ටිරන් කුමාර බංගගමආරච්චි


බණ්ඩාරනායකලාගේ අභිමානය වන හොරගොල්ල වළව්වේ දර්ශන ඇතුළත් වීඩියෝවක් නැරඹුවෙමි. එහි ගෘහ නිර්මාණ ශිල්පය, තේජස දැක ගතිමි. මෙතරම් සුවිසල් වළව් දකින කල මට හැමකල්හීම මතුවූ ප්‍රශ්නය නම් පරම්පරා කිහිපයකට පසු මේවා ගරා වැටෙන්නේ ඇයිද යන්නය. අද වන විට ලංකාවේ ඉතිරි වී ඇති බොහෝ වළව් නටඹුන්වෙමින් පවතී. එයට හේතුව කාලයත් සමග මේවා සමග පැවති ධනය, බලය දෙකම පිරිහීමය. කොටින්ම මේ වළව් දකින කල ඇතිවන සාධාරණ සැකය මේවා නඩත්තු කිරීම කොතරම් අපහසුද යන්නය. කලක් මේවා සතුව ධනය තිබුණද බලය නැතිවී ඇත. ධනය බලය දෙකම ඇති කාලයන්හි මේවා සක්‍රීයය. එහෙත් මේ දෙකම එක ලෙස පවත්වාගෙන යෑම අපහසුය. වළව් විනාශ මුඛයට ගියේ එබැවිනි. චන්ද්‍රිකාගෙන් පසු හොරගොල්ලත් ඒ ඉරණමම භුක්ති විඳිනු ඇතැයි එය දකින විට සිතෙන දෑය.


මේ වළව් යනු මෙරට බලය කේන්ද්‍ර කරගත් මර්මස්ථානය. ඒ අතර හොරගොල්ල ප්‍රබලය. බණ්ඩාරනායක, සිරිමාවෝ මෙන්ම චන්ද්‍රිකා මැතිනියද මේ වළව් පිහිටෙන් දේශය පාලනය කළ අයය. එදා අත්තනගල්ල පමණක් නොව හොරගොල්ලේ රශ්මිය වැදුණු අහල ගම් හැම එකක්ම පාහේ බණ්ඩාරනායකලාගෙන් තොර ගමනක් නොගියේය. එහෙත් කාලයත් සමග අද ඒවා කෞතුක වස්තූන් බවට පත්ව ඇත. අනුර බණ්ඩාරනායක තම දේපළ සාමාන්‍ය මිනිසුන්ටත් බෙදාදීම නිසා ඒවා නැවත ලබාගැනීමට චන්ද්‍රිකාට නඩු යන්නට සිදුවිය.


දෙවොල් කඩා වැටෙනුයේ බලා ඉද්දීය. ඒවා ගරා වැටෙනුයේ ඇස් පනා පිටය. මේ වළව් අදටත් පෙන්වනුයේ ඒවා රැක ගැනීමට කොතරම් වහල් ශ්‍රමයක් වැයවීද යන්නය. හැම වළව්වකම ඉහළ මාලයට යාමට සේවකයන්ට වෙනම පඩිපෙල් නිර්මාණය කර ඇත. එනම් ඒ පාද ස්පර්ශය පවා පව්කාර ලකුණු වී ඇත. එහෙත් කාලයත් සමග මේ සේවක පිරිස්වල ඊළඟ පරම්පරා වළව්වලට කැඹිරීම නතර කිරීමත් මේවා ගරා වැටීමේ ආරම්භය ලකුණු කළා විය යුතුය. මේවා මෑතකාලීන ඉතිහාසය රටේ පාලනය එහා මෙහා කළ බලසම්පන්න යතුරු තිබූ මැදුරුය. මේවා මේ රටටම බලපෑම් කළ මිනිසුන් දිවි ගෙවූ තීන්දු තීරණ ගත් මහා බලසම්පන්න තැන්ය. මේ ගරා වැටීම්, විනාශ වීම් තුළ පිළිසකර කළ නොහැකි සමාජ කතාවක්ද කියන්නේය. මේ වළව් ගුප්ත රහස් කොතරම් සඟවා ගෙන ඇද්ද? මේ බිත්ති අතර ඛේදවාචක අඳෝනා සුසුම් අපමණ වෙත්ද? එහෙත් එහි සුවිසල්, ගාම්භීරකමට අප අන්දමන්ද වී ඇත. තෝන්තු වී ඇත. එහෙත් දේශපාලනිකව මේ වළව් මේ රට අත නොහරින මර්මස්ථාන වී ඇත.


