ටිරන් කුමාර බංගගමආරච්චි

ලංකාවේ ඕනෑම සිද්ධියකට පවතිනුයේ කෙටි ආයුෂය. සිද්ධියක් තව සිද්ධියක් විසින් ගිල ගන්නට ගතවන්නා වූ නිමේෂය රට කළඹා මනස විකල් කරන්නට ඕනෑතරම් කල්ය. එහෙත් එය තව සිද්ධියක් උපද්දන තෙක් පමණි.


ඉන්පසු ඉහත සිද්ධිය නටබුන්ය.


අපි නටබුන් මතින් නැගිටින ජාතියක් නොව නටබුන් පවා භක්ෂණය කරන ජාතියකි. අපූරු මිනිස් කොට්ඨාසයකි.


පසුගිය කෙටි කාලයේ දීර්ඝ කතාබහ බාල වයස්කාර දැරියක් අතින් අත ගිය පුවතය. මෙම පුවතට ඉහළ වටිනාකම් ලැබුණේ සමාජ මාධ්‍ය හරහාය. සමාජ මාධ්‍ය හරහා ඇවිළුණු පුවත සමස්ත සමාජයේම අවධානය දිනා ගත්හ.


එයින් සිද්ධියේ හරි වැරැද්දට වඩා කතාබහ වූයේ එම දැරිය සමග ඇඳුණු නම් දැනගැනීමේ පිපාසාවය. එයට හේතුව රටේ ජනප්‍රිය පුද්ගල නාම ඒ වටා ගෙතීමය.


ඉහළ ක්ෂේත්‍ර හැම එකකම පාහේ සිටින පුද්ගල නාම ඊට ඈඳුණෝය.
ගිහි මෙන්ම පැවිදි නම්ද ඒ ඒ අතර විය. මේ නම් ගම් ප්‍රසිද්ධ කිරීම සමාජ මාධ්‍ය හරි හරියට කළෝය. තමන්ට රිද්දන්න ඕනෑ පුද්ගලයකුගේ නමක් ඇත්නම් එය දැමීම මෙන්ම තම මාධ්‍ය ඉඩට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට ජනප්‍රිය අයගේ නම් යොදා ගැනීමද මේ අතර වූහ. කෙසේ වෙතත් ඒ නම් ඇත්ත ඒවාට වඩා බොරු මැවුම් කාරක වූහ. ඒ අනුව අදාළ සිද්ධිය අතේ පැළවෙන ගාණට විය.


මෙහි ඇති අපූරුව නම් මෙවැනි දෙයකට නම ඈඳීම සමාජ අපවාදයක් වනු වෙනුවට ඊට ඈඳුණු පුද්ගලයන්ම සමරන ගතියක් පෙන්නුම් කිරීමය. වීරකමක් කළ බවට හැසිරීමය.


ඇතැම් නාමධාරීන්ගේ නම් දුටු ඔහුගේ මිතුරන් ලියූ සටහන්වල තිබුණේ “මගේ මිතුරා මෙයට සම්බන්ධ නැති බව ස්ථිරය. මන්ද ඔහුට එවැනි හපන්කමක් කළ නොහැකිය” පන්නයේ ප්‍රතිචාරය.

මෙය වූ කලී සමාජය ගැන වෙනම හිතන්නට දොරගුළු විවර කර ඇත. කොතරම් චින්තනය විවෘත වී ඇත්ද?


දෙවැනි කතාව


ඒ සිද්ධිය එකවරම නිවා දැමූ වතුර බාල්දිය වූයේ තවත් ගින්නකි. ඒ හිටපු අමාත්‍යවරයෙක් වූ රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකම් කළ දැරියක් මිය යෑමය. ඇය මියගියේ ගින්නෙන්ය. එය ඇයම තබා ගත්තක්ද? ගිනි තැබූවක්ද යන්න නොවිසඳුණු ප්‍රහේළිකාවක්ය. එය විසඳා ඇත්ත නැත්ත හෙළිදරව් වේ යැයි සිතීමටද නොහැකිය. මේ සියල්ල ඉක්මනින් මතුවී ඉක්මනින්ම අතුරුදහන් වන බැවිනි.


තාජුඩීන් ඝාතනය වැළලී යන බව එකල කියූ කල, බොහෝ අය තර්ක කළේ එය කිසිසේත්ම නොවන බවය. එහෙත් ඒ බොහෝ අයට ඒ ගැන මතකවත් නැත. ඒ අයම අද වෙනම පේවී විත් මේ සිද්ධීන්වලට අලුත් අර්ථකථන සපයති.


