ටිරන් කුමාර බංගගමආරච්චි

ජනතාව රෑ වැටුණු වළේ ඉතා කැමැත්තෙන්ම දහවලේද වැටුණෝය. රාජපක්ෂලා සෑම එකය. එකාවන්ව සහයෝගයෙන් සියල්ල බෙදා හදා ගන්නේය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටි සියල්ලෝ ගෝඨාභය පාලන කාලයේත් කරළියට පැමිණ ඇත. අද එදාටත් වඩා හොඳින් සියල්ල සිදුවෙමින් ඇත.


යහපාලන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් බව පෙන්වමින් උදේ හවා මෙහෙයුම් දියත් කළ මාධ්‍ය අද අඳ ගොළු බිහිරි වී ඇත. ගෝඨාට නැති වටිනාකම් ජනිත කරමින් පිම්බූ ඔවුහු අද ගෝඨාගේ හුළං බහිද්දී කිසිවක් නොදැක්ක ගාණට පැණිකාරයකු හෝ පෙන්නා ජාමේ බේරා ගනිති. මේ කසඩ මධ්‍ය කැළ අන් කවරදාටත් වඩා ජනතාව ගොනාට අන්දමින් සිටිති. මේ කාර්යයෙහි නියැළෙන ප්‍රධාන ආයතන දෙක හිරු සහ දෙරණ බව කිවයුත්තේ එසේ නොවුවහොත් අනෙක් ඒවාටද අවැඩැක් වන බැවිනි.


කොරෝනා


පළමු කොරෝනා රැල්ල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මැදිහත්වීමෙන් අපූරුවට පාලනය කර ගත්හ. එහි ගෞරවය ජනතාව ආණ්ඩුවට ලබා දුන්හ. කොරෝනා ආ කල සජිත් හිටිය නම් රට ඉවරයි වැනි චිත්‍රයක් සමාජගත කරන්නද ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් සමත් විය. සජිත් හිටිය නම්, යහපාලනය තිබුණනම් රට කම්මුතුයි යන මන්ත්‍රය කොරෝනා මුල් රැල්ලේදී අපූරුවටම රට පුරා ව්‍යාප්ත කළේය.


එහෙත් දෙවැනි රැල්ල ආණ්ඩුව බලෙන්ම ගෙන ආවේය. ඒ හිතවත් ව්‍යාපාරිකයන් සතුටු කරන්නට ගොස්ය. දෙවැනි කොවිඞ් රැල්ල ආවේ බ්‍රැන්ඩික්ස් හරහා ඉන්දියාවෙනි. එහෙත් ආණ්ඩුව ඒ කිසිවක් සමාජගත නොකිරීමට පරිස්සම් විය. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව, ඒ හරහා ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය වන බැවිනි. කුමන ජඩ වැඩක් කර හෝ රාජපක්ෂලාට ජාමේ බේරාගත හැකිය. ජනතා ඡන්දයෙන් කණපිට නොගසන්න රාජපක්ෂලාට දැනෙන සටනක් දීමට විපක්ෂයට නොහැකිය. එය විපක්ෂයේ දුර්වලතාවට වඩා රාජපක්ෂලා බූවල්ලකු සේ ආක්‍රමණය කරමින් සියල්ල තගෙන් යටපත් කර ගැනීම නිසා සිදුවන්නකි. මේ බව තේරුම් ගෙන විපක්ෂය කළයුත්තේ රාජපක්ෂ පාලනතන්ත්‍රයේ වැරදි ඒ අය සමග වාද කිරීමට වඩා ජනතාව තුළ සංවාදයක් ගොඩනැඟීමය. තවමත් විපක්ෂය අපොහොසත්ව ඇත්තේ ඒ මායිම පනින්නටය.


