විමලනාත් වීරරත්න

ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධය මැඬපැවැත්වීමට ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග මගින් රට තව තවත් නොසන්සුන් වනු පෙනේ. මහජන විරෝධය මර්දනයෙන් මැඬපැවැත්විය නොහැකිය. එසේ කළ හැකි යැයි සිතන්නෝ අදූරදර්ශී පාලකයෝය. කිසියම් පාලනතන්ත්‍රයකට රට සම්බන්ධයෙන් නිශ්චිත අනාගත වැඩසටහනක් තිබේ නම් සාම්ප්‍රදායිකව විරුද්ධ පක්ෂයෙන් එල්ල කැරෙන ගල් ගැසීම් මගින් ඒ සා හානියක් නොවනු ඇත. හානිය සිදුවනු ඇත්තේ සැලසුම් විරහිතව ඉබාගාතේ යනවා නම්ය. එවිට ඇච්චෝ ද පැච්චෝ ද ගල් ගසති. විරෝධතාකරුවන් අවිචාරයෙන් ක්‍රියා කරන බව ආණ්ඩුව කල්පනා කරනවා නම් ඔවුන් කළ යුත්තේ විචාරශීලීව ඊට මුහුණ දීමය. එහෙත් ආණ්ඩුව පොලිසියට උපදෙස් දී ඇති බව පෙනෙන්නේ කැමරාවලට නොපෙනෙන ලෙස උද්ඝෝෂකයන්ට පයින් ගැසීමටය. කැමරාවලින් බේරෙන්නට බැරි තැන ප්‍රසිද්ධියේම ස්වාමීන් වහන්සේලාට පහර දී ඔසවාගෙන යති. කාන්තාවන්ගේ ශිෂ්‍යාවන්ගේ ඇඳුම් ඉරා දමති. උසාවියෙන් ඇප ලැබුණු උද්ඝෝෂකයන්ට නිරෝධායන නීති මගින් දඬුවම් කරති. ඒවා පැහැදිලිව පළිගැනීම් බව කිව හැකිය. මහජනයාගේ ඉවසීම අන්තයටම ගොස් අති බහුතරයක් දිනපතා පාරට බසින තත්ත්වයක් උදාවුවහොත් ආණ්ඩුව බරපතළ අර්බුදයකට යනු ඇත. එම උද්ඝෝෂණ සජබයේ හෝ ජාජබයේ කටයුතු ලෙස ආණ්ඩුවට බැහැර කළ නොහැකිය. ඒවා ජනතාව එක්රැස්වීමට පාවිච්චි කරන බෝඩ්ලෑලි පමණි. එම බෝඩ් ලෑලිවලින් පරිබාහිරවත් ජනයා ආණ්ඩුවේ හිතුවක්කාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව වීදි බසින දවසක් උදා වුවහොත් ආණ්ඩුව එය අර්ථකථනය කරන්නේ කෙසේද?


සෙක්කු පිළිවෙත


හැමදාම රටේ සිදුවූයේ මෙම විරෝධය කෙළවරකදී කවර හෝ මඩ සෝදාගත් හාදයෙක් රජවීමය. රජවූ සෑම පුද්ගලයකුම හරියට මඩ ටික සෝදා ගත්තවුන් නොවේ. මඩ සෝදා ගත් පමණින් රජකමට සුදුසු වන්නේ ද නැත. පාලකයකු ලෙස ඔහු දැනුමෙන් බුද්ධියෙන් හා අවංකකමෙන් යම් තරමකට හෝ පරිපූර්ණ විය යුතුය. ලංකාවට හැමවිටම අර්ධ නායකයෙක් ශේෂ වූයේ නොගැළපෙන පුද්ගලයකුට ජනතා විරෝධයක් කෙළවරදී කිරුළ භාර කැරුණු නිසාය. ආසන්න ජනාධිපතිවරණ දෙක ගතහොත් සිදුවී තිබෙන්නේ ඒ දේමය. ඊට පෙරත් එහි වෙනසක් නොවීය. 2024දීත් එයම සිදුවීමට ඉඩ හැර බලා සිටිනවාද?

