ආරියවංශ අබේසේකර

මේ වියළි කලාපය ප‍්‍රමුඛ කොට ලංකාවේ වී අස්වනු නෙළන සමයයි. වෙනදා මෙ’සමය වියළි කලාපය ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් උතුරවන සමයක් වුවද මෙදා හැම ගොවියෙකුගේ ම මුවින් පිටවන්නේ ‘වැඩක් නෑ; දියබොල්’ යන්නය. වී අස්වනු බොල් වන ක‍්‍රම දෙකක් තිබේ. එකක් ගොයම් පූදින සමයේ වගාවට ජලය හිඟවීම නිසා වී ඇට පූර්ණත්වයට පත් නොවී බොල්වීමය. දෙවැන්න ගොයම් පූදින කාලයට වැසි වැටීමෙන් මල් සේදීයාම නිසා වී ඇට පූර්ණත්වයට පත් නොවී බොල් වීමය. දියබොල් වීම යන්නෙන් අදහස් වන්නේ වැසි ජලය නිසා සිදුවන එම බොල්වීමය.

මෙවර කුඹුරු පූදින සමයේ අඛණ්ඩ මහ වැසි වසින්නට විය. උදය වරුවේ ළපැටි වී කරලේ ඇටවල දෙපියන්පත් ඇරී ඉන් පිටතට විහිදෙන මල් පිපී වැනෙයි. දහවල් වන විට පරාගණයට පත් මල් වසාගෙන පියන්පත් හැකිළෙයි. මේ අතරතුර කාලය තුළ වැසි වැටුණහොත් පරාගණයට හානි සිදුවී දෙපියන්පත් අතරට මැදිවූ සහල් ඇටය නිසි සේ නොවැඬේ. ඉන් පූර්ණ වියැටක් ද වියැට තුළ වූ පූර්ණ සහලක් ද නොලැබෙයි. මෙය මෙරට වී ගොවියන් මතු නොව, විෂයක් වශයෙන් කෘෂිකර්මය හදාළ නොහදාළ ඕනෑම කෙනෙකු දන්නා දෙයකි. එහෙත් මේ සරල සත්‍යය මෙවර වියළි කලාපයේ වී ගොවිතැන සඳහා ජලය නිකුත් කළ ප‍්‍රදේශ භාර පරිපාලන නිලධාරීන්, වාරි ඉංජිනේරුවන් සහ ඔවුන්ට ඒ සඳහා (ලංකාවේ විදියට) උපදෙස් දෙන දේශපාලකයන් දැන හුන්නේ නැත. එසේ නැතිනම් ඒ ගැන තැකීමක් කිරීමට තරම් ඔවුන්ට වී වගාව සහ ඉන් යැපෙන සහ ඉන් බත සරිකර ගන්නා සාමාන්‍ය මිනිසුන් පිළිබඳව කිසිදු හැඟීමක් තිබුණේ නැත.

අනාදිමත් කාලයක පටන් වියළි කලාපයේ වී අස්වනු නෙළීම ආරම්භ වන්නේ මාර්තු මාසයේය. පෙබරවාරියෙහි අස්වනු දරන්නේ නම් ඒ ගොඩ වී වගාවන්හි පමණය. ගොඩ වී වවනුයේ වැසි තත්ත්වයන් සලකා මිස වාරිජලය මූලික කොටගෙන නොවේ. අනෙක වියළි කලාපීය ගොවීන් ගොඩ වී වගා කරනුයේ අසක්කුවට මිස ප‍්‍රධාන ජීවනෝපාය වශයෙන් ද නොවේ. එහෙයින් හැම විටම ගොවිබිම් සඳහා වාරි ජලය නිකුත් කෙරෙනුයේ මාස් කන්නයේ වී අස්වනු මාර්තු අපේ‍්‍රල් කාලයන්හි නෙළා ගත හැකි වන අන්දමට දින වකවානු සලකා බැලීමෙන් අනතුරුවය.

