ටිරන් කුමාර බංගගමආරච්චි

කොරෝනා සමග ඡන්දය එක්තරා විදිහකට අපූරු අත්දැකීමක් වී ඇත. ඡන්ද ප‍්‍රතිඵල මෙන් කොරෝනා රෝගීන් වාර්තාවීම මේ දිනවල ලහි ලහියේ පිටවන ප‍්‍රතිඵලය. දේශපාලකයන් වේදිකාවන්හි කතා කරනුයේ කොරෝනා ගැනය. පක්ෂ විපක්ෂ දේශපාලකයාගේ මැතිවරණ කයිවාරුවක් බවට කොරෝනා පත්වී ඇත. ආණ්ඩුව එය මුල් වටයේ පාලනය කළ හැටි උදම් අනති. දෙවැනි රැල්ලටත් ඒ අයම වුවමනා යැයි කියති. ඒ අතර රනිල් වික‍්‍රමසිංහ කොරෝනා දෙවැනි රැල්ල මැඬපැවැත්විය හැක්කේ තමන්ට බව කියන අතර සජිත් ඉන්නේ තමා ආ කල විසි දහසක් දෙනවා කියන තැනමය. හැමදේම තම යහපතට හරවා ගන්නා දේශපාලකයන් සිටින රටක කොරෝනාත් ඒ අයට සැපතක් වී ඇත. ජනතාවත් අඩු වැඩි වශයෙන් ඒ ආරට හුරුවෙමින් සිටිති. වඩා හොඳ අන්දන්නෝට ඇන්දෙති. එසේ නොවන්න කාලෙන් කාලෙට මේ පත්කර ගැනීම් වේද? ඒ පිරිස් දෙස බලන කල ඒ හැම මෝහනයක ප‍්‍රතිඵල බව පෙනේ. මේ මොහොතෙත් ජනතාව එම මෝහනයට ලක්වෙමින් සිටිති.

තුනෙන් දෙක

මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුවේ ප‍්‍රධානතම සටන් පාඨය තුනෙන් දෙකක් ලබාගැනීමය. කතාවට කියනුයේ හඳ ඉලක්ක කොට ගල්ගැසූ කළ තරුවකට හෝ වදිනු ඇතැයි යන්නය. ඒ අනුව මෙවර ජයග‍්‍රහණය රාජපක්ෂ ආණ්ඩුවට ප‍්‍රශ්නයක් නැත. අවශ්‍ය තුනෙන් දෙකක්ය. එනම් විශිෂ්ට ජයග‍්‍රහණයක්ය. මේ මොහොතේ සිවිල් ක‍්‍රියාකාරීන්ගේ නැවත ඒකරාශි වීම දක්නට ඇත. ඒ ”තුනෙන් දෙක ලබා නොදෙමු” පන්නයේ සටන් පාඨයක් සමගය. දේශපාලකයන් තරමටම මේ අයත් කාලෙන් කාලෙට කාට හෝ කුලී වැඩ කරන්නෝය. මේ විපක්ෂයේම හොරණෑය. මේ හඬවල්ද දැන් සුපුරුදු කොන්ත‍්‍රාත් බව සමාජයට නොරහසකි. එහෙත් ඉතා සුළු ප‍්‍රමාණයකට හෝ ඊටද මුලාවිය හැකිය.