බදියුදීන් යනු මෑතකාලීන දේශපාලනයේ මුවහමයි. යහපාලන කාලයේ විල්පත්තුව විනාශ කළේ යැයි ඔහුට චෝදනා කළේය. මේ ආණ්ඩුව මගින් ඔහුට නැවත ගස් වවන තැනට නීතිමය පසුබිමක් හැදුවේය. ඒ කුමක් වුවත් බදියුදීන් විල්පත්තුව විනාශ කළාද නැද්ද යන්න අදටත් සිතා ගැනීමට නොහැකි අපබ්‍රංශයකි.


කට්ටියක් බදුයුදීන් කැලේ කපන්නේ යැයි කී කල තවත් පිරිසක් කීවේ ඔහු එසේ නොකරන බවය. ඒ ගැන පොත් පවා ලියැවිණි. අවසානයේ කැමති කෝවට දමා බදියුදීන් ගැන සිතිය හැකිවිය.


අදත් එසේමය. පිරිසක් බදියුදීන්ගේ නිවසේ තරුණිය ගින්නෙන් මියගිය පසු එය අපූරු පුවතක් බවට පෙරළා ගත්හ. එය මුස්ලිම් නිසා යැයි තව අය තර්ක කළහ.


මියගිය තරුණියට කලක පටන් ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇතැයි යන්න අධිකරණ වෛiවරයා නිගමනය කිරීමත් සමග එම සිද්ධිය තලු මැරිය හැකි රස බොජුනක් බවට මාධ්‍ය පෙරළා ගත්හ. මෙය පළමු පුවතට වඩා සුවිශේෂී වූයේ මෙය ප්‍රධාන මාධ්‍ය ධාරාව කර තබා ගත් පුවතක් වීමය. සමාජ මාධ්‍ය තුළ සිදුවූයේ ප්‍රධාන ධාරාවේ කතිකාව පෝෂණය කිරීමය.


අලුතින් නිර්මාණය වූ ප්‍රශ්නය මෙම ලිංගික ක්‍රියාවලිය සිදුවූයේ කාගේ අතින්ද යන්නය. ඒ බදියුදීන්ද ඔහුගේ පියාද? බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයාද? ඒ පවුලට ගෑවුණු වෙනත් අයකු විසින්ද යන්නය. ඒ සෙවිල්ල හරි හරියට දැන් සිදුවේ. නැවත සිරුර ගොඩ ගෙන පරීක්ෂණ පැවැත්වේ. මේ පිළිබඳ නම් දරා ඇති කාන්තා පොලිස් චරිතයක් වැඩේ අතට ගෙන ඇතැයි මාධ්‍ය වෙනම ඇයව පුම්බමින් සිටී.


මේ අය මෙවන් රාජකාරි කරනුයේ අද ඊයේ නොවේ. සිද්ධීන් හරහා මේ අය කරළියට එනවා තබා සිද්ධි නොවන්නට වගබලා ගන්නා යාන්ත්‍රණයක් තවම නැත. පන්සල්වල කුඩා සාමණේරයන් ලොකු හාමුදුරුවන්ගේ ලිංගික අඩන්තේට්ටම්වලට හසුවෙති. එහෙත් එහි කෙළවරක් නැත. මෙහෙකාරියන් හාම්පුත්තු අතින් දූෂණය වෙති. අවසානයක් නැත. වසරින් වසර පොලිස් දත්ත රෙකෝඩ් තියනමුත් පිළියමක් නැත. සිද්ධියක් අතරතුර එන හා හූව ඉක්මනින් යටපත් වනුයේ තවත් සිද්ධියකිනි. හැම මොහොතටම, කාලයටම කතා නිර්මාණය කර ගැනීම මාධ්‍ය මෙහෙවර වී ඇත.


