නීල් ක්‍රිස්ටෝෆර්

2020.11.15දා රාවයේ පළවූ ‘මේ රටේ මුසල්මානුවකු ලෙස ආදාහනය කිරීමට මම බියවෙමි’ යන මැයෙන් අමලිනී ද සේරා සහ ස්වස්තිකා අරුලිංගම් විසින් සැපයුණු ලිපිය නූතන සමාජය තුළ ආගම්වල භූමිකාව කොතරම් අශ්ලීලද? අමානවද? ප්‍රතිගාමීද? යනු විමර්ශනය කිරීමට මහත් අවකාශයක් විවෘත කර ඇත. ඊට ප්‍රවේශ වන්නට පෙර එම ලේඛිකාවන් විසින් මේ රටේ ග්‍රාමීය හා අර්ධ නාගරික මිනිසුන් දහස් ගණනක් මුහුණ දෙන කටුක, ශෝචනීය යථාර්ථය නොදැක්කා සේ උඩින් පැන යෑමක් පෙන්වා දෙනු කැමැත්තෙමි.


පරිසර විද්‍යා මහාචාර්යවරයකු පිළිබඳ සඳහන් කරමින් ලේඛිකාවෝ මෙසේ කියති: “භූගත ජලයට වෛරසය බලපාන ආකාරය සම්බන්ධයෙන් පාරිසරික විද්‍යා මහාචාර්යවරයකුගෙන් අප කළ පුද්ගලික විමසීමකදී හෙතෙම පැහැදිලි කළේ වෛරස් බර නොගැඹුරු ජල වගුවේ තනුක වීමට ඉඩ ඇති බවත්, පසුව ඇතිවන මෝසම් වැසි හේතුවෙන් එය තවදුරටත් අඩුවන බවත්ය. භූගත ජලය කිසි විටෙකත් කෙළින්ම පරිභෝජනය නොකරන අතර එය පානය කරන්නේ ක්ලෝරීන්කරණයෙන් පසුව පමණක් වන අතර ඒ මගින් ඉතිරිව ඇති වෛරස් අංශු විනාශ වනු ලබන බවත්ය.”
අමලිනීත්, ස්වස්තිකාත් මේ කියන්නේ ඇත්තක් නම් මේ මහාචාරියා සිටින්නේ කොහිද? අපගේ ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාවගෙන් දහස් ගණනක් ළිං ජලය, වැව් හා ගංගා ජලය පරිහරණය කරන බව ඒකා දන්නේ නැද්ද? එම ජනතාව පානය කරන ජලයට ක්ලෝරීන් මිශ්‍ර කරන්නට ඒකා ළිං, වැව් හා ගංගා මතින් භූතයකු ලෙස සැරිසරනවාද? මේ මහාචාරියාගේ ශ්‍රී නාමය ජනාධිපති විශේෂ කාර්ය බලකායකට යෝජනා කරන ලෙස මම අමලිනීගෙන් සහ ස්වස්තිකාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

අපි දැන් අපේ කාරණයට පිවිසෙමු. භූමදානයද? ආදාහනයද? යනු ඇතැම් ආගම් අදහන අයගේ අධිනිශ්චය වන ප්‍රශ්නයක් වන්නේ ඇයි?


ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් නිර්මාණවාදය පදනම් කොට ගත් ඒවා වන අතර දෙවියන් මනුෂ්‍යයා මැවූ බව පිළිගනී. ඒ අනුව මිනිසා ජෛව පරිණාමයේ ප්‍රතිඵලයක් නොව දෙවියන්ගේ සුවිශේෂ නිර්මාණයෙකි. දෙවියන් ඔහු නිර්මාණය කරන්නේද පස් පිඩෙකිනි. එහෙයින් මරණයෙන් පසු ඔහු පසටම මුසු විය යුතුය. දෙවියන් ඔහු යළිත් ස්වර්ගයට කැඳවාගෙන යනු ඇත. භූමදානය වටිනා පිළිවෙතක් වන්නේ එම අර්ථයෙනි.


