ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ


එජාපය ප‍්‍රමුඛ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කතාබහ පෙරට වඩා විවෘත වී ඇතැයි සිතිය හැක. ඊට එක් හේතුවක් ලෙස සැලකිය හැක්කේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය පැවැත්වූ ප‍්‍රවෘත්ති සකච්ඡුාවක දී කරු ජයසූරිය කතානායකවරයා ඒ උදෙසා නම් කරන්නැයි එජාප නායකයා ලෙස වික‍්‍රමසිංහ අග‍්‍රමාත්‍යවරයාගෙන් ප‍්‍රසිද්ධියේ කළ ඉල්ලීමය. එම ව්‍යාපාරය එයින් නොනැවතී අඩියක් පස්සට ගන්නැයි සජිත් පේ‍්‍රමදාස එජාප නියෝජ්‍ය නායකයාගෙන් ද ඉල්ලා සිටියේය. 2015 දී ද අපේක්ෂකයා විය යුත්තේ ජයසූරිය මහතා බව එම ව්‍යපාරය විශ්වාස කළ ද එවකට ශ‍්‍රිලනිප ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන සුදුසු බව සිය කඳවුරේ මතය වූ නිසා ඊට අවස්ථාව ලැබුණ බව එම මාධ්‍ය හමුවේ දී ප‍්‍රකාශ විය.


එජාපයේ තුන්කොන්


එහෙත් වැදගත් වන්නේ එජාපය තුළ ජනාධිපති අපේක්ෂක සටන, දෙකොන් නොව තුන්කොන් සටනක් බවට පත්වෙමින් තිබීමය. ඒ, රනිල් වික‍්‍රමසිංහ සටනින් පලා නොයන බවට නැතහොත් සටනට යළි පිවිස සිටින බවට අනුමාන කළ හැකි වීමත් සමගිනි. එවැන්නක් සජිත්වාදීන්ගේ සහ කරුවාදීන්ගේ සිහින බොඳ කළ හැකි අතර එජාපයේ නායකත්ව වෙනසක් අපේක්ෂා කළවුන්ට ද තවදුරටත් බලා සිටීමට සිදුවනු ඇතැයි සිතිය හැක. එහෙත් ඇතැමෙකුට හිස් තැනක් ඉතිරිව පවතින්නේ නම් එසේ වන්නේ වික‍්‍රමසිංහ මහතාගේ අතීත හැසිරීම මත වියහැකිය. 2015දී වුවද අවසාන මොහොත දක්වා ම ඔහු ප‍්‍රකාශ කර තිබුණේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. මෙවර ද එවැන්නක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන්නන් අතර ඉදිරියෙන් ම සිටින්නේ කරුවාදීන් යැයි සිතිය හැක.


එහෙත් සජිත්වාදීන්ට අවශ්‍ය වන්නේ එවැන්නක් යැයි විශ්වාස කළ නොහැක. ඔවුන්ට මෙවර අවශ්‍ය වන්නේ වික‍්‍රමසිංහ මහතා අත්හරින යමක් අල්ලාගැනීම නොවන්නා සේම වික‍්‍රමසිංහ එජාප නායකයා සමග යන ගමනක් ද නොවන්නේය. එය වඩාත් හොඳින් පෙනෙමින් තිබෙන්නේ දැඩි රනිල් හිතවාදියෙකු ලෙස ප‍්‍රකටව සිටි මංගල සමරවීර අමාත්‍යවරයා සජිත්ගේ ගනුදෙනුව අතට ගැනීමත් සමගිනි. ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග ව මෙන්ම 2015 සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයන් පිරිසක් ද සජිත්ගේ වේදිකාවට නැග්ගවීමට දැනටමත් සමත්ව සිටින්නේය. එහි බරපතළකම වැඩියෙන් ම දැනෙන්නේ රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වයටත් වඩා කරු ජයසූරිය පාර්ශ්වයට යැයි සිතිය හැක.


