අතුලසිරි සමරකෝන්

යථාර්ථය මනසින් පරිභාහිරව පවතීද? නැතිනම් එය මනසේම පිළිබිඹුවක් ද? මෙවැනි දාර්ශනික ගැටලූ යල්පැන ගිය ඒවා බව බොහෝවිට සිතුණත් අප නොකඩවාම එම ගැටලූ සමඟින් පොරබදමින් නොසිටීමු ද? ‘මිනිසාගෙන් තොර ලෝකයක් පැවතීමත් (දේශපාලනයෙන් තොර ලෝකයක්) සහ ලෝකයෙන් තොර මානවයෙක් පැවතීමත් යනු විය නොහැකි තත්වයන්ය.’ එම නිසා මනසේ යථාර්ථය සහ භෞතික යථාර්ථය නැතිනම් දේශපාලනය අතර කිසියම් ‘සහසම්බන්ධිත’ තත්ත්වයක් තිබෙන බව අපට පෙනී යා යුතුය. ඒ අනුව වත්මන් දේශපාලන යථාර්ථය නිර්මාණය වන ආකාරයන් පිළිබඳව සිතන විට පෙනී යන්නේ කුමක්ද? එහිදී මානසිකව ගොඩ නඟන ‘ජාතිකවාදී’ ලෝකය සහ භෞතික දේශපාලන යථාර්ථය අතර යථාර්ථවාදීන් (උදා: මාක්ස්වාදීන්ට අනුව සම්බන්ධයක් පැවතිය නොහැකි ය. අනෙක් අතට ‘මගේ ලෝකය’ (මනසේ ලෝකය විශ්වාස කරන අයට අනුව තිබිය හැක්කේ මනසින් ගොඩනඟන මානව විවිධත්වය (සිංහල යනු එකම විශිෂ්ට ජාතියය යන කාල්පනික යථාර්ථය) විනා වෙනත් බාහිර යථාර්ථයක් (උදා: පොදු මිනිස් අවශ්‍යතා) නොපවතින බවයි. මේ මොහොතේ පවතින උදාහරණයකින් මෙම ගැටලූව පැහැදිලි කළහොත් එයට වඩාත් යෝග්‍යතම උදාහරණය විය හැක්කේ කොවිඞ් මරණ ආදාහනය කරනවාද? නැතිනම් භූමදානය කරනවාද? යන, ජාතිකවාදී ආණ්ඩුවට අනුව පවතින, උභතෝකෝටික ගැටලූවයි.

ජාත්‍යන්තරව ගොඩ නගා තිබෙන සෞඛ්‍ය නිර්ණායකවලට අනුව කොවිඞ් මරණ භූමදානය යනු කිසියම් විධිමත් ක‍්‍රමවේදයකට අනුව සිදු කළ හැකි දෙයකි. නමුත් මෙරට දේශපාලනයේ මේ මොහොතේ පවතින අධිපතියථාර්ථයට අනුව (ජාතිවාදයට) අනුව කොවිඞ් මරණ භූමදානය යනු සිදු නොකළ යුත්තකි. එම නිසා විද්‍යාව කෙසේ කීවත් ‘මගේ ලෝකය’ පමණක් පිළිබඳව සිතන යථාර්ථය තුළ මුසල්මානුවා සහ කිතුනු භක්තිකයන් සතුවිය යුතු භූමදාන අයිතිය ඔවුන්ට හිමිකර නොදිය යුතුය. මේ සම්බන්ධව පවතින අර්බුදයේ ගැඹුර අපට පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කළ ප‍්‍රකාශයත්, පසුව එයට ඔහුගේම පක්ෂයේ සාමාජිකයන් දැක්වූ ප‍්‍රතිචාරත් අනුව යම්තාක් දුරකට අවබෝධ කරගත හැකිය.

