චාමිනි වික්‍රමසිංහ


වෘත්තීමය පුවත්පත් කලාවේදියෙකු වශයෙන් මාධ්‍ය දිවියට පිවිසෙන සමන් එදිරිමුණි අද බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත්තේ ‘දෙවනි ඉනිම’ ටෙලි නාට්‍යයේ පිටපත් රචකයා වශයෙනි. මීට අමතරව ඔහු ලියූ ‘සුළඟ නුඹ’ සහ ‘මම’ යන නවකතාද පාඨකයෝ වැළඳ ගත්හ.

ඔබ මාධ්‍ය දිවියට අවතීර්ණ වන්නේ කෙසේද?


මම උසස් පෙළ විභාගයෙන් අනතුරුව කෙළින්ම ආවේ පත්තරේ වැඩට. මම පාසල් යන කාලයේ පටන් ඒකට ආශාවෙන් හිටියේ. ගොඩාක් අයට මේ ආශාව තියෙනවා. ඒත් ගොඩාක් අය මේක පෙන්නන්නේ නෑ. ඒ තමයි ජනප්‍රියවීමේ ආශාව. ඒ නිසා තමයි අපි පාසලේදී විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වල නිරත වෙන්නේ. මටත් එහෙම ආශාවක් තිබ්බා. ඒ නිසා පාසල් කාලයේදී මම නිවේදන තරගවල කවි ලියන තරගවලට ඉදිරිපත් වුණා. ඒ හැම අංශයකින්ම මම සමස්ත ලංකා මට්ටම දක්වා ගියා. ඒ නිසා උසස් පෙළ ඉවර වෙද්දි ජනප්‍රිය ධාරාවේ රැකියාවක් කරන්න මට ඕන වුණා. මම ගණිත අංශයෙන් උසස් පෙළ කළා ඉංජිනේරුවෙක් වීමේ ආශාවෙන්. පසුව මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණු නිසා මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් පත්තරවලට සම්බන්ධ වුණා. එතනදි මේ ලියන රස්සාව මම වඩා සතුටින් කරනවා කියලා මට දැනුණා. ඒ නිසා මම දිගටම ලිව්වා.

ඒ කාලේ ‘අද’ පත්තරේ කාංචන දසනායක මහත්තයා ඔහුගේ මිතුරෙක් හරහා මාව ‘හිරු’ එකේ ඉලෙක්ට්‍රොනික් මීඩියාවලට හඳුන්වලා දුන්නා. පස්සේ මම රේඩියෝ නාට්‍ය ලියන්න පටන් ගත්තා. ඒ කාලයේ රංජිත් ආනන්ද දසනායක මාව ‘ලංකාදීපෙ’ට අඳුන්වලා දෙනවා. මම රේඩියෝ නාට්‍ය ලියන්න ගත්ත දවසේ ඉඳන් ගොඩාක් අය මට කිව්වා මගේ කතාවල හොඳ ආකර්ෂණීය දෙබස් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් චිත්‍රපටි, ටෙලි නාට්‍ය, රේඩියෝ නාට්‍යවලට මේක අත්‍යවශ්‍යම දෙයක්. විශේෂයෙන් රේඩියෝ නාට්‍යවල දෙබස් විතරක් තියෙන නිසා තව කෙනෙක්ට අහන්න ආස හිතෙන විදියේ දෙබස් යන්න ඕනේ. ලංකාවේ රේඩියෝ නාට්‍ය සහ වාණිජ ටෙලි නාට්‍ය කියන දේවල්වල එල්.එම්.ආර්.ඩී රේටින් වලට අනුව වඩා ජනප්‍රිය නිර්මාණ ගැන සමීක්ෂණ පැවැත්වෙනවා. ඒ කාලේ මම ‘අනුත්තරා’ කියලා රේඩියෝ නාට්‍යයක් ලිව්වා ‘හිරු’ එකට. එදා පටන් අද දක්වා ම ලිව්ව සෑම රේඩියෝ නාට්‍යයකටම මේ ශ්‍රේණිගත කිරීම්වලින් පළමුවැනි ස්ථානය හිමිකරගෙන තියෙනවා. මම නාට්‍ය 4 ක් ලිව්වා. ඒ හතරම ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානය හිමිකරගෙන තියෙනවා. මම ඇත්තටම වාණිජ කලාව ලියන කෙනෙක්.


