිබුණා. කඬේ වහල ගෙදර එද්දි තමා තාත්තට වෙඩි තිබ්බෙ. මම එතකොට දැලි රැවුල් මෝදුවෙන ඉලන්දාරියෙක්.


ඊට පස්සේ?


මගේ අයියා විතරයි ඉගෙනීම හමාර කරලා ශිෂ්‍ය ගුරුවරයෙක් විදියට හිටියේ. අපි හයදෙනෙක් ඉගෙන ගන්නවා. තරුණ වැන්දඹුවක් විදියට අම්මා සියලු බර කරට ගන්නවා. ගොවිතැන් කටයුතු පෙර සේම කර කියා ගනිමින් ඇය දැරූ ප්‍රයත්නය මට වචනයෙන් විස්තර කරන්න අපහසුයි. අමතර ආදායමක් අවශ්‍ය නිසාම ඇය අපේ ගෙදර ගුරුවරු නවත්වා ගත්තා. ඒ නිසාම තමා මගේ ජීවිතය වෙනස් වෙන්නේ.


ඒ කොහොමද?


ධර්ම ඒකනායක ගුරුතුමා අපේ ගෙදර නවාතැන් ගන්නෙ තනියම නෙමේ. තබ්ලාවත් එක්ක. ඒ වෙනකොටත් අම්මා හැම රෑකම බොහොම ළයාන්විතව ගයන යසෝධරාවත මා තුළ යම් චමත්කාරයක් ඇති කරනවා. ධර්ම ඒකනායක ගුරුතුමාගේ තබ්ලාව නිසාම මම සංගීතයට ඇලුම් කරනවා. ඒ මදිවට මගේ අයියා ප්‍රේමදාස පාසලේ සංගීතය හදාරණ නිසා සිතාරය පුහුණු වෙනවා. අම්මගෙ කවියයි අර තබ්ලාව සහ සිතාරයයි මාව වෙනස්ම ලෝකයකට ගෙන යනවා.


දුක් අඳුර දුරුවෙලා ජීවිතය මිහිරි වෙනවා ගීතයක් වගේම…?


අපොයි නෑ… මායි ප්‍රේමදාස අයියයි ජවිපෙට එකතු වෙනවා. සිතාරයයි, තබ්ලාවයි අතෑරලා අපි ආයුධ අතට ගන්නවා. ඉතාම අනුවණ ආකාරයෙන්, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අපි සන්නද්ධ අරගලය විශ්වාස කරනවා. නමුත් ඒ සඳහා සාධාරණ හේතු ඕන තරම් තිබුණා. විරැකියාවෙන්, සමාජ අසාධාරණයෙන් තරුණ පරපුර උග්‍ර ලෙස බැට කෑවා. ලෝකයේත් සන්නද්ධ අරගලය පිළිබඳව ආශ්වාදජනක අත්දැකීම් තිබුණ බව අමතක කරන්න නරකයි. නන්දන මාරසිංහ, ගාමිණී සමරනායක, විපුලසේන රාජපක්ෂ, කළගෙඩි බෝම්බ හීන් බණ්ඩා සහ ආයුධ විශේෂඥ ගුණසිංහත්, උපාලි රන්දෙණියත් එක්ක එකතු වෙලා වැඩ කළා. එක් හමුදා කඳවුරකට පහර දෙන්නට ගියේ මගේ පන්තියේ මිතුරන් සහ සෝමපාල ගුණසිංහ එක්ක. ඒ 1971 අප්‍රේල් 05දා.


ප්‍රහාරය සාර්ථක වෙනවාද?


අපි රෑ 11-12ට ගියේ. කඳවුරේ විදුලිය විසන්ධි කිරීම භාර දුන් කෙනා හරියට ඒ කටයුත්ත සිදු කළේ නෑ. ඔහු ෆියුස් ගලවා දැමුවාට මොකද යළි යථා තත්ත්වයට පත් කළ නිසා සුළු වේලාවකට අඳුරින් වැසී තිබුණු කඳවුර ඒකාලෝකවුණා. අපි අන්දමන්ද වුණා. කළයුත්තේ කුමක්දැයි හිතා ගන්නට බැරිවුණා.