විස්ස දිනවා භූමදානය ලැබීම

විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුව අනුගමනය කළ කූට උපක‍්‍රම දැන් හෙළිවෙමින් තිබේ. ඉන් එකක් වන්නේ මුස්ලිම් ජාතික මන්ත‍්‍රී පිරිසකට ලබා දුන් පොරොන්දුවයි. ඒ නම් මුස්ලිම් ජාතිකයන්ට කොවිඞ් මරණ භූමදානය කර ගැනීමට ඉඩලබා දීමට එකඟවීමයි. නමුත් විස්ස සම්මතවීමෙන් පසු එම පොරොන්දුව අමතක වී ගිය අතර, සියල්ල ‘වෛද්‍ය නිර්දේශයන්ට’ යටවිය. නමුත් පාර්ලිමේන්තුවේ යළි ඇවිලූණු විවාදය නිසා ආණ්ඩුවට නැවතත් ජාතිකවාදීන් පිනවීමට හා මුස්ලිම් මන්ත‍්‍රීන් කිහිප දෙනා රැුවටීමට වෙනම උපායන් සෙවීමට සිදුව තිබේ. මෙහිදී අප බැ?රුම් ලෙස සිතිය යුත්තේ කුමක් පිළිබඳවද? ඒ තමන්ගේ අතිශය ශුද්ධවූ සංස්කෘතික අයිතියක් ඔට්ටුවට තබා ඒකාධිපති ව්‍යවස්ථාවක් සඳහා සහයෝගය පළකරන තැනකට මුස්ලිම් මන්ත‍්‍රීවරුන් පත්කළ යථාර්ථය පිළිබඳව බව මගේ සිතීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්ධතියක් බොහෝවිට බහුතර එකඟතාවයෙන් තීරණ ගැනීම සිදු වුවත් විස්ස සම්මත කිරීම වැනි අතිශය දීර්ඝකාලීන වශයෙන් පද්ධතියක පැවැත්මට බලපෑම් කරන නීතියක් සම්මත කිරීමට තමන් සතු සංස්කෘතික අයිතිය උකසට තැබීම අප වටහා ගත යුත්තේ කෙසේද? භුමදානයට පවතින අයිතිය ජාත්‍යන්තරව සහතික කොට ඇතිවිට හා එම ජාත්‍යන්තර ගිවිසුම් සහ සංවිධානවල පරම කොටස්කරුවෙකු බවට මෙරට පත්ව ඇතිවිට දී දේශීය දේශපාලනයේ පවතින අතිශය වියරු බල තරගය විසින් ඇති කරන තත්ත්වයන් හමුවේ ‘මිනිසාගෙන් තොරව පවතින දේශපාලනයක්’ වත්මන් මොහොත තුළ අධිපතිවී පවතින බව අපගේ උපකල්පනයයි. එම මානව විරෝධී දේශපාලන යථාර්ථය විසින් සමස්තයක් වශයෙන් මෙරට තුළ ඇති කරමින් පවතින දැවැන්ත විපර්යාස සමාජය තුළ පවතින විවිධත්වය දීර්ඝකාලීන වශයෙන් ගැටුම් කරා යොමුකරමින් තිබේ; අනෙක් පැත්තෙන්, මිනිස් ජීවිතය අතිශය දුෂ්කර සහ ගෞරවන්විතභාවයෙන් තොර එකක් බවට පත්කරමින් තිබේ. එසේම,‘මානව විරෝධී මානසික-ජාතිකවාදී’ යථාර්ථයක් පිළිබඳ දෘෂ්ටිවාදය තුළ දැවැන්ත පරිසර විරෝධී සංහාරයක් ද ඒ සමගම තීව‍්‍රවෙමින් පවතින බවද භෞතිකව පවතින යථාර්ථයකි. එම දැවැන්ත පාරිසරික සංහාරයේ එක් අමානුෂික අවස්ථාවක් අධිවේගී මාර්ගයට කොටුවූ ‘කෲඩියා සිලනිකා ශාකය වෙනුවන් සටන් කළ පරිසරවේදිනි දේවානි මහත්මිය මුහුණ දෙන දේශපාලන තර්ජනයන්ගෙන් හෙළි වෙයි.