මීට කාලයකට පෙර වගා කන්නයන් සඳහා ජලය නිකුත් කරන කාල වකවානු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටත් ඉදිරි කන්නයේ මතුවිය හැකි ගොවි ගැටලූ පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහාත් රජයේ නිලධාරීන් හා ගොවීන් මුණගැසෙන විවෘත කන්න රැුස්වීම් පැවැත්වුණේය. එහිදී ගොවිතැන පිළිබඳ ගොවීන්ගේ ප‍්‍රායෝගික දැනුමත්, කෘෂිකර්ම නිලධාරීන්ගේ න්‍යායික දැනුමත්, වාරිමාර්ග නිලධාරීන්ගේ ඉදිරි ජලත්ත්වයන් පිළිබඳ දැනුමත් එක්වීමෙන් ඉදිරි කන්නය සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරෙන අතර, ඒ හා සමපාතව වාරි නිලධාරීහු වාරි ජලය නිකුත් කළ යුතු කාලවකවානූන් සහ ක‍්‍රමවේදයන් සකස් කරති. පරිපාලන නිලධාරීහු මේ පිරිස් සඳහා අවශ්‍ය කෙරෙන සෙසු රාජ්‍ය සැපයීම් සහ අස්වනු මිලදී ගැනීම් පිළිබඳ කටයුතු ප‍්‍රසම්පාදනයේ තත්පර වෙති. විශාල ගාලගෝට්ටි, තර්ක විතර්ක ආදියෙන් පිරුණු මේ කන්න රැුස්වීම් අවසානයේ සියල්ලන්ට ප‍්‍රහර්ෂයක් ලබා දෙමින් අවසන් වෙයි. තනි මතයක් වෙනුවට පොදු මතයක් නිර්මාණය වී ජයග‍්‍රහණය කරන අතර එම මතය ගොඩනැගෙන්නට තම තමගේ මතයන් දායක වූ සැටි දකින කවුරුන් තුළත් ජයග‍්‍රාහී හැඟීම් ඇති වෙයි. අවසානයේ මේ හමුවීම් සඳහා යොදාගත් පාසල් ශාලාවන්ගෙන් සියල්ලන් ජයග‍්‍රාහකයන් වශයෙන් පිටව යන්නේ තවත් මහා ජයග‍්‍රහණයකට පණපෙවීමේ අදහසිනි. මුග්ධ දේශපාලකයන් සහ මුග්ධ රාජ්‍ය නිලධාරීන් විසින් තමන් ගොවියන් හමුවේ දෙකට වැටීමේ හීනමානයෙන් මිදී, තමන් ගොවියන්ගේ හාම්පුතුන් සහ ගැලවුම්කාරයින් බවට පත්වීමේ ආසාවෙන් මිරිකී එකී කන්න රැස්වීම් මරා දමන ලද අතර, මේ වන විට මෙරට ගොවි කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ප‍්‍රායෝගික දැනුම් විරහිත න්‍යායාත්මක දැනුමෙන් පමණක් සන්නද්ධ නිලධාරීන් විසිනි. රට බේරා ගැනීමේ යුද්ධයක් ගැන නිතර කතා කරන මෙරට මිනිසුන්ට වඩාත් තේරෙන භාෂාවෙන් කියන්නේ නම් මෙය යුද්ධය කෙරෙන බිම්කඩ ගැන නොදන්නා අවි පිළිබඳ පමණක් දන්නා මිනිසුන් යුද්ධයකට යැවීමකි. මෙවර වැසි වැටෙන අතර ගොයම් මල් පිපෙන්නේත්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අස්වනු දියබොල් වන්නේත් එහෙයිනි.

බොල්, සිංහලයේ අරුත් ගණනාවක යෙදෙන පදයකි. එහෙත් එය බහුල වශයෙන් යෙදෙනුයේ පුහු, හිස්, රොඩු යන අර්ථයන්හිය. මෙවර වී අස්වනු බොල්වූයේ ගොවියන් නිසා හෝ ඔවුන්ගේ වගා ක‍්‍රමයන්හි ගැටලූවක් නිසා නොව, ඒ හා සම්බන්ධිත දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් බොල් හිස් සහිත මිනිසුන් වූ නිසාවෙනි. බොල්වලට දාව බොල් මිස සාර අස්වනු නොලැබෙන බව තවත් වරක් ඔප්පු වී තිබේ.

