නිමල් අබේසිංහ

ආර්ථික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, එකී නොකී මෙකී හැටහුට හමාරක් ප්‍රශ්න දූරීභූත වී ශ්‍රී ලංකාව සියල් සරින් සපිරි ස්වයංපෝෂිත රාජ්‍යයක් වීමට නියමිතය. ඒ වෙන කිසිවක් නිසා නොව, මන්නාරමෙන් මතුවී තිබෙන තෙල් සහ ගෑස් නිධි හේතුවෙනි. ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය උදය ගම්මන්පිල ඇමතිවරයාට අනුව මන්නාරමේ තෙල් නිධියෙන් ලබාගත හැකි තෙල් ලීටර් ප්‍රමාණය බිලියන දෙකකි. ගෑස් ඝන අඩි ටි්‍රලියන නමයකි. ශ්‍රී ලංකාවේ විදේශීය ණය ඩොලර් බිලියන 47 ගෙවා දැමීම තෙල් ආදායම ලැබුණ විට කජු කනවටත් වඩා පහසුය.
උදය ගම්මන්පිල ඇමතිවරයා තවදුරටත් පවසන්නේ 2050 වර්ෂය වන විට ලෝකය තෙල් භාවිතයෙන් ඉවත් වෙනු ඇති බවය. එනිසා මෙම තෙල් නිධියේ තෙල් 2050 වසරට පෙර ගොඩ ගත යුතුය. හැබැයි මේ තෙල් නිධිය ඇත්තේ කිලෝමීටර් 3 1/2ක් ගැඹුරිනි. එනම් මුහුදු ජල මට්ටම කිලෝමීටර් 1 1/2කුත්, එතැන් සිට තවත් කිලෝමීටර් 02ක් තවත් ගැඹුරට ගිය විට තෙල් නිධිය හමුවේ.
අවාසනාව නම් මේ සඳහා වියදම් කළ යුතු වියදම ඩොලර් බිලියන ගණනාවක් වෙන බවය. එවැනි මුදලක් වියදම් කරන්නට අපේ රටටත්, රටේ ව්‍යාපාරිකයන්ටත් නොහැකිය. ඒ නිසා මේ තෙල් නිධියෙන් තෙල් කැණීමට බි්‍රතාන්‍ය සමාගමකට පවරා තිබේ.
පාතාල අඳුන බලා තෙල් සහ ගෑස් තිබෙන ඉසව්ව පමණක් නොව, එයට තිබෙන දුර ප්‍රමාණය ද සොයාගෙන හමාරය. ඉක්මන් නොකළහොත් අපට ගොඩ යන්නට තිබෙන මහඟු අවස්ථාවක් අහිමි වනු ඇත. මේ ඇමතිවරයා නොකියා කියන කතාවය.
ශ්‍රී ලංකාවේ මන්නාරමේ තෙල් නිධි ඇතැයි යන්න අද ඊයේ ගෙතූ කතාවක් නොවේ. නවසිය හැට දශකයේ සිටම මේ මිථ්‍යාව ඒ ඒ වකවානුවල පැවති ආණ්ඩු විසින් තමන්ගේ ගැලවිජ්ජාවට යොදා ගත් උපක්‍රමයකි.
මේ ගැන අතීත සිද්ධීන් දන්නා අයට මෙය අමුතුවක්ද නොවේ. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ යුගයේදී තෙල් මතුවුණේ මන්නාරමේ පේසාලෙන්ය. ඊට පෙරත් එහි තෙල් ඉනුවේය. ඊට පසුවත් තෙල් ඉනුවේය. දැනුත් තෙල් උනා ඇත්තේ මන්නාරමෙනි.
මල් වෙඩිල්ලේ ආකර්ෂණීය දසුනට එය නරඹන්නා වශී වුණ ද ඉන් අනතුරුව ලැබෙන යමක් තිබේද? එය සිහිනයක් හා සමානය. ලැබෙන හෝ ලැබුණ කිසිවක් නැත. සටකපට පාලකයෝද රටේ ආර්ථිකය බිඳ වැටී පල්ලම් බසිද්දී මෙවැනි ප්‍රයෝග භාවිත කිරීම ඉතිහාසයේද සිදුවූවකි. මේ තෙල් ඉනිල්ලත් එවැන්නක් විනා වෙන කිසිවක් නොවේ.
ඇමති උදය ගම්මන්පිලට අනුව මන්නාරමෙන් සොයාගෙන ඇති තෙල් සහ ගෑස් නිධියෙන් ගෑස් සහ තෙල් ගැනීමට වසර තුනක පමණ කාලයක්ද ගත වේ. ඉතින් අවුරුදු තුනක් වෙනතුරු රටේ ජනතාව සිය අහේනිය අමාරුව අල්ලාගෙන සිටිය යුතුය. මන්දයත් අවුරුදු තුනක අවසානයේ සෞභාග්‍යය උදාවෙන බැවිනි. ඉන්පසු මුළු රටටම කා බී ජොලි කළ හැකිය.
මේ රැවටිල්ලට අපේ රටේ බොහෝ දෙනා හසුවූයේය. හසුවෙමින් සිටිති. ඉදිරියේදීත් හසුවීමට නියමිතය. ඉදින් කිවයුත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් තෙල් හිඳිල්ල හා තෙල් බෙදිල්ල කවරදාක නතරවේද යන්නය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here