කුසල් පෙරේරා


මිනුවන්ගොඩ “බ්‍රැන්ඩික්ස් කෝවිඞ්-19 පොකුර” එතෙක් රටේ පැවති යහපත් තත්ත්වය කණපිට හැරවීමට හේතුවී ඇත. දැන් එය බ්‍රැන්ඩික්ස් පොකුරක්ම නොවේ. දැන් එය කටුනායක වෙළඳ කලාපයේද පොකුරක්වී ඇත. එහි කර්මාන්ත ශාලා 04 ක් වසා ඇතැයි වාර්තා වන අතර එහිද සිය ගණනක් ආසාදිතයන් ඇතැයි ගණන් බැලේ. ඊට අමතරව, මේ වනවිට රුහුණු විශ්වවිද්‍යාලයයේ සිසුවියකගේ පියෙකුගේ සිට, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ භාණ්ඩ අංගණයේ සේවකයකුද, කෑගල්ල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරියන් තිදෙනෙකුද, හොරණ රෝහලේ හෙදියක්ද සමග යාපනය, මන්නාරම දක්වා පැතිරීම් වාර්තා වන්නේය. පොලිස් බල ප්‍රදේශ ගණනාවකට ඇඳිරි නීතිය පැනවීමටද හේතුවී ඇත.


එවැනි ශීඝ්‍ර පැතිරීමකට මුල පිරුණු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙහි කෝවිඞ්-19 වසංගතය ඉස්මතුවීමේ හේතු හා මූලාශ්‍රය ගැන පැහැදිලි නිල හේතු දැක්වීමක් නැත. පොදු චෝදනාව ඇත්තේ බ්‍රැන්ඩික්ස් සමාගමේ හිමිකාරිත්වයට ය. ඔවුන් රජයේ හා සෞඛ්‍ය අංශයේ සීමා තහංචි සහ මාර්ගෝපදේශ නොතකා කටයුතු කර ඇතැයි වන චෝදනා අතර, ඉන්දියාවේ ඔවුන්ගේ විසාකාපට්නම් කර්මාන්තශාලාවේ සිටි ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දීය ශ්‍රමිකයින් නිසි නිරෝධායනයකින් තොරව ගෙන්වා ඇතැයිද ඔවුන් මිනුවන්ගොඩ කම්හලේ සේවයට යොදවා ඇතැයිද වන චෝදනාව ඇත. කෝවිඞ්-19 වසංගතය මිනුවන්ගොඩින් පැතිරීමට මේ සමාජයේ හේතු දැක්වීම් කෙරෙන්නේ එලෙසිනි. එයට යම් වලංගු බවක් එකතු වූයේ පසුගිය 10 වන දින ඬේලි මිරර් පුවත්පතේ පළ කෙරුණු ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාවකිනි. එයට අනුව විසාකාපට්නම් හි සිට කුලී පදනමින් ශ්‍රී ලංකා ගුවන් යානා 03 කින් බ්‍රැන්ඩික්ස් සමාගම මෙරටට පුද්ගලයින් 341 ක් ගෙනැවිත් ඇත. එය ඔවුන්ගේ සමාගම් සන්නිවේදන ප්‍රධානී ඉමන්ති පෙරේරා මහත්මිය පැවසූයේ යැයි වාර්තාවෙහි සඳහන්ව තිබිණ.


පසුදින බ්‍රැන්ඩික්ස් සමාගම නිල නිවේදනයක් නිකුත් කරමින් කිසිදු ඉන්දියානුවෙක් නොගෙනා බවත් සියලු කාර්යයන් නීතියට අදාළව සිදුකර ඇති බවත් මිනුවන්ගොඩ කම්හලට එලෙසින් නැවත ලංකාවට රැගෙන ආ කිසිවකු නොයෙදූ බවත් ප්‍රකාශ කර තිබිණ. එහෙත් එහි ඇතැම් කාරණා සඳහා නිශ්චිත උත්තර නොතිබූ අතර, තවත් ඒවා නොකියා කියූ කතා වැනි විය.


මේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර ලොකු වන්නට පටන්ගත් අතරතුර ඒ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය කියා තිබුණේ බ්‍රැන්ඩික්ස් කම්හලේ කළමනාකරණය සේවකයින් සූරාකෑමේ “නූතන වහල් ක්‍රමය” පිළිබඳ බොහෝ දේ කියාපාන බවය. ඒ යෙදුමට විශේෂයෙන් අන්තර්ජාල ප්‍රචාරයක් ලැබුණු අතර, ඊට එරෙහි ප්‍රහාරයක් දියත් විය. ඔවුන් කියා සිටියේ අපට අවශ්‍ය “විදේශ විනිමය” උපයා දෙන හා “දහස් ගණන් රැකියා” උත්පාදනය කර ඇති එවැනි වැදගත් සමාගම් සඳහා අවමාන අපහාස නොකළ යුතු බවය.


ඔවුන්ගේ මේ “විදේශ විනිමය” කතාව හා “දහස් ගණන් රැකියා” උත්පාදන කතාව සාකච්ඡාවට ගත යුත්තේ මේ රට තවමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි ඔවුන්ම කියන වඩා පුළුල් සන්දර්භයෙහි තබා ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සහතික කර ඇති අයුරු මේ රටේ සියලු පුරවැසියන් නිදහස, සමානාත්මතාව, සාධාරණත්වය, මූලික මානව හිමිකම් හමුවේ සමානයින්ය. නීතිය හමුවේ සියල්ලන් එක හා සමානව සැලකිය යුතු අතර එක හා සමානව ආරක්ෂා කළ යුතුය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි තෙවන පරිච්ඡේදයේ 14.1 අනු ව්‍යවස්ථාවට අනුව, මේ රටේ සියලු පුරවැසියන්ට ඒකරාශිවීමේත් සංවිධානයවීමේත් වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමේත් අයිතිය මූලික මානව හිමිකමකි. එම අයිතීන් සාමුහික කේවල් කිරීමේ අයිතියද ඇතිව ශ්‍රී ලංකාණ්ඩුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 හා 98 සම්මුතීන් අත්සන් කිරීමෙන් හා අපරමානුකරණය කිරීමෙන් තවදුරටත් සහතික කර ඇත. එබැවින් පළමු ප්‍රශ්නය වන්නේ සියලු පුරවැසියන් සමානයින් ලෙස නීතිය හමුවේ සැලකිය යුතු නම්, සියල්ලන්ට එක හා සමානව මූලික මානව හිමිකම් භුක්ති විඳීමේ අයිතිය ඇතිනම්, ඇඟලුම් සේවක සේවිකාවන්ට ඒ අයිතිය අහිමිකර ඇත්තේ ඇයිද යන්නයි. මෙහි උත්ප්‍රාසයෙහි උපරිමය ඇත්තේ ඇඟලුම් කර්මාන්ත හිමියන් තම සේවකයින්ට අහිමිකර ඇති එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඔවුන්ගේ වාසියට යොදා ගැනීම ය. සංවිධානයවීමේ මූලික අයිතිය භුක්ති විඳිමින් ඔවුන් ඔවුන්ගේ සංවිධාන හා සම්මේලන පිහිටුවා ගෙන ඇති අතර, වාසිසහගත ආර්ථික ප්‍රතිපාදන සඳහා එම සංවිධාන ඔස්සේ ඔවුහු ආණ්ඩු සමග ගනුදෙනුද කරති.


මේ නූතන ලෝකයකි. මේ ඇමෙරිකාවට ඔවුන්ගේ ආර්ථික වාසි වෙනුවෙන් අප්‍රිකානු වහළුන් වෙළඳාම් කළ යුගය නොවේ. යකඩ දම්වැල් කසකාරයින් යොදා ගෙන සතුන්ගෙන් මෙන් වහළුන්ගෙන් වැඩ ගත් යුගයක් නොවේ. මේ නූතන ලෝකයේ සියල්ලන්ට සමානයින් ලෙස සැලකීමේ ජාත්‍යන්තර සම්මුතීන් ඇත. මේ වත්මන් ලෝකය ළමා හා කාන්තා අයිතිවාසිකම්, මූලික මානව හිමිකම්, සේවක අයිතීන් සහ ආගම්, භාෂා, ස්ත්‍රී-පුරුෂ භේද නොතකන, සම ලිංගිකත්වය අයිතියක් ලෙස පිළිගන්නා වඩා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයකි. මේ නූතන ලෝකයේ එවැනි අයිතීන් බලහත්කාරයෙන් අහිමි කිරීම සහ එවැනි අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් වැඩ ගැනීම “නූතන වහල් ක්‍රමය” වන්නේය.