කාලයක් ඔබව ආදරයෙන් වැළඳ ගත්ත ප්‍රේක්ෂක ප්‍රජාවම අද ඔබව සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ පවා විවේචනය කරනවා. එදා අර්ථවත් දේවල් ලිව්ව ඔබ අද හරසුන් දේවල් ලියනවා කියනවා. ඒ විවේචන ඔබ දකින්නේ මොන ආකාරයටද?


ඒ කාලේ ලිව්ව නවකතාම මම අදටත් ලියනවා. කලින් හරවත් ඒවා ලිව්වා දැන් හරසුන් ඒව නම් ලියන්නේ ඒක මගේ ප්‍රශ්නයක්. ඒක ප්‍රේක්ෂකයට ප්‍රශ්නයක් විය යුතු නැහැනේ. මොකද ප්‍රේක්ෂකයාට මම එදත් කිව්වේ නෑ මගේ ඒවා බලන්න කියලා. මම අද කියන්නෙත් නෑ. ඔහුට රහ නිසා තමයි ඔහු බලන්නේ. ඔහුට රහ වෙලාවේදී බලන්න රස විඳින්න රහනැති වෙලාවේදී රහ එකක් හොයාගෙන බලන්න. මාව අත හරින්න. හරි සරල කතාවක්. තැන් තැන්වල මා සම්බන්ධයෙන් විචාර කරනවට මම කැමති නෑ. මොකද වාණිජ නිර්මාණවලට විවේචන වැඩක් නෑ. මම ලියන ඒවා විචාරය කරන්න කවුරුහරි ඉන්නව නම් ඒක හෙන ගොන්කමක්. වාණිජ කලාවේ තියන විචාරය තමයි වඩා වැඩි පිරිසක් ඒ වේදිකාවට ගෙන්න ගන්නේ කොහොමද කියන එක. ඒකෙදි අපි හිස් ගෙඩි ගණන විතරයි බලන්නේ. වාණිජ කලාවේ තියෙන්නේ ප්‍රමිතියට වැඩිය ප්‍රමාණාත්මක භාවයයි. වාණිජ චිත්‍රපටියත් ගත්තත් එහි පරමාර්ථය වැඩිපුර ටිකට් ගණනක් විකුණා ගැනීමයි. ඔබ ගිහින් චිත්‍රපටියක් බලලා එද්දි ඔබ තුළ සිටි කෙනා මාර විදියට වෙනස් වෙලා උඩු යටිකුරු වෙනව නම් ඒක මැජික් එකක්. මමත් චිත්‍රපටි බලලා තියෙනවා. ඒත් එහෙම චිත්‍රපටි ලෝකේ නෑ. ඒ මොහොතකට පොඩි වෙනස් සිතුවිල්ලකට ගිහින් එනවා විතරයි. ඡමරු ්රඑ කියන එක ලෝකේ තියෙන්න ඕනේ. ඒක පවතිනවා. නමුත් ඒකට තියෙන්නේ මූල්‍යමය වටිනාකමක් නෙවේ. ඒකේ තියෙන්නේ මිනිස්සුන්ගේ විචාර බුද්ධියට වටිනාකමක් දෙන එක.


