රසික ගුණවර්ධන


”අපි නිකන් අන්තරාභවිකයො වගේ, පිටසක්වලින් ආපු අය වගේ. ඇයි අපට මෙහෙම සලකන්නෙ? අපි මේ මවු රටේ ඉපදුණු අය.” රංගිරි දඹුලූ සංඝ සභාවේ භික්ෂුණී ඒකකයේ ප‍්‍රධාන ලේඛකාධිකාරී, කොත්මලේ සිරි සුමේදා භික්ෂුණිය ප‍්‍රශ්න කරනුයේ වගකිවයුත්තන්ගෙනි. තෙරණින් වහන්සේ එසේ ප‍්‍රශ්න කරන්නේ ශ‍්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පතක් අකැප වී ඇති නිසාය. එපමණක් නොව භික්ෂුන්ට ඇති තැන භික්ෂුණීන්ට නැති නිසාය.


හැඳුනුම්පතක් භික්ෂුණීන්ට නොමැති නිසා ලංකාවේ බොහෝ සේවා සැපයීම්වලින් භික්ෂුණීන් ප‍්‍රතික්ෂේප වී ඇත. හැඳුනුම්පතක් නොමැති වීම නිසා භික්ෂුණීන් වහන්සේලාට අනන්‍යතාව අහිමි වී ඇත. ආරක්ෂක කටයුතුවලදී සිය අනන්‍යතාව තහවුරු කිරීමට හැකියාවක් නොමැති නිසා තමන් වහන්සේලා බොහෝ අපහසුතාවට ලක්වන බව කොත්මලේ සිරි සුමේදා භික්ෂුණිය පවසයි.
”බුද්ධ කාලයේ හැඳුනුම්පතක් උවමනා නොවුණේ ඒකාලෙ රාජකාරී කටයුත්තකට යද්දි එහෙම දෙයක් ඉදිරිපත් කරන්න වුවමනා වුණේ නැති නිසා. අද කාලෙ එහෙම නෑ. අද සමාජය වෙනස්. තැනකට යනකොට හැඳුනුම්පත තියනවද කියල අහනව. ”


කොත්මලේ සිරි සුමේදා භික්ෂුණිය පවසන පරිදි මේ ගැටලූව නිසා බෞද්ධ සාසනයට පිවිසීමට සිටින කාන්තාවන්ට මඟ ඇහිරී ගොස් ඇත. එය සාසනික අභිවෘද්ධියටද විශාල ගැටලූවක් වී ඇති බව තෙරණියගේ අදහසයි.


අධ්‍යාපන අයිතිය අහෝසිවීම
”හික්ෂුණින් වහන්සේලාට හැඳුනුම්පත අවශ්‍ය නිවන් දකින්න නොවේ. අද මේ සමාජයේ ජීවත් වෙනකොට, හැඳුනුම්පතක් අවශ්‍යයි. දැන් තරුණ අය මහණ වෙනව අඩුයි. මොකද ඒ අය දන්නවා මහණ වෙලා වැඩක් නෑ, විභාගවලටවත් ලියාගන්න බෑ, ඉදිරියට යන්න බෑ කියල.”


එපමණක් නොව බැංකු කටයුතු, විභාග කටයුතු ආදියේද බාධා ඇතිවෙයි.
”ආරාමෙ දියුණු කරගන්න මුදලක් ලැබුණත් හැඳුනුම්පතක් නැති නිසා බැංකු කටයුත්තක් කරගන්න බැහැ. විදේශ ගත වෙන්න ගියත් හැඳුනුම්පත නැතුව පාස්පෝට් එකක් හදන්නෙ නෑ.


