පිළිසඳර – විමලනාත් වීරරත්න

නෙතලි කියන ලස්සන නම දැම්මේ කවුද?


අපේ තාත්තා දාපු නම නැතලි. මම කැතලික්. මම ඉපදුණේ දෙසැම්බර් 26. නත්තල් මාසෙ ඉපදුණු නිසා තමයි නැතලි කියලා දැම්මේ. නත්තල කියන එක තමයි නමේ තේරුම. පසුව නෙතලි බවට පත්වුණා.


පාසල් කාලෙ ගෙවුණේ කොහොමද?


අපි හිටියෙ මාකොළ. මම මුලින්ම ඉගෙන ගත්තෙ පමුණුවිල රෝමානු කතෝලික පාසලේ. අවුරුදු 13දි මම සිංහල මාධ්‍යයෙන් එස්එස්සී කරලා පාස්වුණා. ඒ මට ඩබල් ප්‍රොමෝෂන් එකක් ලැබුණු නිසා. පස්සෙ කැලණියෙ ගුරුකුල විද්‍යාලයට ඇවිත් ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් එස්එස්සී කරලා පාස්වුණා. මගේ ඉංග්‍රීසි භාෂා අවබෝධය නම් ගෙදරින්ම ආපු එකක්. ගුරුකුලේදි තමයි පාසල් නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ. මගේ දක්ෂතා දැකලා එච්.ඩී. විජේදාස මහත්තයා තමයි මාව රේඩියෝ සිලෝන් එකේ වොයිස් ටෙස්ටින් එකකට යොමු කරන්නෙ. ඒ 1955දි.


මුවන්පැලැස්සට සම්බන්ධ වෙන්නෙ එතැනින්ද?


රත්නාවලී කැකුණවෙල, සෝමා කිරිඇල්ල, වික්ටර් මිගෙල්, ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, චිත්‍රා වාකිෂ්ට, ඇග්නස් සිරිසේන, ප්‍රේමා විජේවර්ධන වගේ පසුකාලීනව ජනප්‍රියතම ගුවන්විදුලි ශිල්පීන්, ශිල්පිනියන් බවට පත්වූ අය එදා ඔඩිෂන් එකට ආවා. මුවන්පැලැස්ස පටන් ගත්තෙ 1963දී. මම තමයි බිනරමලීට හඬ කැව්වෙ. කදිරා වික්ටර් මිගෙල්, ගුරුන්නාන්සේ, පිනා ගැමුණු විජේසූරිය. මගේ අම්මා චිත්‍රා වාකිෂ්ට. ලිව්වෙ මුදලිනායක සෝමරත්න. එයාට ටික කාලෙකින් ඇමරිකාවට යන්න වෙනවා. ඊළඟට නාට්‍ය ලියන්න ගත්තෙ වික්ටර් මිගෙල්. මුලින් මුලින් වික්ටර්ගෙ රචනයේ කවර අඩුපාඩු ආවත් ඒවා ඇද ඇරලා ගන්න තරම් ශිල්පීන් හැටියට අපි මේ වෙන කොට පරිණත වෙලයි හිටියෙ. තේවිස් ගුරුගේ මහත්තයා කිව්වා මුදලිනායක ප්‍රශ්නයක් ඇති කරලා කියලා මුවන්පැලැස්ස ටිකක් වෙනස් කරන්න කියලා. ඊට පස්සෙ තමයි ඒක නව මුවන්පැලැස්ස වුණේ. ප්‍රධාන චරිතයක් වෙච්ච මම කරපු බිනරමලී කොමලී බවට පත් කළා. කොමලිත් ටික කාලෙකින් නාමලී වුණා.


මුවන්පැලැස්ස පළමු පෙම්වතා හැටියට කලඑළි බැස්සෙ උක්කුබණ්ඩා නේද?