පොලිස් හා හමුදා කඳවුරුවලට පහරදීමේදී අසාර්ථක වෙන බවක් ජවිපෙ අනුමාන කළේවත් නෑ. ඒකයි මං කියන්නේ 71 අරගලය අපරිණතයි. මෝරා වැඩුණේ නෑ කියලා. නමුත් එතනට තල්ලු වෙන්න සාධාරණ හේතු තිබුණු බව අමතක කළ යුතු නැහැ.


ඉතිං ඔබ ඇතුළු තරුණ කැරලිකරුවන් එදා රෑ මොකද කළේ?


වෙන මොනවා කරන්නද? අපි පලා ගියා. තාවකාලිකව පසුබැස්සා කියලා කියන්න පුළුවන් වුණත් අපි කළේ හිස්ලූලූ අත දුවන එක. තිසා වැවේ ඉස්මත්තේ ඉඳලා ගමට ඇවිත් කැලේ හැංගුණා.


මේ හැංගිමුත්තම් කෙළිය හමාර වුණේ කොහොමද?


ඇත්තටම මෙහෙම පලා යාමත් සැඟවී සිටීමත් නිසා අපි හෙම්බත් වුණා. ඒ නිසාම භාර වෙන්න කියලා රජය නිවේදනය කළ වහාම අපි භාර වුණා.


ඊට පස්සේ ඔබලා පුනරුත්ථාපනය කළාද?


අපේ ආහාර සලාකය හොරා කෑමත්, අපිට දිගින් දිගටම පහරදීමත් පුනරුත්ථාපනයක් වෙන්නේ කොහොමද? ඇත්තටම අපිව මුලින්ම රඳවා තබන්නේ අනුරාධපුර පුරා විද්‍යා නිල නිවාසවල. පහරදීම් මධ්‍යයේම මට ඇහෙනවා කෙනෙක් සිංදු කියනවා. නොකඩවා පහර කෑමෙන් දුර්වලව හිටියත් මමත් සිංදුවක් කියනවා. හිත කය වෙලා ගත් පරාජිත බව දුරු කරන්නේ ඒ ගීතයෙන් ගීතයයි. පහුවෙනිදා උදේ කෑම පෝලිමේදී තමා මට දැනගන්න ලැබෙන්නේ අන්ධකාරයේ අතරමං වෙලා හිටපු මට එළිය බිඳක් වුණු ඒ සිංදුකාරයා කරුණාරත්න දිවුල්ගනේ කියලා. ඊට පස්සේ අපිව පොළොන්නරුව හමුදා කඳවුරට ගෙන යනවා. දහස් ගණන් තරුණයෝ අපේක්ෂා භංගත්වයෙන් පරාජිතව පහර කෑමෙන් තුවාල ලබනවා. එය දැකීමත් භයංකරයි ඛේදනීයයි. ඉවසාගත නොහැකිව පැනලා යන්න උත්සාහ කරන තරුණයන් වෙඩි කනවා. යහපත් සමාජයක් පිළිබඳව සිහින දුටු වරදට දඬුවම් විඳින, රටක වටිනාම සම්පත. අපේ සියලු බලාපොරොත්තු බිඳ වැටිලා. ඊළඟ හුස්ම පවා අපිට අයිති නෑ.


අඳුරේ එළිය බිඳක් දිලුණේම නැද්ද?


