නිමල් අබේසිංහ

මාකඳුරේ මධුෂ්ගේ හොඳ හෝ නරක අපට අදාළම නැති වුවද ඔහුගේ මරණය සිදුවූ ආකාරය නම් සිවිල් පුරවැසියකු ලෙස අතිශය අදාළ වන්නේය. ඒ ඔහුගේ මරණය සිදුවූ ආකාරය අතිශය ප්‍රශ්නසහගත වනවා සේ ම සමහර විටෙක රටේ ඉදිරියේදී සිදුවිය හැකි මෙවන් සිද්ධීන් ගැන ඉන් සංඥාවක් ලැබෙන හෙයිනි.


මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී පාතාලයට සම්බන්ධ පුද්ගලයන් කීපදෙනකුම මරණයට පත්වූයේ, මරණයට පත්වූ පුද්ගලයන් සඟවා තැබූ අවි ආයුධ පෙන්වන්නට ගිය විටදීය. වැලිකඩ බන්ධනාගාර සිද්ධියේදීත් එවැනි මරණ ගණනාවක් සිදුවිය.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂකයකු මෙන්ම තවමත් පොලිස් සේවයේ යෙදෙන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මධුෂ්ගේ මරණයත් සමගම සිය මුහුණුපොතේ පළකළේ යැයි කියන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිරෙයි. ඒ සටහන මෙලෙසය.

“මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවහම කැමැත්තෙන් හිටියේ උඹව මුහුණට මුහුණ හමුවෙන්න. උඹේ ලේ ගඳ මගේ නාසය තවම ඉල්ලනවා. ඒක සත්තකින්ම ඉල්ලනවා මගේ කොල්ලන්ගේ ලේවලට සාධාරණයක් කරන්න. උඹව අවුරුදු එකහමාරක් දරුවෙක් වගේ පරිස්සම් කළ අර අකුරු තුනේ ඉන්න ස්ථානාධිපති අඳින්නෙත් මම අඳින පොලිස් කාකිය. ඒ මහත්තයාගේ දරුවන්ට උඹ දීපු සල්ලිවලින් කවලා හිමෝෆීලියාව හැදෙනවා උඹ බලාගෙන ඉඳපං.


උඹ මට පොරක් නොවේ. එදා සුගතදාස වෙඩින් හෝල් එකේදි මගේ ඇම්බුස් එකට සෙට් වුණ දවසේ ෆවුසි මන්ත්‍රී හිටි නිසා උඹ යහතින් ගියා. බායිවත්තේ මහිලාර්ගේ පුතාගෙ වෙඩින් එකේ ඉම්රාන් එක්ක උඹ ආවේ. මගේ අබේවික්‍රමව උඹ මරයි කියලා මම හිතුවෙ නෑ හීනෙන්වත්. නිකම් හරි හිතුණා නම් උඹ ෆවුසි එක්කම යනවා සීයක් එක්ක වුණත්. මැරුණු උඹට පොර ටෝක් දාන්න ඕනේ නැහැ. යන තැනකට ගිහින් හිටපන්. මම කලින් එව්ව කීපදෙනෙකුත් ඉන්නවා. ගිහින් හම්බවෙයන් උන්වත්. උඹේ ගෝලයන්ට හීනෙන්වත් ඇවිත් කියපං හැම පොලිස්කාරයෙක්ම පොන්නයෝ නෙවෙයි කියලා උඹ එව්වෙත් නියම පොලිස්කාරයන් කිහිපදෙනෙක් කියපං.


දේශබන්දු මහත්තයා වගේ ආදරය කරන ලොකු මහත්තුරු වගේම, ශානි අබේසේකර බබා, කුජීත වගේ නපුංසක ඩයල්ද ඉන්නවා කියපං. දෙන දේ කාලා වෙන දේ බලාගෙන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට කුඩු කේස් එක නොදා ඉන්න කියපං. එහෙම නොවුණොත් ඇස්දෙක ඇරුණු බයංකාර මරණයක් බලාපොරොත්තු වෙන්න කියපං. මම නාකොටික් රංගජීව.


