සුනේත්‍රා රාජකරුණානායක

ගෘහස්ත කටයුතුවල වෙහෙස නිවාගන්න හාන්සි පුටුවේ දිගාවෙලා ඉන්නකොට මුහුණු පොත බැලෙනවා. ගේ දොර, වාහන, ගෘහ උපකරණ, ඇඳුම් පැළඳුම්, දේශපාලු ප්‍රතිරූප, පොත්පත්, රූපශ්‍රීයා වර්ධක, කේක් හා රසකැවිලි, ආහාරපාන ආදි මෙකී නොකී සියල්ලෙහිම දිවා රාත්‍රී පොළ තියෙන්නෙත් ඒක අස්සෙනෙ. සමහර භාණ්ඩ හා මතවාදි නිෂ්පාදන ප්‍රවර්ධන දුටුවම ෆිනෙස් ටේලර් බාර්නම් සිහිවෙනවා.


1810 දී උපන් ඇමරිකානුවෙක්ව සිහිවෙන ජාතියේ වානිජමය ප්‍රයෝග 2020 දිත් විශේෂයෙන් සිහි වෙන්න ඍජුවම හේතු වූ කාරණය ඉහත සියල්ලෙන් දෙවර්ගයක් විශේෂයෙන් හේතු වුණා.


පැටිකිරිය ක්‍රමිකව කියන්න කලින් බාර්නම් විසින් දිය කිඳුරියකගේ මමියක් අලෙවි කළ කතාව කිව යුතුයි. 1842 දී ජපානය අවට මුහුදෙ මසුන් අල්ලන්නෙකුට දිය කිඳුරියක් අසුවී තිබෙනවා. අඩි තුනකට වඩා උසින් අඩු, තියුණු උල් දත් හා එල්ලා හැලෙන පියවුරු සහිත මේ දිය කිඳුරිය මිය ගිය නිසා සිරුර මමියක් බවට පත්කොට ඇමරිකානු නාවික කප්පිත්තෙකුට විකුණා තියෙනවා. ඔහු ඒ සඳහා වර්තමාන මුදල් අගය අනුව ඩොලර් 30,000 ක් ගෙවූ නිසා එම මුදල සොයා ගැනීමට මමිය ලන්ඩනයේ ප්‍රදර්ශනය කළා. නමුත් එකල ඉංග්‍රීසි පුවත්පත් ඊට අනුග්‍රහයක් පළ කළේ නැහැ. ඒ දිනවලම සත්ව පුහුණුකරුවකු බුද්ධිමත් ඌරකු ප්‍රදර්ශනය කිරීමට පටන් ගත් නිසා දිය කිඳුරියගෙ අගය අඩුවුණා.

බොස්ටන් නුවර වැසියෙක් දිය කිඳුරියගෙ මමිය මිලදී ගෙන එය බාර්නම්ට අලෙවි කළා. ඔහු නිව්යෝර්කයේ මැන්හැට්න් හී ඇමරිකානු කෞතුකාගාරය මිලදී ගත් අලුතයි. ඉටිරූප, පුළුන් පිර වූ සත්ව රූප ආදිය තිබුණත් මේ මමිය ධන උල්පතක් බව පෙනුණා. ඔහු එය ලබාගත්තේ එය ඔරංහොටං, බැබුන් හා සැමන් වර්ගයක සම් යොදාගෙන මැසූ ව්‍යාජ මමියක් බව නොදැන වෙන්න බැහැනෙ. නමුත් පළමු පියවර වහාම එය ප්‍රදර්ශනය කිරීම නොවෙයි. ඔහු වෙනත් නම්වලින් දකුණු ප්‍රාන්තවල ලිපින යොදමින් නිව්යෝර්ක් පුවත්පතට ලිපි එව්වෙ ආචාර්ය ග්‍රිපින් නැමැත්තකු පිළිබඳවත් සඳහන් කරමින්. පෙර ලන්ඩනයේ ප්‍රදර්ශනය කළ මමියම බාර්නම් ෆීජි දිය කිඳුරියක් බවට පත් කරමින් කතාවක් ගොතන්නට ඇති බව පෙනෙනවා. නැතිනම් එකල ලන්ඩන් පුවත්පත්වල තිබූ දිය කිඳුරියක් හාස්‍යයට ලක් කළ ලිපි දැක එවැන්නක් සාදා ගත්තා විය හැකියි.