මංගල-රනිල් සටන


දැන් බොහෝවිට සැබෑ සටන දියත් විය හැකි යැයි අනුමාන කළ හැක්කේ සජිත්-කරු අතර නොව සජිත්-රනිල් අතරය. එය එක්තරා ආකාරයකට මංගල-රනිල් සටනක් ලෙසද සැලකිය හැකිය. එහෙත් වික‍්‍රමසිංහ අග‍්‍රමත්‍යවරයා බිත්තියට ම හේත්තු කිරීම සමරවීර අමාත්‍යවරයාගේ සැලසුම විය නොහැකිය. එජාපයෙන් ජනාධිපතිවරයකු පත්වුවහොත් ඔහු පක්ෂ නායකයා ද විය යුතුය යන එජාප ව්‍යවස්ථාවේ වගන්තිය වෙනස් කර වික‍්‍රමසිංහ මහතාට නායකත්වය ආරක්ෂා කර දීමට වුවද ඔහු පෙරමුණ නොගනීවි යැයි සිතිය නොහැක. රටේ නායකයා, පක්ෂයේ ද නායකයා නොවීමෙන් ඍජු -ශක්තිමත් පාලනයකට වන හානිය වළකාගැනීම උදෙසා ජේ. ආර්. ජයවර්ධන එදා එජාප ව්‍යවස්ථාවට ගෙන ආ සංශෝධනය, පසු කලෙක ශ‍්‍රීලනිප ව්‍යවස්ථාවට ද ගෙන ඒමට මහින්ද රාජපක්ෂ කටයුතු කළේය. එම නිසා මංගල එවැනි සැලසුමකට සූදානම් වුවහොත් ඊට සජිත්ගේ කැමැත්ත ලබාගැනීම සරල නොවනු ඇත.


මෙම සටන උදෙසා මංගල සජිත් වෙනුවෙන් ආමන්ත‍්‍රණය කර දිනාගත යුතු ප‍්‍රධාන පර්ශ්ව දෙකක්ද වන්නේය. එකක් දෙමළ, මුස්ලිම් සුළු ජාතික ඡුන්ද ගොඩ ලෙස සැලකිය හැකිය. අනෙක ශ‍්‍රි ලංකාවේ ඊළඟ ආණ්ඩුව පිළිබඳ උනන්දු වන අන්තර්ජාතික බලවේගයන්ය. එහිදී මංගලගේ තේරීම චීනය නොව, ඇමරිකාව බව අපැහැදිලි නැත. චීන විරෝධී- ඉන්දියාවට මධ්‍යස්ථ-අමරිකානු හිතවාදී ආණ්ඩුවක් ගොඩනැගිය හැකි බවට ඇමරිකාව තුළ කිසිදු විශ්වාසයක් ඇති කිරීමට සජිත්ට ශක්තියක් ඇතැයිි සිතිය නොහැකි අතර එවැන්නක් කළ හැකි නම් ඒ, මංගලගේ ඇපවීම මත විය යුතුය. වික‍්‍රමසිංහ අග‍්‍රමාත්‍යවරයා පිළිබඳව එම විශ්වාසය උපරිමව තිබිය හැකි වුවත් ඇමරිකාවට ඉක්මවා යා නොහැකි කඩුල්ල වන්නේ පවතින දේශපාලන වටපිටාව තුළ වික‍්‍රමසිංහ මහතා කිසිසේත් ම මෙරට ජනතා ඡුන්දයෙන් දිනිය හැකි අශ්වයෙකු නොවීමය. මේ නිසා රනිල්ට ඇති, සජිත්ට නැති සුළු ජාතික ඡුන්ද හා ඇමරිකාව දිනීම මංගල භාරගෙන ඇතැයි සිතීම අසාධාරණයක් වන්නේ නැත.


