කුසල් පෙරේරා

“නව ලිබරල්වාදයේ” ලිබරල් කිසිවක් නැත. එය වත්මන් ලෝකයේ ක්‍රියාත්මක වන ගෝලීය වෙළෙඳපොළ ආර්ථිකයට අදාළ ද නැත. වඩා පැහැදිලිව කියන්නේ නම්, ලිබරල්වාදී දේශපාලනය හා ජාවාරම්කාර වත්මන් විවෘත වෙළෙඳපොළ ආර්ථිකය එක මග යන්නේ නැත. ඒවා එකිනෙකට විරුද්ධය. මංගලගේ තර්ක විතර්ක ආන්දෝලනාත්මක වන්නේ ඔහු පැරණි ලිබරල්වාදී ස්ථාවර ඒවා නොගැළපෙන විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක නගන හෙයිනි.


දෙසතියකට පමණ පෙර “ශ්‍රී ලංකා නෙක්ස්ට්” නමින් ස්වර්ණවාහිනියේ සංවාද මණ්ඩපයක මංගල සමරවීර විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඔහුගේ තිබූ හා නොතිබූ සම්බන්ධයන් පිළිබඳව අදහස් දැක්වීමේදී ආගම පිළිබඳවද අන්තවාදීන් කුපිත කෙරෙන ආකාරයේ ඉතා තියුණු නමුත් ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධ අදහස් දැක්වීම් හා පැහැදිලි කිරීම් කළේය. ඔහු එලෙසින්ම ීඛ-ඪඛධඨ නම් අන්තර්ජාලයේ “යූටියුබ්” සංවාදයකදී තමන් කසාද නොබැඳීම හා පෞද්ගලික තේරීම් සඳහා වන අයිතිය ගැන විවෘතව අදහස් දැක්වීය. ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරාගේ “ට්විටර්” හෙළිදරව් කිරීමක් අනුව මංගල සිය “සම්පත් බැංකු” ගනුදෙනූ නතර කරන බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරුවේ, ප්‍රතිපත්තියක් ලෙස ජාතිවාදී ආයතන සමග තමන් ගනුදෙනු නොකරන බව පවසමින්ය. ඒ වගේම මේ පාර්ලිමේන්තුවෙන් රටේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබාගත නොහැකි හෙයින් පාර්ලිමේන්තු දේශපාලනයේ තවදුරටත් කල් මරන්නට සූදානම් නොවන බවද මංගල කියුවේය. ඒ සියලු ප්‍රකාශවලට මගේ කැමැත්තක් ඇත. ඒ සියල්ල මම අගය කරමි.


එහෙත් මංගලගේ අලුත් දේශපාලනයෙන් ඔහුම මතු කරන බොහෝ සීමාවන් හා රටේ ප්‍රශ්න සඳහා විසඳුම් ඉදිරිපත් කිරීමක් නැත. එය තේරුම් ගැනීම එතරම් අසීරුද නොවේ. මංගල දේශපාලන බලය සඳහා අතිශයෙන් ලොල් දේශපාලන සත්වයෙකි. ඔහුගේ දේශපාලනය ආණ්ඩු බලය සඳහා වන දේශපාලනයකි. ඒ වෙනුවෙන් ඔහු සිය ප්‍රතිපත්ති පවා අත හැරියෙකි. 2002-2004 කාලයේ ඔහු සුළු වාර්ගික අයිතීන් අතහැර දැමීය. ඔහුගේ ප්‍රතිපත්තියට අනුව ඔහු සිටිය යුතු වූයේ සටන් විරාම ගිවිසුම හා සාම සාකච්ඡා පැත්තේය. අවම තරමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඒ වෙනුවෙන් විවේචනාත්මක සහායක් දැක්වීමට ය. එහෙත් ඔහුගේ භූමිකාව වූයේ ජ.වි.පෙ සහ හෙළ උරුමයේ සහාය ඇතිව ජනාධිපති චන්ද්‍රිකා යටතේ වික්‍රමසිංහ ආණ්ඩුව බලයෙන් ඉවත් කිරීමය. දෙමළ ජනතාව සමග සහජීවනයක් වෙනුවෙන් සුදු නෙළුම් ව්‍යාපාරය රැගෙන 1997දී තවලම් ගිය මංගල අනතුරුව 2005 නොවැම්බර් ජනාධිපතිවරණය දිනීම සඳහා ජ.වි.පෙ, හෙළ උරුමය හා අනෙක් සිංහල-බෞද්ධ අන්තවාදීන් හවුල් කරගත් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ කළමනාකරු විය. ඒ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ එක් ඝෝෂාකාරී ප්‍රචාරයක් වූයේ රනිල් වික්‍රමසිංහ දිනුවහොත් ප්‍රභාකරන්ට ඊළම දෙනු ඇතැයි කීමය.


