මහින්ද හත්තක

කවර හෝ මැතිවරණයක් ළඟා වෙත්ම විවිධ වර්ණ සහ පක්ෂවලට අයත් දේශපාලන නායකයෝ රටේ අනාගතය ගැන සුන්දර සිහින මවති. සමහරවිට දවල් සිහිනයක් වැනි මෙවැනි බලාපොරොත්තු එළියට දැමීමෙන් ඔවුන් අදහස් කරනුයේ එක අතකින් තමන් රටත්, ජනතාවත් වෙනුවෙන් කෙතරම් උතුම් විශිෂ්ට අදහස් දරන්නේද යන්න ඒත්තු ගැන්වීමත් අනෙක් අතින් ජනතාව සුපුරුදු පරිදි මෝහනය කොට ඔවුන් සතුයැයි කියන පරමාධිපති බලය පහසුවෙන් දිනා ගැනීමත් සඳහා විය හැකිය. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපති බලය සතු වන්නේ ජනතාවට නිසා මෙම දේශපාලකයන්ගේ සිහින සැබෑ කර ගැනීමට එය කොක්කෙන් හෝ කෙක්කෙන් ලබා ගත යුතුය. සුන්දර සිහින මැවෙන්නේ එම පරම චේතනාව අනුවය.


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා නිදි නැතිවම සිහිනයක් මැවුවේය. ඒ සිහිනය රට මුහුණ දී ඇති සියලූ ව්‍යාධිවලින් ගොඩ ඒමේ නිවැරදි ප‍්‍රත්‍යක්ෂ මාර්ගයක් ගැනය. ඔහු සඳහන් කළ ආකාරයට රට සංවර්ධනය කිරීමට නම් අප අපනයනය කළ යුතුය. අපනයනය කිරීමක් නැතිව සංවර්ධනය විය නොහැකිය. අපනයනය කිරීමෙන් කඩිනම් සංවර්ධනයක් අත් කර ගත් රටවල් ගණනාවක නම් එක දිගටම කියා ගෙන ගියේය. ‘සිංගප්පූරුව, චීනය, මැලේසියාව, වියට්නාමය වැනි රටවල් ඉක්මනින් සංවර්ධනය අත්කර ගත්තේ අපනයනය නිසාය. එම නිසා විස්සයි විස්සේ දී තමා බලයට පත් කළහොත් අපනයනයට මුල්තැන දෙන ආර්ථිකයක් ගොඩ නගන බව පැහැදිලි කෙළේය.


රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවීමටත් පෙර සිට මෙවැනි සුන්දර සිහින මැවුවේය. විපක්ෂයේ සිටිය දී ඔහුගේ සිහිනය වූයේ ලිච්ඡුවී රජදරුවන් මෙන් පාලනයක් පවත්වා ගෙන යෑමටය. එහෙත් අවාසනාවකට මෙන් අගමැති වූ විට එම සිහිනය අනෙක් දේශපාලකයන්ට මෙන් ඔහුට ද අමතක විය. එම නිසා ලිච්ඡුවී රජදරුවන් සිහිනෙන් පවා නොසිතු දේ කිරීමට ඔහුට සිදුවිය. විස්සයි විස්සේ දී ඔහුට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබුණහොත් අපනයනය පදනම් ආර්ථිකයක් ගැන මවන සිහිනය ද අමතක වුවහොත් එය කිසිසේත් පුදුමයට කරුණක් නොවේ. එහෙත් අපේ රටේ ජනතාව වසර හැත්තෑවක් තිස්සේ දේශපාලකයන්ගේ මෙවැනි සිහිනවලින් මුලාවට පත් වූ හෙයින් නැවත වරක් මුලාවීමට පෙර මෙම සිහින ගැන විමසීම වැදගත් ය.


