මංජුල ගජනායක

නර්තනය සදාකාලිකව මිනිසා ආශ්වාදයට හා විශ්මයට පත්කරන්නේය. එය සියවසෙන් සියවස මෘදුව විකසිතව,  මිනිස් ආත්මයේ රිද්මය හා පැහැය කැටිකරගත් විශ්මයක් ව  ඇත්තේය. ශෝභන නර්තනය දරාගත් සුකොමල රිද්මය  ඔබට පියාපතක සැහැල්ලුවත්, හිම කිරමක සිසිලසත් එක්  කරන්නේය. නෘත්‍ය හා නෘත්‍යවේදය දේව අශිර්වාදයේ පණිවුඩය රැගත් ශිෂ්ඨාචාරයේ  චලනයයි. චාල්ස් බෝද්ලර් (Charles Baudelaire) පැවසු ලෙසම නර්තනය අත්පා දෙක එකතු කොට ගයන පැදියකි. සැබවින්ම සොඳුරු කවකි. ඒ සා  සොඳුරු නර්තනය දරාගත් නෘත්‍යවේදිනිය දේව දුතිකාවක් ව මිනිසත් බව එකළු කොට ඉනිඳු නොනැවතී  මානව වර්ගයා ප්‍රමුදිත කරන්නීය.

එනයින් බැලූකල ඌෂා සිහින අත්හල කවර මිනිස් ආත්මයක් වුව ජීවයෙන් පුරවාලන දුලබ හැකියා පුංජයක් දරාගත් අනුහස් කතකි. දිවරෑ දෙක්හි දුටු සියළු සිහින හඹා ගොස් සුවපත් ආත්මයක ශාන්තිය අත්පත්කරගත් ගැහැණියකි. ඒ හැමට ඔබ්බෙන් ඇය ශ්‍රී ලංකා මාතාව බිහිකළ අසිරිමත් හා විශ්මිත බැලේ  ඇදුරුවරියයි. ඇය නමින් ඌෂා සරවනමුත්තුය. ඇයගේ අභිනේතෘ චරිතය ස්මරණයට උචිතය. සැමරුමට සුදුසුය.

පරසිඳු සාහිත්‍යධර අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලයන් වරෙක රචිත ගීයක පදපේලි මඟින් කියන්නේ  ”ලෝකෙන් උතුම් රට ලංකාවයි – ලංකාවයි ශ්‍රී ලංකාවයි – අප නිජ භූමිය ලංකාවයි” යනුය. එහි ඔහු අප දේශයේ ස්වභාවික පරිසරයේ අත්‍යාලංකාරවත් බව පිලිබඳ අසීමිත මමායනයෙන් පද ගලපන බව සැබවි. එනමුත් අප අදහස නම් ඊරිගොල්ල මැතිඳුන් නොලීවා වුව මේ කුඩා කොදෙව්ව සාරවත්ව ඇත්තේ පසට ලු දණ්ඩ එකෙනෙහිම දළුලා වැඩෙන ගුණය හෝ එකපෙළට ගලන සීතල දියකදුරු නංවන සිලිලාරවත් අසිරිය නිසා ම නොවන්නේ යනුයි. සැබවින්ම ඒ මනහර සොබාදහම හා අපරිමිත හැකියා දරාගත් ශ්‍රී ලාංකිකයන්ගේ වර්ණවත් හැකියාව යන ද්විත්වයේ සම නියෝජනයයි. ඌෂා සරවනමුත්තු, කවුද? මොනවද කළේ යනු විමසීම අයිවර් ජෙනිසුන් හරබරව උපකල්පිත අනාගත සංස්කෘතික කාන්තාරයක් වෙත හැල්මේ දුවන ලාංකීය අපට සැනසිල්ලක් විය හැකි කථිකාවකි.  

