20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ ගමන් කිරීමට අදහස් කරන දිසාව හා ස්ථාවරය පැහැදිලි කර දී තිබේ. එමගින් ඔහු තියුණු දේශපාලනඥයකුට වඩා ආඥාදායකයකුගේ ගති ලක්ෂණ ස්ඵුට කර තිබෙන අතර රටක පාලකයා කවර පක්ෂයකින් බලයට පැමිණියත් ඔහු මහජන තීරු රැසක් නියෝජනය කළ යුතු නායකයකු විය යුතුය යන දියුණු අදහස එහිදී බිඳ දමා තිබේ. එසේ වන්නේ නව කෙටුම්පත මගින් හෙතෙම රටේ සියලුම වැදගත් දේවල් තීරණය කිරීමේ අභිමතානුසාරී බලයක් අත්පත් කර ගැනීමට යත්න දැරීම තුළිනි. ජනාධිපති ධුරයට බලතල අවශ්‍යය. එහෙත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක සාපේක්ෂ සාධාරණත්වයේ සිද්ධාන්තවලට ස්වාභාවික යුක්ති ධර්මයට පටහැනි නොවිය යුතුය. 19 සංශෝධනයේ තිබුණු සාධනීය ලක්ෂණ මරා අගමැති පත් කිරීම, අගවිනිසුරු, සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, ස්වාධීන කමිෂන් සභාවලට සභාපතිවරුන් පත්කිරීමේ සිට දණ්ඩන මුක්තිය දක්වා විස්ස මගින් ජනපතිට කේන්ද්‍රගත සුපිරි බලය ඔස්සේ නිර්මාණය කරන ආඥාදායක සන්නාහය සියලු සමාජ තීරු කෙරෙහි සංවේදී වන තීක්ෂණ නායකයකු ඇඟලා ගන්නේ නැත. මා ඔබේ යුක්තිගරුක ජනපති යන්න මිස මා ඔබේ ඒකාධිපති යන්න ජනතාව පිළිගනු ඇත්තේ ඉතා කෙටි කාලයක් පමණක් බවද කිව යුතුය.


ජනපති මෙම ක්‍රියාවලියේදී කොළේ වසා ගැසුවේ නැත. 19 වැනි සංශෝධනය ඉවත් කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව ඔහු සහ ඔහුගේ පක්ෂය මහ මැතිවරණයේදී කීවේය. හදිසියේ සහ ආණ්ඩුවක පළමු කටයුත්ත ලෙස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොහැකිය. එය ජනතාව දේශපාලන සාක්ෂරතාවෙන් තේරුම් ගත යුත්තකි. පොදු ජන පෙරමුණට අධික බලයක් ලබාදීම මගින් ජනපතිවරයා 18 බඳු සංශෝධනයක් ගෙන ඒමට හැකි බව ජනතාව උපකල්පනය කළ යුතුව තිබුණි. ඕනෑම පාලකයෙක් උත්සාහ කරන්නේ බලය තව තවත් තහවුරු කර ගැනීමට මිස අත්හැරීමට නොවේ. ඒ අනුව ජනතාව දුන් තුනෙන් දෙකේ වරමෙන් ජනපතිවරයා ‘මමයි ආණ්ඩුව’ කියන මට්ටමට විධායකයේ බලය ශක්තිමත් කරගැනීමට යත්න දැරීම සාමාන්‍ය තත්ත්වයකි. අධික හා අනිසි බලයක් ජනපතිට ලැබෙන, අගමැති හා මන්ත්‍රීවරුන් නිශේධනය කැරෙන 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතවීම වැළැක්විය හැකිද? එසේ නැතහොත් 18 දී මෙන් පසුව දුක්වන හා වැරදිලා 18ට අත ඉස්සුවේ කියන පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් 20 අරභයාත් වසර කිහිපයක් ඇවෑමෙන් අපට හමුවේද?


මේ වනවිටත් ආණ්ඩුවේ සිටින කිහිපදෙනකු විස්සෙහි දැක්වෙන ජනපති දණ්ඩ මුක්තිය, ද්විත්ව පුරවැසිබව පාර්ලිමේන්තුවට පත්වීමට නුසුදුසුකමක් නොකිරීම වැනි වගන්තිවලට තමන් විරුද්ධ බව ප්‍රකාශ කර ඇත. එසේ වුවත් ඔවුන් විස්සට ඡන්දය නොදෙන්නේ නැත. නොදී තමන්ට පැවැත්මක් නැති බව ඔවුහු දනිති. අඩුම තරමින් ඔවුන්ට ජනපතිවරයා සමග සාකච්ඡා කොට මෙහි ඇති හානිකර වගන්ති කෙටුම්පතින් ඉවත් කර ගැනීමට හෝ හැකි නම් එය වැදගත්ය. එහෙත් වීරවංස, දයාසිරි, ගෙවිඳු වැනි කිසිවෙක් ඒ ගැන මැසිවිලි මිස කරුණු කියනු ඇතැයි සිතිය නොහැකිය.