මාසෙකට දෙකකට සැරයක් ගෙවල්වලින් එනවා අපිව බලන්න. බත් මුලක් උස්සගෙන එන අම්මලා දැකීමත් දුකක්. ඔවුන් මග වියදම් පවා හොයා ගන්නෙ අපහසුවෙන් බව අපි දන්නවානේ. පහරදීම්වලට අමතරව ඉංග්‍රීසි පන්ති පැවැත්වෙනවා කඳවුර තුළ. ඒ අතරේම දේශපාලන සංවාද. එයින් අපේ දේශපාලන ඥානය මුහුකුරා යනවා. අපි චිත්‍ර අඳින්න පටන් ගන්නවා. අපේ ශෝකය හා කලකිරීම එයින් තරමක් සමනය වුණාට පස්සේ සාහිත්‍යයට හා සංගීතයට ළැදි කණ්ඩායමක් වණ්ණුපථ ජාතකය ඇසුරින් ‘ගැල්කරුවෝ’ නාට්‍යය රඟදක්වනවා. රාජා විජේතුංග, සරත් ප්‍රනාන්දු හා වින්සන්ට් කුරුමාපිටිය, මම, ප්‍රේමදාස අයියා ඇතුළු පිරිස. ඇත්තටම කලාවට නැඹුරුවීමෙන් පසුව අන්තයටම ඇද වැටී හිටි පිරිස යළි හෙමින් සීරුවේ පිබිදෙන්න පටන් ගන්නවා. කලාව සතු හැකියාව විස්මිත බව මට පසක් කළේ ඒ කඳවුරු ජීවිතය. ඉන් පස්සේ පැන යන්නට වෑයම් කළේ නෑ කිසිවෙක්.


අපි පුස්තකාලයක් ආරම්භ කරනවා. පොත් හිඟය නිසාම ඒ සීමිත පතපොත වින්සන්ට් කුරුමාපිටිය පිටපත් කරනවා. පොතක් එහෙම පිටින්ම යළි පිටපත් කිරීම පහසු නෑ. ඒ අතිදුෂ්කර කටයුත්ත ඔහු කරන්නේ වැඩි පිරිසකට කියවීම සඳහා.


ඔබලාගේ මේ ක්‍රියාකාරකම්වලට කඳවුරේ නිලධාරීන්ගේ සහයෝගය ලැබෙනවාද?


ඒ අපි දිනාගත් ජයග්‍රහණ මිස, අපට කිසිවක් බන්දේසියක තබා පිළිගැන්වූයේ නෑ. අපට එල්ල වන තාඩන පීඩන විඳ දරා ගත්තත් අපිව බලන්න එන අපේ අම්මලාට සහෝදරියන්ට ඔවුන් කියන අවලම් කතා අපට ඉවසන්නට බැරිවුණා. කඳවුර පිහිටියේ විශාල භූමියක නිසා අපි වෙහෙසී වගා කටයුතු කරන්න ඕන. අන්තිමට අපේ පීඩනය පුපුරා ගියා. අපි මේ ක්‍රෑර පාලනයට එරෙහි විය යුතුයි කියා මම යෝජනා කළාම පාවාදෙන්නෙක් වහාම ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලය වුණේ මට හොඳටම පහරදීම. ඒ අමානුෂික ප්‍රහාරයන් හේතු කොටගෙන මම අදත් පීඩා විඳිනවා. ඒත් අපේ එකමුතුකම බිඳ දමන්න ඔත්තුකාරයන්ට පාවා දෙන්නන්ට සහ නිලධාරීන්ට හැකිවුණේ නෑ. අපි නිලධාරීන් පලවා හැරියා. ඔවුන් අපිට අවි එල්ල කරන කොට අපි ඒ අවි උදුරා ගත්තා. දවස් නමයක් තිස්සේ අපි ආහාර වර්ජනය කළා. ආහාර ගබඩාව බිඳ දාලා එහි තිබුණු හාල්වලින් අපි කැඳ හදා ගත්තා. මොකද බත් ඉව්වොත් පිරිසට ප්‍රමාණවත් නොවන නිසා. අන්තිමට ආණ්ඩුවට සිද්ධ වුණා නව නිලධාරීන් පත් කරන්න. ඔවුන් අපිට සංගීත භාණ්ඩ ලබා දෙන්නට පවා කාරුණික වුණා. 1973දී මම නිදහස් වෙනවා. අයියා ඇතුළු අනෙක් සගයන් දමා ඒම වේදනාවක් වුණත් මට උසස් පෙළ ලියන්න ඕන වෙනවා.