ඌෂා සරවනමුත්තු යනු  මෙරටේ ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනූ අල්පතර නෘත්‍යවේදිනයන් අතර අග්‍රස්ථානයට පත් බැලේ ඇදුරුවරියකි. ඉංග්‍රීසි වේදිකාවට බැලේ නාට්‍යයේ රස නුසුන් කොට දුන් ඇය ලොව අන් කවර හෝ නර්තනාචාර්යවරියක් හට අත්පත්කරගත නොහෙන දහසක් සිසු මානවක මානවිකාවන්ගේ අග්‍රතර ස්නේහපාශයට පත් අනම්‍ය ගැහැණියකි.

ඇයගේ එකී මාහැඟි සම්මාදමේ තතු විත්ති සැකෙවින් කිම? ලුසියා සෙනෙවිරත්න ඩි ලිවේරා නම් වූ ආදරණිය මිත්තනියගේ සහයෙන් හා නිසිකල, නිසි ශාස්ත්‍රීය පරිචයෙන් සපිරි ඇදුරු කැලකගේ අතපෙවීමෙන් විධිමත් හා අවිධිමත් අධ්‍යාපනයේ ඇසුපිරූ පරිපාකයට පත් ඈ, තම ජීවන වෘත්තියද, දිවිමඟ ලාලසාවද කොටගත් මාහැඟි වත්කම කරගත්තේ බැලේ නර්තනයයි.

වසර 88 ක ඇයගේ සම්මානිත දිවිමඟ සැරසු අබරණ රැසකි. එහි එක් අග්‍රෙශ්වර කඩඉමක් නම් ඇය කලාශුරී පදවියෙන් පිදීමයි. එකල මෙන්ම මෙකලද සම්මාන ගන්නවුන් නොව දෙන්නවුන් පවා අක්‍රෝෂ පරිභවයට ලක්වන පසුබිමක තමන් ලත් කලාශුරි ගෞරවය අභිබවන සම්මාදමක් ඇය මෙරටේ බැලේ රංගයේ අභිවර්ධනය උදෙසා  කල බව අගති විරහිතව දැක්විය යුත්තේය. රටක් ඉහළට එසැවීමට බයිනෙත්තු රැඳි ගිනි අවි ම ලෙහි දැරිය යුත්තේ නොවේ. දේශප්‍රේමය යනු දේශපාලන වේදිකා මත්තේ හලන හිස් ප්‍රලාප ද නොවේ. දේශප්‍රේමය යනු නිසැකවම රටක සාමූහික විඤ්ඤානය තම හැකියා මාත්‍රයෙන් සලිත කිරීමයි. ඌෂා සරවනමුත්තු එවන් විශ්මිත හැකියාවෙන් ලක් මෑණියන් සැරසුවාය.

ඊට දියහැකි කදිම සාක්ෂිය නම් ඇයගේ සිසු පරපුර කලින්කල ප්‍රදර්ශිත නේත්‍රාභිරංජන මහජන දර්ශණ පෙළයි. වසර 1960 ‘An Ode To Youth’ ලෙසින් ඇරඹි එකී රංග පෙළෙහි අවසානය  සටහන් වූයේ වසර 2005 ප්‍රදර්ශිත ‘Les histoires d’enfance” ය. එදාමෙදා තුර එලෙස ජනගත මහජන, පාසල් රංග ගණන, ගණනින් විශාලය. එනම් 28 කි. එනමුත් ඇයගේ නර්තන ඇදුරු චාරිකාවේ හැරුබස්ස එකී මහජන දර්ශණ වාර ප්‍රමාණයම නොවේ. ඇය බැලේ රංගය තුළට කාවැද්දූ අරුමැසි නිර්මාණාවේශය හා දහසක් ළමා පරපුරක් වෙත තිලිණ කළ බැලේ රංගයේ රිද්මයයි.

