ටිරන් කුමාර බංගගමආරච්චි

මහින්දගේ ජයග්‍රහණයට සතුටු වන්නේද, රනිල්ගේ අන්ත පරාජය ගැන සතුටු වන්නේද යන්න මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල ජනතාවට දුන් ප්‍රශ්නාර්ථයය. මහින්දගේ ජය ගැන මෙන්ම රනිල්ගේ අනාථවීමද සැමරිය හැකි දෙයකි. මෙරට දේශපාලනය අලුත් මුහුණු වරක් ලබන්නට නම් රනිල් – මහින්ද දෙපළම මෙරට දේශපාලනයෙන් මකා දැමිය යුතුය. ඒ අය කළ විශිෂ්ට කාර්ය භාරයක් විය. එහෙත් එය අවසන්ව බොහෝ කල්ය. ප්‍රශ්නය මේ දෙපළම ඒ දේ වටහා නොගැනීමය. රනිල්ට ජනතාව විසින් වටහා දී ඇත. මහින්දට 2015දී වටහා දුන්නද එය යථාවක් කිරීමට රනිල් සමත් නොවීය. එහෙත් රනිල්ට එය වටහාදීමට මහින්ද හපනෙකු විය. ඒ දෙදෙනාගේ සෙල්ලමෙන් රනිල් පැරදී ඇතත්, රනිල් මට්ටු නොවන්නෙකි. ඔහු මහින්දව ආදර්ශයටම ගනු ඇත.


ජයග්‍රහණයේ රහස


මහින්දගේ ජයග්‍රහණය ගැන විවිධ මත පළවේ. එහි රහස බැසිල් බව සමහරු කියති. මහින්ද ඒ අතර එක බව තව අය කියති. මේ දින්නේ ගෝඨා නිසා බව කියන්නෝද සිටිති. කෙසේ වෙතත් කිවයුත්තේ මේ තුන්කට්ටුවම දින්නේ 2015 ආණ්ඩුවේ බෙලහීනකම නිසා බවය. සැබෑ රහස එයය. නියම තක්කඩියකු වන සිරිසේන වැන්නකු ගෙනවිත් ඊටත් වඩා තක්කඩි දේශපාලකයෙක් වන රනිල් නැටූ නාඩගම නොවන්නට මහින්දලා අද හාන්සිය. ජනතාව උඩට ඔසවා ගත් දෙපළ විකාරකාරයන් බව දැනගත් පසු ඔවුන්ට කළ හැකි දෙයක් නැති බව වටහා ගත් පසු ජනතාව ඔවුන් අතහැර නැවත මහින්ද විකල්පය කර ගත්හ. එවිට යහපාලනය මහින්දට නොඑන ලෙස දහනවය හරහා වැඬේ අටවා අවසන්ය. එවැනි බාල උපක්‍රම හැරුණු විට රනිල් ප්‍රමුඛ යහපාලනයට කළ හැකි දෙයක් නොවීය. ජනතාව ඒවා තේරුම් ගත්තේ මහින්ද දාන ඕනෑම කෙනෙකුට දිය යුතුය යන තැන සිටය. ජනතාව ගෝඨා තේරුම් ගත්තේ ඊළඟ ගැලවුම්කරු ලෙසය. ගෝඨා තෝරා ගෙන මහින්ද ඉල්ලන විට ඔහුට තැනක් නොදීමට ජනතාව මෝඩ නැත. ජනතාව මහින්දවද ඉහළින්ම පිළිගත්හ. ඒ වෙන කිසිවක් නිසා නොව රනිල් ප්‍රමුඛ නඩය ප්‍රතික්ෂේප කරන විශාල ජනතාවක් පොහොට්ටුව සමග සිට ගනිද්දී පොහොට්ටුවට අකමැති පිරිස් පවා රනිල්ව ප්‍රතික්ෂේප කළේ ඔහු ඒ තරමටම නොවැදගත් බව වටහා ගෙනය. සරලව කිවයුත්තේ යහපාලනයේ නොහැකියාව, වැඩකටම නැතිකම මහින්දලා නැවත පතාක යෝධයෝ බවට පත් කළ බවය. එයින් විපක්ෂය ලිලිපුට්ටෝ විය. දැන් ගලිවර්ලාගේ පාලනයට යටත් වනු හැර වෙන විකල්පයක් ඉතිරි වී නැත.