බදියුදීන් දේශපාලනිකව අතුගා දැමීම සිංහල දේශපාලකයන්ට වඩා මුස්ලිම් දේශපාලකයන්ට අවැසිය. ඒ ඉන්පසු සිංහල දේශපාලකයන් ළඟ කේවල් වීම සියතට ගත හැකි බැවිනි.
එයින් අදහස් වන්නේ මේ අය අහිංසකයන් කියා නොවේ. නිවසක මෙහෙකාර අයෙකු ගිනි ගැනීම බරපතළ කරුණකි. ඒ අය මෙහෙකාර අයෙක් කියා ජීවිත වටිනාකම සිල්ලර කළ නොහැකිය. මේ සිදුවෙමින් පවතිනුයේ එයය. මෙහෙකාරියක නම් ඇය ගෙදර දොර වැඩ කළ යුතු සේම බේබිගේ වැඩද අවශ්‍ය වේලාවේදී හාම්පුතාගේ ඕනෑඑපාකම් වලට ඉඩදිය යුතු කියා දෙයක් වේද? දැනට නිර්මාණය වී ඇත්තේ එවන් වටපිටාවකි. ලිංගික එක්වීම් ඉන් පරිබාහිර සිදුවිය හැකිය. එහිදී ඒ සියල්ලත් ගේ හිමියන් භාරගත යුතු කියා එකක් නැත. එහෙත් මේ තරුණියගේ මරණය සිදුවූ ආකාරය සොයා බැලීම වටී. එයට හේතුව ඒ හරහා ඇයට සාධාරණයක් වීමට වඩා මෙවැනි සිද්ධියක් තව තැනක නොවන්නට හේතුවිය හැකිවීමය.


සිද්ධි අනාවරණය කිරීමෙන් සාධාරණයක් බලාපොරොත්තු විය හැක්කේම තවත් සිද්ධි නොවන්නට වග බලා ගන්නටය. එහෙත් එය ඉටුවන්නේ එය ලිහා ගන්නා විදිහ අනුවය. බදියුදීන්ට හෝ ඔහුගේ පවුලේ කවුරු හෝ මේ සිද්ධියේ සාධකයක් නම් එයට දඬුවම් ලැබිය යුතුමය. එහෙත් බදියුදීන් මීට සම්බන්ධ නැත්නම් පවුලේ කාගේ වුව වැරදි ඔහු පිට පැටවීම වැරදිය.


මේ සිද්ධි නැවැත්වීමට කළ හැකි දේ අවමය. මෙහෙකරුවා යන ලේබලයම තවමත් වහල් අරුතක් ගන්නා බැවිනි. නීතිරීති ඇති හාම්පුතා – කම්කරුවා අතර ඇති ප්‍රශ්න විසඳා ගන්නට තවමත් කම්කරුවා අසමත්ය. එවන් වටාපිටාවක තාප්ප වට කළ හාම්පුතකුගේ නිවසක කොටුවන මෙහෙකාරිය වැඩකාරිය දෙස මානුෂිකව බැලීම තව කල්ප කාලයකට ඉටු නොවනු ඇත.


මීට පෙරත් මේ නිවසේ මෙසේ විය කියමින් හිටපු අය ගෙනවිත් කතාව හැඩ කිරීම හරහා මියගිය අයට වන සාධාරණයක් නැත. එය හරියට සාෆිගේ වඳ අම්මලාගේ රස කතා මෙන්ය.
කෙසේ වෙතත් මෙයටත් ඇත්තේ කෙටි ආයුෂය. විමල් වීරවංශගේ නිවසේ තරුණයෙක් මියගිය පසු විවිධ කතා විය. එහෙත් ඒවා කතාම විය. එයින් එහි කිසිවක් නැතැයි අරුත් නොමැවේ.
මෙහි වුවත් හෙට දවසේ මේ සියල්ල යට යනු ඇත. ගොඩ ගත් සිරුරු ගැන මහා ඉහළින් කතා කළාට ඒවා නැවත වැළලෙනුයේ වැඩි සද්ද බද්ද නැතිවය.


ප්‍රශ්නත් එබඳුය. ගොඩ ගන්න ගැම්ම නැවත වැළලෙන විට නැත. මන්ද එවිට ඒවා පිළුණුය. ඊට වඩා රසකතා ගොඩ ගැසෙමින් තිබෙනු ඇත. මේවාට රස කතා කීම ගැන අවුලක් සිතිය යුතු නැත. මීඩියා තුළ දිග හැරෙන සියලු කතා රස කතාය. ඒවා පණ ඇති කතා කරන්නෙත් වඳ කතා කරන්නෙත් මාධ්‍ය විසිනි. මේ දෙපැත්තම කරනුයේ තම පිරිසට අවැසි රස සැපයීමය.


ඕනෑම සිද්ධියකට විවිධ අර්ථකථන ඇත. හේතු තිබිය හැක්කේ ටිකකි. ඒ හේතු ටික අර්ථකථනවලින් විකෘති කර ඇත. එබැවින් දෙයක් සීරුවට තෝරා ගැනීම අන්තිම අසීරු වී ඇත.■