කවර දර්ශණයක් හෝ වේවා, එය රංගගත වනුයේ ඇයගේ අංග රචනයෙන් හා නිෂ්පාදනයෙන් නම් අදාළ දර්ශනවාරය ඇරඹීමට නිමේශයකට පෙර ඇසෙන ජාතික ගීය අවසන් වන තෙක් දණ බිම ඔබා සමාධියට පත්ව සිට තිරය විවර කිරීම මේ අදුරුවරිය නොවරදවා සිදුකල යහභිචාරයක් බව ඇසින් දුටු ඇත්තෝ දැක්වූ සටහන් ද එමටය. ඇය ‘Marjorie Sample’s  School of Ballet” වෙත ප්‍රවේශව ඇත්තේ වසර 1938 දී පමණය. එතැනින් ඇය ලත් නිර්මාණාවේශයේ අවසන් ශේෂ පත්‍රය වූයේ ලක්දිව සුපතළ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය හා බිෂොප් විද්‍යාලය ප්‍රමුඛ අගනුවර බහුතරයක් පරසිදු පාසැල්හි බැලේ ඇදුරුවරිය ව  එකී ලලිතකලා අංගය කෙරෙහි ආශක්ත ගණනින් ගිනිය නොහැකි සිසු කැලක් තැනීමයි. එසේ වුව ඇයගේ විශිෂ්ඨතම සම්මාදම එය නොවේ. අගනුවර ස්ථාපිත බැලේ සිප්හලයි. එය ඉංග්‍රීසි සමාජය තුළ වැඩිමනත් සුපතළ වූයේ ‘Oosha Garten of Ballet” නමිනි. ඉන් උගත්තෝ, උගත්තේ බැලේ ම නොව ජිවිතය ද බව එලෙස උගෙන පසුකාලීනව සමාජගත දැනුමැත්තෝ හා වෘත්තිකයෝ දක්වන අදහස් උදහස් මතින් කියැවිය හැකිය.

ඇයගේ ලලිතකලා සම්මාදමෙහි නිරූපිත වෙනත් වෙසෙස් මානයක්ද ඇත්තේය. එනම් ඇය පෑ රඟ පෙළහර හා සමගාමී කාල වකවානුවයි. යමෙක් නිවීසැනසිල්ලේ එකී තතු විමසත් නම් පැහැදිළි වනුයේ ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ  යටත් විජිත සමයේ එනම් විධායක කාරක සභා ක්‍රමය මෙරටේ ස්ථාපිත කාල වකවානුවේ බවත්, අවසන් වරට සක්‍රීයව බැලේ රංගයේ නිරතව සිසුන් වෙත මඟ පෙන්වා ඇත්තේ ”මහින්ද චින්තන දැක්ම” කාල සමයේ බවත්ය. එකී කාල සමය අතරතුර මෙරටේ හමාගිය සමාජ, ආර්ථික හා දේශපාලන රැළි හා කුණාටු  කෙතරම්ද? ඩොමීනියන් නිදහස ලත් රටවැසියා හට සිංහල බස පමණක් වූ රාජ්‍ය භාෂා  පනත ද, අනතුරුව දශක එකහමාරක් ගෙවුණු තැන ජනරජයක් වීමද එකී කඩඉම් අතර සමහරක්ය. දේශජ සම්පත් ඇගැයු එකී යුගය විජයග්‍රාහී ජයවර්ධන යුගයෙන් අවසන්ව විවුර්ත ආර්ථිකයක් වෙත යොමුව පසුකාලීනව ”මහින්ද චින්තනය” ඔස්සේ ”ගෝඨාභය සෞභාග්‍යයේ දැක්ම” තෙක්ම පැමිණ ඇත්තේය. එකී සමයේද එක් ජූලි මසක් කළුම කළු විය. මේ සෑම සමාජ විපර්යාසයක් හමුවේ ඒකායන සිතින් තම කලාවේ ප්‍රගමණය ම සොයමින් දේශපාලන අගුපිල්වල නොලැග සිටීමට නම් නොනැසෙන ආත්ම ශක්තියක් හා ලාභාපේක්ෂා විරහිත දැමුණු හිතක් අවැසිය. එවැන්නක් අහලක හෝ නොපැවති මාලනී ෆොන්සේකා හා රෝහණ බැද්දගේ වැන්නන් තම සමස්ත කලා දිවිය බංකළොත් දේශපාලන බිමක ආයෝජනය කරද්දී, ඌෂා සරවනමුත්තු වැනි ගැහැණියක් නොනැසී කලාව මත්තේ නැහුණු අපූරුව වෙනම ම විමසිය යුතු සංස්කෘතික වටිනාකමකි. හරයාත්මක සංස්කෘතික ලක්‍ෂණයකි.