2024ට අත දිගු කරගෙන සිටින පෙනෙන ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාය. පුද්ගලයකු ලෙස ගුණ යහපත්ය. බොරු ආටෝප සාටෝප නැත. කිසියම් හේතුවක් නිසා සියලුම රටවැසියන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දුන් පසු තමන් එන්නත ලබා ගන්නා බව කීවේය. ඒවා ප්‍රගතිශීලී අදහස් වුවත් ඔහුට ඇති බරපතළම දුබලතාව වන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව දුර දැක්මක් නොමැතිවීමය. මම වසර 20ක් පමණ සජිත් මහතා සමග රාජකාරිමය වශයෙන් විටින් විට විවිධ අන්දමේ සාකච්ඡා සිදුකර ඇත. කිසිදු විෂයයක් පිළිබඳව ඒ අනුව ඔහු ගැඹුරු සාකච්ඡාවක නිරත වී නැත. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට සමානය. මහින්ද රාජපක්ෂ මහතාත් කිසිදු විෂයයක් ගැන ගැඹුරින් සාකච්ඡා කිරීමට නොපෙළඹෙන නායකයෙකි. එය යම් වෘත්තියක නිරත නොවූ පුද්ගලයකුගේ ලක්ෂණයක් විය හැකිය. දේශපාලනයත් වෘත්තියක් වුවත් තමන් නිරත කිසියම් වෘත්තීය දැනුමකින් දේශපාලනය නමැති විෂය සාරවත් කරගත හැකිය. ගෝඨාභය නම් වෘත්තිකයා තම වෘත්තිය උපයෝගී කරගෙන දේශපාලනයේ හැම අවස්ථාවකටම එය ව්‍යවහාර කිරීමට යාමද නොකළ යුත්තකි. වතුර පයිප්පය කැඩුණත් ශවේන්ද්‍රට අඬ ගැසීමෙන් ඔහුගේ එම ව්‍යවහාරය හාස්‍යයට ලක්විය. තමන් කළ වෘත්තිය තුළින් දේශපාලනයට දමන අනුපානක් තිබේ. එය හඳුනාගත යුතුය.


සරත් ෆොන්සේකා මහතා 2010දී ජනාධිපති ධුරයට පත්වූයේ නම් ඔහු ගෝඨාභයටත් වඩා අමාරුවේ වැටෙන්නට තිබුණි. ඒ ඔහු තුළ වෘත්තිකභාවයද යටපත්ව ගිය ‘රාජපක්ෂ වෛරයක්’ තිබුණු බැවිනි. රාජපක්ෂලාද සෑහෙන ප්‍රමාණයකට ඔහුගෙන් පළිගත්තේය. මේ දෙකම වැරදිය. වෘත්තිය උපයෝගී කරගත යුත්තේ ප්‍රබුද්ධ දේශපාලනඥයකු වීම සඳහාය. ප්‍රබුද්ධ දේශපාලනයක නිරතවීම සඳහාය.