එය සමස්ත ඇඟලුම් ක්ෂේත්‍රයේම තත්ත්වය වන්නේය. විශේෂයෙන් යෝධ ඇඟලුම් කර්මාන්ත හිමියෝ ඔවුන්ගේ ජාවාරම්කාර දේශපාලන හයිය සමගින් කිසිදු කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට වෘත්තීය සමිති සංවිධානය කිරීමට ඉඩ දෙන්නේ නැත. ඇතැම් කර්මාන්ත ශාලාවල බොරු චෝදනා ගොනුකර ක්‍රියාකාරීන් සේවයෙන් පහ කරති. පළාතේ මැරයින් යොදා පහර දුන් අවස්ථාද ඇත. ඇතැම් අවස්ථාවල වෘත්තීය සමිති නායකයින් මුදලට ගත හැකි නම් එයද කරති.


අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයේ එවැනි සියලු මෘග, අමානුෂික ක්‍රියාකාරකම් ඔවුන් රටට විනිමය උපයන්නේ යැයි සහ දහස් ගණන් රැකියා උත්පාදනය කරන්නේ යැයි සාධාරණය කරන ප්‍රජාතන්ත්‍රවාදීන්ට කිවයුත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඛේදවාචකයට මූලිකම හේතුව වූයේ සේවක සේවිකාවන්ට වෘත්තීය සමිතියක් ලෙස සංවිධානය වන්නට තිබූ අයිතිය බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වය විසින් උල්ලංඝනය කිරීම බවය. එය සනාථ වන්නේ එහි ආසාදිතයින් සම්බන්ධව තොරතුරු විශ්ලේෂණයක යෙදුණු මෙරට ප්‍රධාන වසංගතරෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීරගේ නිරීක්ෂණ මගින්ය. “ආසාදිතයැයි සනාථ වූ පළමු සේවිකාවගේ රෝග ලක්ෂණ සැප්තැම්බර 28 වන දින හඳුනා ගත්තද සැප්තැම්බර් 20 වන දින සිට ස්වසන පද්ධතියේ රෝග තිබූ සේවක සේවිකාවන් කම්හලේ සිටිය බව සේවකයින්ගේ විස්තර පරීක්ෂා කිරීමේදී අපට දැන ගැනීමට ලැබුණා.” යැයි ඔහු මාධ්‍යයට කීවේය. ඉන් කියවෙන්නේ සැප්තැම්බර් 20 වන දින සිට රෝග ලක්ෂණ තිබූ සේවකයින් කිසිවකු බ්‍රැන්ඩික්ස් කළමනාකාරිත්වය විසින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු නොකළ බවය. පළමු ආසාදිත සේවිකාව වාර්තා වූයේ ඇයව ඔක්තෝම්බර් 03 වන දින රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ හෙයින්ය.


මෙහි සේවකයින්ගේ කතාව අතිශය අමානුෂික කළමනාකාරිත්වයක් හෙළිදරව් කරන්නකි. වෛද්‍ය සුදත් සමරවීර කියූ ස්වසන පද්ධතියේ රෝග තිබූ සේවක සේවිකාවන් සැප්තැම්බර් 20 වන දින සිට තමන්ට අසනීප තත්ත්වය නිසා සේවය කළ නොහැකි යැයි කියූ විට පැනඩෝල් පෙති ලබාදී වැඩ කරන මෙන් කළමනාකරුවන් බලකර ඇත. අසනීප හෙයින් නිවාඩු ඉල්ලා සිටි විට හදිසි ඇණවුමක් ඇති නිසා නිවාඩු ලබාදිය නොහැකි යැයි නිවාඩු ලබා දී නැත.

