ටිරන් කුමාර බංගගමආරච්චි

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ඒම පිළිබඳ වාද විවාද කිරීම ඵලරහිත ක්‍රියාවකි. බැසිල් පාර්ලිමේන්තු ඒමේ ඇති වරද කුමක්ද? වරද නම් මේ තරම් ප්‍රමාද වීමය. බැසිල් පාර්ලිමේන්තු නාවද පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ ප්‍රබල තීන්දු සියල්ල ගත්තේ ඔහුගේ අනුදැනුම ආශිර්වාදය මතය. එසේ නම් බැසිල් පාර්ලිමේන්තුවේ සිටියද නොසිටියද වෙනසක් නැත.

හැමදේම සිදුවන්නේ බැසිල්ගේ අනුදැනුම අනුවය. බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ගෙන අමාත්‍ය ධුරයක් දැරීම ඔහුගේ මැදිහත්වීම්වලට පහසුය. බැසිල් ඇමතිවරුන්ට කටින් නොව අතින් පයින්ද ගහන ජාතියේ අයෙකි. මේ නිසා බොහෝ අය බැසිල් එනවාට කැමති නැත.


කුම්බලා මාළු කෑව නම් විඳවපන් කියන්නා සේ රාජපක්ෂලා සමග ලැග්ග නම් හොඳ රාජපක්ෂ නරක රාජපක්ෂ කියා බෙදීමක් නැත. නාමල් රාජපක්ෂගේ බබා ජරා කළ ද සුවඳ ගාණට සිටිය යුතුය. එවන් වටපිටාවක බැසිල් පාර්ලිමේන්තු ඒම ඇමතිකම් ගැනීම ගැන කතා කිරීම කාලය කා දැමීමකි. රාජපක්ෂ පවුලට ගෑවුණු අයටත් ඉහළ තනතුරු පිරිනැමූ මේ ආණ්ඩුව බැසිල් පාර්ලිමේන්තු ගෙන ඒම පුදුමයක් ලෙස දකින්නේ නම් එය දේශපාලන විගඩමකි.


කට්ටියක් බැසිල් ඕනෑ. බැසිල් නැතිව දියුණුවක් සුගතියක් නෑ යන පාඨ වහරන විට එයට උරණව කෑගැසීම මෝඩකමක් විනා වෙන කිසිවක් නොවේ. බැසිල් හොඳින් පිළිගෙන ඔහුට වික්‍රම පාන්නට ඉඩ හැරීම තරම් දේශපාලන වාසියක් තවත් නැත. මේ දිනවල ආණ්ඩුව ඇණ ගනුයේ බැසිල් නැති නිසා නොව බැසිල්ගෙත් වැඩ නිසාය. එසේ නම් බැසිල් බලනුයේ පාර්ලිමේන්තුවට රිංගා කෑම පිළිවෙළටම කරන්නටය. ඊට ඔහු උපන් හපනෙකි. මේ රාජපක්ෂලා හැම කල්හිම ගොදුරට පනිනුයේ එකාවන්වය. ඒ බව තේරුම් නොගෙන ඒ ඒ අය භේද බින්න වෙන තෙක් ඇඟිලි ගැනීම අපරාධයකි. රාජපක්ෂලාට සමූහය ඕනෑ බලය අල්ලන්නටය. ඇල්ලූ කල එය පවුල සතු බලයක් බවට පත් කරන්නට ඔවුහු උපන් හපන්නු වෙති.


නාමල් රාජපක්ෂ අපූරු කතාවක් කියා තිබුණි. එනම් ත්‍රීවිලරයේ ඉස්සරහා රෝදය මහින්ද රාජපක්ෂ බවත්, පිටුපස රෝද දෙක බැසිල් සහ ගෝඨා බවත්ය. මේ රෝද තුනෙන් එකක්වත් නොමැතිව ඉදිරියට යා නොහැකි බවද ඔහු කීවේය. ඔහු නොකීවේ එහි සුව පහසුව ඉඳගෙන යනුයේ නාමල්, යෝෂිත, රෝහිත බවය.


යහපාලනයෙන් අනාථ වූ රාජපක්ෂලා ගොඩ ගන්නට බැසිල් කළ කාර්යභාරය අතිවිශාලය. ඒ සංවිධාන ශක්තිය ඉතා ඉහළය. එහෙව් බැසිල් පාර්ලිමේන්තුවට මෙතෙක් නොගෙනේම අපරාධයකි. බැසිල් ආ පසු රටේ වික්‍රම ඇතිවේ යැයි කිව නොහැකි වුවත් රාජපක්ෂලාගේ වික්‍රමාන්විත ක්‍රියා නම් අපූරුවටම සිදුවන බව ස්ථිරය. දැන් බැසිල්ට බනින ඇමතිවරු බැසිල් ඇමතිකමේ දිවුරුම් දී වැඩ භාර ගන්නා විට ඔහුගේ දෙපතුල් සිඹිනු ඇත.


බැසිල්ටත් ඇමතිකමක් දුන් පසු එයට බලතල අතිවිශාල ප්‍රමාණයක් පැවරෙනු ඇත. එවිට පාර්ලිමේන්තුවේ අනෙක් ඇමතිවරු නමට පමණක් සින්නවනු ඇත. සියලු බලතල රාජපක්ෂලා සතුවනු ඇත.


හැටනව ලක්ෂයක් ඉල්ලුවේ රාජපක්ෂලා නම් ඒ අභිලාෂය අකුරටම ඉටුවනු ඇත. බැසිල් දිවුරුම් දුන් පසු රටට නැවත රාජපක්ෂ යුගය උදාවනු ඇත.

එවිට හැම තුළ මෙත් මල් පිබිදේවා. සිත් තුළ මෙත් මල් පිබිදේවා ඉබේටම සිද්ධ වනු ඇත. ■