තුනෙන් දෙකක් ලබාගැනීම කිසිසේත්ම විය නොහැක්කකි. එහෙත් මහින්දගේ ලොකු චිත‍්‍රය විසින් සෙසු තරගකරුවෝ ගාල් කර ඇත්තේ තරගයක් නැති තැනට ඇද දමාය. තුනෙන් දෙක කීම තුළ එය පැහැදිලිය. තුනෙන් දෙක ඡන්දයෙන් ගත නොහැකි වුවද ඡුන්දයෙන් පසු ගන්නට මහින්දට හැකිය. ඒ සඳහා ආසන 120ක් 125ක් ලබාගැනීම මූලික අරමුණ බව පෙනේ. එලෙස ලබාගතහොත් ඉතිරිය පූර්ණ කරගෙන තුනෙන් දෙකට යෑම මහින්දට අභියෝගයක් නොවේ. අද මහින්දගේ කෙරුම්කාරයන් වී ඇත්තේ එදා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ආ එජාප පිලය. බන්දුල අද ඡන්ද ප‍්‍රචාරණය සිද්ධ කරනුයේ ”මොහොතටකවත් මහින්ද තනි නොකළ” නිසා ඔහුට ඡුන්දය දෙන්න කියාය. මේ අය රටට කළ දෙයක් නැත. කර ඇත්තේ මහින්දට තනි රකින එකය. මහින්දට කඬේ යන, බඩු ගේන, රෙදි අපුල්ලන, උයන, පිහන, වතුර අදින, සබන් ගාන මේ සැමටම අපි ඡන්දය දිය යුතුය. පොහොට්ටුවේ ඡන්ද ව්‍යාපාරය යනු වෙන කිසිවක් නොව මහින්ද පවුල දිනවීමේ මෙහෙවරය. මහින්ද දිනූ කල මේ මන්ත‍්‍රීවරු ඉබේටම දිනුම්ය. තනි නොකළාට වරප‍්‍රසාද ලැබෙන්නේ ඉන් අනතුරුවය. මේ මායාවට ජනතාව අහුවෙන්නේ ජනතාවත් මහින්ද තනි නොකළ යුතුය යන මිථ්‍යාවේ ගිලිමින්මය. බන්දුලගේ කතා හිනා යන කතා වුවද ඇත්තම නම් එයය. බන්දුල පමණක් නොව අනෙක් අය කළේද මහින්දට තනි රකින එකය. ආණ්ඩුවේ ඇමතිකම්වලට එන්නට ඊට වඩා සුදුසුකමක් නැත. විමල්, ගම්මන්පිල කියනුයේද වෙන විදිහකට එවැනි පන්නයේ කතාමය. මහින්ද වෙනුවෙන් දිවි පරදුවට තියා ක‍්‍රියා කිරීම විමල්ට අනුව රට, ජාතිය බේරා ගැනීමකි. ගම්මන්පිලටද එසේමය. එහෙත් අවංකවම බන්දුල කියන පරිදි සැවොම කර ඇත්තේ පරාජයෙන් පසුත් තමාට යන එන මං නැතිවූ නිසා එයට පිළියමක් ලෙස මහින්ද තනි නොකර තනි රැුකීමය. එය අවංකවම පිළිගන්නේ බන්දුල පමණය. බන්දුල ඒ අතින් අනෙක් අයට වඩා අවංකය. එය ගරු කළ යුතුය. ඒ අවංකකමටත් නතාව තව වටයකින් මුලා වෙති.

එක හැඩ

දැන් නැවත කිවයුත්තේ මහින්ද තනි නොකර තනි රැක්කා පරිදිම විපක්ෂයේ සිවිල් අයගේ තුනෙන් දෙක නොදිය යුතුය යන සටන් පාඨයත් එක සමාන බවය. ඒ අය කරනුයේ පක්ෂයට සේවය කරන්නට ක‍්‍රමයක් හදා ගැනීමය. බන්දුල පන්නයටම තනි නොකර සිටීමට දෙයක් සොයා ගැනීමය. එය භාවිත කරනුයේ විමල්, ගම්මන්පිල පන්නයට තුනෙන් දෙක ගියහොත් රට විනාශයි කීමෙනි. රට විනාශයෙන් ගලවා ගන්නට හැම වලිකති. කට්ටියක් මහින්දලා නැති වුවහොත් රට විනාශයි කියති. තව පිරිසක් මහින්දලා ආවොත් රට විනාශයි කියති. මේ දෙපිලම කරන්නේ තක්කඩිකමකි. තුනෙන් දෙක ඕනෑ කාටද? ගෝඨාටද? මහින්දටද? මේ මොහොතේ අගමැති වන කෙනා සුපිරි බලවතා වන බැවින් මහින්දට තුනෙන් දෙකක් කුමකටද යන්න කෙනකුට ප‍්‍රශ්න කළ හැකිය. එනම් මහින්ද, තමාට එතරම් බලයක් එන්නේ නම් එය ඉවත් කර ගන්නට තුනෙන් දෙකක් ඉල්ලනුයේ බොරුවටද? ගෝඨා ඉල්ලනුයේ තමාට නැති බලය ලබාගන්නට යැයි සිතමු. එහෙත් මහින්ද තුනෙන් දෙකක් ඉල්ලනුයේ ඇයි?