දෙවන පියවර බාර්නම්ගේ සගයකු වූ ලෙවී ලේමන් තමන් සතු දිය කිඳුරියගේ ආකෘතියක් නැරඹීමට නිව්යෝර්ක් කතුවරුන්ට ආරාධනා කිරීමයි. ඔහු කතුවරුන්ට දුක් ගැනවිලි කියන්නේ මමිය ප්‍රදර්ශනය කිරීමේ අපේක්ෂාවෙන් ආකෘති නෙළන්නට අවසර දුන්නත් ආචාර්ය ග්‍රිපින් ඊට විරෝධය පාන නිසා දැන් එම ආකෘතිවලින් ඵලක් නැති නිසා කතුවරුන්ට ඒවා නොමිලයේම ගෙන යා හැකි බව කියමින්. ප්‍රතිඵලය එකම දවසේ එම ආකෘතිවල පින්තූර නිව්යොර්ක් පුවත්පත් තුනක පළවීමයි.


බාර්නම්ගේ කෞතුකාගාරයේ දිය කිඳුරි මමියේ ප්‍රදර්ශනය නරඹන්න මිනිසුන් පෝලිම් ගැහුණා. ප්‍රවේශපත් අලෙවිය තෙගුණයකින් ඉහළ ගියා. රට පුරා පුවත්පත්වල දිය කිඳුරිය ගැන පළ වුණා.


බාර්නම් පසුව තම ජීවිත කතාවත් ලිව්වා. 2019 දී රොබර්ට් විල්සන් නැවතත් මේ වංචනිකයාව අලෙවි කරමින් “බාර්නම් ඇන් ඇමරිකන් ලයිෆ්” පොත ලියුවා. විල්සන් කියන විදියට බාර්නම්ගේ මවගේ සීයාත් අලි බොරුකාරයෙක්. ඇමරිකානු සිවිල් යුද්ධයටත් සහභාගි වූ ඔහු හැඳින්වුණේ ෆින් මාමා ලෙසයි. ඔහු කොනෙක්කම් හී බෙතෙල් පෙදෙසින් ඉඩම් රාශියක් මිල දී ගත්තා. පවුලේ අය අපේ චරිතයට කතා කළේ ටේල් කියලයි. අර ෆින් මාමා කියූ සීයා ටේල් ළමයාට අනර්ඝ ගොවිපොළක් මිලදී ගත් බව පැවසුවා. ටේල්ගෙ දෙමාපියනුත්, ලොකු පුතා ඒ පළාතෙ ඉන්න ධනවත්ම ළමයා බව කිව්වා. අවුරුදු 12 ලැබුවාම මේ අගනා දේපළ බලන්න යන්න ලැබුණා. ඒක බඹර ප්‍රහාරවලට ලක්විය හැකි වගුරක් බව ළමයාට වැටහුණා. මේ විශාල බොරුව කොලුවාට විශාල ලැජ්ජාවක් හා වේදනාවක් ගෙන දුන්නා. ෆින් මාමා එවැනි සැලසුම් සහගත මුසාවාද විශේෂඥයෙක් බව ළමයා වටහාගත්තා. පසුකලෙක ඔහු “මාත් ඒ ෆින් මාමාගෙම අනෙකා බව සඳහන් කරන්නට සිදුවීම ගැන කණගාටුයි” යනුවෙන් සඳහන් කළේ තම කතාව ලියනකොටයි.


ඔහුගේ පියා ෆිලෝ 1826 දී මිය ගියේ පවුලට විශාල ණය බරක් ඉතිරි කරමින්. පවුලේ වගකීම කරට ගන්න වුණේ බාර්නම්ටයි. බෙතෙල් නගරයට පිටින් තිබූ වෙළෙඳසලක රැකියාවට ගියා. අවුරුදු දහසයේ කොල්ලා අති දැවැන්ත සුවිශේෂ ලොතරැයියක් ගැන විශාල ප්‍රචාරයක් කළා. එකක් ඩොලර් ශත පනහ බැගින් ලොතරැයි පත් 1000 ක් අලෙවි කරගත්තා. ත්‍යාග ලබා ගන්නට පැමිණි අයට ලැබුණෙ වෙළෙඳසැලේ තිබූ පරණ වී කළු ගැහුණු ටින් හා හිස් බෝතල් ආදියයි. වෙළෙඳසැලත් වහන තැනට වැඩ සිද්ධ වුණා.