ඒ වගේම ජනප්‍රිය වුණු චිත්‍රපටි වැඩි ප්‍රමාණයක මහප්‍රාණ නෑ. බැලුව ගමන් තේරෙනවා. පෑනක් කොළයක් ළඟ තියන් ඒ චිත්‍රපටි බලන්න ඕනේ නෑ. ඒ චිත්‍රපටි අතිවිශාල මුදල් සම්භාරයක් උපයනවා. ඒවා විසින් මෙය කර්මාන්තයක් විදියට ආරක්ෂා කරනවා. තව චිත්‍රපටි තියෙනවා සම්මාන උළෙලවල්වල ජූරිය විසින් සම්මාන දෙන චිත්‍රපටි. ඒවා මේ වාණිජ කලාවේ ඇත්තේ නෑ. ‘මිෂන් ඉම්පොසිබල්’ කියන චිත්‍රපටියට රේටින් තියෙන්නේ 10න් 6ක් විතර. ඒත් පර්පියුම්, ලොලීටා, ද රීඩර් වගේ මිනිස්සුන්ට බලන්න බැරි චිත්‍රපටිවලට රේටින්වලට 10 න් 9ක් වගේ තියෙනවා. ඒත් චිත්‍රපටිය දුවලා නෑ. ඒත් සල්ලි හොයනවා. ඒ නිසා විචාර කලාව මෙහෙයවන විචාරකයින්ගේ පරමාර්ථය මේ කිසිම කලා ක්ෂේත්‍රයක් කර්මාන්තයක් විදියට රැක ගැනීම නෙමේ. අති උත්කෘෂ්ට කලා කෘතියක් වශයෙන් එය පවත්වාගෙන යාමයි. ඔවුන් නොදන්නා කාරණය නම් එය පවත්වාගෙන යාමට කර්මාන්තයක් තිබිය යුතුයි යන්නයි. මුදල් නොගැවසෙන සෑම කර්මාන්තයක්ම අතීතයේ විනාශ මුඛයට ගියා. දැන් එහෙම එකක් තියෙනව නම් ඒවත් ඉක්මනින් විනාශ මුඛයට යනවා. යම් කර්මාන්තයක් පවත්වාගෙන යන්න නම් මුදල් ඕනේ. අතිශය සම්මාන ගන්න අතිශය බැරෑරුම් මාතෘකා කතා කරන චිත්‍රපටියක් අනිවාර්යෙන්ම හැමෝම බලන්නේ නෑ. ආච්චි බලන්නේ නෑ. පොඩි ළමයි බලන්නේ නෑ. පොඩි වෙන හැඟීමක ඉන්න ගංජා සූස්තියක් අදින අයියා කෙනෙක් ඕක බලන්න පුළුවන්. කියවීමක් තියෙන උපාධියක් තියෙන අක්කා කෙනෙක් ඕක බලන්න පුළුවන්. අම්මා තාත්තා හරි ආච්චි සීයා හරි ඕක නෙවේ බලන්නේ. ඒ අය බලන්නේ සරල වින්දනයක් තියෙන දෙයක්. වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නේ එතන.

ඔබේ නිර්මාණවලට ඔබ බලාපොරොත්තු වන ප්‍රේක්ෂකාගාරය කෙබඳුද?