පසුගිය යහපාලන ආණ්ඩුව 2015 ජනවාරියේ පිහිටුවීමේ සිට මංගලගේ ප්‍රධාන කාර්ය වූයේ ඒ ආණ්ඩුව කෙසේ හෝ රැක ගැනීම ය. ඒ වෙනුවෙන් ඔහු විදේශ කටයුතු ඇමති ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාව බටහිර බලවතුන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමී උත්සාහයක නිරත විය. එහෙත් යහපාලන ආණ්ඩුවේ සිංහල-බෞද්ධ දේශපාලනය ඊට හරස් විය. මානව හිමිකම් කොමිසමේ යෝජනාව යට ගසන්නට අගමැති රනිල්ද ඉඩ තැබීය. ඒ සමග ප්‍රතිපත්ති පැත්තකින් තබා විදේශ කටයුතු ඇමති ධුරය අතහැර මුදල් ඇමති ලෙස මංගල භාර ගත් වගකීම වූයේ අතිශය දූෂිත යහපාලන ආණ්ඩුව රැක ගැනීමය. ඔහු අඛණ්ඩව නඩත්තු කරගත් එකම වැදගත් හා අගය කළ යුතු ලක්ෂණය වන්නේ අතිශය දූෂිත විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි රනිල් වික්‍රමසිංහටවත් නොහැකි වූ දූෂණයෙන් තොර දේශපාලනඥයෙකුගේ කීර්තිය රැක ගැනීම පමණි.


මෙවර ඔහු දේශපාලනයේ බිත්තියට හේත්තු විය. 2019 ජනාධිපතිවරණයෙන් බලය ගැනීමට රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධ දේශපාලනයට විරුද්ධ දේශපාලනයක් ඉදිරිපත් කළ යුතු යැයි ඔහුගේ තේරුම් ගැනීම විය. එහෙත් සජිත් සහ ඔහු වටා සිටි පිරිස් එයට සූදානම් නොවීය. ඔවුන්ගේ මෝඩකමට අනුව, රාජපක්ෂලාට වඩා හොඳ සිංහල-බෞද්ධයින් වී සිංහල ඡන්ද දිනාගත හැකි යැයි ඔවුහු විශ්වාස කළහ. ජනාධිපතිවරණයේ අවසන් සති කිහිපයේදී මංගලට වැඩි පෙනුමක් නොවූයේ එබැවිනි. “සිංහල-බෞද්ධ” ඡන්ද දිනීමට ගොසින් ජනාධිපතිවරණය පරාජය වූ පසු මහ මැතිවරණය දිනීමට රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධ දේශපාලනය අභියෝග කළ හැකි යැයි ඔහු සිතුවේය. එහෙත් සජිත්ගේ සමගි ජන බලවේගයේ එයට ඉඩක් නොවුණි. එනිසා ඔහුට තව දුරටත් සමගි ජන බලවේගයේ දේශපාලන භූමිකාවක් ඉතිරි නොවුණි.