මේ හදිසි ඇණවුම කුමක්ද? සනාථ නොවුණත් දැනට ඇති තොරතුරු අනුව විසාකාපට්නම් බ්‍රැන්ඩික්ස් කම්හලට ලැබුණු ඇමෙරිකානු “ජොකී” සන්නාහක ටී-ෂර්ට් ඇණවුම ඉන්දියාවේ නිෂ්පාදනය කළ නොහැකි වූවත් කෑදරකම නිසා එය මෙරට ඔවුන්ගේ මිනුවන්ගොඩ කම්හලට රැගෙන විත් ඇත. එය කෙසේ හෝ අවසන් කර ගැනීමට තිබූ හදිස්සිය නිසා කිසිම සේවකයකුට අසනීප තත්ත්වයක් නිසා හෝ නිවාඩු දීමට ඔවුහු සූදානම් නොවූහ. සුළු සංඛ්‍යාවකගෙන් පාලනය කර ගත හැකිව තිබූ කෝවිඞ්-19 වසංගතය ඔවුන්ගේ කම්හලේම 1,400 ක් පමණ ආසාදිත වන තෙක් පැතිරෙන්නට හේතුව එය ය.


එය අද මුළු රටම විශාල අර්බුදයකට හසුකර ඇත. පසුගිය මාස කිහිපයේ යාන්තමින් ගොඩ එමින් තිබූ ඇඟලුම් ඇතුළු අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයම බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වයේ හිතුවක්කාරකම නිසා අවුල් වී ඇත. එය අද ඔවුන්ගේ ලාභය පිළිබඳ ප්‍රශ්නයක් නොව, රටේ ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් වාගේම සමාජයේ නිදහස් පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් බවටද පත්ව ඇත.


අවසන් විග්‍රහයේදී මේ ජාවාරම්කාරයින්ට සේවක අයිතිවාසිකම් රිසිසේ උල්ලංඝනය කිරීමට මෙතෙක් පැවති සියලු ආණ්ඩු, කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සහ නාගරික මැද පංතික මතවාදය විසින් ලබා දී තිබූ අවසරය මේ දෙවන කෝවිඞ්-19 රැල්ලට ප්‍රධාන හා මූලික සාධකය සපයා ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ පිළිගත් නිල සේවක වෘත්තීය සමිතියක් තිබුණි නම්, රෝගී සේවක සේවිකාවන්ට පැනඩොල් දී වැඩ ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. අසනීප හෙයින් නිවාඩු ඉල්ලා සිටි සේවක සේවිකාවන්ට නිවාඩු නොදී වැඩ ගැනීමට ඉඩ ලැබෙන්නේ නැත. එමෙන්ම පසුගිය මැයි මාසයේ එවකට සිටි කම්කරු ඇමති දිනේෂ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ ත්‍රෛපාර්ශ්වීය කාර්ය සාධන කමිටුව තීන්දු කළ සේවක නියෝජනයක් සහිත කම්හල් සෞඛ්‍ය කමිටු පිහිටු වන්නේ නැතිව කම්හල විවෘත කිරීමට ඉඩ ලැබෙන්නේද නැත. එම සෞඛ්‍ය කමිටු තිබුණා නම් සෞඛ්‍ය බලධාරීන් පනවා තිබූ සෞඛ්‍යාරක්ෂක පියවර හා මාර්ගෝපදේශ නොපිළිපැද ඉන්නටද ඉඩ ලැබෙන්නේ නැත.

මේ ජාවාරම්කාරයින්ට ඔවුන්ට රිසි සේ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නට ලබාදී තිබූ අවසරය හේතුවෙන් අද සියලු පුරවැසියන් වන්දි ගෙවිය යුතුය. එය එසේ මෙසේ වන්දියක්ද නොවේ. තම ආදායම් හා ජීවන පැවැත්ම සමගින් ගෙවන්නට සිදුව ඇති වන්දියකි. අයිතිවාසිකම් කන්නට දැයි අසන අයට, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉඩදීමෙන් කන්නට පමණක් නොව හිඟා කන්නටවත් අවසරයක් නැති තත්ත්වයකට විශේෂයෙන් දුප්පතුන් පත්වන හැටි තේරුම් ගැනීම දැන් එතරම් අසීරු විය නොහැක. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here