1977 සිට අධ්‍යාපනය ඇතුළත් විවිධ අංශ ගණනාවක ඇමතිකම් දැරූ සහ 2015 සිට මේ දක්වා (දින පනස් දෙකක කාලය හැර* අගමැති තනතුරු දැරූ වික‍්‍රමසිංහ මහතාට රට දියුණු කිරීමේ ඒකායන මාර්ගය අපනයනය බව එම කාලසීමාවේදී සිතුණේ නැද්ද? එසේ සිතුණේ නම් එය කි‍්‍රයාත්මක කිරීමට ඔහු පියවර නොගත්තේ ඇයි? හදිසියේම දවල් සිහිනයක් දකිමින් විස්සයි විස්සේදී බලය ලැබුණහොත් අපනයන ආර්ථිකයක් ගොඩ නංවා රට සංවර්ධනය කිරීම තම අපේක්ෂාවයැයි කියන්නේ ඇයි? ඒ ජනතාව මුලා කිරීම සඳහා යැයි අපට පහසුවෙන්ම පිළිතුරක් සොයා ගතහැකි වුවත් මෙම සිහිනවලින් සහ කතාවලින් නොකියවෙන සත්‍යයක්ද පවතින බව පැහැදිලිය.


මුලින්ම අපි රනිල් වික‍්‍රමසිංහ මහතා උපහැරණ කොට දැක්වූ රටවල් දෙස උඩින් පල්ලෙන් හෝ එබී බලමු. රනිල් වික‍්‍රමසිංහ මහතාත් අනෙකුත් දේශපාලකයන් මෙන්ම බුද්ධිමත්යැයි හැඳින්වෙන පිරිස් ද නිතර දක්වන සිංගප්පූරු නිදසුන දෙස බලමු. මේ රට සිංගප්පූරුවක් කිරීමට සමහරු පොරොන්දු දෙති. නිදහස ලබන විට අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ඒක පුද්ගල ආදායම වැනි දර්ශකවලින් ජපානය හැර ආසියාවේ අනෙක් රටවල් බොහොමකට වඩා ඉදිරියෙන් සිටි ශ‍්‍රී ලංකාව අද වැටී සිටින ප‍්‍රපාතයෙන් ගොඩ ඒමට කළයුත්තේ සිංගප්පූරුව වැනි රටවල ආදර්ශය අනුගමනය කිරීමය. දශක දෙකකට අධික කාලයක් තිස්සේ ඇමරිකානු හමුදාවේ ම්ලේච්ඡු ප‍්‍රහාරයකට ලක්ව සිටි වියට්නාමය යුද්ධය නිමාවූ පසු සංවර්ධන උපදෙස් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාවේ පිහිට පැතූ බව මෙම දේශපාලකයෝ කියති.


කිසියම් රටක සංවර්ධනයට පාදක වන පොදු කරුණු මෙන්ම සුවිශේෂ තත්ත්වයන් පවතින බව ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එම නිසා කිසියම් රටක් ආදර්ශයට ගැනීමට පෙර පොදු කරුණු කීපයක් හෝ සැලකිල්ලට ගැනීමෙන් අප සැබැවින්ම ‘අපොහොසත්ව’ ඇත්තේ කුමන ලක්ෂණවලින් ද යන්න තේරුම් ගැනීමටත් නිසි උපාය මාර්ග සකස් කර ගැනීමටත් ඉවහල් වනු ඇත.


කුඩා දිවයිනක් වූ සිංගප්පූරුවට මැලේසියානු ෆෙඩරේෂණයෙන් වෙන්වීමට හේතු වූ වැදගත් කරුණක් වූයේ මැලේ බහුතරයක් වූ එම ෆෙඩරේෂණය චීන සුළුතරයට වෙනස් කොට සැලකීමේ පියවර ගැනීමය. සිංගප්පූරුවේ බහුතරය චීන සම්භවයක් ඇති අය නිසා ඔවුන්ට මැලේසියාවෙන් ඉවත්ව වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය විය. ඇත්තෙන්ම සිංගප්පූරු රජයක් බිහිවීමට තුඩු දුන් ප‍්‍රධාන හේතුව වාර්ගිකත්වය යි. එහෙත් නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ වාර්ගිකත්වය නව රාජ්‍යයේ පදනම කරගත්තේ නැත. නිදහස් සිංගප්පූරුවේ පළමු ජනාධිපති තනතුරට ඔහු මුස්ලිම් භක්තිකයෙකු නම් කෙළේ නව කුඩා රාජ්‍යයේ වාර්ගික ආගමික බෙදීම් තුරන් කිරීමට ය. සිංගප්පූරු ආදර්ශය අගය කරන අපේ දේශපාලකයන් කී දෙනෙක් නාම මාත‍්‍රව හෝ සිංහල බෞද්ධ නොවන (වාසුදේව නානායක්කාර මහතා මෑතක සිට දකින ආකාරයට ඊට ගොවිගම යන්න ද එකතු විය යුතුය* පුද්ගලයෙකු රාජ්‍ය නායක තනතුරට පත්කර ගැනීමට සූදානම් ද? අපේ රටේ දේශපාලන නායකත්වයට වාර්ගිකත්වය, ආගමික ඇදහීමට අමතරව කුලය ද සාධකයකි. රටක් දියුණු වන්නේ ආර්ථික දර්ශකවලින් පමණක් නොවේ. ආර්ථික දර්ශකවලට පදනම වන්නේ ජාතික හැඟීමයි. එනම් මේ රටේ වෙසෙන සියලූ ජන කොටස් ආගම භාෂාව, වර්ගය හා කුලය අනුව බෙදීමක් නැති බව පිළිගන්නා තත්ත්වයක් ඇති කළ යුතුය.