විපක්ෂය සෝභිත හිමියන්ගේ පිළිරුව අසල විස්ස ගැන කන්නලව්වකට ගොස් එන ගමන් විස්ස එපා යනුවෙන් වූ පුවරු ඔසවා ගත් උද්ඝෝෂණයක් කළේය. මේවා ඇඟ රිදවා නොගන්නා කූල්ටූර් විරෝධතාවන්ය. අඩුම තරමින් විස්සට එරෙහිව උසාවි යාමට පවා විපක්ෂයට කොන්දක් ඇත්දැයි සැකසහිතය. ඔවුන් කරන්නේ ඒකටත් ඉත්තකු යෙදවීමය. හරිනම් මෙවැනි අවස්ථාවක සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ ජනතාව සමග එක්වී පොදු ක්‍රියාමාර්ගයක් ගත යුතුය. ලංකාවට තිබෙන්නේ හොඳ ව්‍යවස්ථාවක් නොවේ. එය අණ්ඩු දැමූ කඩමාල්ලකි. ඊට තවත් අණ්ඩ නොදමා ප්‍රමාණවත් කාලයක් ගෙන මහජනයා ඇතුළු සියලු පාර්ශ්ව සමග සාකච්ඡාවකින් අනතුරුව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළ යුතුය යන ස්ථාවරයට හා උද්ඝෝෂණයට විපක්ෂයත්, උක්ත අදහස දරන වීරවංස, ගෙවිඳු වැනි අයත් පැමිණිය යුතුය. විශේෂයෙන්ම විපක්ෂය ඊට මැදිහත් නොවන්නේ එම පිල නියෝජනය කරන්නේත් ඉහළම බොරුකාරයන් වන නිසාය. මෙහිදී ලංකාවට මහජන ව්‍යවස්ථාවක් පිළිබඳ අදහසට අවධානය යොමු කළ හැකිය. ඒ ගැන ඉකුත් සමයේ වික්ටර් අයිවන් නායකත්වය දෙන ‘පුනරුද ව්‍යාපාරය’ සැලකිය යුතු මැදිහත්වීමක්ද කළේය. මහාචාර්ය දීපිකා උඩගම වැනි අයට ඒ ගැන ඉහළම දැනුමක් තිබේ. ආචාර්ය නිහාල් ජයවික්‍රම, මහාචාර්ය සූරී රත්නපාල වැනි ව්‍යවස්ථා විෂය පිළිබඳ විද්වතුන්ගේ දායකත්වය මේ සඳහා ලබාගත හැකිය. එහෙත් ලංකාවේ දේශපාලනඥයන් ඒ කිසිවකුගෙන් ඇත්තටම තමන් නොදන්නා ව්‍යවස්ථා ප්‍රශ්නය විමසනු නොපෙනේ.


සජිත් ප්‍රේමදාස කියමින් යන්නේ ජන සවියෙන්, ජන බලයෙන් විස්ස පරාජය කරන බවය. ජනබලවේගයේ නායකයා පාර්ලිමේන්තුවේදී හතර අතේ වනමින් දක්ෂ ලෙස කතා කරන නමුත් ඔහුට හැකිවී තිබෙන්නේ මැති ඇමතිවරුන් අතර හිඳින හොරුන්ගේ හොරකම් එළිකරන බව සෝපාහාසව කියා ඔවුන් නිෂ්ක්‍රීය කිරීම පමණි. මේ දේශපාලනයෙන් රටට වැඩක් වන්නේ නැත. විපක්ෂයක කාර්යභාරය විය යුත්තේ දැන උගත් දේශපාලනයක ව්‍යාවෘත වීමය.

නොකෙරෙන්නේද එයමය. එබැවින් විස්ස සම්මත කරගැනීම ආණ්ඩුවට අපහසු කරුණක් නොවේ. මේ පිළිබඳ විවාදයේදී හෝ විස්ස වෙනුවට අර්ථ පූර්ණ ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස විපක්ෂයට මතුකර ගතහැකි නම් එය වැදගත්ය. මේ ගැන උනන්දුවක් ඇති ජනමාධ්‍යවලට හා විද්වත් කොටස්වලට එම සංකථනය බාහිර සමාජය වෙතට ගෙනයා හැකිය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here