ටිරන් කුමාර බංගගමආරච්චි

ජාතිය අමතමින් අගමැති කළ විශේෂ ප‍්‍රකාශයේ විශේෂයෙන්ම සඳහන් කර තිබුණේ මහින්දානන්ද කළ 2011 ක‍්‍රිකට් විකුණුවාද යන ප‍්‍රශ්නය අමතක කරන ලෙසය. ඒවා වැඩකට නැති බවය. එහෙත් මේ කියනුයේ ඇත්තද? මහින්දානන්ද කටට ආ දේ වමෑරුවාද? පෙර රාජපක්ෂලා අතර පැවති විචිකිච්ඡුාවක් මහින්දානන්ද ලවා කියෙව්වාද? 2011 ලෝක කුසලානය පාවා දුන්න යන්න අද නොව එකලද මැතිරූ මන්තරයකි. රාජපක්ෂලා අවසන් මහා තරගය නරඹන්නට ගියේ කුසලානය ගෙන ජෝගී නටන්නටය. එය ඵල නොදැරීය. අනෙක් අතට රාජපක්ෂලාට සංගක්කාර සමග ලොකු ප‍්‍රශ්නයක් විය. මේ හැමහී ප‍්‍රතිඵලය එදා කතාව මහා උස් හඬින් නව වසරකට පසු මහින්දානන්ද කීමය. 2011 ලෝක කුසලානය පාවා දුන්නා යැයි කියා එජාපයට විරුද්ධව හෝ දුරකතනයට විරුද්ධව ඡුන්දය දෙන්නටත්, පොහොට්ටුව තෝරා ගන්නටත් හේතුවක්ද? ඡුන්ද කටේ තබාගෙන මහින්දානන්දගේ කට මේවා කියන්නේ ඇයි? රටේ වෙන ප‍්‍රශ්න වෙනතකට හැරවීමටය. ඒ පෙනෙන එක් කරුණකි. අනෙක තිලංගගේ කොන්ත‍්‍රාත් ඇදීමකි. කොටින්ම මේවා කට කහනවාට කියන කතා නොවන බව කිව මනාය. දියගම ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩාංගණයක් හදන්නට යන විට ඒවාට උදැල්ල දැම්මේ මහේලය. සංගාත් කොණක කොන්වී සිටියේය. ක‍්‍රීඩාංගණය හැදීම ලොකු කුට්ටියක් අත යට එහා මෙහා වන වැඩකි. වත්මන් ක‍්‍රිකට් ප‍්‍රධානීන් යනු තිලංගගේ එහෙයියෝය. එබැවින් එහි අදටත් මහ මොළකාරයා තිලංගය. රාජපක්ෂලාගේ දොළ සංසිඳුවන්නට ගත් ක‍්‍රියාමාර්ගයක් තාවකාලිකව අකුළා ගන්නට රිදුණු ප‍්‍රමාණය මේ කතාවලින්ම එළි පනී. ක‍්‍රීඩාංගණය හැදීම ඉදිරියේදී විය හැකි දෙයකි. එහෙත් දැන්ම කට අරිනවුන්ගේ කට වැසිය යුතුය. ඊට ආණ්ඩුවේ සිටින වාචාලයන් කිහිපදෙනාගෙන් කෙනකු ප‍්‍රයෝජනයට ගත යුතුය. මහින්දානන්ද ලවා කළේ ඒ වැඬේය. මහින්දානන්ද කීවේ හතර බීරි කතාවකි. එනම් පාවාදීමක් වූ මුත් එයට ක‍්‍රීඩකයන් සම්බන්ධ නැති බවය. ක‍්‍රීඩකයන් සම්බන්ධ නොවී පාවාදීම් කිරීම කෙළෙස කරනවාද යන්න වෙනම හැදෑරිය යුතු අමුතුම හෙළිදරව්වකි. අනෙක් අතට එදා ක‍්‍රිකට් ආයතනයේ සුරාජ් දන්දෙණිය කෙරුමෙකි. ඔහු මහින්දානන්ද දමන ඔහුගේ ඥාතියෙකි. පාවාදීම් සිදුව ඇත්නම් හොර ගල් නොඅහුලා කෙළින් කිව යුතුය.


ඩලස් අලහප්පෙරුම වත්මන් ක‍්‍රීඩා ඇමති ලෙස බයිලා කීවද මහින්දානන්දගේ කතාව අනුව යමින් දැන් එකිනෙකා ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේය. අරවින්ද පැය ගණන් කටඋත්තර දෙන්නේය. උපුල් තරංග ඉන්පසුවය. සංගක්කාරටත් ඇරයුම් ඇත. ඉන්පසු මහේල, දිල්ෂාන් විය හැකිය. දැන් බරටම ඒ ගැන පරීක්ෂණ වේ. එනම් දැන් විය යුත්ත සිදුවී ඇත. එනම් 2011 සැකය තහවුරු කරගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් ඇත. මහින්දානන්දලා හැමදාම කෑගැහැව්වේ රාජපක්ෂලා වෙනුවෙනි. මෙවර පමණක් එය එසේ නොවේ යැයි සිිතිය යුතු නැත.


ඒ අතර තව කිවයුත්තක් ඇත. එනම් විපක්ෂය ගෙන යන විකාර අදහසය. එනම් සංගක්කාර ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ඉල්ලන නිසා එය වැළැක්වීමට මෙවැනි කතාවක් ගෙතූ බවය. එය විපක්ෂයේ පට්ටපල් බොරුවකි. සංගක්කාර මෙරට පරිපාලනයටවත් නොපැමිණ එකවර අයිසීසී ප‍්‍රධානියා වන්නේ කෙසේද? අයිසීසීහී ප‍්‍රධානියාට තරග කළ හැක්කේ ජාත්‍යන්තර ක‍්‍රිකට් සම්මේලනයේ විධායක සභාවට සහභාගි වන අයය. එය නියෝජනය කරන අයය. එය නියෝජනය වීම සිදුවන්නේ මෙරට ක‍්‍රිකට් ආයතනය හරහාය. එවැනි වටපිටාවක සංගා අයිසීසී ප‍්‍රධානියා වන්නට යනවා යැයි විහිළු කතා කීම මහින්දානන්දගේ මුඛරි කතාවට වඩා විකාරයකි.

කවුරු කුමන කතා කීවත් මේ සිද්ධ වුණේ සංගලා, මහේලලා බියවැද්දවීමකි. අවුරුදු නවයක් කළ නොහැකි දේ අද කළ කී පරීක්ෂණ පැවැත්වෙන්නේ ඇයි? එදා ආණ්ඩුව රාජපක්ෂලාගේය. ක‍්‍රීඩා ඇමති අලූත්ගමගේය. එදා පරාජයත් සමගම මේ දේ කීවේ නම් ජනතාව වුව විශ්වාස කරන්නට ඉඩ තිබුණි. එහෙත් එසේ නොකීවේ ඇයි? ඒ කිවයුතු වේලාව නොවූ නිසාය. එහෙත් දැන් කිවයුතු වෙලාව වී ඇත. ඕනෑම දේකට කල්යල් බලන්නේ සුදුසු කල් එන තෙක්ය. අමතක නොකළයුත්ත නම් සංගා රාජපක්ෂලාගේ ප‍්‍රශ්නාර්ථයක් වන බවය.