ඔහුගේ අදහස් දැක්වීම්වල ඇත්තේ එජාපය හරහා රාජපක්ෂලාට එරෙහි අලුත් මුහුණුවරක් ඉදිරිපත් කරන්නට ඔහු ගත් උත්සාහයක අවසානය ගැනය. ඔහු කෙටියෙන් කියන්නේ (1) සමගි ජන බලවේගයේ අවුල තිබූයේ සමහරුන්ට එජාපය බෙදා කෑල්ලක හෝ නායක්තවය ගැනීමට තිබූ කෑදරකමය. එසේ නොවුණා නම් ලාංඡනය පිළිබඳ ප්‍රශ්නය විසඳාගෙන, ශ්‍රීලනිප පොදු ජන එක්සත් පෙරමුණ ලෙස මැතිවරණ තරග කරන අයුරු ඔවුන්ටද 2019 ජනාධිපතිවරණය සඳහා පුළුල් පෙරමුණක් ලෙස එකට යා හැකිව තිබිණ. (2) සමගි ජන බලවේගයට හා එජාපයට පොහොට්ටුවේ බාල ඩුප්ලිකේට් දේශපාලනයක් නොවී, පොහොට්ටුවේ ජාතිවාදී ආගම්වාදී දේශපාලනයට විකල්ප දේශපාලනයකින් මැතිවරණය ජය ගැනීමට ජනතාව දිනාගත හැකිව තිබිණ. (3) යහපාලන ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකර ග්‍රාමීය සමාජය වෙනුවෙන් “ගම්පෙරළිය” වැනි වැඩසටහන් මගින් කෝටි ගණන් මුදල් වැය කෙරුවත් ජනාධිපති හා ආණ්ඩුව අතර තිබූ ගැටුම් හේතුවෙන් යහපාලන ආණ්ඩුවට ජනතා විශ්වාසය දිනා ගැනීමට නොහැකි විය. එය පොහොට්ටුවේ වාසියට හේතු විය.
ඒ සියල්ලෙන් ඔහු කියන්නේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකය සමග පැමිණි ගමන වඩා හොඳින් යාමේ පිරිසිදු මාවතක් සකසා ගැනීමට ඉඩ තිබූ නමුත් නායකත්ව පොරය නිසා එය අසාර්ථක වූ බවය. ඔහු සිතා සිටින්නේ ආගම්වාදයට හා වර්ගවාදයට විරුද්ධ වූ පමණින් රාජපක්ෂලාගේ පොහොට්ටුවේ දේශපාලනයට විකල්පයක් විය හැකි යැයි කියාය. විවෘත වෙළෙඳපොළ ආර්ථිකය දූෂණයෙන් තොරව ගෙන යාමට පොරොන්දුවීමෙන් පොහොට්ටුවේ දේශපාලනයට විකල්පයක් විය හැකි බවය. මෙතෙක් අවුරුදු 40 ක් කිසිදු දේශපාලන පක්ෂයකට විකල්ප අවශ්‍ය නොවුණු විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට එනිසා ඔහුටද විකල්ප අවශ්‍ය නොවන්නේය. එනිසා ඇමෙරිකානු ආධාර ව්‍යාපෘතියක් වන එම්.සී.සී ආධාර වැඩසටහන සඳහා ජනාධිපති ගෝඨාභය අත්සන් කරන්නේ නම් ඊට සහාය දීමටද ඔහු සූදානම්ය. ඩොලර් මිලියන 480 ක එම්.සී.සී ආධාරය සතු ගුණ දොස්, වාසි අවාසි පැත්තකින් තබා කතා කළහොත් මංගල තවමත් පෙනී සිටින්නේ ඔහුගේ ලිබරල් මතවාද සමග පවතින අති දූෂිත මහ නගර කේන්ද්‍රීය වෙළෙඳපොළ ආර්ථිකය පෙරට ගෙන යාමට ය. ඔහු තේරුම් ගෙන නොමැත්තේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකය උපතින්ම දූෂිත සහ බහුතර වාර්ගික හා ආගමික අන්තවාදය දේශපාලන බලය වෙනුවෙන් යොදා ගන්නා බවය.


ඒ හැමකින් පෙන්වන්නේ ඔහු සංවිධානාත්මක පක්ෂ දේශපාලනයෙන් ඉවත් වූ නමුත් තවමත් අති සාම්ප්‍රදායික ලිබරල් දේශපාලකයකු බවය. කෝවිඞ්-19 විසින් බරපතළ ලෙස කැබලි කර ඇති ගෝලීය විවෘත වෙළෙඳපොළ ආර්ථිකය නැවත පිළිසකර කරගත හැකියැයි ඔහු සිතන්නේය. මේ වනවිට ජාත්‍යන්තර තලයේ සාකච්ඡා වන “ජාතික සංවර්ධනය” වෙනුවෙන් අලුත් ආකෘතීන් යෝජනා කරන්නාවූ විකල්ප මතවාද ගැන ඔහුට නිනව්වක් නැත. එබැවින් ඔහු හා ජවිපෙ අතර විවෘත වෙළෙඳපොළ ආර්ථිකය පිළිබඳව වෙනසක් නැත. ඔහුද ජවිපෙ මෙන්ම පෙනී සිටින්නේ “පිරිසිදු” විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක් වෙනුවෙනි. වෙනස ඇත්තේ ජවිපෙ කිසි දිනක අත නොතබන ආගම්වාදයට සහ ලිබරල් සංස්කෘතික පැවැත්ම ගැන මංගල කරන අවධාරණය සමගින් පමණි.