ආණ්ඩු ගමන


ගියවර ලිපියට පළ කළ ‘කමෙන්ට්’ එකක අවසන කියනුයේ දහනවය ප්‍රශ්නයක් වුවද අයියා, මල්ලී එය පවුලෙන් පිට යන්න නොදී බේරා ගනු ඇති බවය. එය කාලයට බාරය. අයියා, මල්ලී පෙර වැරදි නැවත නොකර අලුත් ගමනක් යන්නේ නම් ඉතා හොඳය. විය යුත්තේද එයමය. අපි රනිල්වාදී හෝ සජිත්වාදීහු නොවෙමු. ඒ නිසා රාජපක්ෂලාට කෙළවන තෙක් බලා සිටින බාල මානසිකත්වයක නොගිලෙමු. මේ ආණ්ඩුව රට ගොඩ දාන්නේ නම් අප එකෙන්මය.


ගෝඨාගේ කතාව


ඡන්දයට පෙර ගෝඨාව පතුරු ගැසූ කතාවක් විය. ඒ ඔහු තැනකදී කෙනෙකුට දෙන උපදෙසක් නිසාය. එනම් දේශපාලනය ඉගෙන ගෙන ඇති පළේ කුමක්ද? ඵලදායී දෙයක් ඉගෙන ගන්න යැයි ඔහු කී කතාවය. මෙය සැබැවින්ම අගය කළ යුතු මසුරන් කතාවකි. මහ මැතිවරණ ප්‍රතිඵල දෙස බලන කල දේශපාලන විද්‍යාව ලෙස ඉගෙන ගන්නා සියල්ල බොරුය. ඒ තියරි කිසිවක් මේ පොළොව මත නැත. එය විෂයක් ලෙස ඉගෙන ගෙන මේ පවතින දේශපාලනය විචාරය කිරීමක් විගඩමකි. මහින්ද සමග විනාශ වූයේ විපක්ෂය පමණක් නොව දේශපාලන විචාරකයෝද අනාථ වූහ. කොටින්ම දේශපාලන විද්‍යාවම අසරණ විය. එය නියමාකාරයෙන් අවබෝධ කරගත් මිනිසා ගෝඨාය. තමා උගත් දේශපාලන විද්‍යාවක් නැත. එහෙත් ඔහු අද මේ දේශය පාලනය කරන කෙනාය. ලංකාවේ දේශපාලනය යනු අනෙකා කුජීතම කරන්නට තමන් සමත්කම් පාන්නේ කොතරම්ද එවිට ඔහුගේ පාර විවෘත වනු ඇත. රනිල් නන්නත්තාර නිකමෙකු කළ තරමට මහින්ද නැතිව බැරි මිනිසා විය. ලංකාවේ දේශපාලනය යනු වඩා හොඳම මාර්කටිං ක්‍රමය විනා වෙන කිසිවක් නොවේ. ගෝඨා දිනෙව්වේ මහින්ද කියද්දී නැවත කියවෙන කතාවක් වනුයේ ගෝඨාව දිනෙව්වේ දිලිත් කියන එකය. ජනතාවට මහින්ද බව පෙනුණද ඒ බව පෙන්වනුයේද දිලිත්ය. දිලිත්ගේ මාර්කටිං එයය. එනම් ගෝඨා වෙනුවෙන් මහින්දව පාවිච්චි කිරීමය.


රනිල්ගේ සමුගැනීම


රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් සමුගන්නා බවට අකිල කියූ පණිවුඩයක් මේ දිනවල මහ ඉහළින් කියැවේ. එම සමුගැනීම සිද්ධවන්නේ අගෝස්තු 14 වැනිදාය. එදාට නව නායකයකු සොයා ගැනීමට මේ දිනවල ඉඩ තබා ඇත. ඒ අනුව නායකත්වයට රවී, දයා, නවීන්, වජිර, අකිල පෙරමුණ ගෙන ඇත. නියම උරුමකරු රුවන් විජේවර්ධනගේ නම ඒ තුළ නැත. එජාපයේ ප්‍රබලයන් පරාද බව මුල් පුවතින් දමන ලංකාදීප පුවත්පතේ රනිල්, රවි, දයා, නවීන් සියල්ල සිටින අතර රුවන්ගේ නම නැත. තම මාධ්‍ය ආයතනය අනෙක් සියල්ලන්ගේ හෙළුව දැක ඇති මුත් රුවන්ගේ හෙළුව නොදැකීම ගැන අපට ඇත්තේ පිළිකුළකි. එවැන්නෙකු නායකකමට නොඒමත් හොඳය. මේ රනිල්ගේ බඩුම බව නම් පැහැදිලිය.