මේ ලියා ඇත්තේ සැබෑවටම නියෝමාල් රංගජීව නම් ලියවිල්ල යටින් පමණක් නොව, මතුපිටින්ද කියැවෙන්නේ සැබැවින්ම භයංකාර කතාවකි. අපරාධකරුවන් යැයි හණ ගැසුණු පුද්ගලයන්ට පමණක් හංවඩු ගසා ඇස්දෙක ඇරුණු භයංකාර මරණයක් හිමිවිය හැකි අයද අනාගතයේදී සිටිය හැකි බැවිනි. හේතුව මේ ලියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියැළෙන්නෙකු බැවිනි. ඒ බිය සැක සමගම මාකඳුරේ මධුෂ්ගේ මරණය සමග ඇතිව තිබෙන සැක සංකා ද වැඩිවේ.


මධුෂ්ගේ මරණයත් සමග මරණය සිදුවූ ස්ථානයට තකහනියේම පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍යයට කීවේ මෙය ඇතිවූ වෙඩි හුවමාරුවකින් සිදුවුණු මරණයක් බවයි. තවදුරටත් කළ විස්තර කිරීම්වලදී ඔහු කීවේ මාලිගාවත්ත මහල් නිවාසයේ 10 වැනි තට්ටුවේ දහවෙනි කාමරයේ තිබුණ හෙරොයින් මත්කුඩු ඇල්ලීම සඳහා මධුෂ් රැගෙන ආ බවත් ඔහුව අත්අඩංගුවෙන් පැහැර ගැනීම සඳහා පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු සහ පොලිසිය අතරේ ඇතිවූ වෙඩි හුවමාරුවේදී මධුෂ්ටද වෙඩි වැදී මියගිය බවය. මේ මත්කුඩු පිළිබඳ තොරතුර මධුෂ්ට දෙන ලද්දේ පාතාල සාමාජිකයන් බවත් එම තොරතුරු මධුෂ් ලබාගෙන ඇත්තේ ජංගම දුරකතනය ඔස්සේ බවත් තවත් විස්තර ඔහුගෙන් කියැවිණ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට කීවේ, මෙම හෙරොයින් පිළිබඳ තොරතුරු හොයාගෙන තිබුණේ පොලිස් බුද්ධි අංශ විසින් බවය. බැලූ බැල්මටම මෙය එකිනෙකට ප්‍රතිවිරුද්ධ තොරතුරු ප්‍රකාශවීම තුළින් පෙනෙන්නට ඇත්තේ මෙය කිසියම් තිර පිටපතකට අනුව සිදුවූ දෙයක් බවය.


අනෙක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළ ආකාරයට මධුෂ් පැහැර ගැනීමට පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනා පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. කිසියම් විදියකින් මධුෂ්ව පැහැර ගත්තේ නම් ඔහුව රැගෙන යන්නේත් ඒ යතුරු පැදියේමද? ප්‍රධාන පෙළේ දාමරිකයෙකු පැහැර ගැනීම සඳහා යතුරු පැදියකින් පැමිණියා යැයි කීමද විහිළුවකි. සිදුවූ වෙඩි හුවමාරුවලට අමතරව පැමිණි පුද්ගලයන් අත්බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කළ බව ප්‍රකාශ වේ. එවැනි අත්බෝම්බ ප්‍රහාරයක් සිදුවූයේ නම් එම බිමෙහි වළක් සෑදී තිබෙනවාට අමතරව අවට බෝම්බ ප්‍රහාරයක් සිදුවූ බවට ලකුණු තිබිය යුතුය. සැබැවින්ම එම ස්ථානයේ එවැන්නක් තිබේද?


වෙඩි ප්‍රහාරය සිදුවූ ස්ථානයේ තිබී බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල දෙකක් පොලිසියට හමුවී තිබේ. එහෙත් ඒවායින් වෙඩි තැබූ සලකුණු එනම් හිස් පතරොම් කොපු එහි තිබූ බවක් ප්‍රකාශ නොවිණ. මධුෂ් වැටී සිටි ස්ථානයේද තිබී හමුවී ඇත්තේ ටී 56 වර්ගයේ හිස් පතරොම් කොපුය. ඉදින් මේ දියාරු මොන්ටිසෝරි වර්ගයේ තිරපිටපතකට සිදුවූ රංගනයක් බැව් නොතේරෙන්නේ කාහටද? පොලිසියේම උදවිය පවා මේ තොරතුරු අසා උපහාසයෙන් හිනැහෙති. අනෙක මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදී ඇතැයි පෙනෙන්නේ ඔහුගේ හිස ඉදිරිපසින් නොව පිටුපසිනි. මරණකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගෙනවුත් දින දෙක තුනකට වඩා නැතිය. ඔහු දිගු කලක් රඳවා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. ඒ කාලය තුළදී ඔහු කළ කී දෑ මොනවාදැයි දැනට හෙළිදරව් වී නැතිමුත් විවිධ කතාබහ ගොඩනැගී තිබේ. ඔහු ඇසුරු කළ දේශපාලනඥයන් මෙන්ම පොලිස් නිලධාරීන් හා වෙනත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඔහු හෙළිකරන්නට ඇතිවාට නම් සැක නැත. එහෙත් ඒවා මේ වන විට සැඟවී හමාරය. ඉතිරිව ඇත්තේ සමාජය විසින් ගොතන ලද සැක සංකා මවන දෑ පමණි.