ආරම්භය


ඩී.එස්. සේනානායකත් සමග උපදින එජාප දේශපාලනය අදටත් කැරකෙනුයේ ඒ පරම්පරාවලට ගෑවුණු අය ප්‍රමුඛ කරගෙනය. බණ්ඩාරනායක දේශපාලනයත් එසේමය. චන්ද්‍රිකා අදටත් මේ වේදිකාවෙන් බිමටම බැස නැත. 2015දී මහින්ද පරදන සටනේ පෙරමුණේම සිටි නිල නොලත් විප්ලවය කළ ප්‍රබලම සාධකයක් වූයේ ඇයය. සිරිසේන ඇදගෙන එන හස්තය ඇයය. තමා දුප්පත් මිනිසෙක් යැයි හොටු පෙරාගෙන කියන සිරිසේන වළව් චන්ද්‍රිකා ඉදිරියේ අසරණය. 2015දී වන්නේ වළව් දේශපාලනයේ පෙරළියක්ය.


ජේ.ආර්.ගේ විප්ලවය


අප දශක ගණනාවක්ම මේ ධනය, බලය මත කතිරය තීරණය කර ඇතුවා මිස ඉන් එහා විකල්පයක් ගෙන නොමැත. ඉන් එහා විකල්පයක් ගොඩනැගීද නැත. එදා සිරිමාවෝට අභියෝග කළ හැකි පවුල් පදනමක් ජේ.ආර්.ටත් විය. මෙරට දේශපාලන කෙරුමන් වූ ඇන්.ඇම්. කොල්වින්ලා පවා සිරිමා ළඟ අසරණ වෙද්දී ඊට එරෙහිව යන්නට ජේ.ආර්.ට හැම සුදුසුකමක්ම විය. ජේ.ආර්. එදා සිරිමාවෝ ආණ්ඩුව පෙරළීම එක්තරා විදිහකට විප්ලවයකි. එය බිමටම සමතලා කර පාගා දැමුවේය. මේ ගමන ජේ.ආර්. එනුයේ තම පක්ෂය තුළ බෝතලේ වළව්වද විනාශ කරමිනි. එනම් එජාපය තුළ තිබුණේ ඩී.එස්.ගේ වළව් ආධිපත්‍යය. එපමණක් නොව එකල එජාපය හැඳින්වූයේද රදළ පක්ෂයක් ලෙසය. ජේ.ආර්. විප්ලව කළේ මුලින් තම පක්ෂයේ වළව්වට එරෙහිවය. ඩී.එස්. තම මරණයෙන් පසු එජාපය දුන්නේ තම පුතාටය. ජේ.ආර්. එජාප නායකයා වනුයේ 1970 දී අන්ත පරාජයෙන්ද හෙම්බත්ව ඩඞ්ලිගේ මරණයෙන් පසුවය. ඒ මොහොතේ ඩඞ්ලි සමග වළව්වාදය අහවර වී නොතිබුණි.

එතැන රුක්මන් සේනානායක සිට ගෙන තිබුණි. ජේ.ආර්. මේවා ඉතා සූක්ෂ්මව පරාජය කළේ ඊට ශක්තිමත් විකල්ප ඉදිරිපත් කරමිනි. ඒ අතර රණසිංහ ප්‍රේමදාස ප්‍රබලයා විය. ජේ.ආර්. සේනානායකලා මෙන්ම බණ්ඩාරනායකලාගේ වළව් දේශපාලන මානසිකත්වය විනාශ කළේ ඒ පන්නයේම සම තැන සිටිමිනි. ජේ.ආර්. ද ධනපතියෙකි. ප්‍රේමදාස පොඩි මිනිසෙකු ලෙස පත් වුවද ජේ.ආර්ගේ පවුල්වාදය සමතලා කරන්නට සමත් නොවීය. හදිසියේ ඔහුගේ භූමිකාව අහවර නොවන්නට එයද සමතලා විය හැකිව තිබුණි. එහෙත් දේවල් සිදුවන්නේ නියමාකාරයෙන්මය. එය එසේ නොවී ප්‍රේමදාසගේ කතාව අහවර විය. එහි දිගුව අපට කියවිය හැක්කේ මහින්දගෙනි.