කෙසේ වෙතත් දැනට කිවයුත්තේ රනිල්ගේ සමුගැනීම බොහෝ දුරට තවත් නාඩගමක් විය හැකි බවය. ඔහුට ඡන්ද දිනිය නොහැකි වුවද එජාපයේ නායකයා ලෙස ඉන්නට නම් ඕනෑතරම් උපක්‍රම ඇත. ඔහු තමා ඉවත් වන බව කියා මස් කට්ට බලු රංචුව වෙත දමා ඒ අය මරා ගන්නා සැටි බලා සිටී. දැන් වැඬේ පටන් ගෙනය. අමු තක්කඩි චරිත සියල්ලම මස් කට්ටට කෙළ හලති. රවි එය ඩැහැ ගතහොත් දයා, වජිර, අකිල, නවීන් එයට විරුද්ධ වනු ඇත. එය දයා ඩැහැ ගත්තද තත්ත්වය එසේමය. අකිල, නවීන්, වජිර ඩැහැ ගත්තද එහි වෙනසක් නැත. අවසානයේ මස් කට්ටට හෙම්බත් වන අය දැක සෙසු පිරිස කියනුයේ මේ ප්‍රශ්න සමතයකට පත්වනතුරු ඔබතුමාම නායකයා ලෙස හිඳිමින් ජ්‍යෙෂ්ඨ උප නායකයන් ලෙස මේ රොත්තම ගොඩනගන ලෙසය. එයත් රනිල්ම අනුන් ලවා කියවා ගන්නකි. අවසානයේ මේ අය රනිල්ට නායකත්වයෙන් ඉවත් වන්නට ඉඩ නොදෙනු ඇත. ඒ නිසාම අකමැත්තෙන් හෝ නැවත නායකයා වනු ඇත. මේ වීමට හැකි එක විදිහකි. අනෙක් විදිහ ඉතාම තක්කඩිය. මීට වඩා නරුමය.


කරු – මංගල


සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වූ මංගල ඡන්දයට පෙර දේශපාලනයට සමු දුන්නේ පක්ෂ දේශපාලනය අරහං බව කියමිනි. එහෙත් ඔහු පුන පුනා ඉන්පසු කීවේ ‘දැක්මක් ඇති නායකයා රනිල් කියාය’ ඒ මංගලගේ දැක්ම හදා ගන්නටය. ඉන්පසු මංගල අමුතු ගමනකට බැස්සේය. කළ හැකි තක්කඩිකම් සියල්ලම කර අවසානයේ සිල් රකින්නා සේ මේ අයත් දේශපාලනයේ යා හැකි උපරිම දුර ගොස් කුජීතව නන්නත්තාර වූ පසු සමාජ ව්‍යාපාරවල කෙළ පැමිණියන් වෙති. සමාජය හදන්නට කිඹුල් කඳුළු හෙළති. වඩා පරිස්සම් වියයුත්තේ මේ තක්කඩින්ගෙනි. මංගල මෙවර තරග කළේ නම් ඔහුගේ ඉරණමත් රනිල්ගේ ඉරණමමය. මොකද්දෝ ඉදිරි දැක්මකට මංගල තම විනාශය කල් තියා දැක වෙනම අනන්‍යතාවක් සෙවීය. මේ මොන වෙසින් ආවද විකෘතිමය. රනිල් වැලඳ ගත් පිරිසම ඒ දෑතින්ම මංගල වැලඳ ගනිති. මේ එක අත්තේ වහන කුරුල්ලෝය.


