ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


කාලය සමග මෙරට විවිධ ජන කොට්ඨාසවල ජීවන තත්ත්වය වෙනස් වුවත් වතු කම්කරුවන් පිළිබඳ සැලකූ විට පෙනී යන්නේ ඔවුන්ගේ ජීවන තත්ත්වය තවමත් තිබෙන්නේ ඉතාම පහළ මට්ටමක බවය. මෙරටට වතු කම්කරුවන්ගේ ආගමනයට වසර එකසිය පනහක පමණ කාලයක් ගෙවී ගියත් ඔවුන්ගේ සමාජ, ආර්ථික මට්ටම වෙනස් වූ බවක් පෙනෙන්නට නැති තරම්ය. ඇතැම් පිරිස් තවමත් ජීවිතය ගෙවන්නේ මීට වසර එකසිය පනහකට පමණ පෙර ඉංග්‍රීසීන් විසින් සාදා දුන් ලයින් කාමර තුළමය. ඒවා තවමත් සංවර්ධනය වී නැත. ඒ කාමරවලට ඉහළින් යාන්තම් හෝ තවමත් හිසට ආවරණය වී තිබෙන්නේ එදා ඉංග්‍රීසීන්ගේ කාලයේම දැමූ ටකරං වහලය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් හේවාහැට පිහිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පවතින වතු යායක් වූ හෝප් වත්තේ වතු කම්කරුවන්ගේ ජීවිත එදා ඉංග්‍රීසීන්ගේ කාලයේ තිබුණාටත් වඩා අද අසීරු තත්ත්වයක බව එහි වාසීහු පවසති. එහෙත් හෝප් වත්ත පමණක්ම නොව, එවැනිම තත්ත්වයේ වතු ගණනාවක් තවමත් මෙරට තුළ තිබෙන්නේය.


අවුරුදු 150 කාමර


“මම ඉපදුණේත් මේ වත්තේමයි. මගේ අම්මා තාත්තාත් ඒ අයගේ අම්මලා තාත්තලාත් මේ වත්තේම වැඩ කරලා මැරිලා ගියා. මමත් වැඩ කළේ මේ වත්තේමයි. දැන් මමත් විශ්‍රාමිකයි. ඒත් අන්තිමට සේවා දීමනාවවත් ලැබුණේ නැහැ. වත්තේ ජීවිතය හරිම අමාරුයි. මේ කාමර දැන් අවුරුදු එකසිය පනහකටත් වඩා පැරණියි. මේවා සුද්දාගේ කාලේ හැදුව ඒවා. වැස්ස දවසට කාමර තෙමෙනවා, නිදාගන්නත් තැනක් නෑ. අපිට මේකේ කිසිම පහසුකමක් නෑ. අපිට තියන එකම දේ වතුර ටික විතරයි.” ඒ, හෝප් වත්තේ තවමත් ජීවිතය ගෙවන සින්නමුත්තු කදිරවේලි (74) ය.
වතු කර්මාන්තය මෙරට රජය යටතට පත්වන්නේ 1972 දීය. එතැන් සිට වසර විස්සක පමණ කාලයක් ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයත් යටතේ වතු කර්මාන්තය පැවතියෙන් කම්කරු වැටුප්, සුබසාධන ආදී ක්‍රියාවලිය රජයේ මැදිහත්වීමෙන් සිදුවී තිබුණි. එහෙත් 1992 සිට අද දක්වා නැවතත් ඉන් බොහෝ වතු පාලනය පෞද්ගලික සමාගම් සතුවූ අතර ඇතැම් වතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ හා ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව යටතේම පැවතුණේය. එහෙත් එසේ පැවතුණු ඒවා සියල්ලම පාහේ දීර්ඝ කලක සිට පවතින්නේ පාඩු ලබන තත්ත්වයකය. පෞද්ගලික සමාගම් යටතේ තිබෙන වතුවලට වඩා මේවා තිබෙන්නේ තවමත් අඩු සංවර්ධන මට්ටමකය. එහි වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඊට පැහැදිලිවම සාක්ෂි සපයන්නේය. එමෙන්ම දැන් වතු කම්කරු ජනයාගේ ජීවන තත්ත්වයන්ට වගකිවයුතු පාර්ශ්වය කුමක්ද යන්න පිළිබඳ ද තිබෙන්නේ ගැටලු රාශියකි. ඔවුන්ගේ වැටුප් පමණක් නොව විශේෂයෙන් සුභසාධනය සම්බන්ධයෙන් බැලූ විට තිබෙන්නේ ඉතාම පසුගාමී තත්ත්වයකි.