අද වන විට කොරෝනා රට පුරා ව්‍යාප්තය. දිනකට 500-700 අතර රෝගීන් හමු වුවද එය ජනතාවට දෙයක් නොවන තැනට ආණ්ඩු මාධ්‍ය පත්කර ඇත. ඒ සඳහා තොණ්ඩුව ලෙස මිථ්‍යාව ජනතාවගේ බෙල්ල හිරකර ඇත. අද වන විට මොන එන්නත ලෝකය සොයාගෙන ඇතත් මෙරට ධම්මික පැණිය පෙන්නා ඒ සියල්ල අබිබවා යන තැනට ජනතාවගේ ඔළුගෙඩි සෝදා ඇත. සුදර්ශණ පැණිය ඉස්තරම් කී මහාචාර්යවරයා දැන් ධම්මිකට එරෙහි චෝදනා නැවතීමට පළිහක් වී ඇත. මේ විහිළුසහගත ආණ්ඩුව හැම දෙයක්ම කරනුයේ සත්‍යය යන තැන සිටය. අද ජනතාවගේ එදිනෙදා කන-බොන අඳින පළඳින ගාණට කොවිඞ් වෛරසයද සාමාන්‍ය වී ඇත. හැකිනම් බේරී සිටීමේ අභියෝගය ආණ්ඩුව ජනතාවට දී ඇත. ජනතාව ඉන්නේ අද ආණ්ඩුවේ පරීක්ෂණ මීයෝ ගාණටය. ඒ අය ජනතාවට හැකිනම් බේරෙන ලෙස ‘රියැලිටි’ තරගයක් නිර්මාණය කර ඇත. එය කොවිඞ් දෙවැනි රැල්ලය.


යුක්‍රේන නාඩගම


රට විවෘතයි. සංචාරකයින් මෙරටට ගෙන්වනවා යන පණිවුඩය දෙමින් ලංකාවට යුක්‍රේන ජාතිකයන් ගෙන්වීම ආරම්භ කළේ දෙසැම්බර් 26 වැනිදාය. බොහෝ අය දිගු නිවාඩුවක් එන බැවින් රට වසා දමනු ඇතැයි බියවෙද්දී ආණ්ඩුව විදේශිකයන්ටත් රට විවෘත කළේය. දැන් රටට හෙණ ගැහැව්වද? ආණ්ඩුව තම වැඩ ටික කරගෙන යන තැනට තල්ලු වී හමාරය. අවුරුද්දක් ඔහේ ගෙවා දැමූ ආණ්ඩුව ඉතිරි වසර කිහිපය එලෙස ගෙවෙන්නට දෙන්නේ නැත.


යුක්‍රේන සංචාරකයන් ගෙන ඒමේ පුරෝගාමියා වූයේ උදයංග වීරතුංගය. මේ මහින්ද රාජපක්ෂගේ ඥාතියා රාජපක්ෂ පාලන සමයේ මිග් ටෙන්ඩර් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 7.5ක වංචාවක් කළේ යැයි චෝදනා කරමින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර්ජාතික රතු වරෙන්තුවට පවා නම ඇතුළත්ව සිටියෙකි. ඒ යහපාලන සමයේදීය.


2015දී මහින්ද ආණ්ඩුව පරාජය වනවිටම රටින් පැන ගත් උදයංග නැවත ලංකාවට එනුයේ ගෝඨා ජනපති වූ පසුවය. පසුගිය කාලයේ ආණ්ඩු මාධ්‍යයක් හරහා සම්මුඛ වන උදයංග එහිදී කියනුයේ තමා රුසියාවෙන් හා යුක්රේනයෙන් විශාල සංචාරක පිරිසක් මෙරටට ගෙන්වන බවය. දැන් සිදුවන්නේ එහි ප්‍රතිඵලය.


ආණ්ඩුව විදේශිකයන්ට රට විවෘත කිරීමේදී අනුගමනය කරනවා යැයි ජනතාව දැනුවත් කළේ හැම විදේශිකයෙක්ම දින 14ක් නිරෝධායනයට ලක් කරන බවය. එහෙත් යුක්‍රේන ජාතිකයන් දින පහක් යාමටත් පෙර සංචාරය ආරම්භ කර ඇත. මෙරටට ආ පළමු යුක්‍රේන කණ්ඩායමේ හයදෙනෙක් ආසාදිතයන් බව ඔප්පු විය. ඒ සියලු තත්ත්වයන් හමුවේ උදයංග චණ්ඩියා සේ මාධ්‍යයට කියනුයේ ‘දින 14ක් නිරෝධායනය වෙලා සංචාරය කරන්න විදේශිකයන්ට පිස්සුද? යන්නය. විදේශිකයන්ට පිස්සු නැත. දින 14ක් විදේශිකයන් නිරෝධායනය කරනවා යැයි ජනතාවට කී ආණ්ඩුවට පිස්සු බව නම් හොඳටම පැහැදිලිය. උදයංග දැන් නැවත පරණ චණ්ඩියාම වී ඇත. ඉතිරි චණ්ඩි ඉදිරියේදී බලාගත හැකිය.