ඒ කරුණ කෙසේ වුවත් මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත තකහනියක්ම රැගෙන ආවේ ඇයි? එසේ ගෙන ඒමේ අරමුණ කුමක් වීද? මේවාට ලැබෙන තොරතුරු නානාප්‍රකාර විය හැකිය. නිසි ලෙස විමර්ශනයක් සිදුකළහොත් එහි සුල මුල හදා ගැනීමට අසීරු නොවෙතත් එවැන්නක් කිසිදු අයුරකින් සිදුනොවෙන බවට කැට තැබිය හැකිය.


තවත් ප්‍රබල කාරණාවක් වන්නේ මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට පාතාලයේ පුද්ගලයන්ට ජංගම දුරකතනයෙන් කතා කර තොරතුරු ලබා ගත් බව කීමය. මේ නම් අමුම අමු විහිළුවකි. මධුෂ් වසර එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව මුළු රටම හොඳින් දන්නා කරුණකි. එවැනි පුද්ගලයකු විසින් ජංගම දුරකතනය ඔස්සේ කරනු ලබන ඉල්ලීමක් අනුව තොරතුරු ලබාදෙන මෝඩයා කවුද? පාතාලයන් යනු එවැනි දෙයක්වත් තේරුම් ගත නොහැකි අඳබාලයන්ද?


මෙවැනි රංගනවලින් මධුෂ්ගේ මරණය පිළිබඳ රහස කිසිසේත් වසා තබනු නොහැකිය. සිදුවී තිබෙන සහ ප්‍රකාශ වෙන කරුණු අනුව මෙය සෙප්පඩ විජ්ජාවක් බව කාට වුව පැහැදිලි වේ. එහෙත් කිසිවෙකුටත් මෙයට එරෙහිවීමට හෝ සත්‍ය තොරතුරු හෙළිකරන්නැයි බලපෑම් කළ නොහැක. එසේ කළද පළක් නොවේ. හේතුව නඩු සහ බඩු දෙකම හාමුදුරුවන්ගේ වීමය.


මාකඳුරේ මධුෂ් මෙරටට රැගෙන එනු ලැබුවේ ඩුබායි රාජ්‍යයේ සිටය. එය ජාත්‍යන්තර පොලිසිය හරහා සිදුවූ ගනුදෙනුවකි. එසේ ගෙන එනු ලැබූ පුද්ගලයකු මෙවැනි සැකසහිත මරණයකට පත්වීම මෙරටට ජාත්‍යන්තර තලයේ සිදුවෙන බලපෑම ගැන තවම අනාවැකි පැවසිය නොහැක.


කෙසේ වුවත් වඩාත්ම වැදගත් වන්නේ දරුණු ගණයේ අපරාධකරුවෙකු යැයි පොලිසිය විසින් පුන පුනා කියන මේ පුද්ගලයා පොලිසියෙන් බැහැරට රැගෙන යද්දී යෙදිය යුතු ආරක්ෂක උපක්‍රම ගැන පොලිසිය සිතා බැලුවේ නැතිද? පොලිසියටම මෙවැනි සිද්ධීන් අරභයා ඇති අත්දැකීම් පිළිබඳ සලකා බැලුවේ නැතිද යන කාරණා ප්‍රබලව මතුවෙයි. එසේ නොවීම තුළ පෙනෙන්නේ මොහු පිටතට රැගෙන ගියේම දංගෙඩියට දක්කන අරමුණ ඇතිවද? ■