නොනවතින පීඩාව


“අපේ ලයින් කාමරයේ හත්දෙනෙක් ඉන්නවා. මමයි, මගේ බිරිඳයි, දරුවෝ හතර දෙනායි, එක දරුවෙක් බැඳලා ඉන්න කෙනායි අපි ඔක්කෝම ඉන්නේ මේ එකම කාමරේ. මේක හරිම අමාරු ජීවිතයක්. මේ වහළවල්වල ටකරන් ඔක්කෝම දිරලා සිදුරු හැදිලා දැන් හුඟක් කල් වෙනවා. ඒවා සුද්දාගේ කාලේ දාපු ටකරං. වැහි දවසට කාමර තෙමෙනවා. පහුගිය කාලේ මේ කාමරවලට දාන්න ටකරං වගයක් වත්තට ලැබිලා තිබුණා. ඒවා බාස්ලාට කියලා දාලා දෙන්න එක කාමරේකින් රු. 3000ක් ගාණේ වත්තෙන් ඉල්ලනවා. අපිට දෙන්න සල්ලි නෑ. අපිට ඒ ටකරං ටික දාගන්න දෙන්නේත් නෑ.” ඒ, හැටහතර හැවිරිදි සින්නයියා මහේෂ්වරන් ය.


ගලින් තැනූ බිත්ති සහිත එම ලයින් කාමර වතු ආරම්භ කළ කාලයේ තැනූ ඒවාය. එම කාමර පේළි පිටුපසට එක කවුළුවක් හෝ නොමැත. තිබෙන්නේ ගල් බිත්තිය පමණි. ඒ බොහෝ කාමර පේළිවල වහලවල තිබෙන්නේ බොහෝ සෙයින් පළුදු වී දිරා ගිය ඉපැරණි ටකරංය. ඒ අතීතයේ සෙවිලි කළ ඒවාමය. ඇතැම් ලයින් කාමර පේළි ආසන්නයේ වැසිකිළියක් හෝ දෙකක් නම් පසු කාලයේ ඉදිව තිබුණේය. එදා සිටි වතුකම්කරුවන් මෙන්ම ඔවුන්ගෙන් පසු පරම්පරා කීපයක් ද තවමත් ඒ ඉපැරණි කාමරවලමය. ඔවුහු වැස්සෙන් සුළඟෙන් දැන් බොහෝ පීඩා විඳින්නෝය. ඔවුන්ට නොලැබී තිබෙන දේවල් හෝ නොලැබෙන දේ සොයනවාට වඩා ඔවුන්ට ලැබී තිබෙන්නේ මොනවාදැයි සෙවීම ඉතා පහසුය. එතරම්ම ඔවුන්ගේ ජීවිතවලට බොහෝ දේ අහිමිය.


ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ගලහ, හේවාහැට, නාවලපිටිය සමූහවල තේ වතු 16ක් තිබෙන්නේය. ඉන් හේවාහැට සමූහයට හෝප් වත්ත, ලූල්කඳුර, රහතුන්ගොඩ හා රුක්වුඞ් යන වතු යායවල් අයත්ය. ඒ බොහෝ වතුවල තේ වගාව දැන් ඉතිරිව තිබෙන්නේ අල්ප වශයෙනි. මුහුදු මට්ටමේ සිට මීටර 1220- 1830 පමණ උස කඳු මුදුනක් පුරා පැතිරෙන හෝප් වත්තේ ජන ජීවිතය සෑම අංශයකින්ම ඉතා අසීරුය. ඒ වතු කීපයම පිළිබඳ සැලකූ විට ද සුළු සුළු වෙනස්කම් හැරුණු විට ඒ බොහෝ වතුවල තිබෙන තත්ත්වය ඉතා ඛේදජනකය. වතු කම්කරුවන්ගේ කර මතින් බලයට එන දේශපාලඥයන්ගෙන් බහුතරයකට ද මේ තත්ත්වය නොපෙනීම හා මෙතෙක් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් විධිමත් හා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් සැබවින්ම ඔවුන් ලැජ්ජාවට පත්විය යුතුය. වතු කම්කරුවන්ගේ ජීවිත තවමත් පහළම අඩියක තිබීමට ඔවුන් ද බොහෝ සේ වගකිව යුතු වන්නේය.