මහින්දගේ ගමන


ජේ.ආර්. මෙන්ම මහින්දද මුලින් කරනුයේ තම පක්ෂයේ වළව්වට අත තැබීමය. චන්ද්‍රිකා බලයට ආ කල මෙරට දේශපාලන විචාරකයෝ අපූරු කතා හැදූහ. ඒ අතර ප්‍රධානතම බින්නයක් වූයේ අනුර බණ්ඩාරනායක බලයට ගෙනවිත් වළව් දේශපාලනය නැවත ස්ථාපිත නොකර චන්ද්‍රිකා ගෙනවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොඩි මිනිහාගේ පක්ෂය කළ බවය. මේවා වළව් දේශපාලනයේම ඉඳුල් කෑ අය අනුරගෙන්, චන්ද්‍රිකා බෙදූ ව්‍යාජ රේඛාවය. අනුරට වඩා වළව් ගති චන්ද්‍රිකා සතුය. වළව් දේශපාලනය චන්ද්‍රිකා නිසා නැවත ස්ථාපිත වූවා මිස වැළලී ගියේ නැත. මගේ නොගැඹුරු දේශපාලන කියවීම අනුව චන්ද්‍රිකාට වඩා දක්ෂ පාලනයක් අනුර නායකයා වූවා නම් විය හැකිව තිබුණි. ඒ අනුමානය ගනුයේ අනුර යනු හොරගොල්ල වළව්වේ හිතුවක්කාරයා මෙන්ම නූතනවාදියා ලෙස පෙනෙන බැවිනි. චන්ද්‍රිකා, විජය කසාද බැන්ද කාරණය හැරුණු කොට විජයගේ මරණින් පසු විජය වටා සිටි වමේ අය චන්ද්‍රිකා කරලාගෙන ගෙන ඒම ඇරුණු කොට චන්ද්‍රිකා වළව් දේශපාලනයෙන් බැස්ස ලක්ෂණ නොවීය. විජය චන්ද්‍රිකා බඳිනුයේ ලොකු දේශපාලන ගමනක් යෑමේ අරමුණින්ය. චන්ද්‍රිකාට එවැනි ගමනක් නොතිබුණි. එහෙත් විජයගේ මරණින් පසු බොහෝ අය ගමන චන්ද්‍රිකා බව දැන ඇය කරළියට ගෙනාවාය. එහෙත් ඇය බණ්ඩාරනායක, සිරිමා පන්නයේම නූතනය විය. එහෙව් වටපිටාවක මහින්ද ජේ.ආර්. මෙන්ම කළේ තම පක්ෂයේ වළව්වේ දේශපාලනය කුඩු කිරීමය. එය ඇති තාක් ගමනක් නැත. ජේ.ආර්.ගේ පෙරළියම මහින්දද කළේය. එනම් වළව් දේශපාලනය අහකට කිරීමය. ජේ.ආර්. තරම් ධනවත් පදනමක් මහින්දට නොතිබුණත් මහින්දගේ කාලය වන විට වළව් බංකොළොත් වී ලුම්පන් ධනපති පන්තිය හිස ඔසවා අවසන්ය. ඒ නිසා ඒ පන්තියට යන්නට මහින්දට ඕනෑතරම් හැකියාව විය. අද වන විට සියලු වළව් අබිබවා ලුම්පන් ධනපති පන්තිය හිස ඔසවා අවසන්ය. එහි ප්‍රභූවරයකු ලෙස මහින්ද නම් කළ හැකිය.

බණ්ඩාරනායක ව්‍යාජ ප්‍රතිරූපයක් මවාගෙන වළව්කම වහගෙන දේශපාලනයේ අමුතු චරිතයක් මැවීය. කාලයත් සමග මහින්ද දේශපාලන ව්‍යාජය හරහා නැති වළව්කමක් ජනිත කර ගත්තේය. ඩී.එස්. බණ්ඩාරනායක මෙන්ම රාජපක්ෂලාත් මෙරට අමුතු පන්තියක් බවට අද පත්වී ඇත. බොහෝ දේශපාලන විචාරකයන් මහින්දව සම කරනුයේ ප්‍රේමදාසට වුවත් ඔහු වඩා සමීප ජේ.ආර්.ගේ ආරට බව පෙනේ. දේශපාලනයේ සූක්ෂ්ම සටකපටියකු වන මහින්ද ජේ.ආර්. පන්නයේ සාදු චරිතයක්ද වේ. ඔහු වටා සිටින අයට බැණ වැද ඔහු සුදනා කිරීම සමාජය කරන්නේම ඔවුන් දේශපාලනිකව ගොඩනගා ඇති රටාව නිසාය. ජේ.ආර්.ට නොබැණ ප්‍රේමදාසට බැන්න ජනතාව මෙන්ම මහින්දට නොබැණ ගෝඨාට බැන්න ජනතාවක් විය. ජේ.ආර් ප්‍රේමදාස යකා කළා සේ ම මහින්දත් ගෝඨා යකා කළේය. එහෙත් අවසානයේ දෙදෙනාම යක්කුන්ගෙන් වැඩ ගත් කට්ටඩියෝ විය. යක්කුන්ගෙන් වැඩ ගෙන හෝ තම පැවැත්ම තහවුරු කර ගත්හ. දේශපාලනයේ සුවිශේෂී චරිත ලෙස ජේ.ආර්. සහ මහින්දව කියවිය හැකිය.