අනෙක් චරිතය කරුය. මෙවර මහ මැතිවරණයේදී ඔහු එජාපයේ හෝ සමගි ජන බලවේගයේ යන දෙකෙහිම ලිස්ට් එකේ නොවීය. එයට හේතුව අවසානය තෙක් මෙහි නායකයා වීමේ සිහිනයේ ඔහු ගිලීමය. ඔහුටද නායකයා වීමේ නොනිමි ආශාව උපරිම ඇත. කම් නැත. ඒ ගැන ආරෝවක් අපට නැත. එහෙත් මේ මවන සාදු චරිතවලට සාදු කියන්නට අපි ඉක්මන් නොවෙමු.


ඉදිරියේදී මේ චරිත දෙකම නැවත එජාපයේ පෙරමුණ ගත හැකි බව කල් තියා කිව හැකි අනුමානයකි. එජාපය මේ වනවිට මිනිහා මියගිය අඹුව වැනිය. අමතක නොකළ යුත්තේ මිනිසා සිටින කලද මේ අඹුවට කෙළ හැලූ අය අපමණ බවය. දැන් මිනිහා නැති කල ප්‍රශ්නය කොතරම් බැරෑරුම් වේද? මේ මඟුල අටවන්නට කපුකම් කරන්නෝ සිතන හොඳම මිනිසා කරුය. මේ කපුවෝ වෙන කිසිවකු නොව 2015දී සිවිල් සංවිධාන ලෙස අටවා ගෙන සිටි යහපාලනයේ හිමිකරුවන් තමන් යැයි උදම් ඇනූ රනිල්, මංගල පන්නයේම අමුතු මිනිස්සු ටිකකි. මේ රටේ මහා බුද්ධිමතුන් ඔවුන්ය. මේ රටේ සංහිඳියාවේ උරුමක්කරුවෝ ඔවුහුය. කොටින්ම එජාපය නටවන ඒජන්තලා ඔවුන්ය.

දැන් මේ අයගේ එකම පැතුම රනිල්ගෙන් තොර එජාපයකි. දැන් මේ අයටත් රනිල් අරහංය. එකල දැක්මක් ඇති මෙරට සිටින එකම බුද්ධිමත් නායකයා රනිල්ය. දැන් ඔහු වෙනුවට ඇති එකම විකල්පය කරුය. මහින්දට ඇවිද ගන්න බෑ දුර්වලයි කියන මේ අයට කරු දුර්වල නැත. වයස නැත. මහින්දගේ බෞද්ධකමට ගහන මේ අය පෙරළා කියනුයේ කරු නියම බෞද්ධයකු බවය. මහින්දට නැති කරුට ඇති බෞද්ධකම තුළ අන් ජාතීන්ද නොපෙළන්නේය. මේ අනෙක් තියරියය. හැම අතින්ම කරු පෙරාපු රත්තරන්ය. ඒ අනුව සැමට එකට සිටගත හැකි වැඳුම් පිදුම් කළ හැකි නායකයා කරුය. රනිල් දමා ගියහොත් ඒ තැන දිය යුත්තේ කරුටය. මේ මතුවිය හැකි තත්ත්වයකි. කරු එන්නේ නම් ඒ තුළ දේශපාලනයට එහා ගිය සමාජ අරුතක් ඇතැයි කියමින් මංගලටත් නැවත අලියා පිටේ නැගිය හැකිය. එජාපයේ දෙවැනි නායකයා විය හැකිය. රවි, දයා, වජිර, නවීන්, අකිල, රුවන් සියල්ල ජනතාව ප්‍රතික්ෂේප කර ඇති නිසා එළියෙන්ම ඇතුළුව සුද්ධ කරන්නට කරු-මංගල පැමිණ ඇත. සිවිල් සංවිධාන ප්‍රමුඛ කොළඹ නඩයකට මේ දෙදෙනාට එහා චරිත නැත. මේ සියල්ල මේ දිනවල නිදි නොලබා සාකච්ඡා කරනු ඇත්තේ සිරිකොත ඇල්ලීම බව සහතිකය. මේ අයට සජිත් පිලද අරහං නිසා 2024 බලය ඇල්ලීමට සිරිසේන පන්නයේ තව තක්කඩියකු මේ අය සොයනවා ඇත. ඒ සඳහා කරු-මංගල ලවා එජාපයක් හැදීමට මේ අය උත්සුක වනු නියතය. රනිල්ගෙන් තොර එජාපයකට සිහින දකින අය සිතිය යුත්තේ අද සැමට ගල් ගසන්නට සිටින එකම පව්කාරයා රනිල් පමණක් නොවන බවය. රනිල් නැතිව වන්දි ගෙවනුයේ එදා යහපාලන නඩයම කළ දේටය. ජනතාව ප්‍රතික්ෂේප කළේ රනිල් සේ ම යහපාලන නඩයමය. ඒ අය අතර සිරිසේන ප්‍රමුඛ පිරිස නැත. එයට හේතුව සිරිසේන ඒ මොහොතේ දොන් ජුවන් කෙනකු බව සමාජයම දන්නා නිසාය. සිරිසේන තක්කඩි චරිතයක් වුවත් ඔහු ලවා සියලු තක්කඩිකම් කරගන්නට මාන බැලූ සිවිල් චරිත යහපාලනය තුළ කළ භූමිකාවනුත් රනිල් විනාශ වන්නට බලපෑවේය. ජනතා දඬුවම ඇස් පනා පිට පෙනෙන නිසා රනිල් පමණක් වැරදිකරු වී ඇත. අනෙක් සැම සුදනෝ වී අද පෙරමුණට ඇවිත් ඇත. මංගල-කරු ඒ අතර ප්‍රබලයන් වී ඇත.