රෝහල් අම්බලම්


“මේ වතු ඇතුළේම ඉස්පිරිතාල තියනවා. ඒත් ඒවා දැන් අම්බලම් වගේ. බෙහෙත් මොනවත් නෑ. ඒකේ දොස්තර මහත්තයෙකුත් ඉන්නවා. අසනීපයක් හැදුණොත් අපි මුල්ඔය ඉස්පිරිතාලෙටම අරගෙන යන්න ඕනෑ. මේ පාරවල් හොඳ නැති නිසා හදිසියකට ලෙඩෙක් ගෙනියන්නත් අමාරුයි. වත්තෙන් වාහන දෙන්නේත් නෑ. අපි ත්‍රීවීල් එකක දාගෙන යන්න ඕනෑ. ත්‍රීවීල් යන්නත් හොඳ පාරක් නෙමෙයි මේක. සුද්දාගේ කාලේ මේ වත්තේ ඉස්පිරිතාලේ හොඳට තිබුණා. ඇඳන් තියන වාට්ටු පවා තියනවා. ඒ කාලේ එතන අසනීපයකට බෙහෙත් ගන්න පුළුවන්කම තිබුණා. අපි ඒ ඉස්පිරිතාලේ නැවතිලා ඉඳලාත් තියනවා. දැන් මේ වත්තේ කිසිම පහසුකමක් නෑ. අපිට තියෙන්නේ මේ දිය උල්පත්වලින් එන වතුර ටික විතරයි.” ඒ හෝප්වත්තේ වතු කම්කරුවෙකුව සිටි අංගමුත්තු පිච්චමුත්තුය.


ඉතා උස් කඳු මුදුනට විහිදෙන වත්තේ මැද කොටසේ පිහිටා තිබෙන රෝහල අතීතයේ එහි කම්කරුවන්ට සේවාවක් වුවත් අද වන විට ඒ රෝහලේ නිසි සේවාවක් සැපයෙන්නේ නැත. එහි වාට්ටු හා අනෙකුත් අංශ වැසී ගොස්ය. එහි නිල නිවාසයේ වෛද්‍ය නිලධාරියෙකු ද තවමත් සිටියත් වත්තේ අය පවසන්නේ පැනඩෝල් පෙත්තකට වැඩි යමක් එතැනින් සිදු නොවන බවය. එබැවින් අසනීපයකට ඒ සියලුදෙනා යායුතු වන්නේ මුල්ඔය රෝහලට හෝ දෙල්තොට රෝහල වෙතය. එය ද පහසු ගමනක් නොවන්නේය. කඳු මුදුනේ සිට හේවාහැට දක්වා ඒම පවා ඉතාමත්ම අසීරු ගමනකි. “මේ වත්තේ ඉස්පිරිතාලයක් තියනවා. ඒත් අපි බෙහෙත් ගන්න මුල්ඔයටම යන්න ඕනෑ. නැත්නම් හැතැප්ම පහළොවක් විතර දුර තියන රිකිල්ලගස්කඩට යන්න ඕනෑ, නැත්නම් දෙල්තොටට. හේවාහැටට යන්න වුණත් ලේසි නෑ. ත්‍රීවීල් එකක ගියොත් ඒත් ලොකු වියදමක්. අපිට එහෙම වියදම් කරන්නත් පුළුවන්කමක් නැහැ.” ඒ, හෝප් වත්තේ දී හමු වූ හැට හය හැවිරිදි වියේ වූ තයිලම්මාය.


අද වන විට වත්තේ ජීවිතය මේ කම්කරුවන්ට සෑම අතින්ම ඉතාමත්ම අසීරුය. ඔවුන්ගේ දරුවන්ට ද එසේමය. බොහෝ තරුණ තරුණියන් මේ වන විට වත්ත අත්හැර ගොස්ය. එහි හමුවූ ඇතැම් තරුණයන් රැකියා කළේ කොළඹ හෝ වෙනත් නගරයක් ආශ්‍රිත හෝටලයක හෝ වෙළෙඳසැලකය. වත්තේ සෑම අතින්ම අසීරු වූ ජීවිතයට වඩා ඔවුන්ට නගරයේ ජීවිතය සාපේක්ෂව පහසු බව ඔවුහු පවසති. “වත්තේ කිසිම පහසුකමක් නෑ. අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේ වත්තටම ජීවිත කැප කළා. ඒත් වතුවල ලොකු තනතුරුවල අය විතරක් හැමදාම හොඳින් සැපෙන් ඉන්නවා. ඒ අය අපි ගැන හිතුවේ නැහැ. අපිත් මේකටම දියවෙලා මැරිලා යනවාට අපේ අම්මලා තාත්තලාත් කැමති නෑ, අපිත් කැමති නෑ. ඒ නිසා අපි වත්තෙන් පිටට යන්න තමයි බලන්නේ. අනෙක වත්තේ දැන් හරියට වැඩත් නැහැ, වැටුපකුත් නැහැ. කන්න බොන්නවත් මිනිස්සුන්ට සල්ලි නැහැ.” ඒ කොළඹ නගරයේ හෝටලයක සේවය කරන හෝප්වත්තේ දී හමුවූ තරුණයෙක් වූ රමේෂ්ය.