පාසල භාරගන්නවාද පුනරුත්ථාපනය කරන ලද කැරලිකරුවෙක්?


නෑ. ඒත් මට ගමේ පාසලට යන්න ඉඩ ලැබෙනවා. නමුත් මේ වෙද්දි අම්මා දුර්වලයි. ඇයට තවදුරටත් තනිවම මේ සටන කරන්න බැරි බව වැටහුණු නිසා මම ඉගෙනීම අත්ඇරලා කුඹුරට බහිනවා. අයියයි, මල්ලියි මායි එකතු වෙලා පද්මලතා ඉරුගල් බණ්ඩාර නංගිටත්, බණ්ඩාර දිසානායක මල්ලිටත් උගන්වනවා. ඔවුන් විශ්වවිද්‍යාලයට වරම් ලබනවා. බණ්ඩාර මල්ලි අද ශක්‍යා අධ්‍යාපන ආයතනයේ අධිපති. පද්මලතා නංගි ගුරුවරියක්. රජරට සේවයේ ශිල්පිණියක් වුණා. ඇය අද ජීවතුන් අතර නෑ. හාන්න සල්ලි නැති නිසා අපි කුඹුර උදලුවලින් කොටලයි වපුර ගත්තේ. මහවැලි වතුර ලැබෙන කොට උකස් කළ කුඹුරුත් බේරා ගන්නට අපිට හැකි වෙනවා.


දේශපාලන අරගලය අත් ඇරලා ඔබ මහ පොළොව සමග අරගල කරනවා?


ඔව්. ඒකත් අතරමග නතර වෙනවා. ඒ මම නැවතත් අත්අඩංගුවට පත්වෙන නිසා. අනුරාධපුර බන්ධනාගාරයේ අවුරුද්දකට වැඩි කාලයක් දේශපාලන සිරකරුවෙක් විදියට ඉන්නවා. ඒත් නිදහසට කොතෙක් ප්‍රිය කළාද කියනවා නම් අපි නවදෙනෙක් උමඟක් හාරලා පැන යනවා. රත්නපුරේ සහෝදරයන්ට පතල් හාරලා අත්දැකීම් තිබෙන නිසාම නිසි උපකරණ නැතුවත්, පිඟන් කෑලි, කෝප්ප කෑලිවලින් මල්වතු ඔය දක්වා උමඟ හරනවා. පස් දිය කරලා අරිනවා. අපි හැංගුණේ ළඳු කැලෑ තුළ. ආරක්ෂක අංශ හෙව්වේ ගණ කෑලෑවල් පීරමින්.


77 නව රජය බලයට පත් වුණාම මම මහ රැජිනට විරුද්ධ වීම කියන චෝදනාවෙන් නිදහස් වෙනවා නඩුවට ඉදිරිපත්වීමෙන් පසුව.


මේ අරගල, සිරගතවීම් හා පලායාම් අතරේ ආදරයට ඉඩක් ලැබුණේම නැද්ද?


ආදරය කළා. ඒක පාසල් ප්‍රේමයක්. ඒත් 1971 අරගලය නිසා මගේ ප්‍රථම ප්‍රේමය බිඳ වැටුණා. ඊට පස්සෙ ඉතිං ප්‍රේමය ගැන හිතන්නවත් ඉඩක් ලැබුණේ නෑනේ. හැබැයි අපේ ගෙදර නවතින ගුරුවරියක්ව බලන්න එනවා එයාගේ නංගි. ඇය අනුලා පුෂ්පරාණි. ඔවුන් හලාවත මාදම්පේ. අපේ ගෙදර හවසට සිංදු කියනවා. අනුලත් ආසයි සිංදු කියන්න. ඇයත් එනවා අපේ මේ සංගීත සාජ්ජෙට. අපි ප්‍රේමයෙන් බැඳුණු බව හෙළිවූ විගස තදින් විරුද්ධ වෙනවා ඇගේ මව්පියන් ඇය කැටිව යනවා. මට රැකියාවකුත් නෑනේ. ඒත් අපේ ප්‍රේමය බිඳ දමන්න හැකිවෙන්නේ නෑ. ඇයට රැකියාවක් ලැබුණත් ඇය මාව අත් අරින්නේ නෑ. අපි විවාහ වෙනවා මංගලෝත්සවයකින් තොරව.