එවැනි හැඟීමක් ඇතිවන්නේ යාතිකා කිරීමෙන් හෝ යටපත් කිරීමෙන් නොව සියලූදෙනා කිසිදු වෙනස් කිරීමකින් තොරව සමානයන් සේ පිළිගැනීමෙනි. එවැන්නකට අපේ නායකයන් සූදානම් ද? පසුගිය වසර හැත්තෑවක අතීතය සිහිකරන විට පැහැදිලිවම නැත යන්න කෙටිම පිළිතුරයි. එවිට අපට ඉතිරි වන්නේ සිංගප්පූරුවේ ආර්ථික සංවර්ධන දර්ශකවල ආදර්ශය පමණි.


වික‍්‍රමසිංහ මහතා පමණක් නොව අපේ රටේ මෙතෙක් සිටි නායකයන් සියලූදෙනාම පාහේ අන් සියල්ල අමතක කොට ආදර්ශ කොට ගැනීමට උත්සාහ කරන්නේ ආර්ථික සංවර්ධනය පමණි. ඉහළ ආර්ථික සංවර්ධන අනුපාතයක් පවත්වා ගැනීමට දේශපාලන ස්ථායිතාවට අමතරව නීතියට ගරු කිරීමෙන් නීතියේ ආධිපත්‍යය ( විනය පවත්වා ගැනීම නොවේ* තහවුරු කිරීම, ආයෝජකයන්ට තම ආයෝජන සුරක්ෂිත වන බව සහතික කිරීම වැනි අවම තත්ත්වයන් රට තුළ තිබිය යුතුය. අපේ රටේ විශාල ආයෝජකයන් නොමැති නිසා විදේශ ආයෝජනය ගෙන්වා ගැනීමට සුදුසු වාතාවරණයක් සැකසිය යුතුය. වරින් වර ඇතිවන ආගමික හෝ වාර්ගික කලකෝලාහලවලදී කම්හල් ගිනිබත් කරන රටකට ආයෝජකයන් පැමිණෙන්නේ නැත. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර වශයෙන් මුස්ලිම් භක්තිකයන් සහ ඔවුන්ගේ දේපොළ ඉලක්ක කර ගත් ප‍්‍රහාර විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට හිතකර තත්ත්වයක් නොවේ. නොවැළැක්විය හැකි තත්ත්වයක් යටතේ එවැනි කලහකාරී සිද්ධීන් ඇති වුවද ඒ සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක විය යුතුය. අපේ ආදර්ශය වන්නේ නීතිය පාලකයාගේ කැමැත්ත අනුව නැමිය හැකි අතකොළුවකි යන්නයි.
රනිල් වික‍්‍රමසිංහ මහතා අපනයන ආර්ථිකයක් ගැන කතා කරන නමුත් පසුගිය කාලපරිච්ෙඡ්දය පුරාම දක්නට ලැබෙන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් අපනයන පහත වැටීමකි. නිදසුනක් වශයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව වසර 2000 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් අපනයන සියයට 33.3ක් විය. එය 2005 වන විට සියයට 26 දක්වාද 2015 වසරේදී සියයට 14 දක්වාද පහත වැටිණ. 2018 දී එම අනුපාතය සියයට 10.3 දක්වා පහත වැටිණ. අපනයනය වැඩි කිරීමට පෙර, පවතින තත්ත්වය හෝ ආරක්ෂා කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතාත් ඊට පෙර සිටි පාලකයනුත් අසමත් වූ බව පැහැදිලි ය.