පාසල් ගිහින් එන්නෙ රෑ


එහි දරුවන්ගේ පාසල් ගමන ද ඉතා අසීරු එකක් වූයේය. වත්තේ මධ්‍ය කොටසේ එකොළොස් වන ශ්‍රේණිය දක්වා පැවැත්වෙන පාසලක් තිබුණ ද ඒ දක්වා කඳු බෑවුම් හා කැලෑ රොදවල් අතරින් ගමන් කිරීම ද ආරක්ෂිත වූයේ නැත. ඒ වෙත යෑම ද කන්දේ ඉහළම හෝ පහළම කොටසේ අයට පැයකට ආසන්න කාලයක් වැයවන ගමනක් වූයේය. ඇතැම්විට දෙමාපියන්ට කුඩා දරුවන් දිනපතා එහි රැගෙන යාමට සිදුවූයේය. උසස්පෙළ සඳහා ඇතැම් දරුවන් ගියේ හේවාහැටට හෝ දෙල්තොටටය. “මගේ බාල පුතා දෙල්තොට ඉස්කෝලේ දොළොස්වැනි පන්තියේ ඉගෙන ගන්න යනවා. මෙහෙන් උදේ පහට යනවා, කන්ද නැගලා ආපහු ගෙදර එද්දී රෑ හත අට වෙනවා. හැමදාම බස් එකට වියදම් දෙන්නෙත් අමාරුවෙන්.” ඒ, සෙල්ලදොරෙයි යෝගම්මාය. ඇය දැන් හෘදය රෝගියෙක් බැවින් වත්තේ රැකියාවේ යෙදෙන්නේ ඇගේ සැමියා පමණි. ඇතැම් මාසවල ඔහුගේ වැටුප රුපියල් තුන්දාහක් පමණ වන අවස්ථා ද තිබෙන්නේය. ඔවුන්ගේ පවුලේ හත්දෙනෙකු පමණ යැපිය යුත්තේ එයිනි. “මම විතරක් නෙමෙයි මේ වත්තේ හුඟක් අය ජීවත් වෙන්නේ ගොඩක් අමාරුවෙන්. අපි මහන්සි වුණා වගේ අපේ ළමයින්ට මේවා කරන්න බෑ. ඒත් ළමයි වෙන රස්සාවකට යන්න වුණත් ඉගෙනගෙන තියෙන්න ඕනෑ. ඉගෙන ගන්න යන එකත් මේකේ ඉන්න අයට ලේසි දෙයක් නෙමෙයි.” යෝගම්මා කියන්නීය.


ජනතා වතු සංවර්ධන අධිකාරියට හා රජයේ වැවිලි සංස්ථාවට අයත් වතු සියල්ලම පාහේ මේ වන විට පාඩු ලබන ආයතන වේ. ඒ ඇතැම් ඒවායේ කර්මාන්තශාලා ද මේ වන විට වැසී ගොස්ය. වතු කැලෑවල් බවට පත්ව ගොස්ය. හෝප්වත්තේ ද තත්ත්වය එසේය. මේ වතුවල තේ දළු කැඩීම ද පහසු නොවන්නේ කැලෑ රොදවල් අතර තේ ගස් තිබීම නිසාය. එමෙන්ම සතියට දින දෙක තුනක් හැරුණු විට වැඩ ලැබෙන්නේ ද නැති තරම්ය. එබැවින් පෞද්ගලික වතුවලට වඩා මේ වතුවල කම්කරුවන්ගේ වැටුප ද බොහෝ විට ඉතා පහළ අගයකය. එසේ වුව ද මේ අසීරුතා මධ්‍යයේ එහි ජනයාට වෙනත් ජීවනෝපායක් සොයා ගැනීම ද කිසිසේත් පහසු නැත. කැලෑවෙන් වැසී යන හා පාඩු ලැබෙන වත්තේ රැකියා අහිමි වන වතු කම්කරුවෝ ජීවිත ගොඩනගා ගන්නේ කෙසේදැයි නොදන්නෝය. ඔවුන්ට වෙනත් ආදායම් මාර්ග සම්පාදනය කරන කිසිදු විධිමත් ක්‍රමවේදයක් ද එහි නැත. මේ වන විට ඇතැම් අය කැරට්, ගෝවා වැනි එළවළු වර්ග සුළු වශයෙන් හෝ වගා කර ගැනීමට පෙළඹී තිබුණත් එය ද අති දුෂ්කර කටයුත්තක් වන්නේ ඔවුන්ට ඒ සඳහා ද බාධා රාශියක් තිබීමය. එහි පවතින දේශගුණික තත්ත්වයට ගැළපෙන වෙනත් බෝග වගාවන් හඳුන්වා දී ඒ ආශ්‍රිතව තවත් කර්මාන්ත ගණනාවක් ආරම්භ කළ හැකි මට්ටමේ ස්වභාවික සම්පත් එහි තිබුණ ද එවැනි වැඩපිළිවෙළක් විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමට හෝ බලධාරීන් උත්සාහ කර නැත. එසේ වූවා නම් තේ වගාව අභාවයට යද්දී එහි කම්කරුවන්ගේ ජීවිත ද මේ ආකාරයට අතරමං වන්නේ නැත. එසේ නම් ඔවුන්ගේ තරුණ පරම්පරාව ද ඒ ප්‍රදේශ අතහැර නගරයට සංක්‍රමණය වන්නේ නැත. එහෙත් එවැන්නකට හෝ ඔවුන්ට විධිමත් මගපෙන්වීමක් හෝ සහායක් කිසිදු පාර්ශ්වයකින් නොලැබෙන බව හෝප්වත්තේ කම්කරුවෝ පවසති.