ජේ.ආර්. දක්ෂයන්ට ඉඩ දුන් අතර මහින්ද කරනුයේ තම පවුලේ අයට ඉඩදීමය. එහෙත් ගමන එකය. මහින්ද ජේ.ආර්.වත් පහුකරගෙන එන්න ලැබුණු නිසා ඔහුගෙන් උගත හැකි බොහෝ දේ එජාපයට වඩා උගත්තේ මහින්දය. ජේ.ආර්. තුන්වන වාරය ඉන්න උපරිම වලි කෑවේය. එහෙත් නොහැකි විය. චන්ද්‍රිකාත් උත්සාහ කළේ තුන්වන වරටත් එන්නටය. එහෙත් නොහැකි විය. ඒ නොහැකියාව නිසා ප්‍රේමදාස, මහින්ද බිහිවිය. එහෙත් ඒ දෙපළම වෙනම ගමනක් ගියහ. මහින්ද ප්‍රේමදාසගෙන් ඉගෙන ගත්තේ නැත. මන්ද මහින්ද ඒ තරම් පොඩි මිනිහා වන්නට උත්සාහ කරන්නේ නැත. මහින්ද හොරාට ප්‍රශ්න කරන්නේ ජේ.ආර්.ගේ පාඩම්ය. එය වෙනම ආරකට හදාගෙන ඇත. ඔහු නූතන, ජේ.ආර්.ය. 2015 මහින්ද දින්නා නම් 2019 වන විට ඔහු කුජීතම වනු ඇත. එහෙත් 2015 පරාජය මහින්දට නව ජීවයක් පිම්බේය. අද රතන හාමුදුරුවෝ ඇතුළු පිරිස කියනුයේ මහින්ද ඉවරයි කියාය. එහෙත් මහින්ද ලේසියෙන් ඉවර වන චරිතයක් නොවේ. අගෝස්තු 05 පසු නැවත එන්නේ මහින්ද භූමිකාවය. එය ගෝඨා සමග ගැටෙන එකක් ලෙස ඇතැම්විට සිතිය හැකි වුවත් මහින්ද එය කරන්නට ඉක්මන් වන්නේ නැත. දේශපාලනිකව බලන කල රාජපක්ෂලාගේ ලොකු අයියා චමල් නොව මහින්දය. දෙවැනියාත් චමල් නොව බැසිල්ය. බාලයා ගෝඨාය. බාල මල්ලී හැම හුරතල් කරනු විනා තරහා නොකරන බව පැහැදිලිය. මන්ද මහින්දගේ දේශපාලන ගමන ඉවර නැති බැවිනි. ඇතැම්විට මහින්ද තුනෙන් දෙකක් ඉල්ලනුයේ අලුත් ව්‍යවස්ථාවකට නොව දහනව වන සංශෝධනය ඉවත් කරන්නටය.


බොහෝ අය අසන සරල පැනය නම් මේ ක්‍රමය යටතේ බලය මහින්දට එන නිසා මහින්ද දහනවය වෙනස් කරාවිද යන්නය. මහින්දව හරි හැටි කියවන්නේ නම් උත්තරය ඔහු නියතවම කරනු ඇති බවය. ඔහු මේ වසර පහත් ඔහු සතුකර ගන්නට මාන බලන්නේ නැත. සිරිසේනට වඩා මහින්ද රාජපක්ෂ හොඳ වූවා සේ ම තව වසර පහකින් නැවත ගෝඨාට වඩා මහින්ද හොඳ සහ ඕනෑම පුද්ගලයා බවට ඔහු පත් කරනු ඇත. මහින්ද යනු බොහෝ දුර හිතන දේශපාලකයෙකි. ‘සුබ අනාගතයක්’ දේශපාලන පාඨය ලෙස ඔහු පැතුවේ නිකං නොවේ. ඔහු නිතර බලාපොරොත්තු වනුයේ සුබ අනාගතයක්ය. ගෝඨාගේ ‘සෞභාග්‍ය දැක්ම’ හරහාත් ඔහු බලාපොරොත්තු වනුයේ ‘සුබ අනාගතයක්’ය. මහින්ද එවැනි ජේ.ආර්. කෙනෙකි.