සමහර මෙහෙණින් වහන්සේල විභාගශාලාවලට ගිහිල්ල ආපහු හැරිල ඇවිත් තියනව, හැඳුනුම්පත ඉල්ලනකොට දෙන්න හැඳුනුම්පතක් නැති නිසා. මොකද සාමාන්‍ය පෙළ විභාගයට තැපැල් හැඳුනුම්පතෙන් ලීවට, උසස් පෙළ විභාගයට තැපැල් හැඳුනුම්පත අරගෙන ගිහිල්ල වැඩක් නෑ. ඒ නිසාම මෙහෙණින් වහන්සේලා කිහිපදෙනෙක් සිවුරු හැරියා. අද ඔවුන් ගිහියන් වශයෙන් විශ්වවිද්‍යාලයේ ඉන්නව. ඔවුන් සිවුරු හැරියෙ වෙන දේවල් නිසා නෙවේ. ඉගෙන ගන්න හැඳුනුම්පතක් නැති නිසා.”
පූජ්‍ය හත්නාගොඩ බද්‍රා කාපිලානී භික්ෂුණිය සියම් නිකායේ රංගිරි දඹුලූ පාර්ශ්වයේ භික්ෂුණී ඒකකයේ අනුශාසක තනතුර උසුලයි.


”අපේ ශිෂ්‍ය පොඩි භික්ෂුණින්ට මෙය විශාල ගැටලූවක් වෙලා තියනව. සාමාන්‍ය පෙළ විභාගය හෝ ප‍්‍රාචීණ විභාගය හෝ ධර්මාචාර්ය විභාගය හෝ එහෙම නැත්නම් පිරිවෙන් අවසාන විභාගය, උසස් පෙළ විභාගය ආදී කිසිම විභාගයකට සහභාගිවෙන්න කිසිම හැකියාවක් අපට නෑ, අපට හැඳුනුම්පත් නොමැති නිසා.


විභාග කොමසාරිස්ට කියල කිසියම් මොහොතක විභාග ලියා ගන්න අවස්ථාව ලැබුණත් විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වෙන්න, විද්‍යා පීඨයකට ප‍්‍රවේශ වෙන්න එහෙම නැත්තන් පාසලක පිරිවෙනක ගුරුවරයෙකු විදිහට කටයුතු කරන්න හැකියාවක් නෑ.


මේ ගැටලූව නිසා අපි වගේම ශිෂ්‍ය සාමණේර මෙහෙණින් වහන්සේලා පවා ඉතා විශාල මානසික පීඩනයක ඉන්නෙ. අපට සල්ලි නෑ. අපි දායකයන්ගෙන් ලැබෙන ආධාරවලින් බොහොම මහන්සි වෙලා ඉගෙන ගන්නෙ.”
අමුණවත්තේ සමන්ත භද්‍රිතා මෙහෙණින් වහන්සේ වයස අවුරුදු දහ අටක තරුණ භික්ෂුණියකි. හැඳුනුම්පතක් නොමැතිවීමේ ගැටලූව එම තෙරණින්ට දැනී ඇත.


”මම අවුරුද දහයෙන් මහණ වෙන්නෙ. මම සාමාන්‍ය පෙළ විභාගය තැපැල් හැඳුනුම්පතෙන් ලීව. නමුත් උසස් පෙළ තැපැල් හැඳුනුම් පතෙන් ලියන්න බැහැ. අපට ජාතික හැඳුනුම්පත හදන්න අවසර නෑ. අපට හැඳුනුම්පතක් හදල දෙන්නෙ නෑ. මීට අවුරුදු ගාණකට කලින් නම් භික්ෂුණීන්ට ජාතික හැඳුනුම්පත හැදුව. ඒ වුණත් මම විභාගෙට ලියන්න යන කොට හදන්න බෑ.
විභාගෙ ලියාගන්න බැරිවෙයි කියල බයවෙලා හිටියෙ. ඒක නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට ගියහම බෞද්ධ කටයුතු එකේ ලියාපදිංචි වෙන්න කිව්වා. එතනට ගියහම එතනින් දස සිල් මාතා කියල ලියාපදිංචි වෙන්න පුළුවන් කිව්වා. නමුත් අපි දස සිල් මාතාවන් නොවේ, අපි භික්ෂුණින් නිසා දස සිල් මාතාවන් කියල ලියාපදිංචි වුණේ නැහැ.”