මහණ වූ කෲඩියා සෙලනිකා

මහණකම නැත්නම් බෞද්ධ ශ‍්‍රමණභාවයට පත්වීම මෙරට දී මේ යුගයේ දී විශාල වැදගත්කමක් සහිත දෙයකි. ‘ගෞතම බුද්ධ රාජ්‍යය සහ සිංහල බෞද්ධ රාජ්‍යය යනු දෙකම එකක්’ වශයෙන් සලකන බහුතරයක් සහිත සමාජයක එය එතරම් ම දේශපාලනික වශයෙන් වැදගත් තත්ත්වයකි. එය කොටින්ම ආධ්‍යාත්මික තත්ත්වයක් වෙත ළඟාවීමකට වඩා සමාජය තුළ බලය සහ තත්ත්වය අත්පත් කරගැනීම පිළිබඳ වූ භෞතික යථාර්ථයට වඩාත් සමපාත වන්නකි. එම නිසා ලෝකෝත්තර නැතිනම් ‘මානසික යථාර්ථයක්’ වෙනුවෙන් පැවිදි වන පුද්ගලයා අද දවසේ බොහෝවිට ‘ලෞකික දේශපාලන’ යථාර්ථය හැඩගස්වන කේන්ද්‍රීය ක‍්‍රියාධරයෙක් බවට පත්වීම ‘ඓතිහාසිකව ස්වභාවික’ තත්ත්වයක් වශයෙන් ගැනේ. අප මෙහිදී මහණකම පිළිබඳ මෙම අදහස ඉදිරිපත් කරන්නේ උක්තව දැක්වූ සංවර්ධන ධනවාදයේ ගොදුරක් වීමට නියමිතව තිබු අතිශය දුර්ලභ ශාකයට නොනැසී පැවතීමට ‘මහණකම උපකාරී වී ඇති’ තත්ත්වයකදීය. පරිසරවේදිනි දේවානි විසින් නඟන ලද හඬ ආණ්ඩුවේ පරිසරය භාර ඇමැත්තන්ගේ සමච්චලයට ලක්වෙද්දී සහ අධිවේගය සඳහා ‘එම ගස කපා දැමිය යුතුමය’ යන වියරු හඬ මතුවෙද්දී ජාතික භික්ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් එක්ව එම ශාකයට සිවුරු හඳවා පැවිදි තත්ත්වය ලබාදීමට යොමුවුණේ එම ශාකය බේරාගැනීමට විද්‍යාත්මක සහ නීතිමය කරුණු දැක්වීම් අසමත්වෙමින් පවතින සන්දර්භයක දීය. එම නිසා ‘පැවිදි භාවයට පත් කෲඩියා සෙලනිකා නමැති එම ශාකයට අත තැබීමට දැන් සංවර්ධන දේශපාලනය එතරම් නිර්භීත නොවනු ඇත. සංවර්ධනය යනු පවතින ස්වභාවික සම්පත් අපහරණයක් සහ විනාශයක් බවට පත්වී ඇති යුගයක ‘මානසික යථාර්ථය’ නැතිනම් ආගමික භක්තිය මැදිහත් වීම හරහා හෝ පරිසරය ආරක්ෂා කර ගැනීමට හැකිනම් හොඳයි යන අතිශය අදේශපාලනික මොහොත වෙත අප සමාජයක් වශයෙන් ළඟා වී සිටිමු. එය ද මුස්ලිම් ජාතිකයන් ව්‍යවස්ථානුකුල ඒකාධිපතියෙක් වෙනුවෙන් තමන්ගේ භූමදාන අයිතිය උගසට තැබීම හා සමාන වූ තවත් එක් දරිද්‍ර දේශපාලන යථාර්ථයකි. මෙම අවස්ථාවන් දෙකේ දීම, භෞතික දේශපාලන යථාර්ථය සහ මානසික ආගමික යථාර්ථය අතර සිදුවන ‘සහසම්බන්ධය‘ පැහැදිලි වෙයි.