නව වැඩසටහනක අවශ්‍යතාව


ඉදිරියේදී රටේ ජනාධිපති ධුරයට පත්වන කවර හෝ නායකයකු අද වහාම පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න මාලාවක් ඇත. ප්‍රධාන ප්‍රශ්නය රටේ ආර්ථිකය සුන්නද්දූලී වී තිබීමය. ඩොලරයට සාපේක්ෂව රුපියල අද වන විට 230/- දක්වා බාල්දු වී තිබේ. ණය රැගෙන රටේ ඩොලර් සංචිත වැඩි කිරීමෙන් රුපියල ස්ථාවර කිරීම ව්‍යාජ ප්‍රයත්නයකි. විනිමය අනුපාතය ශක්තිමත් කිරීමට ස්වාභාවික ඉපැයීම් අවශ්‍යය. රටට නව සංවර්ධන වැඩසටහන් මෙන්ම නව සංවර්ධන මාදිලියක් අවශ්‍ය ඒ සඳහාය. වත්මන් රජයට සංවර්ධන සැලසුමක් තබා ගොවියාට පොහොර ටික දීම සඳහා හැකියාවක් හෝ නැත. වගා කරන්නේ කවර පොහොර වර්ගයක් යොදාගෙනද යන්න කඹ ඇදීමට කාරණයක් නොවේ. අවශ්‍ය වන්නේ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කර එය ක්‍රියාවට නැංවීමය. එය සකස් කළ යුත්තේ හමුදාව නොව විෂය ප්‍රාමාණිකයෝය. එම නිශ්චිත මග පසෙකලා රජය සෞභාග්‍යයේ දැක්ම වැනි හුදු දේශපාලන ලියවිලි මත කොම්පෝස්ට්වලින් වගා කිරීමට උපදෙස් දෙන විට ගොවීහු එසේ නොකළ හැකි යැයි කියා උද්ඝෝෂණ කරති. පොහොර නොමැතිව දුර්වර්ණ වූ ගොයම ළඟ හැපි හැපී සාප කරති. උද්ඝෝෂණ මෙහෙයවීම නිසා නාමල් කරුණාරත්න, සමන්ත විiාරත්න වැන්නෝ අත්අඩංගුවට පත්වෙති. මෙය මහා විකාර තත්ත්වයක් බව ජනාධිපතිවරයා කල්පනා කළ යුතුය.

දිනෙන් දින සිදුවන පරිසර විනාශයට ආණ්ඩුවට පිළිතුරු නැත. එකම පිළිතුර එසේ නොවන බව කීමය. ජනපතිගේ පරිසර සංරක්ෂණය ගැන උදාහරණ කැස්බෑවේ වැව වටෙන්, දියත උයනෙන්, බොරලැස්ගමුව ඇවිදින මංතීරුවෙන් නවතියි. රඹකැන්ඔය රක්ෂිතයේ අක්කර 5000ක් බහුජාතික සමාගම්හි වගා කටයුතුවලට කැපීම, ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කඩොලාන පැළ දහසක් පමණ ගලවා විනාශ කිරීම, සේරුවාවිල ත්‍රිකෝණ මඩු වනය එළිකිරීම, ලාහුගල සෙංගමුව රක්ෂිතයේ ගස් කැපීම, කන්තලේ, දහයියාගල, හන්තාන, සිංහරාජය හා අගලවත්ත රූණකන්ද යනාදී පරිසර විනාශයන් ගැන ජනාධිපති මීක් නැත. මේවා ඉකුත් වකවානුවේ විiුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මගින්ද හෙළි කළ දේවල්ය. එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායන ද්‍රව්‍ය මුහුදට එකතුවීම නිසා මුහුදු ජීවීන් මියයාම, ධීවර කර්මාන්තය අනතුරට ලක්වීම ගැන වගකිවයුත්තෝ මුනිවත රකිති. අධ්‍යාපනය ඔන්ලයින්වීමෙන් පසු ශිෂ්‍යයා මෙන්ම ගුරුවරයා මුහුණ දී සිටින අර්බුදය ගැන ආණ්ඩුව විචාරශීලී නැත. වසර ගණනාවක් තිස්සේ රටෙහි උද්ගතව තිබෙන ගැටලුවලටවත් පිළිතුරු සොයාගත නොහැකි ලංකාවේ පාලකයන්ට ඔන්ලයින් ප්‍රශ්නයට උත්තර තිබිය නොහැකිය. රූපවාහිනියෙන් අධ්‍යාපන වැඩසටහන් කිරීමද තවම තිබෙන්නේ සාකච්ඡා මට්ටමේය. අපොස උසස් පෙළ ඔක්තෝබරයේය. සාමාන්‍ය පෙළ දෙසැම්බරයේය. එම විභාගවලට පෙනී සිටින දරුවන්ට කඩිනම් විසඳුම් අවශ්‍යය. වියපත් දේශපාලකයන් ඇඳෙන් නැගිට, ඇඟමැලි කඩා, කට සෝදා කෙළ ගසා එනවිට කෝච්චිය යනු ඇත. රටට මහජන නියෝජිතයන් පත්කර ගන්නේ උන්ගේ සැප පිණිස නොව උනුත් යම් සැපක් ගන්නා අතරම රටේ ජනයාගේ පැවැත්ම වෙනුවෙන් වැඩ කිරීමටය.