ඡන්ද බලය


හැඳුනුම්පතක් නොමැති නිසාම ශ‍්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාට සර්වජන ඡුන්ද බලය ඇත්තේ නැත. ඒ නිසා භික්ෂුණින්ලාට මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය පවා අහිමි වී ගොසිනි. තමන්ගේ පාලකයා තෝරා ගැනීමට, නො එසේනම්, රටේ අනාගතය පිළිබඳව තීරණ ගැනීමට ශ‍්‍රී ලංකාවේ භික්ෂුණීන්ට ඇති අවකාශය අහුරා ඇත.


”රටේ ජනාධිපතිට පුළුවන් මේක විසඳන්න. අගමැතිට පුළුවන් මේක විසඳන්න. අපේ ඡුන්ද අයිතිය අහෝසි කරල තිබීම ලොකු අපරාධයක්.”


සාසනයේ අර්බුදයක් ඇතිවෙනව නම් රජතුමාට පුළුවන් ඒක හදන්න. හැබැයි එක පාර්ශ්වයකට ඇහුම්කන් දීල තව පාර්ශ්වයක් පාගගෙන ඉන්න එක ඒතරම් සුදුසු නෑ. මේක විසඳීමේ වගකීමක් රජයටත් තියනව.” කොත්මලේ සිරි සුමේදා භික්ෂුණීන් වහන්සේ පවසයි. ලංකාවේ පුරවැසියකු වීමට සියලූ සුදුසුකම් සපුරා ඇතත්, තමන් වහන්සේලා මෙරට පුරවැසියන් ලෙස නොපිළිගන්නේ තමන් කාන්තාවන් වීම නිසා බව හැඟීමක් උන්වහන්සේලා තුළ පවතී.


”මේ හැඳුනුම්පත් ගැටලූව නිසාම හත් අට දහසකට ඡුන්ද අයිතිය අහිමි වෙලා තියනව. මේ නිසා අපට ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක් පත්කර ගන්න තියන ඡුන්ද අයිතිය එහෙම නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය නැතිවෙලා තියනව.” හත්නාගොඩ බද්‍රා කාපිලානී භික්ෂුණීන් වහන්සේ පවසයි.


ඔබ උපන් රට, ඔබ හැදී වැඩුණු රට ඔබ ආගමික සංස්ථාවකට ඇතුළුවීම නිසා ම සහ එහි බලපෑම නිසා සිය මූලික අයිතිවාසිකම් අහිමි වී යන විට දැනෙන තනිකම උන්වහන්සේලාට ද දැනේ.


ඒ පිළිබඳව අමුණවත්තේ සමන්ත භද්‍රිතා තරුණ භික්ෂුණිය මෙසේ පවසයි. ”මට අවුරුදු දහ අට වෙලත් තාමත් ලංකාවෙ පුරවැසිභාවය ලැබිල නෑ. මේ නිසා අපට ඡුන්දෙ දාන්නවත් බෑ.”


”අපි උපසම්පදා වුණේ 1998. ඒ කාලෙ ඉඳල 2004 වගේ වෙනකම් අපට හැඳුම්පතක් ලබා දුන්න. නමුත් දැන් 2004 පස්සෙ අපට හැඳුනුම්පත් නිකුත් කරන්නෙ නැහැ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අපේ පන්සල් ලියාපදිංචි කරන්නෙ නැති නිසයි මේ ගැටලූව වෙලා තියෙන්නෙ.” හත්නාගොඩ බද්‍රා කාපිලානී භික්ෂුණීන් වහන්සේ පවසයි.


භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා හත්නාගොඩ බද්‍රා කාපිලානී භික්ෂුණීන් වහන්සේ බොහෝ වෙහෙසී කටයුතු කර ඇත. වරක් උන්වහන්සේ මුහුණ දුන් සිදුවීමක් අප සමග මෙසේ පැවසූහ.