චන්ද්‍රිකාගේ කාලයේ සිටම කැතම දේශපාලනයක නියැලුණු මංගල එකවරම මංගල කරුණු කියමින් අමුතු වෙසක් ගෙන ඇත. මේ සියල්ලගේ යටි ආශාව බලයය. සියලුම සමාජ ව්‍යාපාර අටවාගෙන පෙරට එන තක්කඩි හැම කරනුයේ මහින්දට නොදෙවෙනි රංගනයකි. මේ චරිතවල ඉතිහාස පිරික්සන්නේ නම් මේ අය මහින්දට වඩා නරකය. රනිල්ට වඩා නරකය. ජනතාව යහපාලනය ප්‍රතික්ෂේප කළා යනු මහින්දව තෝරා ගත්තා යනු රනිල්ව පරාජය කිරීමට ලඝු නොකළ යුතුය. ඒ මොහොතේ තිරය පිටුපස වූ සියල්ලමද ප්‍රතික්ෂේප කිරීම ලෙස ගත යුතුය. මහින්දලා නැවත හදන්නට රනිල් මෙන්ම ඒ අයද උපරිම දායකත්වය සැපයූ බව කිව යුතුය. එහෙත් ඒ අය ඒ බව අමතක කොට මංගල-කරු මෙන් සුපිරිසිදු වී ඇත. මහින්ද මෙන්ම මේ ගස්ද මහා රුක්ෂ සේ පෙනුණද ඇතුළ පණුවෝ ගසා ඇත. පණුවන්ගෙන් පිරී ඇත. මතුපිටින් හොඳය. එජාප අඹුව කාගෙද යන්න ඉදිරියේදී බලාගත හැකිය.


ඇත්ත මිනිස්සු


ජාතික ජන බලවේගය මෙම මැතිවරණයේදී ඔප්පු කළ එකම දේ නම් ඇත්ත මිනිස්සු කියා ජාතියක් නැති බවත් ඒ අයත් පට්ට බොරු මිනිසුන් බවත්ය. මෙරට දේශපාලනයේ අන් කාටත් නැති අමුතු සුජාතභාවයක් තමන්ට ඇතැයි සිතන පන්නයේ විකාරකාරයන්ගෙන් පිරුණු මේ බලවේගයට බලයක් නැති බව එහි වෙසෙන අය සමගම පුන පුනා තර්ක කර ඇතත්, ඒ අය සැම ඡන්දයට පෙර රණ්ඩු වී තරහා වී ඡන්දයෙන් පසු කිඹුල් කඳුළු හෙළති. ඇත්ත පිළිනොගනිති. ජාතික ජන බලවේගය ඇත්ත මිනිස්සු වන විට එහිද ඇත්තම මිනිසකු සිටියේය. ඒ හඳුන්නෙත්තිය. ඇත්ත මිනිස්සු අතරත් ඇත්තම මිනිස්සු සිටිති. මේ නාඩගම්ය. හඳුන් දිනවිය යුත්තේ ඇයි? කෝප් කමිටු සභාපති නිසාය. කෝප් වාර්තා නිසාය. මේ සිල්ලර කතා කාටද? කාව රවටනු පිණිසද? කෝප් එකෙන් කළ හැකි කෙන්ගෙඩියක් නැති බව අපට වඩා හොඳින් හඳුන් නොදනීද? අවුරුදු හැට වුවත් නොබැඳ සිටින ගැහැනියක් සමාජය අර්ථ ගන්වනුයේ මෙනවියක් ලෙසය. කන්‍යාවියක් ලෙසය. බලයක් හිමිව නැති නිසා ජවිපේ ගැන අර්ථකථනද එවැනිමය.


