ජගත් ප්‍රේමචන්ද්‍ර


2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සමග පැවති අවසන් තරගය මුදලට පාවා දුන් බව වත්මන් රජයේ විදුලිබල රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ පසුගිය සතියේ ය. එම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් එය යම්කිසි පිරිසක් විසින් මුදලට පාවා දුන්නේ යැයි තමන්ට හැඟෙන බව පැවසූ ඔහු තමන් ඒ බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ඒ සදහා ක්‍රීඩකයන් සම්බන්ධ කර නොගන්නා නමුත් යම් පාර්ශ්වයන් ඊට සම්බන්ධ වී කටයුතු කළ බවත් මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ය.


මහින්දානන්ද අලුත්ගමගේ මේ කතාව කියන්නේ, අදාළ සිදුවීමෙන් වසර 9කට පසුව ය. තමන් විසින් ම ක්‍රීඩා ඇමති ලෙසින් කටයුතු කළ කාලයේ වූ සිදුවීමක් ය. තමන්ගේ අත්සනින් නිර්දේශ කළ කණ්ඩායමක් සහ නිලධාරී පිරිසක් හෝ ඉන් කිහිප දෙනෙක් අළලා ය. මහින්දානන්ද මේ බෝම්බ ප්‍රහාරය කාලයක් ගත වූ පසු එල්ල කරන්නේ කවුරුන් ඉලක්ක කර ගනිමින් ද?
මේ කතාව සම්බන්ධයෙන් එවකට ද තැන තැන කතා වූ අයුරු අපට මතක ය. නමුත් කතාවට පිළිගත් කිසිදු සාක්ෂියක් නොතිබුණි. පැතිර ගිය කතාව වූයේ, තරගය පාවා දීමට අවශ්‍ය වූයේ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂට බවය. නාමල් රාජපක්ෂ ද ඊට දායක වූ බව ය. මහින්ද රාජපක්ෂ අවසාන මහා තරගය නැරඹීමට යෑම ද එකල ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ දෝෂදර්ශනයට ලක් වූ අතර “මැච් එක විකුණන්නට ම” ගියේ යැයි කතාවක් ද වුණි. මේ චෝදනාවන්ගෙන් එවකට ක්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්දට ද ගැලවීමක් නොවුණි. ඔහු ද මේ කියන තරගයේ ප්‍රේක්ෂකයෙක් වී සිටියේ ය.


මේ සියල්ල කතා ය. එකිනෙකා දැක් වූ අදහස් ය. නමුත් මේ සියලු කතා මගින් එදා තරගය විකුණුවා යැයි කිසිවෙක් ස්ථිරව ම පැවැසීමට ඉක්මන් වූයේ නැත. ඒ පිළිගත හැකි සාක්ෂි කිසිවක් ම එකල කරළියට නොපැමිණි නිසා ය. නමුත් එවකට ක්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්ද ම මේ කට කතාවට දැන් ජීවය දෙමින් සිටී. රසවත් ව හෝ නීරසව හක්කේ තබාගෙන සිටි දේ වමාරන්නට පටන් ගෙන තිබේ.


තමන් ක්‍රීඩා ඇමතිවරයා ලෙසින් සිටි කාලයේ සිදු වී යැයි කියන මේ කතාව, ඔහු විසින් ම පැවසීම හේතුවෙන් ඊට අතිශය බැරෑරුම් බවක් ආරෝපණය වී ඇත. එසේ වීම ද වැළැක්විය නොහැකි ය. ප්‍රකාශකයා වූව ද මහින්දානන්ද එවකට ක්‍රීඩා ඇමැති වීම, ඊට කොතැනකින් හෝ වගකිව යුත්තා ද වනු ඇති බැවින් ය.


මහින්දානන්ද පවසන්නේ මේ සඳහා ක්‍රීඩකයන් සම්බන්ධ නොවූ බැව් ය. ඔහු පවසන්නේ මේ පාවාදීම සිදු කරන්නේ “යම් පාර්ශ්වයක්” විසින් යන්න ය. මේ යම් පාර්ශ්වය කවුරුන්දැයි පැවැසීමට ඉක්මන් නොවූව ද ඔහු කියන ආකාරයට මේ පාර්ශ්වය ගැන ඔහු දැන සිට තිබේ. නමුත් ඒ පාර්ශ්වය ගැන කටේ කෙළ බිඳක් හෙළීමට ඔහු අකමැති ය. ඒ කුමක් නිසාද?
නමුත් එවකට හිටපු උප නායක මහේල ජයවර්ධන විමසන්නේ ක්‍රීඩකයන් සම්බන්ධ කර නොගනිමින් තරගයක් පාවා දෙන්නේ කෙසේ ද යන්නයි. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි කුමාර සංගක්කාර ද මහින්දානන්දගේ මේ චෝදනාවට පිළිතුරු දෙන්නේ, පිළිගත හැකි සාක්ෂි සහිතව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශයට පැමිණිලි කළ යුතුව තිබූ බව ය.