ලේ එනකං වැඩ


“මම මේ වත්තේ දලු කැඩුවා. අත පයින් ලේ එනකං මම මේකේ වැඩ කළා. මගේ පුතාලා තුන්දෙනාම වත්තේ වැඩ කරනවා. පුතෙක්ගේ එක දරුවෙක් ඉස්කෝලේ යවන්නත් සල්ලි නැතිව ඉන්වා. එක දරුවෙක් ඉගෙනගෙන කරන්න දෙයක් නැතිව ඉන්නවා. එක දරුවෙක් ඉගෙන ගෙන ඉවරවෙලා රස්සාවක් නැති නිසා වත්තේ බංගලාවේ වැඩට යනවා. දැන් ගෑනු අය ගෙවල්වල උයන්න වැඩ කරන්න යනවා. පිරිමි අයත් එළියේ වෙන වැඩ හොයාගෙන යනවා. දැන් වත්තේ වැඩ නෑ කියලා වැඩ දෙන්නේ නෑ. වත්තේ කැලේ වැවිලා. මිනිස්සු දලු කඩන්න ගියත් සත්තු ඉන්නවා, බඹරු අනිනවා.” ඒ හැටහතර වියැති රාමර් අදත්‍යරාණිය.


රජය යටතේ පවතින තේ වතු හා කර්මාන්තශාලා දැන් තිබෙන්නේ අත්හැර දැමුණු ලෙසය. ඇතැම් කර්මාන්තශාලා සම්පූර්ණයෙන්ම වැසී ගොස්ය. ඉන්දියාවෙන් මෙරටට ඉංග්‍රීසීන් ගෙනැවිත් වගා කළ තේ අභාවයට යද්දී එහි සෞම්‍ය දේශගුණික පරිසරයට ගැළපෙන වෙනත් ඕනෑ තරම් භෝග වගාවන් තිබුණත් එවැන්නක් දියුණු කරගැනීමට තවමත් අපොහොසත්ය. ඒ වෙනුවෙන් උත්සාහයක්වත් නැති හැඩය. තේ වගාව සමගම එහි වතු කම්කරුවන්ගේ ජීවිත ද අභාවයට යමින් තිබෙන්නේ එබැවිනි. තේ හැරුණු විට ඔවුන්ට එහි කිරීමට වෙනත් දෙයක් දැන් නැත. ඔවුන්ට ලබා දෙන පහසුකමක් ද නැත. රජය යටතේ පවතින වතුවල හෝ ආදායම් ඉපයිය හැකි මට්ටමේ හා වතු කම්කරුවන්ගේ ජීවිත ද ඉහළට එසවිය හැකි විධිමත් වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට වතු කම්කරුවන්ගේ දුක් කඳුළු මතින් බලයට පැමිණ සිටින පාලකයන්ට ද මේ වතුවල සාරයෙන් ජීවිත සාරවත් කරගන්නා සියලුදෙනාට මෙන්ම එදිනෙදා තේ උගුරකින් වෙහෙස නිවාගන්නා සියලුදෙනාට ද වගකීමක් තිබිය යුතුය. ■