එවන් දේශපාලන කඳවුරු මත්තේ දැවටී රට්ටුන් හමුවේ හාස්‍යයට ලක් නොවුණද ඇය දේශජ සමාජ සංසිද්ධීන් හමුවේ සංවේදිව නිමැවූ කලා නිමැවුම් බොහොමයකි.  ඇයම නොයෙක් වර රාවප්‍රතිරාව නංවා ඇතිසේම ඇයගේ මුළු කලා දිවිය ම ශ්‍රී ලාංකිකත්වය ඔප්නංවන එකකි. ඇයගේම වදනින් එය  “Completely made in Sri Lanka” ය. එනමුත් ඇය ලෝක ප්‍රවණතා හමුවේ ආභාෂය නොලබන්නට තරම් කොදෙව් මානසිකත්වයේ ගිළුණු ආචාර්යවරියක් ද නොවූවාය. ඇය, ඇයගේ අමිල මිණි වන් නිර්මාණ දාමයෙහිලා ආභාෂිත ශ්‍රී ලාංකේය කලා, සාහිත්‍යමය හා සමාජ සංසිද්ධීන් අතර සූර සරදියෙල් පුවත, සාලිය අසෝකමාලා සිද්ධිය, රාමසීතා කතා පුවත මෙන්ම විජය -කුවේණි අන්දරයද විය.

ඇයගේ සැබෑ දේශජ නිර්මාණ ශෛලිය විශධ කළ අපූර්වතම කලා නිර්මාණයක් වූයේ ”Drums’ ය. රවිබන්දු නම් දුලබ බෙර වාදකයා නග්න දෙපා මත්තේ සිට වයන බෙර පද තාලයට, උස් පාවහන් පැළඳි භද්‍ර යෞවන යෞවනයන් පිරිසක් ස්වේත පැහැ සකුණ රෑනක් සේ මඳින්මඳ ඉපිල අහසට නැඟෙන චමත්කාරජනක දසුන ඔබට මවා ගත හැකිද? ඒ ඌශා ට  පමණක්ම පෑ හැකි ප්‍රාතිහාර්යයකි. එහෙව් ඇය කවරතරම් ලෝකයට විවර වු තැනැත්තියක් දැයි වැටහෙන්නේ ඇයගේ සිප් හලෙහි ප්‍රමුඛ අංග රචකයෙක් හා ඇයගේම සිසුවෙක් වූ සේනක ද සිල්වාට සවන් දීමෙනි.  She is ”a brilliant jazz choreographer”. ඇය තම නර්තන වින්‍යාස උදෙසා ජෑස් සංගීතමය නාද යොදාගත් සූර විලාසය සේනකගේ වදන් කිහිපයේ මොනවට ගැබ්ව ඇත.