නමුත් මහින්දානන්ද පුන පුනා පවසන්නේ මේ සඳහා ක්‍රීඩකයන් සම්බන්ධ නොවූ බවත් ඔවුන් ඉක්මන් විය යුතු නැති බවත් ය. එසේ නම් මහින්දානන්දට මේ අවශ්‍යව ඇත්තේ කවුරුන් හෝ සම්බන්ධයෙන් තමන් සන්තක පවතින සාක්ෂියක් මගින් ඔහුව හෝ ඔවුන් ව “බ්ලැක්මේල්” කිරීමක් විය නොහැකි ද? මහින්දානන්ද පවසන පරිදි ඔහු මේ සිදුවීම ගැන දන්නේ යැයි අපට සිතේ. එබැවින් ය ඔහු ක්‍රීඩකයන් ඊට සම්බන්ධ නැති බවට පවසන්නේ. මේ කතාවේ මහින්දානන්ද සඟවන චරිත හෙළිදරව් කළේ නම්, කතාවේ තාලය මීට වඩා වෙනස් ය.


කෙනෙක් දෙන්නෙක් ඉලක්ක කරමින් ගැසූ තරග පාවාදීමේ බෝම්බයත් සමගින් මහින්දානන්ද තම දේශපාලන පරපුරේ සුපුරුදු දේශප්‍රේමී සළුපිළි ද පැළඳ ගැනීමට ද අමතක කරන්නේ නැත. අපට එසේ සිතෙන්නේ, මේ ගැන වැඩිදුර හෙළිදරව් නොකරන්නේ “රට ගැන සිතා” බැව් කළ මහින්දානන්දගේ ප්‍රකාශයත් සමගිනි.


එහෙව් දේශප්‍රේමී ඇමතිවරයෙක් කියූ කතාවෙන් අද ක්‍රිකට් ක්ෂේත්‍රය උඩු යටිකුරු වී ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ දී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය දී තිබුණේ හොඳ නාමයක් නොවේ. එසේ ම මෙරට දූෂණ, වංචා සිදුවෙන ආයතන අතුරින් ක්‍රිකට් ආයතනය ද ඉහළින් ම වන බැව් පැවැසුණ කාලයක් ද වුණි. මේ සියල්ල බිඳෙන් බිඳ යට යමින් පැවතෙද්දී ය, මහින්දානන්ද මේ බෝම්බය එල්ල කරන්නේ.


මහින්දානන්දගේ මේ බෝම්බය, ක්‍රීඩා ක්ෂේත්‍රය පමණක් නොවේ දේශපාලන ක්ෂේත්‍රය ද කැළඹුවේ ය. අද මේ ගැන ජනාධිපති, අගමැති ඇරෙන්නට, කතා නොකළ දේශපාලනඥයෙක් නොමැති තරම් ය. එහෙත් ඇතැම් විට හෙට අනිද්දාට අගමැති මහින්ද රාජපක්ෂ මාධ්‍ය ද කැඳවා මේ ගැන කතා කරන්නට ඉඩ තිබේ. ඒ කතාව පොහොට්ටු පාක්ෂිකයෝ චූන් වෙන්නට කියන කතාවක් මිස, අදාළ කාරණය සම්බන්ධයෙන් කරනු ලබන සත්‍ය ප්‍රකාශ කිරීමක් හෝ ක්‍රිකට් වෙනුවෙන් කරන එකක් විය නොහැකි ය. ඒ මේ දවස්වල පැවැතෙන මහ මැතිවරණය හේතුවෙනි. අනෙක් අතට මහින්දානන්දගේ මේ කතාවේ, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපති වේ. එබැවින් මේ පරීක්ෂණයේ දී මහින්ද රාජපක්ෂට ද යම් යම් තැන් ගළපා ගැනීමට සිදුවෙනු ඇත. ඒ ක්‍රිකට් පිටියෙන් පිටත කතාව ගියේ තරගය විකුණුවේ මහින්ද රාජපක්ෂ ලෙසින් වන නිසා ය.


කතාව ඒ ලෙසින් වුවත්, වත්මන් ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කී කතාව පිළිගන්නේ ම නැත. ඔහු පවසන්නේ එවැන්නක් සිදුවිය නොහැකි බවයි. එබැවින් විෂය භාර අමාත්‍යවරයා ලෙස මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ද ඔහු පෙළඹී ඇත. දැනටමත් එහි මූලික පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී.
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර වෙත පවරනු ලැබූ එකී කාර්යය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන බව පවසයි. ආරංචිය අනුව ඔවුන් මේ සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශයට ද පැමිණිලි කර ඇත.