ඉදිරි දැක්ම

මහින්ද දේශපාලනයේ අවසන් වටවලට පැමිණ ඇත. එහෙත් තව බොහෝ දුර යා යුතු තමාගේ පුතුන් සිටිති. ඒ අයට ඉදිරියට යාමට බාධා නැති පාරක් කැපිය යුතුය. එය මේ මොහොතේ තාත්තලා බාප්පලා කළ යුතුමය. ඒ සමස්ත රාජපක්ෂ පවුලේම යහපත සඳහාය. මෙවර මහ මැතිවරණයට රාජපක්ෂලා හයදෙනකු කරලියේ සිටිති. ඒ මහින්ද, බැසිල්, චමල්, නාමල්, ශෂේන්ද්‍ර, රණවක යන අයය. බැසිල් ඡුන්දය නොඉල්ලූවද ඊළඟ ආණ්ඩුවේ ගෝඨා, මහින්ද ඇරුණු කල බලවතා බැසිල්ය. ඒ බව බැසිල්ගේ කතාවෙන් තව තහවුරුය. ඔහුද තුනෙන් දෙකක් ඉල්ලයි. ඒ නව ව්‍යවස්ථාවක් ගෙනෙන්ටය. ඒ ව්‍යවස්ථාව හැදීමේ පුරෝගාමියා බැසිල්ය. ඇතැම් අය කියනුයේ ව්‍යවස්ථාව හැදීමට ඊට දැනුම ඇති අය ගත යුතු බවය. එය හැම කල්හිම වේ. වෙනස ඒ අය පාවිච්චි කරන අය අනුව ඒ අච්චුව නිර්මාණය වීමය. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ඔහු තනිව හැදූ දෙයක් නොවේ. කලින් කලට එහි සංශෝධන ඒ ඒ කාලවල හිටි අය තනිව හැදූ ඒවා නොවේ. 18 මහින්ද තනිව කළ දෙයක් නොවේ. 19 රනිල් තනිව කළ දෙයක් නොවේ. එහෙත් 18 මහින්දට වුවමනා ලෙස හැදූ අයුරින්ම 19 රනිල්ගේ වුවමනාවට විය. ඇත්ත එයය. නව ව්‍යවස්ථාව විශාරදයින් කළද එය රාජපක්ෂලාගේ වුවමනාව වනු ඇත. එය අවසානයේ මහින්දගේ පවුල සනසන ඉදිරි ගමන විය හැකිය.

ජේ.ආර්.ට දෙවැනි වර සිටි පසු තව වරක් ජනපතිවීමේ වුවමනාව විය. එහෙත් එය ජයගත නොහැකි විය. අද මහ කතා කියන චන්ද්‍රිකාටත් ඒ ආශාව වූවාය. ඇයද ඊට සෑහෙන උත්සාහ කළමුත් නොහැකි විය. එහෙත් මහින්ද එය වෙනස් කරගත්මුත් ජයගත නොහැකි විය. එසේ නම් කුමන බලයක් නිර්මාණය කර ගත්තද ජනතාව අතින් එය පරාජය විය. ඒ බලය තවමත් ඇති බව ඉන් පැහැදිලිය. එය හැම මොහොතේම උදා නොවන්නකි. මේ මොහොතේ මහින්දලා නැවත බලය තහවුරු කරගෙන තුනෙන් දෙක හදාගැනීමට මාන බලනු ඇත. ඒ මේ මොහොතේ නොව ඉදිරි දේශපාලනය සඳහාය. මහින්දට, ගෝඨාට එකට වැඩ කිරීමේ අපහසුවක් නැත. මේ කාලය තුළ ඔවුන් බෙදී වෙන් නොවී සිටීමට මහින්ද කපටිය. එසේ වුවහොත් දෙපිල බෙදෙනු ඇත. විමල්ලා, ගම්මන්පිලලා නාමල්ට හිස නවාගෙන ඉන්නට අවංකවම කැමති නොවනු ඇත. අද වාසුලා, ඩිව්ලා මෙන් එදාට මේ අයත් සිටිය නොහැකිද නොවේ. එහෙත් බෙදුමක් ඇතිවුවහොත් මේ අය එක් පිලකට පනිනු ඇත. ඒ නිසා මහින්ද කරනුයේ මේ කාලය ගෝඨා සමග මිතුරුව ගොස් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට උපරිම ක‍්‍රියාකිරීමය. බැසිල් එය කීම තුළම ලොකු හරයක් ඇත. රාජපක්ෂලාගේ කට්ටඩියා බැසිල්ය. කාට සෙල්ලම් කරන්න වුව අවශ්‍ය වටපිටාව හදන ප‍්‍රධානියා බැසිල්ය. බැසිල් ළඟ මහින්දටය. ඒ තමාට අවශ්‍ය සියල්ල ලැබෙනුයේ ඔහුගෙන් නිසාය. බැසිල්ට රජවෙන්නට වුවමනා නැත. රජවරු තනන්නා වන්නට වුවමනාය.

