රසික ගුණවර්ධන


බස්රථ තුළ ගීත වාදනය කිරීම සම්බන්ධව බොහෝ කාලයක පටන් විවිධ කතාබහ ඇතිවෙමින් පවතී. ඒ කතා පක්ෂ සේම විපක්ෂද විය. කෙසේ වෙතත් එක්තරා කාලයක බස් රථ වල වාදනය වන ගීත සඳහා වෙනම සංස්කෘතියක් පවා ඇතිව තිබුණි. එය කෙතරම් තීව්ර වුවද යත්, එකල අජිත් මුතුකුමාරණ හැඳින්වූයේ බස් අජිත් වශයෙනි. ඒ එකළ සෑම බස් රථයකම පාහේ නිතර දෙවේලේ වාදනය වූයේ මොහුගේ ගීත බැවිනි. එසේම ඒ හා සමඟම තවත් මෙවැනි බස් වලට ආවේනිකම ගායකයන් කිහිපදෙනෙකු බිහිවිය.


මීට දශකයකට දෙකකට පමණ පෙර එම කාලයේදීද බස් රථ සංගීතය පිළිබඳව විවිධ සංවාද ඇතිව තිබූ නමුදු එම සංවාද බොහෝවිට කේන්ද්‍ර ගතවී තිබුණෙ පුද්ගල රසවින්දනය කෙරෙහිය. එනම් එම ගීත පිළිබඳව විවේචන එල්ල වූයේ එවාහි අන්තර්ගත හා ශෛලිය පිළිබඳවය. කෙසේ වෙතත් වර්තමානයේ එම සංවාදය එකී කේන්ද්‍රයෙන් ව්‍යුත්පන්න වී වෙනත් දිශාවකට යොමුවී ඇත. එනම් වර්තමානයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ ඝෝෂාකාරි සංගීතය පිළිබඳවය. ඊට ප්‍රබල හේතුවක් නම් වර්තමානයේ බස් රථවල වාදනය වන එළිමහන් සංගීත ප්‍රසංග පටිගත කළ දර්ශන බැවිනි. ඒවා වාදනය කරන්නේ එළිමහනේ සිටින සහ විශේෂයෙන්ම එම ශෛලිය තෝරාගත් පිරිසකට බැවින් ඒවා කිසිසේත්ම පොදු ප්‍රජාවකට සහ බස් රථයකට උචිත නැත.


කෙසේ වෙතත් මේ වසර ආරම්භයේදී රජය විසින් බස් රථ වල ප්‍රචාරණය කිරීම සඳහා අනුමත කරන ලද ගීත ලබා දීමට තීරණයක් ගෙන තිබුණි. එය වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක වීමට තිබුණ ද පසුව එය ජනවාරි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.


රජයේ මෙම තීරණය මතුපිටින් ඉතාම සුමට හා ප්‍රශස්ත ලෙස පෙනුනද ජනතාව සහ බස් රථ රියදුරන් සහ සේවකයන් මේ පිළිබඳව දරණ අදහස් මොනවාද ? අප සමඟ කතා බහ කළ බොහෝ දෙනා පැවසුවේ බස් රථ සංගීතයේ ඇති ගැටලුව නම් එය අධික ඝෝෂාකාරි බවින් යුක්ත වීම බවයි. “ මේ ගොල්ලො හයියෙන් සිංදු දාගෙන බස් එක ගාටනවා” තුසිත පවසයි. “මිනිස්සුත් එතකොට ඒක අහගෙන යනව බස් එක ගාටනව කියල දැනෙන්නෙ නෑ. මේව මෙහෙම වෙලා තියෙන්නෙ නීති තිබුණට ඒව හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති හින්ද. බස් වල අයිතිකාරයො එක්කො ඇමති කෙනෙක් නැත්නං ඊටත් වඩා ලොක්කෙක් එයාලට වාසි විදිහට තමා ඔක්කොම වෙන්නෙ” ඔහු පවසයි.


අපට ද ඇති අත්දැකීමේ ආකාරයට බස් රථ වල ගීත වාදනය කරන්නේ අධික ශබ්දයෙන්. මාර්ග අංක 138 බස් රථ වල මෙම තත්ත්වය ඉතාම වැඩි වශයෙන් දැකගත හැකි අතර ඊට අමතරව දුර ගමන් සේවා බස් රථ වලද මෙම තත්ත්වය ඉතා ඉහළ මට්ටමක ඇත. බොහෝ කොන්දොස්තරවරුන්ගෙන් එම ශබ්දය අඩු කරන ලෙස ඉල්ලීමක් කළ විට ඔවුන් එසේ කරන නමුදු ගැටලුව වී ඇත්තේ මගීන්ගෙන් වැඩි කොටස කොන්දොස්තරවරයාගෙන් එම ඉල්ලීම සිදු කිරීම පසුබට වීමය.


එසේම බස් රථවල වාදනය වන ගීත එතරම් ප්‍රශ්නයක් නැති පිරිස්ද සිටිති. එක්තරා තරුණියක් පැවසුවේ “ඒක එච්චර ගාණක් නෑ” යනුවෙනි.


කෙසේ වුවත් බස් රථ සේවකයන් මේ පිළිබඳව කියන්නේ කුමක්ද ? අප මේ පිළිබඳව විමසීමට එම සේවකයන් හමුවීමට මහරගම බස් නැවතුම්පලට ගිය විට එහි නිළධාරී මහතුන් හා අධිවේගී බස් රථ සේවකයෙකු අතර සංවාදයකි. ඒ බස්රථ ගමන් වාර පිළිබඳවය. ඊට අමතරව එහි නවතා ගිය බස් රථයක තිබූ ආම්පන්න කිහිපයක් නැතිවූ පැමිණිල්ලකි. තවත් මගියෙකු ඒ අතර ඔහුගේ ගමන් මාර්ගයේ ගමන් ගන්නා බස් රථ දෙකම ගමන් නොකිරීම පිළිබඳව සුද්ද සිංහලෙන් හැඩ වූ පැමිණිල්ලකි. මේ අතර ගීත පිළිබඳව ඇසීමට අප පැමිණ සිටී.


