රජිඳු කාශ්‍යප


හෝමාගම, දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගියදා පැවසුවේ රාජ්‍ය තොරතුරු පිළිබඳ දැනුවත් කරන මාධ්‍ය හමුවකදී ය.


තොරතුරු අනුව රටේ බහුතරයකටත් වඩා වැඩි පිරිසක් සාපරාධී යැයි සැලකෙන මේ ක්‍රීඩාංගණ සිහිනයේ තවමත් ගිලී සිටීම ගැන පැවසීමට තරම් ගුණවර්ධනයෝ එඩිතර වෙත්. ඔහුට අනුව කැමති අකමැති කවුරුන් ද යන්න වැදගත් නැත. හිඟා කා හෝ මේ ව්‍යාපෘතිය කරමි යැයි ගුණවර්ධනයෝ සහතිකය කරන්නේ එබැවිනි. මේ එඩිතරකම එන්නත් කරනුයේ කවරහු ද?
බන්දුල ගුණවර්ධන ම පවසන ආකාරයට ඒ මහින්ද රාජපක්ෂ ම ය. මේ ප්‍රශ්නය මතුවන්නේ තමන් එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉඩමක් ඉල්ලූ නිසා බැව් එකී මාධ්‍ය හමුවේ දී කී ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය විවේචන ඉදිරිපත් වූ නිසා, එය තාවකාලිකව නවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසූ බැව් ද කී යැයි පැවැසීමෙන් එය තහවුරු වේ.


අගමැති රාජපක්ෂ, බන්දුල ගුණවර්ධනට එලෙස පැවැසූවැයි දන්නේ ඔවුන් ම ය. මෙහි සත්‍යතාව කුමක් වූවත් මේ කාරණයේ දී දෙදෙනා ම යාපනයේ සේ ම, පොළොන්නරුවේ ද ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමට මේ වන විට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කිසිවක් ම පවසන්නේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ද අවැසිව ඇත්තේ ක්‍රීඩාව කුමන මට්ටමක පැවතිය ද ක්‍රීඩාංගණ ඉදිකිරීම ය. දියගම ක්‍රීඩාංගණය ඔවුන් අර්ථ ගන්වන්නේ ලෝක කුසලාන සිහිනයක් ඉදිරිපත් කරමිනි.


එහෙත් එහි දී ඔවුන් දැනට රටේ තිබෙන ක්‍රීඩාංගණවල දී ම 2011 දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වී යැයි අමතක කරති. “අපි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා සූදානම් වන්නේ නම් ඒ සඳහා ක්‍රීඩාංගණ පහක්වත් අවශ්‍යයි.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකට cricinfo පුවත් අඩවියට පවසා තිබුණි.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී සත්කාරක රටකට තිබිය යුතු ක්‍රීඩා පිටි ගණනක් කිසිදු විටක නියම කර නැත. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගී කරවිය යුතු නිශ්චිත ප්‍රේක්ෂක ප්‍රමාණයක් ද තීරණය කර නොමැත. එහෙත් වත්මන් කැබිනට් ප්‍රකාශකවරයාත්, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීනුත් මේ ක්‍රීඩාංගණය ඉදිකිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොසලකා හරින ඉහත කරුණු ම ඉදිරිපත් කරමිනි.


ඇෂ්ලි ද සිල්වා වුව මේ කාරණාවේ දී ඉදිරියට පැමිණෙන්නේ බන්දුල ගුණවර්ධනලාගේ ම උවමනාවට ම විය හැකිය. එහෙත් සියලු කුණු තමන් කරට ගැනීමට ද ඈෂ්ලි ද සිල්වා පැකිළෙයි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් හී නිත්‍ය වැටුප්ලාභියෙක් වන ඈෂ්ලි ද සිල්වාට මේ කාරණාවේදී යම් දවසක මතුවෙන ප්‍රශ්නවලින් ගැළවිය නොහැකි බැව් දන්නා බැවිනි. එබැවින් ක්‍රීඩාංගණයේ ගණන් මිමි තැබීමට ඔහු ඉදිරිපත් නොවේ. ඔහු cricinfo වෙත ක්‍රීඩාංගණය සඳහා කොපමණ මුදලක් වැය වේදැයි නොපැවසීමට පරිස්සම් වී ඇත. එහෙත් ඈෂ්ලි ද සිල්වා නොදැන සිටියත් ඇමති බන්දුල ගුණවර්ධන ඊට ලංසු තබා ඇත. එම මුදල රුපියල් මිලියන 8000කි.