මම බලාපොරොත්තු වෙන්නේ රූපවාහිනිය ඉස්සරහ සාලේ 7.30, 10.30 තමයි මට ලැබිලා තියෙන වෙලාව. ඒ කාලේ තමයි වැඩට යන අම්මා තාත්තා ගෙදර ඉන්නේ. පන්ති ගිහින් පාසල් ගිහින් එන ළමයි ඉන්නේ. අත දරුවෙක් ඉන්නව නම් සාලේ සෙල්ලම් කර කර ඉන්නේ ඒ වෙලාවට. ආච්චි සීයලා කෑම කන්නේ කතාබහ කරන්නේ ඒ වෙලාවට. තාත්තලා ගෙදර ඉන්නෙත් ඒ වෙලාවට. ඒ වෙලාවේ මට හැමෝටම ඇහෙන්න කොමියුනිස්ට් ප්‍රකාශය කියවන්න ඕන නෑ. නිර්ධන පන්තිය ගැන ධනවාදය ගැන මට කියන්න ඕන නෑ. මොකද ඒවා තේරෙන්නේ නෑ. ඒවා තේරෙනවා අර කැම්පස් ගිය කොල්ලට. එතකොට ගෙදර ඉන්නව නම් පස්දෙනෙක්. ඒ හැමෝටම නොතේරෙන දෙයක් දාලා මම මොනවද බලාපොරොත්තු වෙන්නේ. මට එහෙම අයිතියක් නෑ. මගේ දේශපාලන ප්‍රකාශනය වෙන එකක්. මටත් තියෙනවා ලංකාවේ සම්පත් විෂම විධියට බෙදිලා ගිහින් තියෙනවා වගේ ප්‍රශ්න. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාසල්වලට විතරයි සම්පත් ටික තියෙන්නේ. එතනින් එහාට ගියාම ඈත ගම්මානවල පාසල්වල ළමයින්ට පරිගණකයක්වත් නෑ. ඒ ළමයින්ට දාන්න සපත්තු දෙකක්වත් නෑ. ඒක දේශපාලනයේ තියෙන ප්‍රශ්නයක්. හැබැයි ටෙලි නාට්‍යයකින් එක කතා කළා කියලා දේශපාලනඥයෝ සිස්ටම් එක වෙනස් කරයි කියලා හිතනවද? එහෙම නෑ. මට තියෙන කාර්යය භාරය තමයි මේ වෙලාවේ මිනිස්සු මහන්සි වෙලා ගෙදර එනවා. ගෙදර හැමෝම බලන්නේ නැති කතා යනකොට පොඩි වැඩක් වෙනවා. මහගෙදර වගේ හඬ කවලා යන ටෙලි නාට්‍ය යන කාලයේ කිසිම වැඩිහිටි පිරිමියෙක් ගේ ඇතුළේ හිටියේ නෑ. බාර් එකට හරි කොහෙහරි යනවා. සමහරු මගේ නිර්මාණවලට වඩා ඉන්දියන් ඒවා හොඳයි කියනවා. ඒත් අපිට තේරෙන සරලම කතාව තමයි ඔය මහගෙදරට වඩා ‘දෙවැනි ඉනිම’ බලන් ඉන්න පුළුවන්නේ. ඒකේ අපේ කෑල්ලක් තියෙනවනේ. ගෙදර තාත්තට වුණත් මේක බලන්න පුළුවන්. ඒ තාත්තටයි පොඩි එකාටයි දෙන්නටම මේක තේරෙන්න ඕනේ. ඒකට පොදු භාෂාවකින් අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ.


මෙගා නාට්‍ය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?


ලංකාවේ සීයට 30ක් විතර නිෂ්පාදකයෝ ටෙලි නාට්‍ය කරන්නේ කොටස් සීයට අඩුවෙන් විකාශනය කරලා ඉවර කරන්න පුළුවන් ඒවා. ඒ කෙරෙන ප්‍රමාණයෙනුත් 10%ක් විතර තමයි නාලිකාවල විකාශය කරන්නේ. අනික් ටික ඔහේ පල්වෙනවා. ඒ වගේ කලාකාරයන්ට ගෙවලත් නෑ. ලක්ෂ 60ක් 70ක් ඔහේ යට කරලා නිෂ්පාදකයා ඉන්නවා. කවුරුහරි සල්ලි තියෙන කෙනෙක්ව මෝරා කරලා ටෙලි නාට්‍යයක් කරලා ඒ මනුස්සයගේ සල්ලි ටිකත් කාලා ඒ අය අයින් වෙනවා. පස්සේ කිසි දෙයක් නෑ. ඊට පස්සේ 70%ක් ටෙලි නාට්‍ය හදන්නේ මෙගා ටෙලි නාට්‍ය වගේ. පටන් ගනිද්දි හැම එකක්ම මෙගා. හැබැයි රේටින් එන්නේ නැති වුණාම කොටස් 20ක් 30ක් යද්දි නාලිකාවක ප්‍රධානියෙකුට තේරෙනවා මේක දුවනවද නැද්ද කියලා. උදාහරණයක් විදියට ‘දෙවනි ඉනිම, සිඳු, සංගීතය, පාවෙනා වලාකුලේ’ මේ නාට්‍ය සියල්ල පළමු සතියේ පළමු රේටින්වලට ආවා. ඒ වෙනතෙක් ඊට කලින් තිබ්බ නාට්‍යවලට වඩා රේටින් ගත්තා. ඒක දැම්මේ රාවණා තිබ්බ තැනට. රාවණා රේටින් 4.3 ක් වගේ. ඊට පහුවෙනි සතියෙම මගේ නාට්‍යයට 7.6ක් වුණා. එතකොට මේක දුවනවා කියලා තේරෙනවනේ. තව දික් කර කර හරි අපිට මේක දුවන්න තිබ්බා. මේක අරන් ගිහින් සම්මාන උළෙලක තියන්න තිබ්බා. හැබැයි සම්මාන වැඩක් නෑ. මගේ හීනෙකවත් නෑ හොඳම ටෙලි නාට්‍ය පිටපත් රචකයා, හොඳම ටෙලි නාට්‍ය, හොඳම ටෙලි නාට්‍ය නළුවා, නිළිය, හොඳම ආලෝකකරණය දිනාගන්න එක. මට ඕනේ ජනප්‍රියම ටෙලි නාට්‍යය වීම විතරයි.


