රජිඳු කාශ්‍යප


බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පරිදි දියගම ඉදිකිරීමට පිඹුරුපත් සැකසූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අගමැති මහින්ද රාජපක්ෂගේ නියමයෙන් නතර කෙරුණි. ඒ නාටකානුසාරයෙනි. එහෙත් එහි අවසානය රඟ දැක්වෙද්දී නාටකයේ ප්‍රධාන චරිත රඟ පෑ ඇමති බන්දුල ගුණවර්ධනවත් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාවත් නැත.


නාටකයේ පළමු ජවනිකාව පෙළ ගැසෙන්නේ බන්දුල සහ ශම්මි ඇතුළු තවත් කිහිප දෙනෙක් එක් ව දියගම ක්‍රීඩාංගණ භූමියේදීය. දෙවැනි ජවනිකාව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ව අගමැති කාර්යාලයේ දී ය. කතාවේ රචකයා, අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා කවරෙක් වූවද එතැන් සිට කතාව පෙළ ගැසෙන්නේ මහින්ද රාජපක්ෂට ඇවැසි ආකාරයට ය. ඒ සඳහා පළමු කොටසේ දී මහා චරිත රඟපෑ සියල්ල ඉවතට දමා ඒ වෙනුවට ක්‍රීඩාංගණය ඉදිකිරීමේ වීරයන්ට අභියෝග කළ පුද්ගලයන් පමණක් කැඳවීමට රාජපක්ෂ වගබලා ගන්නේ ය.


ඒ අනුව පළමු කොටසේ ප්‍රධාන නළුවන්ගේ දුෂ්ටයන් ලෙසින් කටයුතු කළ මහේල ජයවර්ධන සහ රොෂාන් මහානාමට තැනක් ලැබී තිබූ අතර ඊට කුමාර සංගක්කාර, ලසිත් මාලිංග සහ තවත් කිහිප දෙනෙක් ද එක් කර ගැනීමට මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබුණි. මේ මාතෘකාවේ දී විරෝධී අදහස් දැක් වූ අර්ජුන රණතුංග දෙවැනි කොටසට කැඳවීමට සුදුසුකම් සපුරා තිබුණ ද ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැරීම හේතුවෙන් ඔහුට එහි නාටකීය චරිතය අහිමි වෙන්නට ඇත.


ඒ අනුව කැඳවුන අයගේ අදහස් ඉතා උවමනාවෙන් සහ උනන්දුවෙන් අසා සිටින අගමැති මහින්ද රාජපක්ෂ, බන්දුල ගුණවර්ධනගේ සිහිනය පොඩි පට්ටම කර දමන්නේ ය. ඔහු මේ යෝජනාව ගෙන ආ බන්දුල හෝ ශම්මිගෙන් කිසිවක් විමසන්නේ ද නැත. ඇතැම්විට මහින්ද රාජපක්ෂ මේ යෝජනාවට මුල සිට ම විරුද්ධව සිටින්නට ඇත.


මහින්දගේ මේ නාටකීය චරිත ය, අපිට අතීතය සිහිගන්වයි. 2011 මෙරට පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් තම නිජබිමේ, සූරියවැව, මීගහජඳුර ඉදිවූ ක්‍රීඩාංගණයට මේ ආකාරයෙන් ම විරෝධයක් ම එදා එල්ල වුණි. ඒ විරෝධය ඉදිරියේ මහින්ද අද මෙන් එදා කටයුතු නොකළේ ය. එල්ල වූ විරෝධය පඬේකට මායිම් නොකළ මහින්ද, ක්‍රීඩාංගණයට තමන්ගේ නම ද යොදා ගනිමින් ඉන් නොනැවතී එය විවෘත කිරීමේ උත්සවයට ද සහභාගි වූයේ ය.