”මම හිතන්නෙ මේක බමුණු මත සහ පුරුෂාධිපත්‍ය හැටියට. මේක දායකයන්ගෙ ප‍්‍රශ්නයක් නෙවේ. බෞද්ධ කටයුතු කොමසාරිස් විදිහට චන්දන පේ‍්‍රම ගමගේ කියන මහත්තයා වැඩ කරද්දි මම ගියා. ඒ මහත්තය කියනව, මම පෞද්ගලිකව ඔබ වහන්සේලා සමග කිසි අමනාපයක් නෑ, මම නිතරම මල්වතු, අස්ගිරි පාර්ශ්වවලින් අනුසාසනා ගන්නව කියල. එතකොට මම ඇහුව මල්වතු අස්ගිරි පාර්ශ්වවලින් එපා කියනවද කියල.


ත‍්‍රිපිටකය තුළ අහවලාට මම සාසනය භාර දෙනව, එයා තමයි නායකත්වය දරන්න ඕනෙ කියල කිසිම තැනක සඳහන් කරල නෑ. නමුත් සමහර අය කියනව බුදුහාමුදුරුවො බුදුවෙන්න ඕනෙලූ නැවත භික්ෂුණී සාසනයක් ඇති කරන්න.”


අමුණවත්තේ සමන්ත භද්‍රිතා මෙහෙණින් වහන්සේ තරුණ භික්ෂුණියක් බැවින් ඈ අනාගත බලාපොරොත්තු හිස රඳවාගෙන සිය අධ්‍යයන කටයුතුවලට බොහෝ වෙහෙස වෙයි. ඒ වෙහෙස හැඳුනුම්පත නොලැබීම නිසා බොඳව යන වග හැඟුණු විට උන්වහසේ සංවේදී වෙයි.


”මම කොහොම හරි හදල දෙන්න කීවහම එයාල කියන්නෙ මහානායක ස්වාමීන් වහන්සේලා මේකට ඉඩ දෙන්නෙ නැහැ කියල. මේ නිසා නිලධාරීනුත් අසරණ වෙනව. මම බයවුණා විභාගෙ ලියාගන්න බැරිවෙයි කියල. විභාගයට මාසයක් විතර තියෙද්දි එවකට හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා කතා කරල ෆොටෝ එකක් අත්සන් කරල විභාගෙ ලීව. කැම්පස් යන්න ලකුණු මදිවුණු නිසා නැවත වතාවක් මේ අවුරුද්දෙ විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙනව.
ලබන මාසෙ ප‍්‍රාචීණ ප‍්‍රාරම්භ්‍ය විභාගය තියනව. ෆොටෝ එකක් අත්සන් කරල තමයි ඒකත් ලියන්න වෙන්නෙ. කොච්චර පාඩම් කළත් විභාගෙ ලියාගන්න බැරි වුණොත් අපට අනාගතයක් නෑ.


මගේ අනාගත බලාපොරොත්තුව මහාචාර්ය කෙනෙක් වෙන එක.”


හත්නාගොඩ බද්‍රා කාපිලානී භික්ෂුණීන් වහන්සේ අවසාන වශයෙන් මෙසේ ඉල්ලීමක් සිදු කළහ.


”ඒ වගේම රජයේ ප‍්‍රතිපාදන, බුද්ධ සාසන අමාත්‍යාංශයේ කිසිම දෙයක් අපට ලැබෙන්නෙ නෑ. එහෙම නොලැබුණත් අපට ගැටලූවක් නෑ. දායකයො අපට අවශ්‍ය සිව්පසය දෙනව. අපට බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචියයි, හැඳුනුම්පතයි දෙනව නම් ඇති. අපි මේ ගැටලූවට විසඳුමක් අපේ අතිගෞරවනීය, මහා නායක ස්වාමීන් වහන්සේලාගෙන් ඒ වගේම මහා සංඝරත්නයෙන් පාදාභිවන්දනයෙන් අපි ඉතා කාරුණිකව නිතරම ඉල්ලීම් කරනව. තාම අපට උන්වහන්සේලාගේ කාරුණිකත්වය ලැබිල නෑ.”


කෙසේ වෙතත් මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් සිදුකර 2015 වසරේ පවසා ඇත්තේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාව කඩකර ඇති බවයි. නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධව බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව කිසිදු පියවරක් ගෙන නැත.