මේ හැම සෙල්ලමක්ම කෙළවර කළහැක්කේ ශක්තිමත් විපක්ෂයක් හරහාය. සජිත් කියවනුයේ ගෝඨා යටතේ ආණ්ඩුව ගෙන කරන්නටය. මේ මොහොතේ සජිත්ට මහින්ද පැරදවිය නොහැකිය. ඔහු කළයුත්තේ නියම දේශපාලන ගමනකට මග හෙළිකර ගැනීමය. එහෙත් ඔහුගේ මුවින් පිටවන බාල කතා දිනෙන් දින ඔහුව බාලයකු බවටම පත්කර ඇත. රනිල්ද ඊට නොදෙවෙනි විහිළුකාරයෙක් වී ඇත. එසේ නම් විකල්පය කුමක්ද? ජවිපෙද? එයට විකල්පයක් වන්නට තව කල්ප කාලයක් බලා සිටින්නට සිදුවනු ඇත. එය සෝබනකාර හීන මාන්නුන්ගේ පක්ෂයක් වී ඇත.
එහෙත් ජනතාව සිතනුයේ ජවිපෙ අයත් කිහිපදෙනෙක් හෝ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි යන්නය. ඒ දේවල් කතා කරන්නටය. කොටින්ම පාර්ලිමේන්තුවේ පාළු මකන්නටය. එයටත් මුලාවන පිරිසක් සිටිති.

තුනෙන් දෙක කෙසේ හෝ මහින්ද තහවුරු කරගනීද නැද්ද යන්න ඉදිරියේ ඇති පැනයකි. එය මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව සිදුවනු ඇත. එදා මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට මහ යුග පුරුෂයකු වූ කරු පෙරමුණ ගත්තා සේ ම මෙවරද තව කෙනකු පෙරමුණ ගනු ඇත. අද කරු අනාථය. කාටත් වඩා හොඳ වන්නට ගොස් ඔහු අතුරුදහන් වී ඇත. තමන්ට නැති අවංකත්වයක් මවාපාන්නට ගොස් ඔහු නන්නත්තාර විය. ඉදිරියේදී ඒ ආකාරයට බොහෝ දේශපාලන චරිත කුජීත වනවා නම් අපූරුය. එවිට අලූත් විදිහට සිතිය හැකිය. මහින්දගෙන් පසු මෙරට දේශපාලන සිතියම හැකිළෙනවා සහතිකය. ඒ නිසා බැසිල් හදන ව්‍යවස්ථාව වුවත් අනාගතේ ඒ අයගේ අවාසියට හේතුවන ලෙස හදනු ඇතැයි සිතිය නොහැකිය. මන්ද බලය හැමදාම පවතින්නේ නැත. නැති කාලයේදී වුව ඉන්නට හැකිවන ලෙස නිර්මාණය කළ යුතුය. ජේ.ආර්.ට දෙන්නත් එය දීලා ගන්නත් එපා යැයි එදා කීවේය. එහෙත් ඔහුට දී ඉන්පසු කීදෙනෙක් එය ගත්තේද? දුන්නේද? එහි කී දෙනෙක් සෙල්ලම් දැම්මේද? ඒ ආකාරයට කවුරු ඒ මොහොතේ කාට වාසි ලෙස හැදුවත් එය ඉදිරියේදී තව බොහෝ අයගේ හිත සුව වන බව ඔප්පු කොට ඇත. මහින්දට වාසි 18 රනිල් 19 හරහා තමාට හරවා ගත්තද එහි වාසිය ඇත්තේ අද මහින්දටය. තුනෙන් දෙක ගෙන හෝ අලූත් එකක් හදා අලූත් සෙල්ලමක් යෑම හොඳය. 19 වතාවක් කළ සෙල්ලම දැන් ඇතිය. දැන් අලූත් සෙල්ලමක් වුවමනාය. එය කළහැක්කේ බලය ලබන අය හරහාමය. එසේ නොවී අලූත් දේශපාලන ගමන් යන මංගල පන්නයේ මෝස්තරකාරයන් හරහා නොවේ. ඒවා මෝස්තරවලට එහා දෙයක් නැත. ඒවා යට සායවල්වල වාටියට ඇල්ලීමට හොඳ රේන්දය.

රාජපක්ෂලාගේ සෙල්ලම අහවර වන්නට නම් ඒ අයට උපරිම සෙල්ලම් කරන්නට ඉඩ දිය යුතුය. 2015 වූයේ බාගෙට සෙල්ලම වටහා ගැනීමය. මහින්ද, බැසිල් හැමදාම ඉන්නේ නැත. මේ චරිත හරහා වන සෙල්ලමකි. එය ඒ අය සමගම අහවර වනු ඇත.

අප අකමැති වුවත් ගොඩනැගිය යුත්තේ ශක්තිමත් විපක්ෂයක් විනා අගුපිළි කල්ලි නොවේ. ඒවා සිල්ලර කඩය. ඒවාටත් මුලාවන අය සිටිති. ඒ ඉතාම සුළු පිරිසක්. මහින්ද පන්නයේ ලොකු චිත‍්‍ර ඇඳිය හැකි අය ඕනෑකර තිබේ. දැන් සිටම පුරුදු පුහුණු විය යුත්තේ එයටය. එය දේශපාලන ව්‍යුහය ඇතුළෙන්ම ඇතිවීම හොඳය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here