ඇයගේ භාග්‍යවත් දිවිය සැකෙවින් දැක්විය නොහේ. එහෙත් අප හමාර කිය යුතුමය. ඇය අහිමිව වසරක් ගෙවුණේ වුවද ඇයගේ ප්‍රමාණිකත්වය ඇගයීමේ සාරවත් උත්සහයක් කවුරුන් හෝ දැරිය යුතුව ඇත. එවිට වත්මන් දරුකැළ, පරපුරක් සැනසූ මේ ගරුකටයුතු  මහිලාවගේ අගය වටහාගනු නිසැකය. එපමණකින් සමාප්ත කෙරුමට සිත් නොදෙන ඇයගේ වෙනත් චරිතාංගයක් පිළිබඳව ද නොලියා සිටීම නොනිසිය. එනම් ඇය, ඇය විසින්ම සිඳබිඳ දැමූ සීමාමායිම් හා වැට කඩොළුය. තමන්ට රිසි මිනිසෙක්  වෙත ආදරය පුදන්නටත්, ඈට නොරිසි කල ඉන් ඈත්ව අනාගතය දකින්නටත් ඇය සතුව තිබූ නිර්භය සංස්කෘතික ප්‍රවේශය යමක්කමක් කල කිසිදු සිංහල, ඉස්ලාම් හෝ දමිළ ගැහැණියකගෙන් විද්‍යමාන නොවීය. තම වියහියදම් තමන්ම පිරිමසාගත් නිසාදෝ ඇය කිසිදු ආකාරයේ සමාජ කොන්දේසියක් වෙත හෝ බැඳුණු යදම්ගත චින්තනයක් ඔස්සේ ගමන් නොකළාය. එමතු නොව තම රැඩිකල් චින්තන ධාරාව තම ප්‍රාණසම දරුවන් දෙදෙනා වෙත එන්නත් කොට ඇති බව ඔවුන් දෙදෙනාගේ කල්කිරියාවෙන්ද නිරතුරු දෘශ්‍යමානය.

දරුවන්ට ඇය තරුවක් වූ අතර (Our Amma the star) ලංකා මාතාවට ඇය කලා ශුරියක් විය. අවසන ඇය මෙරටේ සදාතනික බැලේ ඇදුරු තාරකාව ද (The prima donna of ballet in Sri Lanka), වූවාය.  

අවසන නාට්‍ය ශාස්ත්‍රය  පිලිබඳ පුරාතන පිළිගැනීමක් සිහිකොට හමාර කීමට හැකිය. ශිව දෙවිඳුන්ගේ සහකාරිය යැයි ප්‍රකට  පාර්වතී  දේවිය,  ශිව දෙවියාගේ සමකාලීන දෙවියෙක් වූ  රුද්‍ර නම් දේවතාවාගේ දේව බිරිය වූ  ඌෂා දේවිය වෙත ද මෙකී ශිල්පයේ දිගපළල ඉගැන්වූවාය.  ඌෂා දේවිය එකී ශාස්ත්‍රය ගෝපිකාවන් රැසකට ද ඉගැන්වීමට අමතක නොකළාය. දෙවියන් අභ්‍යාස කොට, දෙවියන් ම  විඳි මේ අමිල දායාදයේ රසපහස මිනිස් වග වෙත තිලිණ කළෝ වෙන අන් කවුරුන් හෝ නොව ඌශා යැයි නම් ලත් ඌශා දේවියයි. එලෙස දෙව් මිනිස් දෙලොව එකළු කල දේවිය ලත් නම ‘ඌෂා’ වූවා සේම අප කතානායිකාවද බැලේ රංගනයෙන් නෘත්‍ය මණ්ඩලය ප්‍රභාශ්වර කළෝය. මෙලෙස හැඩට හා වැඩට සරිලන නම් ලත් මේ ගැහැණිය දිවංගත ව, පෙරකී ඌශා දේවිය වෙත ද මෙසේ කියනු ඇත.”You need to have tenacity of purpose. Keep at it, Don’t give up” 

ඇය ගැන ලියා තිබූ මැණික් ගුණසේකර හා කුමුදිනී හෙට්ටිආරච්චි වෙත අපගේ ස්තූතිය. අමතර කියවීම් සඳහා ‘Oosha – A Life of Dance in Sri Lanka’ නම් කෘතිය ද කියවන්න. ජායාරූපය ද එකී ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දකි.