මේ රටේ පාලකයෝ ද පාලිතයෝ ද ආගමික සංස්ථාවේ ගොදුරු බවට පත්ව සිටිති. මේ කතාවෙන් කියවෙන්නේ එහි කරවටක් ගිලී සිටින අවාසනාවන්ත ගොදුරුවල තවත් එක් පැතිකඩක් නොවේද? ආගමික සංස්ථාවට, විශේෂයෙන්ම මල්වතු සහ අස්ගිරි පාර්ශ්වවලට මේ තරමට මිනිසුන් පාගා හෙලන්නට බලය දුන්නේ කවුරුන්ද? කාන්තාවක් වූ පමණින් මූලික අයිතිවාසිකම් පවා අහිමි කිරීම තුළ රටේ දේශපාලකයන්, සමාජ ක‍්‍රියාකාරීන් සහ බලධාරීන්ට මුඛවාඩම් බඳින්නට මල්වත්තට සහ අස්ගිරියට ඉඩ සැලසීමම අප සිටින සමාජයේ අභාග්‍ය නොවේද?

පුරවැසි අයිතිය පැහැර ගැනීමක්
මංජුල ගජනායක – ජාතික සම්බන්ධීකාරක – මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය


මෙය මැතිවරණයට පමණක් බලපාන කරුණක් නොවේ. ශ‍්‍රී ලංකාවද අපරානුමත කරන ලද ජාත්‍යන්තර සම්මුතීන්හිට අනුව රාජ්‍යයේ කටයුතු සඳහා එක්වීමට රාජ්‍යයේ සෑම පුරවැසියෙකුටම අනුල්ලංඝනීය අයිතියක් තියනව. අනන්‍යතාවක් නොමැතිවීම යනු පුරවැසියෙකුට රාජ්‍යයේ කටයුතු සඳහා එක්වීමට ඇති හැකියාව නැති කිරීමක්. එවිට අනන්‍යතා පත‍්‍රයක් නොදීම යනු නීත්‍යානුකූල රජයක් විසින් චේතනාන්විතව හෝ අනිසි ආකාරයකට රාජ්‍යයේ කටයුතුවලට පුරවැසියාට මැදිහත්වීමට ඇති අයිතිය නැති කිරීමක්.


ඒ නිසා ආගමික සංස්ථා තුළ පමණක් නොව සෑම පුද්ගලයෙකුගේම පරමාධිපත්‍ය බලය රැුකදීම සඳහා යම් යාන්ත‍්‍රණයක් සැකසිය යුතුයි. අවුරුදු දහ අටට වැඩි ඡුන්ද හිමියෙකු ලෙස සියලූ සුදුසුකම් සපුරා තිබෙන ඕනෑම මැතිවරණයකට ඡුන්දය භාවිත කිරීමට අයිතිය තියන, ප‍්‍රජා අයිතිය අහෝසි නොවී සිටින පුරවැසියකුට ඡුන්දයට අවශ්‍ය පහසුකම් හිමිවිය යුතුයි. මෙහි තිබෙන බරපතළ තත්ත්වය තමයි මානව හිමිකම් කොමිෂන් සභාව අනුමත කළත්, මැතිවරණ කොමිෂන් සභාව යම් කැමැත්තක් ප‍්‍රකාශ කළත් මෙවැනි අවස්ථාවක ඡුන්ද අයිිතිය නොලැබීම රටේ ආගමික හමුදාව කොතරම් බලවත්ද යන්නට එක් සංදර්ශනයක්.

ත්‍රෛනිකායික අවසරය නෑ


බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම
භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත් නිකුත් කරන්න පු.ලි.දෙ අපේ අනුමැතිය ඉල්ලනවා. නමුත් භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව අප සතුව ලේඛන නෑ. ඒකට හේතුව ත්‍රෛනිකායික මහානායක හිමියන් ලංකාවේ භික්ෂුණී සාසනය පවතින බව පිළිනොගැනීම. මෙතන තියෙන්නෙ මතවාදීමය ගැටලූවක්.


ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් භික්ෂුණී සාසනය සඳහා අවසර ලබා දෙනව නම් අපට පුළුවන් මේ කටයුත්ත සඳහා අනුමැතිය ලබා දෙන්න.


මැතිවරණ සමයකදී මේ පිළිබඳව කතාබහට ලක්වෙනව. නමුත් ජාතික හැඳුනුම්පත නොමැතිව ග‍්‍රාමසේවකගේ නිර්දේශය මත ඡුන්දය භාවිත කිරීමට අවශ්‍ය කටයුතු මැතිවරණ කොමිෂන් සභාව සකසල තියනව. මෙහි නීතිමය පසුබිමට වඩා සාසනික සම්ප‍්‍රදාය පිළිබඳව අපි සැලකිලිමත් වෙනව. මේකට මැදිහත් වෙලා සාසනික ගැටලූවක් ඇති කරන්න අපට වුවමනා නෑ.

හැඳුනුම්පත අත්‍යවශ්‍යයි
නීතීඥ කෞෂල්‍යා ආරියරත්න


හැඳුනුම්පත කියන්නෙ පුරවැසියෙක්ට අයිතිවාසිකම් ලබාගැනීමට තියන බලපත‍්‍රය. ඒක රාජ්‍ය පද්ධතියේ පාලනයට සහභාගි වෙන්න පුළුවන් යතුර. හැඳුනුම්පතක් නෑ කියන්නෙ ගෙදරට යන්න යතුර නෑ වගේ වැඩක්. අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න හැඳුනුම්පත ඕනෙ, රියදුරු බලපත‍්‍රයක් ගන්න හැඳුනුම්පත ඕනෙ, ඡුන්දය දාන්න හැඳුනුම්පත ඕනෙ. හැඳුනුම්පතක් නෑ කියන්නෙ එහෙම පුරවැසියො කොට්ඨාසයක් රටේ නෑ කියල තමයි සලකන්නෙ. ඒ ගොල්ලන්නට කිසිම ආකාරයක ප‍්‍රතිලාභයක් හිමිවෙන්නෙ නැහැ. පසුගිය කාලෙ පන්දාහ දුන්නෙත් හැඳුනුම්පත තියන අයට විතරයි.


ඇත්තටම ගත්තොත් භික්ෂුණීන් රාජ්‍ය පාලනයෙන් බැහැර කරල තියනව. මේ හරහා විවිධ පැතිවලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනව. අධ්‍යාපනයට ඇති අයිතිය, රැුකියාවක් කරන්න තියන අයිතිය, සමානාත්මතාවයේ අයිතිය, දේශපාලන අයිතිවාසිකම් වගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම බැහැර කරල තියනව.


මේකෙ ප‍්‍රශ්නය තියෙන්නෙ ඇයි මේ අය බැහැර කරල තියෙන්නෙ. හේතුව තමයි ලංකාවෙ ආගමික සංස්ථාව, විශේෂයෙන්ම බෞද්ධ ආගම මූලික කරගත් ආගමික සංස්ථාව පිරිමි මූලික කරගත් හාමුදුරුවරුන්ගේ අණසක. මේ අය හදාගෙන තියන මේ පිළිවෙත් බෞද්ධ දර්ශනයේ තියන පිළිවෙත් නෙවේ. මේ සමානාත්මතාව අගය කරන බුදු දහම විකෘති කරල මේ අය හදා ගත්ත පිළිවෙත්.


පැහැදිලිවම මෙය භික්ෂුණීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

ගිහි හැඳුනුම්පත ඇති
මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා


භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පතක් නොමැතිනම් උන්වහන්සේලා ගිහි හැඳුනුම්පත භාවිත කරල ඡුන්දය ප‍්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ග‍්‍රාම නිලධාරීවරයාගෙන් එක්දින හැඳුනුම්පතක් ලබාගෙන ඡුන්දය ප‍්‍රකාශ කරන්න පුළුවන්.