“සිංදු ගැන එහෙම ප්‍රශ්නයක් නෑ” වැඬේ ලත් තැනම ලොප්ය. එහෙමයි කියා බැරිය. රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව ඇසිය යුතුය. “අපි නම් රේඩියෝ එක විතරයි දාන්නේ” එක්තරා අධිවේගි බස් රථයක කොන්දොස්තරවරයකු පැවසීය. එවිට මතක් වුයේ පසුගිය දිනක දමා තිබු ගුවන් විදුලියකින් රන්ජන් රාමනායකගේ සම්පූර්ණ හඬ පටයක් දිග හැරුණු අයුරුත් ලියුම්කරුත් සමග සියලුම මගීන්ට කිසිදු හිරිකිතයක් නැතිව එයට සවන් යොමාගෙන සිටි අයුරුත්ය. කෙසේ හෝ පුද්ගලික සංවාද ගුවන් විදුලිය හරහා ඇසෙන සමයක ඒවාද බස් රථවල වාදනය කිරීම පිළිබඳව නියාමනය ගෙන ඒමට සිදුවනු ඇත. බාග විට එය ලීක් වන ස්වභාවය මත තීරණය වීමටද ඉඩ ඇත.


කෙසේ හෝ මහරගම – හොරණ බස් රථයක රියදුරන් සහ කොන්දොස්තරවරුන් කිහිප දෙනෙකු සතුටු සාමිච්චියේ යෙදෙමින් විවේක සුවයෙන් පසුවනු දක්නට ලැබුණි.


“අපිටනම් සිංදු අහනවට වඩා මේකෙ හොරෙන් යන එවුන් දිහා බලන් ඉන්න වෙලා තියෙන්නේ” කොන්දොස්තරවරයෙකු අප සමග පැවසීය. “ සිංදු අහගෙන වැඩ කරන එකත් වෙලාවකට අමාරුයි” තවත් අයෙකුගේ අදහසයි” දැන් අපි සෙට් එක දාන්නෙ නෑ”


“සමහර සිංදු දාන්නේ ඩ්‍රයිවර් මහත්තයගෙ කැමැත්තට. එයාට ගැලපෙන තාලෙට. සමහර ඒවා දාපුවහම බලන්න බෑ බස්වල පොඩි ළමයි යනවා. ඒවගේ ඒවනම් අයින් කරන එක හොඳයි. රජයෙන් සිංදු දාන වැඬේ හොඳයි. හැබැයි ඉතින් නින්ද යන සිංදුද දන්නෑ දාන්නේ” සියල්ලෝම සිනාසෙති.


තාමත් ඔවුන්ට එම සංගීත තැටි ලැබී නොමැත. එසේම ඔවුන්ගෙන් ඊට අදහස් ලබාගෙනද නොමැත. කෙසේ වෙතත් අධිවේගි මාර්ග බස්රථ වලට එම සංගීත තැටි ලබා දුන් බව පැවසුවද අප සමග කතාබහ කළ නුවන් හා පියතිස්ස පැවසූවේ ඔවුන්ට එවැනි ගීත තැටි ලැබී නොමැති බවයි. විවිධ විෂය පථයන්ට අදාළ ඉහළ රසවින්දනයක් සහිත ගීත මේ සඳහා යොදා ගැනීම උචිතය යන්න අපගේ හැඟීමය.


කෙසේ වෙතත් රජයෙන් මහජනයා අසන ගීත තීරණය කිරීම කිසිසේත්ම සරල කාරණයක් ලෙස අප දකින්නේ නැත. එය යටත් වැසියන් පාලනය කිරීමට සහ සිය මතවාදීමය අවශ්‍යතාවය මහජනයා වෙත රැගෙන යාමට ඇති වඩාත්ම උචිත මාධ්‍ය වන්නේ කලාවයි. ඊට ඇත්තේ ඉතාම දීර්ඝ ඉතිහාසයකි. කලාව යනු කිසියම් ආකාරයක දේශපාලනමය සහ දෘෂ්ඨිවාදීමය ප්‍රකාශනයක් නිසා මෙය වඩාත් පහසු මාධ්‍යයකි. රජය විසින් තීරණය කර ඇති ගීත ගොන්න අතර ඇත්තේ දේශභිමානි ගීත සහ ජාතිවාත්සල්‍යයෙන් යුත් ගීත එකතුවකි. ඒ අතර එයට අයත් නොවන ගීත කිහිපයක්ද වේ. කෙසේ හෝ මෙම භාවිතය පොහොට්ටුව වේවා එජාපය වේවා ඕනෑම දේශපාලන ධාරාවකට වඩාත් උචිතය. ජනතාව තුළ දේශාභිමානය සහ ජාතිවාත්සල්‍යය රෝපණය කළ පසු ඔවුන්ගේ චින්තනය රාමුගතවන අතර ඒ හරහා එම ජනතාව පහසුවෙන් හැසිරවිය හැකිය.


එසේම අප රටේ බහුතර ජනතාව සිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිතා කරන්නේ බස් රථය. ඒ නිසා බස්රථ වල ගීත ප්‍රචාරණය විශාල පිරිසකට සිය දෘෂ්ඨිවාදය ගෙන යා හැකි පහසුම ක්‍රමවේදයකි.