වාදකයෙක් හා ගායකයෙක් විදියට නිසංසලේ ඉන්න ඔබ කැමති වෙන්නෙ නෑ?


ඇත්තෙන්ම නෑ. සුනිල් විජේසිරිවර්ධන, විජයානන්ද ජයවීර, කපුගේ, මහින්ද දිසානායක, වින්සන්ට් කුරුඹාපිටිය, නන්දන මාරසිංහ, දිවුල්ගනේ සහ සුනිලා අබේසේකර එක්ක එකතු වෙලා ජනතා සංස්කෘතික කේන්ද්‍රය පිහිටුවා ගන්නවා. එයින් අපි ‘කාලයේ රාවය’ ප්‍රසංගය පවත්වනවා. නමුත් එය ඒ හැටි ජනප්‍රිය වෙන්නේ නෑ. ඇතැමුන් කීවා ගැඹුරු වැඩි බවක්. 1988-1989 භීෂණ යුගයේ මට සිද්ධ වෙනවා පුරාවිද්‍යා ක්වාටස්වල නතර වෙලා රජරට සේවයේ වැඩට යන්න. ගාමිණී කළුබෝවිලත් හිටියා මට මතකයි. හමුදාවෙන් තුවක්කු දික් කරගෙන තමා අපෙන් වැඩ ගන්නෙ. සන්නද්ධ කණ්ඩායම්වලින් වගේම රජයේ හමුදාවෙනුත් අපි අපමණ පීඩාවට ලක්වුණා. කොහොමහරි 1991දී මගේ, කපුගේ සහ දිවුල්ගනේගේ වැඩ තහනම් කරනවා. චෝදනා නෑ. පරීක්ෂණ නෑ. මම හිතනවා ඊට ආසන්නතම හේතුව එවකට අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයාගේ බෝධිපූජා වලට සහභාගි නොවීම සහ ඔහු ලියූ ගීත ගැයීම ප්‍රතික්ෂේප කිරීම නිසා.


ඊට පස්සෙ මොකද කරන්නෙ?


වෙන මොනවා කරන්නද… අපි තුන්දෙනාම කොළඹ යනවා. ඒ අරමුණකින් තොරව. එතකොට වින්සන්ට් කුරුඹාපිටිය විවරණ සඟරාව කරනවා. ඔහු ළඟට යන අපට රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ එන්න කියනවා. උන්වහන්සේ අපට නවාතැන් දෙනවා. ප්‍රසංගයක් කරන්නට දිරි දෙනවා. අර්ථපතිත්වයෙන් පවා දායක වෙනවා. ඒ තමා ‘කම්පන’ ප්‍රසංගය. අතිශය ජනාදරයට ලක්වුණා. මගෙ බිසොවුනේ, බිම්බරක් සෙනඟ, නින්ද නැති රාත්‍රියේ වගේ ගීත රසික සිත් තදින් ඇද බැඳ ගත්තා. ඒ වගේම වැඩතහනමට ලක්වුණු තුන්දෙනෙක් එක්ව කරන ප්‍රසංගයක්වීමත් එය ජනප්‍රියවීමට හේතුවක් වෙන්න ඇති. ඒ යුගයේ අත්තනෝමතිකව හැසිරුණු ඒ.ජේ. රණසිංහවත් ජනතා අපවාදයට ලක්වෙනවා. සිරිලාල් කොඩිකාර ‘ඇත්ත’ පත්තරේට ලියන ‘රඟදෙන බයිලා’ මායි කපුගේයි එක්වෙලා ගායනා කරනවා. ඒ කැසට්පටය එළිදක්වන්නට නියමිතව තිබුණු දවසට පෙර දවසේ ආර්. ප්‍රේමදාස ජනාධිපති ඝාතනය කරනවා. ඔහු විවේචනය කළ කැසට්පටය එළිදැක්වීමෙන් පළක් නෑනේ. ඔහුගේ මරණයෙන් පසුව.