දෙවනි ඉනිම කතා මාලාව තුළ එය රසවිඳින ප්‍රේක්ෂයන් සේ ම එය දැඩි ලෙස විවේචනයට ලක් කරන පිරිසකුත් ඉන්නවා. ඒ විවේචන ඔබ බාරගන්නේ කෙසේද?


මේ වෙලාවේ සමාජ මාධ්‍ය තුළ පිටපත් රචකයෙක් කියලා කිව්ව ගමන්ම විහිළුවට ගන්න හරි මතක් වෙන්නේ මගේ නම. පහුගිය දේශපාලන සිදුවීම්වලදි පවා මේ පිටපතත් අරයගෙද දන්නේ නෑ කියලා මට මඩ ගැහුවා. ඒ ගැන මම අතිශයින්ම සතුටු වෙනවා. රූපවාහිනියකට මූණවත් නොදා ගෙදර කාමරේ ඉඳන් ලියලා තමයි මම මේ තැනට ආවේ. මට ඒ ගැන පුදුම සංතෝෂයක් තියෙන්නේ. ෆේස් බුක් එකේ එක්කෙනෙක් දෙන්නෙක් කෑගහලා දෙවනි ඉනිම මෙහෙමයි කිව්වට මම ඒක නවත්තන්නේ නෑ. මට එහෙම පිස්සුවක් නෑ. අනික මේ දෙවනි ඉනිම කියලා කියන්නේ දැනට වසර 4 ක් පුරාවට ලංකාවේ අංක 1 ටෙලි නාට්‍ය. මේක වටා නළු නිලියෝ 150 ක් විතර ඉන්නවා. ඒ අය වටා තව පිරිසක් ඉන්නවා. ඒ නිසා අවම වශයෙන් මිනිස්සු 1000කට අවුරුදු 4ක් පුරාවට මේකෙන් ස්ථීර රැකියාවක් ලැබිලා තියෙනවා. කොටස් 30ක 40ක නාට්‍යයකින් කර්මාන්තයක් කරන්න බෑ. ඒ නිසා කප පවතින තුරු රේටින් තියෙනව නම් මේක යනවා. ඒ නිසා මේක ටෙපි නාට්‍යයක් නෙවෙන සෝප් ඔපෙරාවක් කියන්නේ. ඒ වගේ රඟපාන්නේ පටන් ගත්ත අය නෙවේ තුන්වෙනි පරම්පරාවේ අය. ■

1 COMMENT

  1. මුදල් ගැවසෙන්නේ නැති කිසිම කළාවක් පවතින්නේ නැත.

Comments are closed.