අනෙක් අතට ජාවාරම්කරුවන්ගෙන් පරිසරය ආරක්ෂා කිරීමට සටන් කරන පරිසරවේදීන් අතළොස්ස අතරේ දේවානි වැනි කාන්තා චරිතයක් ඉස්මතුවීම එක්තරා අන්දමකින් පුරුෂ දේශපාලකයාගේ ඊගෝවට තර්ජනයක් වී තිබේ. පරිසරයභාර ඇමැත්තෙක් දේවානිට අතිශය තිරස්චීන ලෙස ප‍්‍රහාර එල්ල කරද්දී ඉන් හෙළිවන්නේ එම පුරුෂ කේන්ද්‍රීය දේශපාලනයේ පවතින ප‍්‍රචණ්ඩත්වයයි. එසේම දේවානි යනුවෙන් පරිසරයට ආදරය කරන යම් ගැහැනියක් මෙරට සිටිනවායි අප පළමුව දැනගත් ‘කඩොලාන‘ පරිසරය විනාශ කිරීමට එරෙහිව ඇය සිදු කළ සටනේ දී ඇයගේ ප‍්‍රතිවාදියා වූ දේශපාලකයාට බෞද්ධ ආගමික සංස්ථාවේ යම් භික්ෂු පිරිසකගෙන් ලැබුණු කීර්තිනාමයද විසින් අපට නැවතත් ඔප්පු කරන්නේ භෞතික දේශපාලන යථාර්ථය (පරිසය විනාශ කරන ජාවාරම්කාර ධනවාදය) සහ මානසික යාථාර්ථය (බෞද්ධ ආගමිකයා) අතර පවතින අතිශය දෘඪ අන්තර් රඳා පැවැත්මයි. සමස්ත රටක්ම දේවානි වැනි පරිසරවේදීන් වැඩි වශයෙන් ඉල්ලද්දී කිසියම් අභද්‍ර යමක් විසින් ආගමික සංස්ථාව දුෂිත දේශපාලන යථාර්ථය ඉදිරියට පමුණුවා එයට සුදු සළු පැළඳවීමට කටයුතු කොට තිබේ. එක් පසෙකින් ඊනියා පුරුෂ බලය අබිබවා කාන්තා හඬක් පරිසරය වෙනුවෙන් මතුවෙන විට, පුරුෂ මූලික දේශපාලන යථාර්ථය ආරාක්ෂා කිරීමට ආගමික ජාතිකවාදී මානසික යථාර්ථය මැදිහත්වෙයි. ගසක් රැුකීමට එය මහණ කිරීමට සිදුවන අතරම, දූෂිත දේශපාලකයා ආරක්ෂා කිරීම සඳහා ඔහුට ආගමික සම්මාන පිළිගැනීම් ලබාදීමද එක විට එකම (නමුත් දේශපාලනිකව වෙනස්) ආගමික සංස්ථාවකින් සිදුවෙයි.

පොලිස්පතිලා පිරිමි පමණක් වීම

මානසික යථාර්ථය සහ භෞතික යථාර්ථය අතර දෝලනය වන යථාර්ථය පෙන්වාදීමට තවත් එක උදාහරණයක් පමණක් මතක් කරදෙමින් මෙම ලියමන සමාප්ත කරමු. ඒ නියෝජ්‍ය පොලිස්පති ධුරයට බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මිය පත්කිරීමට එරෙහිව නැඟුණු ඊනියා පුරුෂ බලය පිළිබඳ යථාර්ථයයි. කාන්තාවකට කාන්තාවක වීම නිසාම දැරිය නොහැකි තනතුරු ඇති බව තවමත් විශ්වාස කරන අතිශය වැඩවසම් පොලීසියක් විසින් අපට කියා දෙන යථාර්ථය කුමක් ද? ඒ තවමත් මෙරට කාන්තාවට පුරුෂයාට හිමිවන සමානත්වය නොලැබෙන බවයි. කුඩා කල සිටම ආගමික භක්තිය පොවමින් ලබා දෙන පුරුෂ මූලික චින්තනය පෙරදැරි අධ්‍යාපනය අවසානයේ අපට ඉතිරි කරන සමාජය මෙය බව, එනම් කාන්තාව, සුළු ජනයා සහ පීඩිතයා නොසලකන සමාජයක් බව අපට ඉතාමත් කනගාටුවෙන් වුවත් කීමට සිදුවෙයි.

යථාර්ථය යනු මනසේ දෙයක් නම් කාන්තාව, මුසල්මානුවා හෝ පරිසරය පිළිබඳ ඇති කොට තිබෙන යථාර්ථයන් එක දවසකින් දෙකකින් ඇතිවූ මානසික යථාර්ථයන් නොවේ. ඒවා දීර්ඝකාලීන භෞතික දේශපාලනයේ පිළිබිඹු සහ එම දේශපාලනයේ දෘෂ්ටිමය ආරක්ෂක කඩතුරාව නියෝජනය කරයි. එබැවින් මානසික හෝ භෞතික හෝ ‘සමපේක්ෂනීය‘ හෝ යථාර්ථයන් යනු නැවතත් අපගේ දේශපාලන යථාර්ථය සහ සංස්කෘතියේම පිළිබිඹු වන අතර එම යථාර්ථයන් වෙනස් කිරීමට මෙම තෙවර්ගයේම වූ මානුෂවාදී මැදිහත්වීම් අවශ්‍ය වෙයි.