තමන්ගේ පළවෙනි ප්‍රාග්ධනය හොයා ගත් මේ කොලුවා කඩයක් දැම්මා ! ද හෙරල්ඞ් ඔෆ් ෆ්‍රීඩම් නම් පුවත්පතකුත් ඇරඹු ඔහු ලොතරැයි පත් අලෙවි කරන එජන්සියකුත් දැම්මා. ඒ කාලයේ ලොතරැයි ව්‍යාපාරය පෞද්ගලික ව්‍යාපාරයක්. කඩය පාඩු වුණා. පත්තරේට නඩු පිට නඩු වැටුණා. බාර්නම් සිරගත වුණා. කොනෙක්ටිකට් ප්‍රාන්ත රජයෙන් 1834 දී ලොතරැයි අලෙවිය තහනම් කරනතුරු ඒක ජයට ගියා. ඔහු හිරෙන් නිදහස් වෙනකොට සංචාරක ප්‍රදර්ශනයක් විකිණිමට ඇති බව ආරංචි වුණා. ඒ ප්‍රදර්ශනයේ ජොයිස් හෙත් නමැති කළු ජාතික කාන්තාවක් හිටියා. ඇගේ වයස අවුරුදු 161 ක් බව කියමින් ජෝර්ජ් වොෂිංටන් රැක බලා ගත් සේවිකාව හැටියට හැඳින්නුවා. බාර්නම් වහාම මේක බලන්න ෆිලඩෙල්පියාවට ගියා. ඇය පෙනීම අහිමි වූ, දත් නැති, අතපය වාරු නැති කෙනකු හැටියටයි ප්‍රදර්ශනයට සහභාගි වුණේ. ඒත් දත් නැති මුවින් ඇය හුරතල් පුංචි ජෝර්ජ් ගැන කතා කළා.


බාර්නම් වහාම ජොයිස්ව මිලදී ගන්න ඉදිරිපත් වුණා. ඇය කෙන්ටකි හී වහල් සේවිකාවක වී හිටි බව කියවුණා. ඇය පෙනිසිල්වේනියාවට සම්බන්ධ වුණේ කොහොමද කියලා ඔහු ලියූ කතාවෙවත් කියවෙන්නෙ නැතිලු.


බාර්නම් තම මුසාවාද හවුල්කාරයා ලෙවී ලේමන්ව ජොයිස්ගෙ භාරකාරයා හැටියට පත් කරනවා. බාර්නම් හා ලෙවී පුවත්පත්වල දැන්වීම් පළ කරන්නෙ කතුවරුන්ගේ අවධානය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙසයි. වොෂිංටන්ගෙ ආයා එතරම් කාලයක් ආයු වැළඳීම විශ්වාස කරන්න බැරි වුණත් මිනිස්සුන් ඒක බලන්න පෙළඹුණා. ඔහු ජොයිස්ට ගෙව්වෙ අතේ තිබුණු ඩොලර් 500 ට තව 500 ක ණයක් අරගෙනයි. ආයෝජිත මුදලත් ලාභයත් ඉක්මණින්ම ලැබුණා. නරඹන්නෝ අඩු වේගන යනකොට ඔහු ජොයිස් හා ලෙවීව වෙනත් ප්‍රදේශවලට යැව්වා.


වහල් සේවයට විරෝධය පෑ ප්‍රාන්තවලදි ලෙවී ලයිමන් ජොයිස්ගේ කතාවට නව කොටස් එකතු කළා. ඇය එසේ ප්‍රදර්ශනය වන්නේ කෙන්ටකී හී සිටින තම දෙමුණුබුරු මිනිබිරියන් වහල් සේවයෙන් නිදහස් කර ගැනීමට බව කිව්වා. ඔවුන්ට මිලදී ගන්නට බැරිවූ බොස්ටන් ඇට්ලස් පුවත්පතේ කතුවරයා පමණක් කළු හෝ සුදු මහළු ස්ත්‍රියක් ප්‍රදර්ශණය කිරීම අපට සිතා ගන්නටත් බැරි නිර්ලජ්ජිත වැඩක් බව ලියුවා.