ආදාහනය කැරුණු සිරුරේ අළුවලින් මනුෂ්‍යයා ප්‍රතිනිර්මාණය කොට ස්වර්ගයට කැඳවා ගන්නට බැරි තරම් දෙවියා දුර්වලය දැයි වෙනත් ආගම් අදහන්නකුට (බෞද්ධයකුට) ප්‍රශ්නයක් නැගිය හැකිය. එහෙත් එම ප්‍රශ්නයෙන් ඔහු කරන්නේ සිය ආගමික මිථ්‍යාවන්ට ඇස් වසා ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි ආගම් අදහන අය නරුමවාදී උපහාසයට ලක් කිරීම පමණෙකි. නැතහොත් අප නම් එතරම් පටු නොවෙති’යි පුරසාරම් දෙඩවීමෙකි.


ජනතාව තුළ මුල් බැස ගත් සියලු ආගම්වල ප්‍රායෝගික ඇදැහිල්ලේ පශ්චාත් මරණ ප්‍රතිලාභ/ මරණින් පසු අත් වෙතැ’යි අපේක්ෂිත ප්‍රතිලාභ (Posthumous Prospects) පවතී. ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ආත්මීය අල්ලස්ය. ස්වර්ග සම්පත්තිය, දෙව්ලොව සැප, මරණින් පසු සදාතනික ජීවිතය, ක්‍රිස්තුස්ගේ දෙවැනි ආගමනයෙන් පසු පරිපූර්ණ තාරුණ්‍යයෙන් යුක්තව ස්වර්ග රාජ්‍යයේ පුනරුත්පත්තිය, ස්වර්ගයේදී කන්‍යාවන් සමග සංසර්ගයේ යෙදෙන්නට අවකාශය, මෙලොව කළ පින් අනුව ස්ත්‍රීන්ට නම් ශක්‍ර දේවේන්ද්‍රයාගේ බිරිඳ වශයෙන් ආත්ම කීපයෙක ඉපැදෙන්නට අවකාශය, මතු බුදුවරුන්ගේ අසවල් අසවල් තනතුරු ලබන්නට අවකාශය ආදී වශයෙනි. මේ ඇතැම් ඒවා ආත්මීය ලිංගික අල්ලස් බව ඉතාම පැහැදිලිය. (මරණින් මතු හෝ අතට එන ‘චාන්ස්’ එක අත්නොහරිනු!) ඒවා ලිංගික අපරාධ/අපචාර ලෙස සැලැකෙන දිව්‍ය දණ්ඩ නීති සංග්‍රහයක් (A diving Penal Code) නැති හෙයින් මෙලොවට වඩා එලොව හොඳය. ඒ නිසා මරණයෙන් පසු දේහය පිළිබඳ කටයුතු සිදුවිය යුත්තේ ආගමික විශ්වාසය අනුවමය!


දෙවියන්ගේ ආශීර්වාදයට ලක්වූවන් ක්‍රිස්තුස්ගේ දෙවැනි ආගමනයෙන් පසු පූර්ණ තාරුණ්‍යයෙන් යුක්තව නැවත ඉපැදීම යන විශ්වාසය සදාචාරය (morality) හෝ ව්‍යභිචාරය – සමීප ඥාතීන් අතර ලිංගික සංසර්ගය (incest) හෝ පිළිබඳ ප්‍රශ්න ඇති කරන්නේ නැද්ද යන්නට පිළිතුරක් නැත්තේ ස්වර්ගය තුළ ලිංගික සංසර්ගයට අවකාශයක් ඇද්ද? නැද්ද? යනු බයිබලයේ ‘එළිදරව්ව’ පොතෙහි සඳහන් නොවන නිසාය. ඇතැම්විට පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතාව (impotence)අන්තරා සර්ග පද්ධතිය ශල්‍ය කර්මයකට ලක් කිරීම, ස්ත්‍රීන් ලිංගිකව අකර්මණ්‍ය කිරීම (clitoridectomy tubectonmy, vasectomy, emasculation) ආදී ක්‍රියාවන්ට ලක් කිරීම දිව්‍ය වෛද්‍යවරයාට පවරා තිබීම අබිරහසක් ලෙස පවතිනවා විය හැකිය. ආගම්හු අබිරහස් පැටව් ගස්සන්නට සමත්හුය. අනෙක් අතට ව්‍යභිචාරය (incest) ගණන් ගත යුතු නැත. මන්දයත්, මුල් මාපියන් ලෙස සැලකෙන ආදම් සහ ඒවගේ පුත්‍රයා වන කායින්ට දරුවන් සිටි බව බයිබලයේම සඳහන් බැවිනි. ඔවුහු දෙවියන් මැවූ දරුවෝ නොවූහ.