මේ කාරණාවේ දී මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර පමණක් නොවේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙසින් කටයුතු කළ අරවින්ද ද සිල්වා ද මහින්දානන්දගේ කතාව ප්‍රතික්ෂේප කරති. එපමණකින් නොනවතින ඔවුන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ද ඉල්ලා සිටිති.


කෙසේ වෙතත්, මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ මේ සම්බන්ධයෙන් තමන් 2011 ඔක්තෝබර් 30 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවෙන් ඉල්ලීමක් කළ බැව් ය. ඒ පසුගියදා පොලිස් විශේෂ විමර්ශන අංශය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවක දී ය. මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලියකියවිලි අටක් සහ පිටු හයකින් යුත් විශේෂ ප්‍රකාශයක් ලබා දුන් බව ය.


නමුත් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ව සිටි අරවින්ද ද සිල්වා පවසන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තේරීම් කමිටු නිලධාරියා ලෙසින් තමන්ගෙන් මේ දක්වා මේ පිළිබඳව කිසිදු විමසීමක් හෝ සිදුකර නැති බැව් ය. එවන් චෝදනාවක් කළේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ දක්වා නිහඬව සිටින්නේ නැත.


මේ කාරණාවේ දී මෙතැන දී, කවුරුන් හෝ කවුරු කවුරුත් රැල්ලේ යවන ආකාරයකුයි පෙනෙන්නට තිබෙන්නේ. ඇමති මහින්දානන්ද මේ සම්බන්ධයෙන් එවකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කළා යැයි පැවසෙන චෝදනාව ඔවුන් නොසලකා හැර ඇත් ද? ඔවුන්ට එසේ නොසලකා හැරීමට තරම් හේතුවක් මේ සම්බන්ධයෙන් වී ද? එසේ වී නම් ඒ ඇයි? මේවා දැවෙන ප්‍රශ්න බවට පත්වෙනු ඇත.


අරවින්ද ද සිල්වා තවදුරටත් පවසන්නේ මේ ආකාරයෙන් තරග පාවාදීමක් සිදුකර ඇත්නම් හිටපු ක්‍රීඩා ඇමතිවරයා ලෙසින් වසර නවයක් තිස්සේ එය සඟවාගෙන සිටීම ද ගැටලුවක් බවයි. එමෙන් ම ඇමතිවරයාගේ ප්‍රකාශය ඉතා බරපතළ ප්‍රකාශයක් වන හෙයින් ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙන්ම ඉන්දියානු ක්‍රිකට් ආයතනයද වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට තමන් සූදානම් බැව් ද පවසයි.


කවුරුන් කුමක් කීවත්, කුමන මතයක් දැරුවත් මහින්දානන්ද ද තමන් තැබූ අඩිය දශමයක් හෝ පිටුපසට ගන්නා අයුරක් පෙනෙන්නට නැත. මහින්දානන්දගේ තරග පාවාදීමේ චෝදනාවෙන් ඔහු තම පාක්ෂිකයන් අතර සේ ම පක්ෂ නියමුවන් අතර ද ප්‍රබල ප්‍රශ්න කිරීම්වලට ලක්වූ බවය වාර්තා වන්නේ.


එහෙත් මහින්දානන්ද මේ සටනේ තවදුරටත් නිරතව සිටී. වීරයාට අඳිමින් සිටී. වසර ගණනාවක් තිස්සේ ම මහින්දානන්ද ඇන්ඳේ වීරයාට ය. එහෙත් ඒ දුෂ්ටයෙක් නොමැති කතාවලය. වළං බින්දේ ම පාළු ගෙවල්වල ය. නමුත් මෙවර ඒවා සුම්මා ය. ඒ මේ කතාවේ දී මහින්දානන්දට එරෙහිව දුෂ්ටයන් කිහිප දෙනෙක් ම අවි අමෝරාගෙන සිටින බැවිනි. ඔවුන් අතර ඔහුගේ හිතෛෂීන් ද ඇත.


මහින්දානන්ද මේ වීරයාට ඇඳීම ගැන අපි සතුටු වෙමු. ඒ කාලෙකට පසු මහින්දානන්ද ක්‍රීඩාවට ඉතා යහපත් මාතෘකාවක් වෙනුවෙන් අදහස් දැක්වීම නිසා ය. ඊට දේශප්‍රේමයෙන් යුතුව සටනට පිවිස ඇති නිසා ය. නමුත් අවුලක් ද තිබේ. ඒ රාජ්‍ය ඇමති, හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පමණක් දැන සිටින මේ කතාව වසර නවයක් තිස්සේ ඔහුගේ බොක්කේ තබාගෙන සිටීම ගැන ය. ■