යුක්‍රේනය යනු කොවිඞ් ව්‍යාප්තියේ අධිඅවදානම් රටකි. එරටින් දිනකට ආසාදිතයන් 10,000-12,000ක් අතර ප්‍රමාණයක් හමුවේ විසිදහසකට කිට්ටු ප්‍රමාණයක් මියගොස් ඇත. එරට ආණ්ඩුව ජනවාරි මුල සිට රට වහන්නටද සූදානම්ය. එහෙව් රටෙන් විදේශිකයන් ලෙස මෙරට සංචාරයට පිරිස් ගෙන්වීම ඔලමොට්ටල පිරිස් හැර අන් අය නොකරති. මේ තත්ත්වයට පිළිතුරු දෙන ගෝඨා ආණ්ඩුවේ කෙරුමා වන බැසිල් රාජපක්ෂ කියනුයේ මේ කර ඇත්තේ ‘ට්‍රයල්’ එකක් බවය. මෙම නියමු ව්‍යාපෘතියේ එකම කොන්දේසිය යුක්‍රේන අයගෙන් මෙරට ජනයාට කොවිඞ් හැදෙනවාද මෙරට ජනයාගෙන් යුක්‍රේන ජාතිකයන්ට කොවිඞ් හැදෙනවාද යන්න පරීක්ෂාවක් බවය.


ජනපති ගෝඨාගේ ඉදිරි අරමුණ සංචාරක ව්‍යාපාරයෙන් නියම ලාභයක් ලැබීමට නම් සංචාරකයන් ලක්ෂ 20ක් මෙරටට ගෙන්වා ගැනීමය. ඒ සඳහා අත්හදා බැලීම් යුක්‍රේන ජාතිකයන් සහ ලාංකිකයන් දමා සිදුකිරීම බැසිල් සහ උදයංග කරමින් සිටිති. ආණ්ඩුව මේ මොහොතේ ‘රිස්ක්’ එක ගනුයේ ඉහත ලක්ෂ 20 ඉලක්කය සපුරාලීමට බව බැසිල් කියයි. බැසිල් සහ රාජපක්ෂලා රිස්ක් එකක් ගන්නේ යැයි කීම මුලාවකි. ඔවුන් ඒ සඳහා පාවිච්චි කරනුයේ මෙරට ජනතාව වන බැවිනි. දැන් බැසිල්ගේ උපාය පැහැදිලිය. යාල සෆාරි යන රියැදුරන් යුක්‍රේන ජාතිකයන් සමග එකතු කොට කොවිඩි දෙපිරිසට හැදෙන්නේද යන පළමු පරීක්ෂණය කර ඇත. යුක්‍රේන අයට කොවිඞ් තියෙන නිසා රියදුරන්ට බෝවේදැයි පරීක්ෂණය බැසිල් කළේය. රටේ බහුතර ජනතාවට මේ තරම් හිරිකිතයකින් තොරව කරන ක්‍රියා ගැන නියම අවබෝධයක් නැත. දැන් රියදුරන් නිරෝධායනයට දමා ඇත. ට්‍රයල් එක සාර්ථකය.


ගෝඨා, මහින්ද, බැසිල් ජනතාව උගසට නොව බිල්ලට තබා හෝ තම අරමුණට යන බව දැන් නොව එදා සිටම පැහැදිලිය. එහෙත් රටේ ටෙලිවිෂන් ගිල්ල බහුතර ජනතාව පිළිගනුයේ බොරුවමය. ඉදිරි වසර කිහිපය තුළත් රාජපක්ෂලාගේ ‘ට්‍රයල්’වලට ජනතාවට බිලිවෙමින් සිටිය හැකිය. පවුලක් නඩත්තු කරන්නට අප්‍රමාණ වෙහෙසක්, කැපවීමක් කරන ලොව එකම ජනතාව සිටින රට ලංකාව විය යුතුය. මේ පරීක්ෂණ මීයෝ ටික වෙනස් නොවන තාක් මේ රට මෙයාකාරයෙන්ම පවතිනු ඇත. සැබැවින්ම දැන් ආණ්ඩුව හෝ විපක්ෂයට බැණ පළක් නැත. බැණ කෙවිටෙන් තැලිය යුත්තේ මේ මෝඩ ජනතාවටය. කිරිබත් කමින් බඩ පිනුම් ගැසූ බත් බැලයන්ටය. අවසාන වශයෙන් කිවයුත්තේ බැසිල් තව තව ‘ට්‍රයල්’ කරන්න යන්නය. බැසිල්ට එය හරිම පහසුය. ඔහුට ‘ට්‍රයල්’ එක වුව ‘ඩීල්’ එකක් කරගත හැකිය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here