උක්ත කාරණා විශ්වාස කරන ඇය සබුද්ධික, ශිෂ්ට මානවයන් වන්නේ කෙලෙසද? අඩු ‘චාන්ස්’ ලබන්නන් සහ වැඩි ‘චාන්ස්’ ලබන්නන් අතර සංහිඳියාවක් ඇති වන්නේ කෙලෙසද? අන්තර් ආගමික සංහිඳියාව (inter religious harmony) ප්‍රලාපයෙක්ද? මානසික අසරණ භාවයෙන් උපන් ෆැන්ටසියක්ද? දෙවියන් විසින් තෝරා ගැනුණු එක් මානව වංශයක් (a chosen race) පිළිබඳ කියැවෙන විට එම ඊනියා වංශයට අයත් වූවන් අන්‍යයන් දෙස සමානාත්මතාවාදී දෘෂ්ටියෙකින් බලන්නේ කෙසේද? අප මේ කරමින් සිටින්නේ අසවල් දෙය සඟවාගෙන ‘අසවල් දෙකෙන්’ කරන ක්‍රියාවලියක් නොවන්නේද?


ආණ්ඩුව සහ ආගම අතර පවත්නා අශ්ලීල අමානව සංසර්ගය අත්‍යන්තයෙන්ම මානව විරෝධී බව පිළිගෙන ලාංකිකත්වය (Lankanness) පදනම් කැර ගත් ජාතියක් ගොඩ නගන්නට හැකි ව්‍යවස්ථා ප්‍රතිපාදන ඇති කිරීමට යොමු නොවන කිසිවකු ශිෂ්ට සම්පන්නයකු ලෙස සැලකිය හැක්කේ කෙසේද? එකී ආගම්වාදී සංසර්ගයෙන් බිහිවූ, සුජාත නිරෝගීමත් සමාජ ඵලයක් පෙන්වා දිය හැකිද? ආගමික විෂ ධූමයෙන් විකෘත වූ කළලයන්ගෙන් බිහිවන්නෝ ආත්මීය ලෙස අංගවිකල වූ ප්‍රාණියෝ නොවෙත්ද? රටෙක ජනතාවගෙන් බහුතරයක් අදහති’යි සැලකෙන ආගමක් රාජ්‍ය ආගම ලෙස ප්‍රමුඛ ස්ථානගත කිරීමෙන් රැවටෙන්නේත්, රවටන්නෝත් කවරහුද? එහිදී අන්‍යාගමිකයන් සම්බන්ධයෙන් සමාන පුරවැසිභාවය නමැති සංකල්පයට සිදුවන්නේ කුමක්ද? ඒ ඒ ආගම් අදහන මහජන නියෝජිතයන් සභා වාර අවස්ථාවලදී සිය ආගමට අනුව අදාළ වේලාවන්හිදී ආගමික වතාවත් කරන්නට ඉල්ලා සිටියහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? ආණ්ඩු පවතින්නේ ආගමික වතාවත් ඉටු කිරීමට නොව සියලු පුරවැසියන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමටයි යන මානවීය සම්මතය පිළිගත යුතු නැද්ද?