ගෝඨාගේ නම


වැදගත් වන්නේ උද්ගතව ඇත්තේ එවැනි තත්ත්වයක් නම් ගෝඨාභය ඇමරිකාවේ තෝරාගැනීම නොහැකි වීමය. එහිදී පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අවසාන ලිපිය ඇමරිකාව විසින් ගෝඨා අතට පත් කරනු නොලැබීමේ වගකීමද පැවරෙන්නේ මංගලට බව සිතිය හැක. මක් නිසාද ගෝඨා ජනාධිපතිවරණය ජය ගතහොත් ගොඩනගන රාජපක්ෂ ආණ්ඩුව චීන හිතවාදී, ඉන්දියාවට මධ්‍යස්ථ, ඇමරිකානු විරෝධී එකක් වනු ඇති බව ඇමරිකාවේ මැනීම විය හැකි වීම නිසාය.


අගෝස්තු 10 ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට දැනුම් දීමෙන් පසුව අගෝස්තු 11, පොජපෙ ජනාධිපති අපේක්ෂකයාගේ නම ප‍්‍රසිද්ධියට පත් කිරීමට නියමිත අතර ඒ නම ගෝඨාභය බව විශ්වාස කළ හැක. ඔහු ජූලි 23 ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ 24 වන දා පැවැත්වෙන නඩුවට මුහුණ දීම උදෙසාය. ගෝඨාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ පැවරූ නඩු පවා අහම්බයක් යැයි සිතිය නොහැකි අතර ඒවා පිටුපස සිටිය හැක්කේද රනිල් හෝ සජිත්ව හසුරුවන්නන් වීම නොවිය හැක්කක් නොවේ. මේ නිසා අගෝස්තු 11 පොජපෙ සමුළුවේ දී එම පක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ විසින් භාරගනු ලැබීමෙන් පමණක් නැවතීමට සිදුවුවහොත් එය අපෙක්ෂා නොකළ යුත්තක් වීම වැළැක්විය නොහැක.


දෛවඥයන්ගේ කීම්


එහෙත් මෙවර දෛවඥයන්ගෙන් ද වික‍්‍රමසිංහ මහතාට හොඳ ප‍්‍රතිචාර ලැබී ඇතැයි එජාප ඇමතිවරයෙක් මා සමඟ කීවේය. පක්ෂ නායකත්වයට අනතුරක් සිදුකර නොගෙන පරාජය වී විපක්ෂ නායක ධුරය හෝ දැරීමට ඔහු තීරණය කර ඇතැයි අනුමාන කළ හැක. දැනට පෙනෙන පරිදි පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර බලය පේ‍්‍රමදාස මහතා සතු වුවද වික‍්‍රමසිංහ අග‍්‍රමාත්‍යවරයාගේ සූක්ෂම නායකත්වය සියල්ල කණපිට හැරවීමේ හැකියාවද ඉවත දැමිය හැකි නොවේ. සිරිසේන ජනාධිපතිවරයාද දැන් සිය සියලූ ම තුරුම්පු එළියට දමමින් සිටින්නේ තමාගේ අනාගතය උදෙසා ම නොවන්නේය. වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන අනාගතය කුණු බක්කියට තල්ලූ කළ හැකි සියල්ල කිරීම ඔහුගේ පරමාර්ථය යැයි අනුමාන කළ හැක. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡුන්ද ගෙන ඒම පිළිබඳ උනන්දු වන්නේ ද ජනාධිපතිවරණයට පෙර රනිල්ට පරාජයක් අත්කර දීමේ මාවතක් විවර කිරීමට විය හැකිය. එම ක‍්‍රියාමාර්ග සමග සජිත් හා මංගලගේ මෙහෙයුම ද සමපාත වන්නේය. එය ජාත්‍යන්තරය සහ සුළු ජාතික ඡුන්ද සමග ද වේගයෙන් ගැළපුන හොත් කරු පෙන්වා හෝ සජිත්ගෙන් පක්ෂ නායකත්වය රැුක ගැනීම වික‍්‍රමසිංහ මහතාට ද සරල නොවනු ඇත.