ඔව්. ඒ චරිතෙ කළේ වොලී නානායක්කාර. නාමලීට තමයි උක්කුබණ්ඩා පෙම් කළේ. නාමලීට අකුරු බැහැනෙ. උක්කුබණ්ඩා ටිකක් උගත්. ඉතිං එයා ඇවිත් අකුරු උගන්වනවා. අයන්න අල්මයන්න මායන්න කියන්න වගේ වචන උගන්වන උක්කුබණ්ඩා මුලින්ම නාමලීට අදහස කියන්නෙ ආයන්න දයන්න, රයන්න යයන්න කියලයි. මගෙ අම්මේ ඒකෙ දිග කියලා නාමලී ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම ඒක නම් හරිම සුන්දර කාලයක්. ඊටත් පස්සෙ කාලෙක සිළිඳි සහේට ගන්න එන කදිරත් ජනප්‍රිය පෙම්වතෙක් වෙනවා.


කදිරා සිලිඳිගෙ පෙම්වතා බවට පත් කරන කොට කාලය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා නේද?


නැහැනෙ. ඒ කාලෙත් ටිකක් වයස්ගත පිරිමි තරුණ කෙල්ලෝ කසාද බැන්දා. තෙරුණ කෙල්ලෙක්ව තරුණයෙකුම බඳින්න ඕනෑ කියලා එකක් නැහැනෙ. දේපළ ඉස්සරහට දාලා හරි අදත් එහෙම වෙනවනෙ.


නෙතලිගෙයි. වොලීගෙයි ඇත්ත ජීවිතේ සම්බන්ධය හැදෙන්නෙත් නාමලියි උක්කුබණ්ඩායි මාර්ගයෙන්මද?


නැහැ. නැහැ. ඊටත් කලින්. අපි ඉරිදට දළුගම පල්ලියට යනවා. වොලිත් එනවා. අපි අඳුර ගන්නෙ පල්ලියෙදි. හැබැයි දෙන්නම රේඩියෝ එකට සම්බන්ධව වැඩ කළා කියලා එකිනෙකා දන්නෙ නැහැ. දවසක් අපි දෙන්නම එකම වැඩසටහනකදි හම්බවෙනවා. ඒකෙන් යාළුකම තව වැඩි දියුණු වුණා. ඉතිං. වොලී එතකොටත් ලේක්හවුස් එකේ වැඩ. මම ඔඩිට් ෆර්ම් එකක වැඩ. මම හතරහමාරෙන් පස්සෙ තමයි රේඩියෝ එකට එන්නෙ. වොලී තමයි පළමුවැනි සරසවි ෆෙස්ටිවල් එක මෙහෙය වූයේ. එයාට බර වොයිස් එකක් තිබුණා. පස්සෙ වොලී ලේක්හවුස් එකෙන් ඉවත් වෙලා ෆිල්ම්ස් වලට ගියා. වොලී ළඟින්ම ආශ්‍රය කළ කෙනෙක් තමයි වික්ටර් රත්නායක. අපේ ළමයි පොඩි කාලෙ ඔන්න ඉතිං ඉරිදට වික්ටයි, චිත්‍රායි එයාලගෙ ළමයිනුත් අරන් එනවා අපේ ගෙදර. දෙගොල්ලොගෙම ළමයි එක පැදුරක දාලා මමයි චිත්‍රයි බලා ගන්නවා. අපි එතකොට හිටියෙ නුගේගොඩ. මොනවද ඉතිං හවස් වෙනකම් වික්ටයි, වොලියි අල්ලපු වැටේ බොනවා. අපේ ගෙදරින් එළියට බැහැපු ගමන් බාර් එක. වොලීගෙ යාළුවො හැටියට ගාමිණී. ආනන්ද ජයරත්න, ටෝනි, සිසිර සේනාරත්න වගේ අය නිතර අපේ ගෙදර එනවා.