1836 දී ජොයිස් මළා. ඔහු ඇගේ මළ සිරුර විච්ජේදනය කිරීමෙන් නිසි වයස තීරණය කීරීමේ සංදර්ශනයක් සංවිධානය කළා. ඇමරිකානුවන් 1500 ක් මේ ලැජ්ජා නැති වැඬේ බලන්න ප්‍රවේශ පත් ගත්තා. එම ප්‍රසිද්ධ විච්ඡේදනය සඳහා බ්‍රෝඞ්වේ එළිමහන් රඟහල ලබා ගත්තා. සිරුර කැපූ වෛiවරයා කිව්වෙ ඇගේ අභ්‍යන්තර අවයව අනුව අවුරුදු 80 කට නොවැඩි බවයි. නිව්යෝර්ක් සන් පුවත්පත පහුවෙනිදාම “අනර්ඝ ව්‍යාජය හෙළිවෙයි” කියා එය පළ කළා. නමුත් ලේවී ලයිමන් බාර්නම්ගේ අනුදැනුම ඇතිවම සන් පත්තරයේ තරඟකාර පුවත්පතකට කතාවක් හදාගෙන ගියා. එම මළ සිරුර වෙනත් කෙනකුගේ බවත් ජොයිස් සුවසේ සිටින වගත් එම පුවත්පතේ පළ වුණා. වෙනත් පුවත්පත් මේ කතා දෙකම පළ කළ නිසා බාර්නම්ට අවශ්‍ය වු අවධානය ලැබුණා.


එයින් වසර කීපයකට පසුව ඔහුට අඩි දෙකක්ම උස යාමෙන් පසු වැඩීම නතර වූ සිව් හැවිරිදි චාර්ල්ස් ස්ට්‍රැටන් හමු වුණා. ශාරීරික වැඩීම නතර වුවත් ඔහුගේ කල්පනාව සහ සියලු අවයව හොඳින් ක්‍රියාත්මක වුණා. චාර්ල්ස්ගේ දෙමාපියන් හා එකඟතාවකට පැමිණි බාර්නම් මේ ළමයා ගැන ප්‍රචාරය කළේ එකළොස් හැවිරිදි ටොමි තම්බි ලෙසයි. ඊට ජෙනරාල් කෑල්ලක් ද එකතුකොට පුහුණු කරනවිට මේ දරුවා එවැනි සංදර්ශන සඳහාම උපන් එකකු බව පෙනුණා. ඇමරිකානු කෞතුකාගාරයේ සංදර්ශණයට පෙර පෝලීම් ගැසී සිටින සෙනඟ අතරට බාර්නම් ගියේ වැඩි ගැඹුරකින් යුත් සාක්කුවක් සහිත කබායක් ඇඳගෙනයි. ටොමි තම්බි ඉන් එළියට පනින්නේ මිනිසුන් ඔහු ගැන විමසන විටයි.


ටොමි තම්බි රට පුරා යැවීමෙන් ලක්ෂ පහකට වැඩි පිරිසකට ප්‍රදර්ශනය වුණා. ළමයා එංගලන්තයට ගෙන ගොස් වික්ටෝරියා රැජින හමුවටද අවස්ථාවක් ලබා ගත්තා. ළමයාට නැපෝලියන් ලෙස රඟපාන්නටද පුහුණු කළේ ගම්බද මාලිගයක දී ලුයී රජු වෙනුවෙන් පෞද්ගලික සංදර්ශනයක් පැවැත්වීමටයි.


තෙවසරක්ම යුරෝපයේ සිටි ඔවුන් අති විශාල ධනයක් උපයාගෙන ඇමරිකාවට ආවේ 1847 දී යි. බාර්නම් ස්විඩන් ඔපෙරා ගායිකා ජෙනී ලින්ඞ් ද සංදර්ශන කණ්ඩායමට ඈඳා ගන්නට සමත් වුණා. ඇමරිකානු කෞතුකාගාරය විශාල කරන්නටද මුදල් ලැබුණා. තම නමින්ම සංචාරක කෞතුකාගාරයක් හා සංදර්ශනයක් ඇරඹූ ඔහුට ඒ සඳහා ගිනි නිවන උපකරණයක් ද නිර්මාණය කර ගත්තා. විශාල ඉඩම් මිලදී ගෙන කට්ටි කළ ඔහු ඒවා මිල දී ගන්නා අයට ණය දෙන මුල්‍ය ත්‍යාගයත් ඇරඹුවා.


බාලවියේ සිට දැන සිටි චැටිර් නම් තරුණිය හා විවාහ වෙනකොට බාර්නම් විසි හැවිරිදි වියට එළඹිලාත් නැහැ. චැරිට් දියණියන් තිදෙනෙක් බිහි කළා. බාර්නම් දරු පවුලට විශාල මන්දීරයක් ගොඩ නැගුවේ ටජ්මහල් හා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ආකෘති මිශ්‍ර කරමින්. ඒ නිවස ඉරානිස්ථාන් හැටියට නම් කරන්නට හේතු වුණේ ඔහුට ඉරාන හා මෝගල් ගෘහ නිර්මාණය ගැන කිසියම් උනන්දුවක් තිබූ නිසා වන්නත් ඇති.


