ඇෆ්ගනිස්ථානයේ සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටින ඡායාරූප සමාජ මාධ්‍ය හරහා පළ කරන බොහෝ කාන්තාවන් අතර සාරා වහෙදි, පේමනා අසාද් සහ සනා සාෆි ද සිටී.


ඡායාරූපය: ට්විටර්


තලේබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ ශිෂ්‍යාවන්ට සිය ඇඳුම් පැළඳුම් පිළිබඳ දැඩි නීති මාලාවක් හඳුන්වා දීමත් සමග ඊට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් ලොව පුරා කාන්තාවන් තම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගනිමින් සිටිති. ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර පුරා පැවති වීදි පෙළපාළිවලින් පසුව, තලේබාන් සංවිධානයේ දැඩි ප්‍රතිපත්තිවලට එරෙහිව කාන්තාවන් මෙසේ සමාජ මාධ්‍ය හරහා #Do Not Touch My Clothes (#මගෙ ඇඳුමට අත නොතබනු) හැෂ් ටැගය භාවිත කරමින් සාම්ප්‍රදායික වර්ණවත් ඇඳුමින් සැරසී සිය විරෝධය පළ කරමින් සිටී.


තලෙයිබානුවන් විසින් පසුගියදා කාබුල් විශ්වවිද්‍යාලය තුළ කාන්තාවන් 300 දෙනෙකුගේ මුහුණු, අත් සහ පාද ආවරණය වන පරිදි කළු ඇඳුමින් සැරසී වාඩිගෙන සිටින ආකාරය දක්වන පෙළපාළියක් සංවිධානය කළ අතර එයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම අන්තර්ජාල විරෝධතාව ආරම්භ කර ඇත. තලේබාන් පෙළපාළියට සහභාගි වූ කාන්තාවන් හැඳ සිටි ඇඳුම මෙතෙක් එරට තුළ දැක නැති ආකාරයේ එකක් විය. තලේබාන් කොඩි ලෙළවමින් එම කාන්තාවන් කියා සිටියේ ස්ත්‍රීන් හට රජයේ ඉහළ තනතුරු දැරීමට ඉඩ නොතබන බවත් පාසල් සහ විශ්වවිද්‍යාල ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන් කළ යුතු බවත් නිවේදනය කළ සටන්කාමීන්ට සිය සහයෝගය දක්වන බවයි.


තලේබාන් සංවිධානය කාබුල් අගනුවර අල්ලා ගත් දා සිට, ටජික් හා උස්බෙක් නියෝජිතයින් අතළොස්සක් සමග පිරිමින්ගෙන් පමණක් සැදුම්ලත් අතුරු පාලනයක් පිහිටුවූ අතර එහි සුළුතර හසාරා ජනවාර්ගික නියෝජනයක් නොමැත. ශරියා නීතිය රට පුරා ක්‍රියාත්මක වන බව සහතික කරමින් ‘ගුණ ධර්ම ප්‍රචාරය කිරීම සහ අයහපත වැළැක්වීම සඳහා වූ අමාත්‍යාංශය’ නැවත ස්ථාපනය කළත්, කාන්තා කටයුතු අමාත්‍යාංශය නව පාලනතන්ත්‍රයේ කොටසක් නොවේ.


බොහෝ ඇෆ්ගනිස්ථාන කාන්තාවන්, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල වෙසෙන්නන්, 1996 සිට 2001 දක්වා වැඩි වශයෙන් තම නිවෙස්වලට කොටු වී ගත කළ අතීත තලේබාන් පාලනය සිහිපත් කරමින්, තමන් අසීරුවෙන් ලබා ගත් නිදහස ඉදිරියේදී සීමා වේ යැයි බිය පළ කරති.
ඇෆ්ගන් ඉතිහාසඥයෙකු සහ ස්ත්‍රී පුරුෂ භාවය අධ්‍යයනය පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය බහාර් ජලාලි #Do Not Touch My Clothes හැෂ් ටැගය භාවිත කරමින් පළමු ඡායාරූපය පළ කළ අතර, එය ලොව පුරා සිටින ඇෆ්ගන් කාන්තාවන්ට අනුප්‍රාණයක් විය.


එක්සත් රාජධානියේ රාජ්‍ය තනතුරකට තේරී පත් වූ ඇෆ්ගනිස්ථාන සම්භවයක් ඇති පළමු පුද්ගලයා වන පේමනා අසාද් වර්ණවත් ඇඳුමකින් සැරසී සිටින ඡායාරූපයක් පළ කර “ඇෆ්ගන් සංස්කෘතියට අනුව මගේ සාම්ප්‍රදායික ඇඳුම” යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කළාය.


“ඇෆ්ගන් සංස්කෘතියට අනුව මගේ සාම්ප්‍රදායික ඇඳුම” ඡායාරූපය: ට්විටර්
ඒ හා සමාන ඡායාරූපයක් පළකරමින් බීබීසියේ සනා සාෆි මෙසේ ලිවීය: “ඇෆ්ගනිස්ථාන කාන්තාවන් ඇඳුම් අඳින්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. මම ඇෆ්ගනිස්ථානයේ සිටියා නම් මගේ හිස මත ස්කාෆ් එකක් තිබේවි. මට/ඔබට ‘ගතානුගතික’ සහ ‘සාම්ප්‍රදායික’ විය හැක්කේ මෙපමණයි”


අරියානා ඩෙලාවරී නම් සංගීතඥවරිය ඇගේ මවගේ කුස තුළ සිටින කාලයේ ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර තිබුණි. එමගින් ඇෆ්ගනිස්ථානයේ දශක ගණනාවකට පෙර, සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී හිස් ආවරණ නොමැතිව ස්ත්‍රීන් ගත කළ කාලය පිළිබිඹු කරයි.


මේ අතර අධිකරණ අමාත්‍යාංශය අනුමත කළහොත් පමණක් තවදුරටත් විරෝධතා පැවැත්විය හැකි බවට තලේබාන් සංවිධානය නිවේදනය කළද, කාබුල්හි කාන්තාවන් සිය විරෝධතා අඛණ්ඩව සිදුකරන බවට සහතික වී ඇත.


කාබුල් සරසවියේ සිසුවියක් වන සමීරා පැවසුවේ ඉදිරියට යාමට ඇති එකම මාර්ගය මෙය පමණක් බවයි. “තලේබාන් සංවිධානය මේ වන විටත් කාන්තාවන්ගේ නිදහස සීමා කිරීමට පටන් ගෙන තිබෙනවා, මට නැති වීමට කිසිවක් ඉතිරි වී නැහැ. එක්කෝ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකිව මට නිවෙසේ සිරවී සිටීමට පුළුවන්, නැතිනම් ඒ වෙනුවෙන් සටන් කරන්න පුළුවන්. මගේ ජීවිතය අවදානම් සහගත වේවි, ඔවුන් මාව මරා දමාවි, නිහඬව සිටිනවාට වඩා එහෙම වෙන එක හොඳයි.”