උක්ත ප්‍රශ්න ඉදිරියේ ගොළුවත රකින අපි මුළු ලොවම හිනස්සන වැඩ කරමින් නොසිටිමුද? සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේ ඇතිවූ නියඟයට ‘පිළියම්’ වශයෙන් ඊනියා ‘බෞද්ධ’ චාරිත්‍ර කරන්නට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රු. 75,000/- බැගින් දෙන්නට තීරණය වූ බව වාර්තා විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා, රාජ්‍ය පරිපාලන සේවා විභාගය සමත් ප්‍රාදේශීය ලේකම්වරයා ටයි පටියකින් සැරැසී ‘වැස්ස වළාහක දෙවියන්ට’ කන්නලව් කරන ගෝත්‍රිකයකු බවට පත් කිරීම මහා හේතු ඵලවාදියාණන් කෙනකු වූ බුදුන්ට කරන අමනෝඥ අපහාසයෙක් නොවන්නේද?


නීතිඥවරියක වන පවිත්‍රාදේවී වන්නිආරච්චි වන්නියේ අභිචාරීමය ජල චාරිත්‍ර කිරීම ආසියාවේ ආශ්චර්යවත් ක්‍රියාවෙක්ද? කොවිඞ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් නිදහස් වන්නේ රතන සූත්‍ර සජ්ජායනයෙන්ද? කාදිනල්වරයා දේව මෑණියන්ට වන බාරයකින්ද? නැතහොත් විෂ්ණුට හෝ කතරගමට හෝ වන බාරයකින්ද? මෙහිදී වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහා විශ්ව කර්මයක් ඉටු කිරීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිය යුත්තේ කාටද? ඔවුහු සම ත්‍යාගලාභියෝ ද? මේ සකලවිධ මිථ්‍යාවන් භූමදානය හෝ ආදාහනය හෝ කරන්නට ව්‍යවස්ථාවක් සැකැසෙන්නේ කවරදාද? අපි ආසියාවේ නාඩගම් මඩුවද? හිනා පොළද?


කාල් මාක්ස් කී පරිදි මිනිසා තමා වටා කැරැකෙන්නේ නැති තාක් ආගම මිනිසා වටා කැරැකෙයි. එය මෙසේ ඌන පූරණය කළ හැකිය: මිනිසා තමා වටා කැරැකෙන්නේ නැති තාක් ආගම මිනිසා වටා කැරැකෙමින් ඔහුගේ සිහිබුද්ධිය වනසමින්, ඔහු අශිෂ්ටයකු හා මානසික වහලකු කිරීම නවතින්නේ නැත.


මනුෂ්‍ය සංහතිය පිළිබඳ සැබෑ ප්‍රශ්නය වනුයේ ආදාහනයද? භූමදානයද? නොව ජීවිතය සුපුෂ්පිත කැර ගනු වස් මිනිසා මානසික වහල් භාවයෙන් නිදහස් විය යුතුද? නැද්ද? යනුයි. එය අධිපති පාලකතන්ත්‍රයන් මත පරපෝෂිතයන් ලෙස යැපෙමින් එම පාලකතන්ත්‍රයන්ට උඩගෙඩි දෙන සියලු ආගම්වල පූජ්‍ය-පූජක තන්ත්‍රයන් විසින් නිර්මාණය කැරෙන මෝහාන්ධකාරයට හසුවන සියලු පීඩිතයන් ඉදිරියේ ඇති අභියෝගයෙකි. ■

2 COMMENTS

  1. This article is very good. Actually it is described our narrow minded situation in this world. As a Buddha Gautama teaches us we follow Kalama Sutta ( Suthra) to think twice wisly accept before. Protection is better than cure.

  2. Every religion was preached by men of wisdom to the masses of his era. Their teachings in their mother tongue became the religion, their utterance became the holy scriptures and their actions became the code of life and rituals. This is the history of all religions, Buddhism, Christianity, Judaism, Islam and others. We follow the teacher, but sadly though the teachings are polluted or mixed due time and tide, and definitely by deliberate actions by wicked rulers and greedy priests. So, the wise thing to do is go back to the original teachings and practices of these Great teachers, if you can. We the mortals cannot substitute our own interpretations to the Original Teachings of those Great teachers. At least let us not try to teach our Great Teachers. I think we can do this.

Comments are closed.