දේශපාලනයේ රනිල් වික්‍රමසිංහට වඩා මහින්ද රාජපක්ෂ සලකුණ ගෑවුණ තැනක් වේ නම්, එතැන කාරණා කටයුතු සිදුවෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය යන්න අතිතයට පියනගන්නේ නම් සහතික කර ගත හැකිය. කකුළුවා වුව තම පොඩි උන්ට කීවේ, කෙළින් යන ලෙස ය. කතාව අනුව නම් ඒ මහ කකුළුවා තමන් ඇදේට යන බැව් නොදන්නා බැවිනි.

එහෙත් ජන්ම ගති වෙනස් කළ නොහැකි බවට කතාවක් තිබේ. රාජපක්ෂලාට ගෑවුණ කෙනෙක් වේ නම් ඔවුන් ගමන් කිරීමට උත්සාහ කරන්නේ ම රාජපක්ෂලාගේ මාර්ගයේ ම ය. ඒ රාජපක්ෂලා ද කකුළු න්‍යායෙන් උපදෙස් දෙන්නන් වන බැවිනි.
එදා රාජපක්ෂලා සූරියවැව ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය කළේ යම් සේ ද මෙදා ගුණවර්ධන දියගම ක්‍රීඩාංගණ සිහිනයේ කිමිද ඇත්තේ ද ඒ ආකාරයෙන් ම ය. අද වන විට මේ ක්‍රීඩාංගණය ආරෝවක් නැතිව නතර වූව ද ගුණවර්ධන පැවසූ පරිද්දෙන් ම හෙට අනිද්දාට මේ ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂගේ ම අනුහසින් කල එළි බැසිය හැකිය. මහින්දලා ඒ තරමට ම මෙවැනි ව්‍යාපෘතිවලට කැමතිය. ඒ මේ මගින් තමන්ගේ මඩිය තරවෙන ප්‍රමාණය ඔවුන් හොඳාකාරව ම දන්නා බැවිනි.


එහෙත් ඒ බැව් පෙන්වීමට රාජපක්ෂලා කැමති නැත. රාජපක්ෂලා කරන මේ මගඩිවලට තබන නම සංවර්ධනය නම් වේ. මේ කාරණාවේ දී පට්ට හොරුන් සේ පදවිනාම ලැබූවෝ ද බන්දුල ගුණවර්ධනට දොස් තැබුවේය. ඒ නිසාය, කැරම් බෝඞ් එකෙන් පවා තම මඩි තර කරගත් ක්‍රීඩා ඇමැතිවරුන් ද මේ කාරණයේ දී “මොකක් හරි මොළේ අමාරුවකට කිව්ව කතාවක් ද දන්නේ නැහැ“ යැයි පවසන්නේ. එතැන දී ඔවුන් තමන්ගේ කාලය ඉතාම කෲර ලෙසින් අමතක කරති.


ක්‍රීඩාවට මේ වැනි මහා පරිමාණ මංකොල්ලකාරී ව්‍යාපෘති මීට පෙර ගෙන ආවෝ ක්‍රීඩා ඇමතිවරුන් ය. ඔවුන් රටේ අවශ්‍යතාවට වඩා වැඩ කළේ තම වසමේ ජනතාව පිනවීමටය. එබැවින් ය ඒ බොහෝ ව්‍යාපෘති මේ වනවිට අසාර්ථක වී ඇත්තේ. එහෙත් එහි වගේ වගක් ඔවුන්ට නැත. අද බන්දුල ගුණවර්ධනගේ ක්‍රීඩාංගණ සිහිනයට “මොළේ අමාරුවක් නිසා කිව්ව කතාවක්” සේ කී මහින්දානන්ද අලුත්ගමගේ ද එදා ක්‍රීඩා ඇමතිව සිටිය දී ද කළේ අද බන්දුල කරන්නට යන දේ ම ය. වෙනසකට ඇත්තේ දෙදෙනාගේ ඇමැතිකම් ය.


මේ පෙන්නුම් කරන්නේ වියත්මග පාලනයකටත් වඩා රාජපක්ෂලාගේ පෙර වූ තක්කඩි පාලනයේ ම දිගුවකි. එහි දී බන්දුල ගුණවර්ධනලා සිහින දකින්නේ මහජනතාවගේ කරමත සිටගෙන වීම ය, සැහැසිකම. ■