පක්ෂ භේදයකින් තොරව හඳුන්ව පාර්ලිමේන්තු යැවිය යුතු යැයි කීවේ කවුද? ‘ෆේස් බුක්’ පිරිස්ය. කොටින්ම හඳුන්ට ඡන්දෙවත් දිය නොහැකි කොළඹ අයය. පිටරට අයය. හඳුන් විතරක් ඇයි? එතන හඳුන්ව වෙනම කුලකයක තැබූහ. අනෙක් අතට එහි අරුමෝසම බවට කැටපේ පත්විය. එය ජන බලවේගයේ තොරම්බල් කරත්තය විය. අනුර ඇත්ත වෙන්නට දඟලන බොරුවම විය. බොහෝ අය හිතුවේ කැටපේ, අනුරවත් අබිබවා මනාප ගනිතැයි කියාය. සිරස සංවාදයකදී අසන පැනයකට කැටපේ කියන්නේ තරුණ කටයුතු ඇමති වුවහොත් තමා මුලින් කරනුයේ තරුණයන්ගේ මොළ සෝදන බවය. ඉරාජ් කීවේ ජවිපෙට මුලින්ම නාගන්නට කියාය. කියපු විදිහ අවුල් වුනත් ඉරාජ්ට කැටපේට වඩා දැක්මක් ඇත. එනම් ජවිපෙ වඳවනවා කියා කල්තියා කියන්නට හැකිවීමය.


කලක් ජවිපෙ පාර්ලිමේන්තුවේ දක්ෂ කතාකාරයෝය. ඒ නිසාම ජනතාව සිතුවේ යමක් කතා කරන්නට හරි ජවිපෙ අය පාර්ලිමේන්තු යැවිය යුතුයි කියාය. එහෙත් පසුව ඒවා කතා මිසක ඊට එහා නොයන බව ජනතාව වටහා ගත්තේය. නිකරුණේ කියවන්නට කට්ටිය යවන්නේ ඇයි? ජනතාව එසේ සිතූහ. ජවිපෙ සිතනුයේ ඔවුන් පාර්ලිමේන්තුවේ සටන්කාමීන් කියාය. ඇත්ත නම් ඔවුන් පාර්ලිමේන්තුවේ මල්පෝච්චි වීමය. දයා ගමගේ කියනුයේ ජවිපෙ කට්ටියත් පාර්ලිමේන්තු එවන්න කියාය. මොකද ඒ අයත් ඉන්න ඕන කට්ටියක් කියාය. දයාගේ දයාව ඇයි? සැවොම බොරුව නඩත්තු කරන නිසාය. මහින්දලා පවතින්න මේ හැම බොරුවක්ම වුවමනා නිසාය. එසේ නොවන්න බැසිල් අන්තිම මොහොතේ ජවිපෙ කට්ටියත් පාර්ලිමේන්තු එවන්නැයි ඉල්ලා සිටින්නේ ඇයි? විපක්ෂයක් නැතිව පාළුයි කියාය. එසේ නම් ජවිපෙ පාර්ලිමේන්තුවේ කර ඇත්තේ පාළු කපන එක නොවේද? ඇත්තටම මේ අය නැති වුණහම ඇත්තේ මේ පාළුව නොවේද? ඇත්ත මිනිස්සු කියා තමන් තමන්වම හඳුන්වන විට ඇති වන්නේ විලි ලැජ්ජාවක් නොවේද? මහින්දගේ තුනෙන් දෙක කියා දෙනුයේ මේ බොහෝ කතාය.