තවත් ආර්ථික දර්ශකයක් වන දළ දේශීය නිෂ්පාදිතය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාලන සමයේ දිගින් දිගටම පහත වැටිණ. 2015 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 5කින් වර්ධනය වුවද 2016 වසරේ දී 4.5 දක්වා ද, 2017 වසරේදී 3.4 දක්වා ද, 2018 වසරෙ දී 3.2 දක්වා ද පහත වැටිණ. නිෂ්පාදන කර්මාන්තයේ ද දක්නට ලැබුණේ එවැනිම තත්ත්වයකි. 2017 වසරේ දී නිෂ්පාදන කර්මාන්ත වර්ධනය 3.3ක් වූ අතර 2018 වසරේ දී සියයට 3 දක්වා පහත වැටිණ. මේ සංඛ්‍යා ලේඛන වලින් කියවෙන්නේ පාලකයන් ආර්ථිකය කළමනාකරණයේ දී අසමත්ව ඇති බව ය. එවැනි අයට අපනයන ආර්ථිකයක් ගොඩ නැගීම තවත් දවල් සිහිනයක් පමණි.


විදේශ ආයෝජන ගෙන්වා ගැනීම ගැන කයිවාරු ගැසීම ද එවැනිම හිස් වදන් ය. පසුගිය වසරේ විදේශ ආයෝජන ගලා ඒම සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩි වුවද ඒ අපනයන නිෂ්පාදන කර්මාන්ත සඳහා නොවේ. පසුගිය වසරේ රට තුළට ගලා ආ විදේශ ආයෝජනවලින් සියයට 75ක්ම ලැබී ඇත්තේ යටිතල පහසුකම් සඳහා ය. වඩාත් සරලව අධිවේගී මාර්ග තැනීමට ය. මහ බැංකුවේ වාර්තා අනුව රට තුළට ගලා ආ ආයෝජනවලින් සියයට 35ක්ම හම්බන්තොට වරාය කළමනාකරණය සම්බන්ධයෙනි. රට ගොඩනැගීම සඳහා අපනයනය වැදගත් සාධකයක් වුවත් අපනයන ආර්ථිකයක් පවත්වා ගැනීමට අවශ්‍ය කළමනාකරණ හැකියාව අපට නැති බව පසුගිය වසර කීපයේ ක‍්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමෙන් පැහැදිලි ය.


අපනයනය නොව දේශීය අවශ්‍යතාවන් සපුරාලීමට හෝ සුදුසු ආර්ථික උපාය මාර්ගික තීරණ ගැනීමට අපේ පාලකයන් අපොහොසත් වූ බවට හොඳම නිදර්ශනය වන්නේ කෘෂිකර්මාන්තයේ කි‍්‍රයාකාරිත්වය යි. 2018 මහ බැංකු වාර්තාව අනුව 2018 වසරේ වී නිෂ්පාදනය 2017 වසර හා සසඳන විට සියයට 64.7කින් වැඩි වී ඇත. වසරක් ඇතුළත වී නිෂ්පාදනය දෙගුණයකටත් වඩා වැඩි ප‍්‍රමාණයකින් ඉහළ යෑම විස්මිත දෙයකි. මෙම ප‍්‍රවණතාව දිගටම පවත්වා ගැනීමට හැකිනම් වසර කීපයක් ඇතුළත වී ගොවිතැන සඳහා වෙන්කර ඇති බිම් ප‍්‍රමාණය හරි අඩකටත් වඩා වැඩි ප‍්‍රමාණයකින් අඩු කළ හැකිය. එහෙත් මෙම සංඛ්‍යා ලේඛනවලින් කියවෙන යථාර්ථය කුමක් ද?