පසුකාලෙකදි මුවන්පැලැස්ස චිත්‍රපයට නැගෙන කොට කදිරලා අතර වෙනසක් තිබුණා නේද? ගුවන්විදුලි නාට්‍යයේ සැර පරුෂ කදිරා චිත්‍රපටයෙදි හුරතල් කරලා වගේ අපි දැක්කෙ.


ඔව්. එහෙම එකක් වුණා. පළමු චිත්‍රපටයෙදි බිනරමලීට වොයිස් කළෙත් මම. මේක දීර්ඝ කාලයක් රසිකයන්ගෙ කනේ තිබුණු නිර්මාණයක්. එහෙම එකක් පැය දෙකකින් චිත්‍රපටයට නැගීම පහසු නැහැ. රසිකයාගෙ කනේ දෝංකාර දෙන ඩයලොග් චිත්‍රපටයෙදි එහෙම නොවුණොත් වැඬේ අසාර්ථක වෙනවා. ඒක වුණා.


ඔය කාලෙ ගුවන්විදුලි නාට්‍යවලට සම්බන්ධවීමෙන් යම් ආදායමක් ලැබුණද?


මම 1956දි වගේ ළමා ශිල්පිණියක් හැටියට දවසට රු. 5/-ක් ලැබුණා. වැඩිහිටි වෙනකොට දවසට රු. 7.50යි. රු. 5/- ලැබුණ කාලෙ මම පොතක් ඇතුළෙ දාලා සල්ලි එකතු කළා. රුපියල් 100ක් විතර එකතු වුණාම මම අම්මට කිව්වා මට ඒ සල්ලිවලින් මාලයක් ගන්න ඕනෙ කියලා. පවුමක මාලයක් ගත්තා. රුපියල් 80/-යි ගියේ.


කොරෝනාවලින් පසු එළැඹෙන කාලය ගැන මොකද හිතෙන්නෙ?


මට දැන් වයස 83යි. මගේ වයස් සීමාවත් එක්ක අම්මා දැන් රඟපාන්න යන්න එපා කියලා ළමයි කියනවා. ඒ නිසා පසුගිය දවස්වල ආපු ටෙලිනාට්‍ය හතරක් අතහැරියා. ටෙලිනාට්‍යවල අද තියන ලොකුම ප්‍රශ්නෙ තමයි හුඟක් අය ශිල්පීන්ට පිටපතක් නොදීම. ලොකේෂන් එකට ගියාම දෙන්නෙත් අදාළ සීන් එක විතරයි. එහෙම පුළුවන්ද නාට්‍ය කරන්න. පිටපතක් අරන් ගෙදර ඉඳන් ටිකක් ස්ටඩි කරලනෙ දර්ශන තලයට යන්න ඕනෙ. සේරම සල්ලි පස්සෙ දුවන නිසා, නිසි පිළිවෙල අභාවයට ගිහිල්ලා. මේකෙ ප්‍රතිඵල ටෙලිනාට්‍යවල පරිහානියෙන් පේනවා. හුඟක් නාට්‍ය අන්තිම දුර්වලයි. කීපදෙනෙක් විතරයි හරියට වැඩක් කළ යුතුයි කියලා හිතන්නෙ. ඇත්තටම අද ටෙලිනාට්‍ය ශිල්පීන් අධ්‍යක්ෂවරුන්ට බලකර කිව යුතුයි පළමුව පිටපතක් ලබාදෙන්න කියලා. දැන් ප්‍රොඩියුසර් කෙනෙක් සොයාගන්න එකත් කොච්චර අමාරුද? කෙනෙක් හම්බවු වුණොත් ඒ මිනිහව එකෙන්ම හූරගෙන කනවා. ආයෙත් ප්‍රොඩියුසර් පැත්ත පළාතෙ එන්නෙ නැහැ. ප්‍රොඩියුසර් රැකගන්න ඕනෙ කියන එක තියරි එකක්. ඒක දන්නෙ නැහැ අපේ අය. මේ විදියට ගියොත් ටෙලිනාට්‍ය කලාවක් ඉතුරු වෙන්නෙ නැහැ.