වාදකයාත්, ගායකයාත් අබිබවා ආයෙමත් අරගලකරුවා ඉස්මතු වෙනවා නේද?


ගොවියෝ සියදිවි හානි කරගන්නවා වගා ණය ගෙවා ගන්න බැරිව. අස්වැන්නට නිසි මිලක් නොලැබීම නිසා. ඒ වගේම යුද්ධයට එකම බිමක සහෝදර ජන වර්ග උනුනුත් මරා ගන්නවා. දරාගන්න බැරි තරම් කටුක හා ම්ලේච්ඡ වාතාවරණයක්. එදා පැවති පාලනයට විරුද්ධව ජයලත් මනෝරත්න, බණ්ඩාර ඇහැළියගොඩ, ධර්මසිරි බණ්ඩාරනායක, වසන්ත ඔබේසේකර, රෝහණ වීරසිංහ, ලූෂන් බුලත්සිංහල සහ මම එක්වෙලා නිදහස් කලා සන්ධානය පිහිටුවා ගන්නවා. අපි රට පුරාම රැස්වීම් පවත්වනවා. එය උපකාර වෙනවා 94දී චන්ද්‍රිකාට බලයට එන්නට. යුද්ධයට එරෙහිව අපි යාපනේට යනවා. එල්ටීටීඊ එක එක්ක සාකච්ඡා කරනවා. ප්‍රභාකරන් ඇරෙන්න අපිට අනෙක් හැම දෙනාම හමුවෙනවා. ඇන්ටන් බාලසිංහම් පවා. ඒ වගේම නඬේසන් පොලිස්පති. අපිත් එක්ක ඒ ගමනට එකතු වෙනවා වාසුදේව නානායක්කාර, ජයදේව උයන්ගොඩ, නිලාර් එන්. කාසිම්. සටන් විරාමය පැවති ඒ කාලයේදී අපි නල්ලූර් කෝවිල ළඟ තිලීපන් ස්මාරකය අබියස තිලීපන් සමරු ගීතය ගයනවා. වැලිකඩ බන්ධනාගාරය තුළ මරා දැමුණු කුට්ටමනී ගැනත් ගයනවා. මුලදී අපි දිහා සතුරු ආකල්පයකින් බැලූ දෙමළ ජනතාව ඊට පස්සේ අපි ආදරයෙන් වැලඳ ගන්නවා. ඔවුන්ට අදහාගන්න බෑ තිලීපන් හා කුට්ටුමනී ගැන ගයන සිංහලයන් ඉන්නවා කියන එක. ඒ ගමනින් පස්සෙ තමා ‘සාධු ජනරාව’ අරඹන්නේ. වින්සන්ට් කුරුඹාපිටියගේ හා සරත් ප්‍රනාන්දුගේ උදව්වෙන්. මහින්ද චන්ද්‍රසේකර, කුමාර එප්පාවල, ආරියසේන රත්නායක එක්ක. අපට තිබුණේ සර්පිනාවයි තබ්ලාවයි විතරයි. අපි විශ්වවිද්‍යාල, පාසල්, පන්සල් තුළ ප්‍රසංගය පවත්වනවා. 1989දී ‘සාධු ජනරාව’ කැසට් පටය නිකුත් වෙනවා. 1999දී අපි එළිමහනෙ පවත්වනවා අපේ ප්‍රසංගය ‘සාධු ජන වන්දනාව’ නමින්.