දැන් ආණ්ඩුව මේවා නොකරන නිසා අපිට දුන්නොත් කරන බව විපාක්ෂිකයෝ කියති. රටේ ජනයා හැමදාම රැවටුණේ එම බේගලයටය. 2024දී තවදුරටත් එයම කරනවාද? නැතහොත් විකල්පයක් සොයා ගන්නවාද?


ජනමාධ්‍ය

ජනමාධ්‍ය තම තමන්ගේ ව්‍යාපෘති ඉලක්ක කරගෙන සිය මාධ්‍ය මෙහෙයවනවා විනා ජනතාව හා රටේ ව්‍යාපෘති බවට පත්විය යුත්තේ මොනවාද යන්න ගැන සාකච්ඡාවක් කරන්නේම නැත. කාගෙන් වරදක් වුවත් නිවැරදි කිරීමක්, ස්වයං විවේචනයක් ඉල්ලා සිටින සමාජයක් ජනමාධ්‍ය තොරතුරු වාර්තාකරණයේදී කරන වැරදි සම්බන්ධයෙන් නිවැරදි කිරීම් බලාපොරොත්තු වන බවක් දක්නා නොලැබේ. ‘නිව්ස් පේපර්ස්’ යනු මීට වසරකට පමණ පෙර මෙරට තිරගතවුණු චිත්‍රපටියකි. එහි අන්තර්ගත වූයේ යම් පුද්ගලයෙක් ‘කොටියකු’ බවට නම් කර පළ කළ මුල් පුවතක් හා ඉන්පසුව ඔහු කොටියකු නොවන බව ඔප්පුවීමෙන් පසු එම නිවැරදි කිරීම මුල් පුවතක් ලෙසම පළ කරවා ගැනීමට අදාළ පුවත්පත සමග අරගලයකට පිළිපන් ඉහත පුද්ගලයාගේ සහෝදරයකු සම්බන්ධ පුවතකි. චිත්‍රපටයේදී එම සොහොයුරාට යුක්තිය කෙසේ වෙතත් පුවත පළකරවා ගැනීමට හැකි වුවත් රටේ යථාර්ථය තුළ එසේ වන්නේ නැත. ජනමාධ්‍ය එසේ කරන්නේ නැත. එසේ වනවා නම් කොවිඩ් පැණිය ප්‍රමෝට් කළ නාලිකාව පැණියෙන් රට කෙළවා ගත් පසු තමන් දිනපතා කළ අමන වැඩේ වැරදි බවට පුවතක් පළ කළ යුතුය. ඒ ගැන ස්වයං විවේචනයකට යා යුතුය. පුද්ගලික දේශපාලන හා ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් ක්‍රියා කරන ජනමාධ්‍ය රටෙහි ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙයිද?


රට මෙවැනි බරපතළ අර්බුදයක ගිලී ඇති සමයක ජනමාධ්‍ය, රටේ නායකයන් ප්‍රතිපත්තිමය වශයෙන් පොහොසත් කරන අතරම ඔවුන්ට විෂය විෂයාන්තර සැලසුම් හා යෝජනා ද ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම ඔවුන්ට නිවැරදි මාවත පෙන්වා දෙන ස්ථාවරයක් ගත යුතුය. ආණ්ඩු හිතවාදී මාධ්‍ය ආයතන රැසක් තිබේ. ඒවායින් කරන්නේ නායකයන් තවත් පුම්බන එකය.