ජේ.ආර්ට වළව් දේශපාලනය විනාශ කර බලය මිසක් වළව් පැලැන්තියට ඒමේ වුවමනාව නොවීය. ඔහුට ඒ තත්ත්වය තිබුණි. එහෙත් මහින්ද එහිදී වෙනස්ය. ඔහු සිය පක්ෂයේ වළව් දේශපාලනය ඉවර කොට ඔහු අලුත් වළව් දේශපාලනයක් හදා ගත්තේය. මැදමුලන වළව්ව තව දශක කිහිපයකින් මෙරට නූතන දේශපාලන වළව්ව වනු ඇත. එය හොරගොල්ලට වඩා කතාවනු ඇත. මන්ද දැන් ඉතිහාසය සැවොම ලියන බැවිනි.


අමතක නොකළ යුතු දෙයක් ඇත. එනම් හොරගොල්ල වළව්ව සේ ම වැදගත් බණ්ඩාරනායකලා සැතපෙන හොරගොල්ල සොහොන් ගැබය. එමෙන්ම නූතන සොහොන් ගැබක් රාජපක්ෂලාත් ඉදිකර ඇත. මහින්දට හැම අතින්ම චන්ද්‍රිකාලා පරාජය කරන්නට වුවමනා විය. මහින්දගේ අනෙකා රනිල් නොව චන්ද්‍රිකාය. චන්ද්‍රිකාගේත් හතුරා රනිල් නොව මහින්දය. රනිල් කාගෙත් තරහකරුවකු නොවන නිසා නිකමකු වී ඇත. දැන් ඔහුට අනෙකෙකු සිටී. ඒ සජිත්ය. එයත් ඔහු කොතරම් භාර ගනීවිද යන්න සැකය. රනිල් යනු දේශපාලන තාපසයෙකි. ඔහු හොයනුයේ කුමන අවබෝධයක්ද යන්න නොසිතා සිටීම වැදගත්ය.


කෙසේ වෙතත් ලංකාවේ වළව් දේශපාලනය ප්‍රභූ දේශපාලනය කෙළවරක් නැත. ගරා වැටෙනුයේ විනාශ වනුයේත් නැවත ගොඩනැගෙනුයේත් වළව්මය. වළව් ප්‍රභූ දේශපාලනයමය. හොරගොල්ල වළව්වේ මෙන්ම හෙට දවසේ රාජපක්ෂ වළව්වේත් දසුන් දැකගත හැකිවනු ඇත. එදා සිට අද දක්වාම ජනතාව වළව් නඩත්තු කරන වළව් ගොඩනගන දාසයන්ම වී ඇත. අපිට නැතත් අපි ලොකු ගෙවල්වලට ලොකු වතුපිටිවලට මහා සැප සම්පත්වලට කැමතිය. ඒවා ලැබී ඇත්තේ පිනටය. නොලැබී ඇත්තේ පවටය. පව ගෙවන අය කතිරය ගසන්නෝ වී ඇත. පින් කළ අය එයින් භුක්ති විඳින්නෝ වී ඇත.
ජේ.ආර්.ට ඕනෑ වුණේ සේනානායකලා අහවර කර තමාගේ පවුල නඩත්තු කරන්නටය. එහි ප්‍රතිඵලය රනිල් විය. මහින්දටත් ඕනෑ එයම විය. එහි ප්‍රතිඵලය ගෝඨා විය. රනිල්ට ඕනෑ එය ඉදිරියට ගෙනයමින් ඒ තැන රුවන් විජේවර්ධනට දෙන්නටය. මහින්දට ඕනෑ නාමල්ට ඒ තැන දෙන්නටය. පවුල් උරුමය ලේසි නැත. සිරිමාවොත් සිහිකල්පනාව මඳව වුව රෝද පුටුවේ සිටත් නමට දේශපාලන චරිතයක්ව සිටියාය. මහින්දත් තම දරුවකු රජවන තුරු රෝද පුටුවේ වුව දේශපාලනය කරනු ඇත. මහින්ද දේශපාලන සත්ත්වයෙකි. ඔහු ජේ.ආර්.වද අලුත් වටයකින් කියවූවෙකි. සජිත්ට තබා කිසිවකුට හෝ මහින්ද කෙනකු වීම ලේසි නැත. මන්ද මහින්ද තවමත් අහවර නැති බැවිනි. ඉවර නොවූ කතන්දරයක අවසන කීම ලේසි නැත. අනුමාන හැර…..