ඉලස්ටේ්‍රටඞ් නිව්ස් නමැති පුවත්පතකුත් ඇරඹු ඔහු තම වත්කම් චැරිටිටත් වෙනත් සමීප සගයන්ටත් පැවරුවා. ඉන් පසුව මුල්‍යාතනයේ පොරොන්දු පත්‍ර අගරු වෙන්න ගත්තා. ඔහු බංකොලොත් වූ බව ප්‍රකාශ කළා.


දිගු කලක සිට මේ වංචනිකයා හෙළිදරව් කරමින් සිටි නිව්යෝර්ක් හෙරල්ඞ් පුවත්පත “අවසානයේ දෙවියන් වැඩ සිටින බව පෙනුණා” යි ප්‍රකාශ කළා. නමුත් බාර්නම්ට අනුකම්පා කරන්නොත් හිටියා. බංකොලොත්කාරයා මුදල් උපයා ගන්නේ කෙසේද කියා දේශණ පවත්වන්නට ගත්තා. ඒ දේශණ චාරිකාවට ෆීජි දිය කිඳුරියගේ මමියත් ගෙනිච්චා. ඇමරිකානු කෞතුකාගාරය භර්යාව චැරිටිට හා මිතුරන්ට බදු දුන් බව හිතවතුන්ට කිව්වා. ඔහු ළඟ මුදල් තැන්පත් කළ අයට කියන්නට වෙනත් කතාන්දර තිබුණා. පොරොන්දු පත්‍රවල තිබූ සෑම ඩොලරයක් වෙනුවෙන්ම සත 20 ට අඩුවෙන් ගෙවන බවට පොරොන්දු වුණා.


දකුණු ප්‍රාන්තයකදී වහලුන් තිදෙනකු මිලදී ගත් ඔහු උතුරට එන්නට පෙර ඔවුන් විකුණා දැමුවා. 1855 වන විට වහල් සේවයට විරෝධය ප්‍රකාශ කළා. ඩෙමොක්‍රැටික් පක්ෂයේ සිට රිපබ්ලිකන් පක්ෂයට මාරු වුණා. ඔහුගේ කතාව මුදල් කළ රොබර්ට් විල්සන් තියන්නේ බාර්නම් ක්‍රමයෙන් යහපත් හා විනෝදකාමි මිනිසකු වූ බවයි. නමුත් ඔහු දිගින් දිගටම ශාරීරිකව නොවැඩුණු මිනිසුන්, සමේ වර්ණය වෙනස් වූවන් ගෙන ආවේ ඔවුන්ගේ උපන් ස්ථානය පවා වෙනස් කරමින්. තම කෞතුකාගාරයේ සංදර්ශන සඳහා වැඩි ආකර්ශණයක් ගන්නයි. ඩෙන්මාර්කයෙන් ගෙනා අසාමාන්‍ය වර්ණදේහ ප්‍රශ්නයක් තිබූ පවුලක් මැඩගස්කරයෙන් ගෙනා සුදු නීග්‍රෝවරු ලෙස ප්‍රදර්ශනය කළ බව කොල්බර්ට් නම් ජනමාධ්‍යවේදිනිය සඳහන් කොට තිබෙනවා.


ඔහු 63 හැවිරිදි වියේදී යුරෝපයේ සිටින විට චැරිටි මිය ගියත් ඔහු ආපසු පැමිණියේ තෙමසක් ලන්ඩනයේ ගතකොටයි. 23 න් හැවිරිදි නැන්සි ෆිෂ් නමැති පෙම්වතියක් සොයා ගත් ඔහු ඇය ඇමරිකාවට ගෙනවුයේ 6 මාසයකට පසුව දෙවන විවාහ මංගල්‍යයක් පැවැත්වීමටයි. ඔහු කොනෙක්ටිකට් හී රාජ්‍ය සභාවට තරඟකොට ජය ලැබුවා !
මේ වර්ගයේ චරිත අපේ රටෙත් අසල්වැසි ඉන්දියාවෙත් බටහිර රටවලත් තවමත් ඉන්නවා. ඔවුන් සංදර්ශන චාරිකා නොකළත් බාර්නම් වර්ගයේ අලෙවි උපක්‍රමවලටත්, ජනමාධ්‍යවේදීන් පවා මිලට ගැනීමටත් අති දක්ෂයි. බාර්තමියානු නැමියාවෙන් වාසි ගන්න හිතන උදවිය ප්‍රතික්ෂේප කරනු වෙනුවට ඔවුන්ගෙන් වාසි ගන්න හිතන උදවිය වැඩියි.