එහි යම් වෙනස් පෙනුමක් ඇතත් අලුත් හරයක් නැත. මේ සමාජයට අද අවශ්‍ය වන්නේ එවැනි රැඩිකල් ලිබරල් පෙනුමකින් නතර වන දේශපාලනයක් නොවේ. කෝවිඞ්-19 න් පසු ජාත්‍යන්තර තලයේ ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් ගෝලීය ආර්ථිකය පිළිබඳව වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කරති. ඒ ප්‍රශ්න සියල්ල අපටද නොඅඩුව අදාළ ය. එනිසා අපට අවශ්‍ය වන්නේද අවුරුදු 40 ක් විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට කවමදාවත් විසඳුම් නොතිබූ, පොහොට්ටු පක්ෂයට කොහෙත්ම විසඳුම් නොමැති, රටේ “සංවර්ධනය” වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළකි. සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ජීවිතයක් සමග අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු මගී ප්‍රවාහනයට, පරිසරය සුරැකීමට සහ ග්‍රාමීය ආර්ථිකයට ඇත්ත දියුණුවක් ලබාදිය හැකි සංවර්ධන වැඩපිළිවෙළකි. එවැන්නක් ඉදිරිපත් නොකරන්නේ නම්, ආගම්වාදයට, වර්ගවාදයට විරුද්ධ වූ පමණින් කිසිවකුට පොහොට්ටුවේ දේශපාලනයෙන් වෙනස් විය නොහැක. එවැනි වැඩපිළිවෙළක් නොමැතිව මංගල නතර වන්නේද පොහොට්ටුවේ “ඩුප්ලිකේට්” දේශපාලනයක් සමගින් පමණි.


සාම්ප්‍රදායික දේශපාලනයෙන්ද ඉවත් වන්නට මංගලට අවශ්‍ය නම්, තවමත් ඔහුට ඉඩ ඇත. ඒ වෙනුවෙන් ඔහු පළමුව කළයුත්තේ “සංවර්ධනය” සඳහා පැහැදිලි හා සංයුක්ත අර්ථකථනයක් සමාජ සංවාදයක් සඳහා ඉදිරිපත් කිරීමය. “සංවර්ධනය” ගැන මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි කිසිදු පැහැදිලි කිරීමක් නැත. එහි ඇත්තේ ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදනය, උද්ධමනය වැනි “ආර්ථික වෘද්ධිය” ගැන කෙරෙන කතා ය. “සංවර්ධනය” හා “ආර්ථික වෘද්ධිය” යනු පැහැදිලිවම දෙකකි. එය තේරුම් ගත හැක්කේ සමාජයේ වත්කම් හා ආදායම් බෙදීයාමේ විෂමතාව වැඩිවන ආකාරයෙනි. පසුගිය අවුරුදු 40 ක කාලයේ මේ රටේ වත්කම් හා ආදායම් බෙදීයාමේ විෂමතාව නොකඩවා වැඩිවීම, විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි කිසිදු සංවර්ධනයක් නොවූ බවට වැදගත්ම සහතිකයකි.

නව ලිබරල් ගෝලීය ආර්ථිකයෙහි “සංවර්ධනය” සඳහා යැයි ඉදිරිපත් කෙරෙන එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉලක්කද ලොකු බොරුවකි. එහි අධ්‍යාපනය ගැන ඇති ඉලක්කය වන්නේ “ගැහැනු පිරිමි සියලු ළමුන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමය.” ඒ සම්බන්ධ 2015 වසර අවසන් කිරීමේ ඉලක්කය වන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබිය යුතු ළමුන්ගෙන් අවම සියයට 91 ක් එය සම්පූර්ණ කිරීම පමණි. ඒ වනවිටත් අප සියයට 93ටද ඉහළින් විය. එහෙත් ඒ සියයට 93 ලැබූ ප්‍රාථමික අධ්‍යාපනයෙහි ගුණාත්මක තත්ත්වය කුමක්ද? පානීය ජලය හා භාවිත කළ හැකි වැසිකිළි නැති පාසල් කීයක් තිබේද? අවශ්‍ය ගුරුවරුන් නැති පාසල් කොපමණ තිබේද? ළමුන්ට ඉගැන්වීමට පංති කාමර නැති පාසල් කොපමණ තිබේද? ළමුන්ගේ පෝෂණ තත්ත්වය කෙබඳුද? පාසල් යාමට ළමුන්ට හා ගුරුවර ගුරුවරියන්ට ප්‍රවාහන පහසුකම් තිබේද? සහශ්‍ර සංවර්ධන ඉලක්ක සැපිරීමේදී එවැනි කිසිම සාධකයක් අවශ්‍ය නැත. එනිසා සියයට 91 ක් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ ඇති වැදගත්කමක්ද ඇත්තටම නැත. විවෘත වෙළෙඳපොළ වෙනුවෙන් සකසා ඇති සහශ්‍ර සංවර්ධන ඉලක්ක එවැනි ප්‍රෝඩාවන්ය.