ලංකාව ඉතා කුඩා රටක් වන නිසාම එහි වන දේශගුණික හා කාලගුණික තත්ත්වයන් ද සරලය. එසේම එහි වෙසෙන මිනිසුන් අතර වන සංස්කෘතිකමය තත්ත්වයන් ද සරලය. රාජ්‍ය පාලනයේදී සහ මානුෂ සංවර්ධනයේදී මේ තත්ත්වයන් අතිශය වාසිදායක වෙයි. එහෙත් ලංකාවේ රාජ්‍ය පාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් මේ වාසිදායක තත්ත්වයන් හඳුනන්නේ නැත. රට කුඩා වීම නිසාත් රටේ මිනිසුන් එකිනෙකාගේ ඕපාදූප සෙවීමේ නොතිත් ආසාවකින් පෙළෙන්නවුන් නිසාත් දේශපාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මහා බලවතුන් හෝ ශුද්ධවන්තයින් වශයෙන් ජනතාව ඉදිරියේ පෙනී සිට වැජඹීමට හැකියාවක් ලැබෙන්නේ නැත. සාක්ෂරතාවේ ඉහළ අගයනුත් ඕපාදූපයේ බලමහිමයනුත් නිසා තමන් හමුවේ පෙනී සිටින උගතුන් සහ බලවතුන්ගේ පැටිකිරිය වහා අවබෝධ කර ගන්නා මිනිස්සු ඔවුන්ගේ දුර්වලතාවන් හඳුනා ගෙන ඊට අභියෝග කරති. මේ නිසා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන බලවතුන් පොදු ජනතාව සහ මුහුණට මුහුණ ලා සංවාදයන්ට බිය වෙති. ඒ වෙනුවට ඔවුන් කරනුයේ ජනතාව හමුවට ඒමට පෙර තමන් වඩා බලවළල්ලක් ගොඩනගා ගැනීමය. ආවඩන්නන්, තප්පුලන්නන්, සම්බාහකයින් සහ අංගාරක්ෂක රස්තියාදුකාරයින්ගෙන් සමන්විත මේ ආරක්ෂක වළල්ලට උගත් රාජ්‍ය නිලධාරීහු තවත් යමක් එක් කරති. ඒ සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙන විෂය කරුණු සහ නීතිමය ප‍්‍රතිපාදනයන්ය. මේ ආරක්ෂක වළලූ බිඳ යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහෙයින් මිනිසුන් බලහත්කාරයෙන් වැඩවසම් ප‍්‍රවේණිදාසයින් කරවනු ලැබ, තමන්ගේ පැවැත්මේ අයිතිය රාජ්‍ය පාලකයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පවරා දෙනු ලැබ ‘දුන්නොත් කන, එහෙයි එහෙමයි’ කියන තත්ත්වයකට පත්කරනු ලැබ සිටී. එවන් පසුබිමක ගොවීන්ගේ ප‍්‍රායෝගික කෘෂිකාර්මික දැනුම් සම්භාරය රටට අහිමිව ගොවිබිම්හි වී බොල්වීම සහ එලවළු පලතුරු කෘෂිරසායනයන් ඇසුරූ ගමන්මලූ බවට පත්වීම අනිවාර්යය.

මේ වන විට ඉන්දියාව පුරා ඇවිලෙමින් පවත්නා ඉන්දීය ගොවි උද්ඝෝෂණයන්ට පාදකව පවත්නා ප‍්‍රධාන ගැටලූවද උක්ත ලාංකීය ගොවි ගැටලූවට වෙනස් නැත. මෙතැනදී මෙන්ම එතැනදී ද ගොවිකම් පිළිබඳව ගොවියාගෙන් නොඅසා තීන්දු තීරණ ගැනීම ගොවියා අසරණ කිරීමට මතු නොව, දාසභාවයට පත්කිරීමට පවා හේතුකාරකව තිබේ. ඉන්දීය ගොවියා සටන් වදින්නේ ඊට එරෙහිවය. ඒ සඳහා ශක්තිය සැපයීමට ඔවුන් පිටුපසින් ගාන්ධිලා අම්බෙඞ්කර්ලා නේරුලා සිටී.