එසේ ඉදිවූ හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ වන විට නම් ලැබ ඇත්තේ වංචා දූෂණ ඉහවහා ගිය ව්‍යාපෘතියක් ලෙසිනි. කෝප් කමිටුව මගින් පෙන්වා දෙන පරිදි මෙහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බිලියන 5කට අධික මුදලක් වැයකර තිබුණත් එහි තක්සේරු වටිනාකම ලෙස සඳහන්ව ඇත්තේ මිලියන 900ක් පමණක් බවයි.
මේ පරණ කතා ය. ඒ වුණත් නැවත නැවතත් කතාබහට ලක්වෙන කතා ය. ඒ එසේ නිමකළ ක්‍රීඩාංගණයේ ණය බර තවමත් එලෙස ම පවතින බැවිනි. මේ කතාවේ දී මහින්දලා අද සේ එදා කටයුතු කළා නම් කෙතරම් හොඳදැයි කෙනෙක්ට සිතුණොත් අප පුදුම නොවෙමු. ඒ මහින්ද ජනතා සිතුම් පැතුම් නිවැරදිව ම හඳුනන නායකයෙක් ලෙසින් කලින් කලට වෙනස්වෙමින් ජනතාව දිනා ගැනීමට සමත් වන බැවිනි. ඒ නිසාය ජනාධිපතිකමේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන්නේත්, ඊට පසුව පිං අගමැති වී නැවත වරක් මන්ත්‍රීවරයෙක් වන්නේත් සහ අදටත් මේ රටේ බහුතරයකගේ ජනහද දිනා සිටින්නේත්.


මේ ගමනේදී රාජපක්ෂලා අතර මහින්ද තරමක් වෙනස් ය. ඔහු සෑම විටක ම පැතුවේ තම පැවැත්ම ම පමණි. හම්බන්තොට ක්‍රීඩාංගණයේ දී ද දියගම ඉදිකිරීමට යෝජනා වූ ක්‍රීඩාංගණයේ දී ද ඔහු කළේ ඒ දේ ය. එතැන දී තමන් පසුපසට දමා මල්ලි, ගෝඨාභය ඉදිරියට එනවාට ඔහුගේ කැමැත්තක් නොතිබෙන්නට ඇත. එය හරියට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සිදු වූ දේ ආකාරයට ම විය හැකිය.


ඒ කතාවත් ඉතා කෙටියෙන් විමසමු. එදා ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිවූ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපය හේතුවෙන් ගාලු නගරය සහ කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිදුවන බවට යුනෙස්කෝ සංවිධානය අනතුරු ඇඟවූ අතර එම ඉදිකිරීම් වහාම ඉවත් කර ගන්නැයි ද දැනුම් දුන්නේ ය. නමුත් සිදුවූයේ එම ක්‍රීඩා මණ්ඩපය මහින්ද රාජපක්ෂ නමින් නම් වී, තම දේශපාලනය බලය යොදා ගනිමින් එම තත්ත්වය යටපත් කිරීමයි. නමුත් ඒ අවස්ථාවේ එවකට නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙසින් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාව වී තිබුණේ ක්‍රීඩා මණ්ඩපය කඩා ඉවත් කර ගාල්ලට නව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ය. නමුත් ගාල්ලේ වෙනත් ක්‍රීඩාංගණයක් ඉදිවුණේවත්, ගාල්ල ක්‍රීඩා පිටියේ තිබෙන ක්‍රීඩා මණ්ඩපයේවත් කිසිදු වෙනසක් සිදුවූයේ නැත.


මහින්ද ඒ ආකාර ය. මහින්දලා එදා මෙන් ම අදත් කරන්නේ මිනිසුන් ගොනාට අන්දවන්නට උත්සාහ කිරීම ය. මිනිසුන් ද තමන් ගොනාට ඇන්ද බැව් දැන දැනත් ගොනා සේ සිටීමය ප්‍රශ්නය වන්නේ. දියගම ක්‍රීඩාංගණ නාටකයත් එවැන්නක් ම මිස වෙන දෙයක් නම් නොවේ. ■