වී නිෂ්පාදනයත් අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදනත් වසරක් ඇතුළත දෙගුණයකටත් වඩා වැඩි ප‍්‍රමාණයකින් ඉහළ යෑමට හේතුව වසර කීපයක් පැවති නියං තත්ත්වය පහව ගොස් වගා කටයුතු කර ගෙන යෑමට ප‍්‍රමාණවත් වැසි ලැබීමයි. වැසි ජලය ප‍්‍රමාණවත් ආකාරයට ලැබෙන විට කෘෂි නිෂ්පාදනය ඉහළ යනු ඇත. වැසි නැති නියං තත්ත්වයක් ඇති විට කෘෂි නිෂ්පාදනය පහළ යනු ඇත. ඉන් කියවෙන්නේ ගොවිතැන සඳහා අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම සඳහා ගල්ඔය ව්‍යාපාරයේ සිට මොරගහකන්ද ව්‍යාපාරය දක්වා ඉමහත් ධනස්කන්ධයක් වැය කරමින් ආරම්භ කළ වාරි ව්‍යාපෘතිවල සාර්ථකත්වය රඳා පවතින්නේ වැසි ලැබීම මතය යන්නයි. වසර කීපයක් එක දිගට නියං තත්ත්වයක් පැවතුණහොත් මෙම ජලාශ සිඳී ගොස් ජල සැපයුම බිඳ වැටෙනු ඇත. එවිට කෘෂිකර්මාන්තයට නොව මෙම ප‍්‍රදේශවල ජනතාවට බීමට හෝ ජලය නොමැත. වැසි ජලය වසර කීපයකට සංරක්ෂණය කර ගැනීමට පරිසරයටත් ආර්ථිකයටත් ඉමහත් බලපෑමක් වන මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල සාර්ථකත්වය රඳා පවතින්නේ අපට කෙසේ හෝ පාලනය කළ නොහැකි ස්වභාවික තත්ත්වයන් මත ය. දැනට සිදුවෙමින් පවතින දේශගුණික වෙනස්වීම නිසා මෙම තත්ත්වය ඉදිරියේ දී වඩාත් ප‍්‍රබලව දැනෙනු ඇත.


අපේ රටේ දේශපාලකයන් සමෘද්ධිමත් පොහොසත් රටක් නිර්මාණය කිරීමට යෝජනා කරන සැලසුම් සහ කි‍්‍රයා මාර්ග බොහෝ දුරට රඳා පවතින්නේ ඔවුන්ට පාලනය කළ නොහැකි සාධක මතය. කෘෂිකර්මාන්තය පවත්වා ගැනීමට සහ වැඩි දියුණු කිරීමට ඔවුන් දකින එකම කි‍්‍රයා මාර්ගය මහා සම්පත් ප‍්‍රමාණයක් සහ පරිසර බලපෑමක් කෙරෙන වාරි ව්‍යාපෘති ඇති කිරීම පමණි. වගා කටයුතු වඩාත් සාර්ථකව සහ ඵලදායී ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා නූතන විද්‍යාත්මක සහ තාක්ෂණ දැනුම යොදා ගැනීමට ඔවුන් හෝ ඔවුන්ට උපදෙස් දෙන අයට හැකියාවක් හෝ ඕනෑකමක් නැත. කෘෂිකාර්මික නිෂ්පාදනය පවත්වා ගැනීමට ඔවුන් දකින එකම විකල්පය වැසි ජලය සංරක්ෂණය පමණි. එහි ඇති සීමාවන් ගැන ඔවුන් සැලකිලිමත් වන්නේ නැත.


හැත්තෑ ගණන්වල මහවැලි ව්‍යාපාරය ආරම්භ වූයේ වියළි කලාපයේ ගොවි ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳීමේ දිව ඔසුවක් මෙනි. එම ව්‍යාපෘතියේ අතුරු ඵලයක් සේ නිපදවෙන විදුලි බලය ඉන්දියාවට පවා සැපයිය හැකියැයි ඒ දිනවල කයිවාරු ගැසූ බව සිහි බුද්ධියක් ඇති ජනතාවගේ මතකයේ තවමත් රැුඳී පවතී. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අපනයන සිහිනයත් ඊට දෙවැනි වන්නේ නැත.


මෙවැනි නිෂ්ඵල නිරර්ථක ක‍්‍රියා හැඳින්විය යුත්තේ ජනවහරේ පවතින බල්ලන්ට ලෙලි පොල් දෙන්නා සේයැයි යන කියුමෙනි. බල්ලා පොල් කෑමට මහත් අභිරුචියක් දක්වන නමුත් ලෙලි නොගසන ලද පොල් ගෙඩිය ඌට කිසිම ඵලක් නැත. මැතිවරණ සමයක් ළඟා වන ස්වභාව ධර්මය හෝ විද්‍යාව සහ තාක්ෂණය අමතක කොට අපේ දේශපාලකයන් ජනතාව මුලා කිරීමට ඉදිරිපත් කරන යෝජනා සහ වැඩපිළිවෙළ බල්ලන්ට දමා ගසන ලෙලි පොල් ගෙඩියකට වෙනස් වන්නේ නැත.