නායකයන් හුළං ගසා පුම්බා උඩ නෑර ඔවුන් දෙපයින් පොළොවේ පිහිටුවීමට ක්‍රියා කිරීම ජනමාධ්‍යයේ වගකීමකි. සිටින නායකයන්ගෙන් රටට දිගටම සිදුවන්නේ අනර්ථයක් නම් ඔවුන් පරාජය කර අලුත්ම දේශපාලන සංස්කෘතියක් ඇතිකර ගැනීම ගැන සිතීමද ජනමාධ්‍ය ප්‍රධානීන් මැදිහත් විය යුතු කර්තව්‍යයකි. සැබැවින්ම මේ වන විට මාධ්‍ය ප්‍රධානීන් එවැනි සාකච්ඡාවක් ආරම්භ කළ යුතුය. එහෙත් ලංකාවේදී හමුවන්නේ මුදලාලිට අවශ්‍ය ලෙස ජනමාධ්‍ය හසුරුවන කතුවරුය. ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමුවට ගිය විට ඔහු පුද්ගලිකව විරසක වේ යැයි බියෙන් හැකිතරම් මුණිවත රකින මාධ්‍යවේදීන්ය. සමහරවිට ආණ්ඩු හිතවාදී ගොඩේම සිටින සහෝදර පුවත්පතක් ගැන ජනාධිපතිට උදෑසනම ගතු කියන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ය. එනම් මේ වනවිට දේශපාලකයින්ටත් වඩා ජනමාධ්‍ය පරිහානියට පත්ව ඇතැයි යන්න සත්‍යයකි. අප නව දේශපාලන සංස්කෘතියක් සොයා යාමට සමාන්තරව අප නව ජනමාධ්‍ය සංස්කෘතියක්ද සාක්ෂාත් කරගැනීමට යත්න දැරිය යුතුව තිබේ.


සෙක්කු ගමනට විසඳුම කුමක්ද?

මේ පිළිබඳව මම එකම තලයක තැබිය හැකි ක්ෂේත්‍ර කිහිපයක වැඩ කරන විද්වතුන් කිහිප දෙනෙක් ඉකුත් ලිපිවලදී යෝජනා කර ඇත්තෙමි. ඒ ගැන මා වෙත විද්වතුන් දෙපළක් පුද්ගලිකව අදහස් පළකර ඇත. ඒ උගතුන් දෙදෙනා නම් මහාචාර්ය ජයදේව උයන්ගොඩ හා ආචාර්ය කුමුදු කුසුම් කුමාරය. මෙම අදහස තවත් සාකච්ඡාවට ලක්විය යුතු බවට ඔවුහු මත පළ කරති. පුද්ගලයන් නම් කිරීම පිළිබඳ මගේ යෝජනා විවේචනයටද බඳුන් විය.


බුද්ධිමතුන්ට ප්‍රායෝගික දේශපාලනයට එක්වීම ලංකාව තුළ එකලාව කළ නොහැක්කක් බව පෙනේ. ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවල හා බහුජන සංවිධානවල සහයෝගය අවශ්‍ය වන්නේ එහිදීය. මෙම කාරණයේදී මෙරට සිදුවනු දක්නට ලැබෙන එක් වරදක් නම් එම පක්ෂ විසින් අවසානයේදී බුද්ධිමතුන් අවශෝෂණය කරගැනීම බඳු ක්‍රියාවක් සිදුවීමය. ආචාර්ය හරිනි අමරසේකර පාර්ලිමේන්තුව තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන්නීය. එහෙත් ඇය ජවිපෙ විසින් අවශෝෂණය කරගත් මහජන නියෝජිතවරියකගේ මට්ටමට පත්වෙමින් සිටියි. එස්.සී. මායාදුන්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූවා නම් මෙසේම විය හැකිදැයි යන සංශය දැන් පැන නගී. ජනතා මූලස්ථානය දේශපාලනයේ වැදගත් සාධකයක් වුවත් අප කළයුත්තේ මූලස්ථානයට පසුබැසීම නොව මූලස්ථානයේ සිට කේන්ද්‍ර අපසාරී බලයක් ගෙන ව්‍යාප්ත වීමය. පක්ෂවලට සම්බන්ධ වන බුද්ධිමතුන්ගේ කාර්යය විය යුත්තේ එයයි. මේ ගැන ඉදිරි ලිපියකදී තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here