‘සාධු ජන වන්දනාව’ උතුරටත් යනවාද?


ඔව්. ඒත් අපව එල්ටීටීඊහි සොල්දාදුවන් විසින් නවත්වනවා. අපි ඔවුන්ට කියනවා අපි එන්නේ ගී ගයන්න. සංගීත භාණ්ඩ ඇරුණම අපි ළඟ අවි ආයුධ නෑ කියා. අන්තිමේදී අපිට ඉඩ ලැබෙනවා. අපි තිලීපන්, කුට්ටුමනී, තාරකී ගැන වගේම එල්ටීටීඊයෙන් සාහසික ලෙස මරා දැමූ පදවියේ දියණිය ගැනත් ගීත ගයනවා. ප්‍රසංගය අවසානයේ ඔවුන් අපට කෙසෙල් කැනක් සහ කොස්ගෙඩියක් දෙනවා. වෙන දෙන්න දෙයක් නෑ කියලා.


යුද ජයග්‍රහණයෙන් පස්සේ මොකද වුණේ?


යුද්ධ කාලේ එකම රටක ජනතාවක්. ඒ බව අමතක කිරීම නිසා යුද විරෝධීන් වුණු අපිට එල්ල වුණේ මෙතෙකැයි කිව නොහැකි පීඩනයක්. ඒත් අපි පෙනී හිටියේ, බි්‍රටෝ ප්‍රනාන්දු, හර්මන් කුමාර, පාක්‍යසෝති සරවනමුත්තු, ජේ.සී. වැලිඅමුණ වගේම දේශපාලන පක්ෂ එකතු වෙලා නිදහසේ වේදිකාව පටන් ගන්නවා. එයට කුරුණෑගලදී පහර දෙනවා. අපේ ‘වීදියේ විරෝධයට එප්පාවලදී පහර දෙනවා. හම්බන්තොට පහරදීම නම් මාව මරණය වෙත තල්ලු කළා. එදා නම් මට මරණ බිය දැනුණේ. එරාජ් නගරාධිපති මට එල්ල කළ පිස්තෝලයට පයින් ගහලා මගේ ජීවිතය බේරා ගන්නෙ අයුබ් ඛාන් සහෝදරයා. ඔහු හිටපු ඒ.එස්.පී. කෙනෙක්. හම්බන්තොට මහ නගර විපක්ෂ නායක එවකට.


ඔබ වඩාත් තදින් සසල කළ අත්දැකීම මොකක්ද?


මගේ තාත්තා වගේම මගේ කල්‍යාණ මිත්‍රයා නන්දන මාරසිංහ ඝාතනය කිරීම. ඝාතනය, හිංසාව විසඳුම් නොවේ. ගෝත්‍රික සමාජයක තිබෙන ඒ අමානුෂිකත්වය ශිෂ්ට සමාජයකට උචිත නෑ.


ඔබට වීරයෙක් ඉන්නවාද?


ඇයි නැත්තේ? ඕනම අභියෝගයකදී නොසැලී ඉන්නට මට පුළුවන් වෙන්නේ මගේ අම්මා නිසා. කැපවීම් හා ධෛර්යයේ ජීවමාන සංකේතය ඇයයි. ඒ වගේම මගේ ජීවිතයට වඩාත් තදින් බලපෑවේ නන්දන මාරසිංහගේ සටන්කාමීත්වය. වින්සන්ට් කුරුඹාපිටියගේ සැහැල්ලු හා තෘප්තිමත් ජීවන විලාසය. ගීතය සමාජ මෙහෙවරට යොදා ගත යුතු බව විශ්වාස කළ ගුණදාස කපුගේගේ මනුෂ්‍යත්වය මම ගෞරවාදරයෙන් සිහිපත් කරනවා. ඔවුන් වීරයෝ නොවන්නේ කොහොමද? ආත්මාර්ථයෙන් ඔබ්බට ගිය පරාර්ථයෙන් පිරිපුන් සැබෑ මිනිසුන්. ■