අප අපට අවශ්‍ය ආකාරයෙන් “සංවර්ධනය” අර්ථකතනය කරගත යුත්තේ එනිසාමය. එහිදී කෝවිඞ්-19 සමග දිග හැරුණු ජාත්‍යන්තර සංවාද සතු වැදගත්ම අවධාරණය වන්නේ (1) ජාතික රාජ්‍ය සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ලෙස ශක්තිමත් කිරීම (2) දේශගුණික විපර්යාස වළකා ගැනීම වෙනුවෙන් වහා පරිසරය සුරැකීමේ පියවර ගැනීම සහ (3) වත්කම් හා ආදායම් බෙදීයාමේ විෂමතා තුරන් කිරීමේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමය. එවැනි සංවර්ධනයක් අත්කර ගැනීමට ජාතික වැඩපිළිවෙළක් සකස්කර ගැනීම, පොහොට්ටු දේශපාලනයෙන් වෙන්වීමේ මූලික හා ප්‍රධානම සන්ධිස්ථානය වන්නේය. මංගල කතා කරන සියලු වාර්ගිකයින් හා ආගමිකයින්, වෙනත් තේරීම් ඇති සමාජ කණ්ඩායම්, වෙනස් හැකියාවන් ඇති ආබාධිතයින් ඇතුළු සියල්ලන් සඳහා ගෞරවනීය, ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතයක් ලබාදීමේ ශිෂ්ට දේශයක් හැදිය හැක්කේද එලෙසින්ම පමණි. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක අනිවාර්ය මැදිහත්වීම වියයුත්තේ එවැනි විකල්පයක් සඳහා සිය දේශපාලනය යොමු කිරීමය.
එහෙත් මංගල සමරවීර නතර වී ඇත්තේ සිංහල-බෞද්ධ අන්තවාදයට එරෙහිව සැබෑ බුදු දහම රැකීම වැනි තවත් සිංහල-බෞද්ධ ව්‍යාපෘතියක ය. එහි වරදක් නැත. ඒ සංවාදයද මේ සමාජයට අවශ්‍ය වන්නකි. එහෙත් එමගින් කොවිඞ්-19 න් ලිහා දැමුණු සමාජ-ආර්ථික අර්බුදවලට උත්තර ලැබෙන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සහතික කෙරෙන ස්වාධීන රාජ්‍යක් සඳහා එහි උත්තර නැත. අධ්‍යාපන අර්බුදයට විසඳුම් ඉන් ලැබෙන්නේ නැත. සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහනය හා පරිසරය සුරැකීමට උත්තර එහි නැත. සාමාන්‍ය ජීවිතයකට අවශ්‍ය ආදායමක් උපයා ගැනීමට නොහැකිව දහස් ගණනින් මැදපෙරදිග යන, කුමන හෝ ආදායමක් සොයමින් කොළඹට ඇදෙන තරුණ තරුණියන්ගේ ගමේ ආර්ථිකය ගොඩ දැමීමේ විසඳුම් එහි නැත. ඒවා ගැන සංවාදය වහා ආරම්භ කිරීමෙන් රාජපක්ෂලාගේ පොහොට්ටු දේශපාලනයට අභියෝග කිරීමක් එනිසා තවම නැත.


ලිබරල්වාදී පෞරුෂයක් සමග නතරව ඉන්න මංගල සමරවීරගෙන්ද එවැනි දේශපාලන ගමනක් යෑමේ දිසානතියක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට පෙනෙන්නට ඇත්තේ පොහොට්ටු දේශපාලනයේ විවේචකයකු ලෙස නතරවීමේ සියලු හැඩ හා වර්ණයන් ය. එය ඔහුගේ පමණක් නොව, මේ සමාජයේ වෙනසක් වෙනුවෙන් ඔහු ගැන බලාපොරොත්තු තැබූවන්ගේද ඛේදවාචකයකි.


(මෙය කෙටියෙන් කියවීමට අවශ්‍ය අයට සාරාංශගත සටහනක් මගේ ෆේස්බුක් පිටුවෙහි ඇත)