ටිරන් කුමාර බංගගමආරච්චි


කොරෝනා වෛරසය එක් පැත්තකින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ගැන ලිට්මස් පරීක්ෂාවක් වී ඇත. මේ ගෙවුණු මාස කිහිපය දෙස අවංක නිරීක්ෂණයක යෙදෙන්නේ නම් ඉතාම පැහැදිලි කරුණ වන්නේ රටේ නායකයා වන්නට තරම් ගෝඨා සුදුස්සකු නොවන බවය. ආරක්ෂක ලේකම් ලෙස කළ වැඩ බලා රටම කළ හැක්කේ ගෝඨාට යැයි සිතීමේ මුලාව ඇත්තේ ඔහු තෝරා ගත් ජනතාවට විනා එහි වරදක් ගෝඨාට කිව නොහැකිය. රටේ බහුතරයක් ජනතාව ගෝඨා සුපර් මෑන් කෙනෙක් නොහොත් තම සිහින නායකයා ලෙස දුටුහ. ඊට අවශ්‍ය වටපිටාව මහින්ද, බැසිල් ප්‍රමුඛ පිරිස අපූරුවට නිර්මාණය කළෝය. කොටින්ම මහින්ද සහ බැසිල් දොන් ජුවන් කෙනෙක් රජකමට ගෙනාවේය. මේ මොහොතේ අසරණම දේශපාලකයා බවට පත්ව ඇත්තේ ගෝඨා බව අවිවාදිතය. ඔහු සැබැවින්ම තනි වී ඇත. ඉදිරි පාර්ලිමේන්තුවේදී ඔහු ප්‍රාර්ථනා කළේ වියත් මගේ බොහෝ පිරිසක් සිටිනු ඇත කියාය. එහෙත් දිනීම කෙසේ වෙතත් තරග වදින්නට පවා ඔවුන්ට ඉඩක් නැත. තමා තරම් කෙරුමෙක් නැතැයි ලිපි ලියූ චරිත හේරත්ට පවා බැසිල්ගේ තීන්දු ඉදිරියේ නගුට සඟවා ගන්නට සිදුව ඇත.


වියත් මග වියපත් වේ


ගෝඨා ජනපති වීමත් සමග වියත් මග සෑහෙන උඩ ගිය බව කිව යුතුය. ගෝඨා ජනපති වීමේ සියලු භාරකාරත්වය ඔවුන් සතු බව ඒ අයගේ පරම විශ්වාසය විය. මැදගොඩ අභයතිස්ස හිමි ගෝඨාගේ බුදුහාමුදුරුවෝ බවට පත්විය. චරිත හේරත් සියලු දැනුම ඇත්තේ තමන් අතේ බවත් වියත් මගේ අයත් කපාගෙන ඔහු ලිපි ලියුවේ තමාගේ ජාතකයමය. මංපොරකමය. එක්තරා විදිහට එවැනි අයට බේත් දෙන්නට බැසිල් රුසියාය. චන්න ජයසුමන නම් කල්තියාම මේ අනතුර දැක හොටු පෙරාගෙන මුල සිටම නාහෙන් අඬනු දැකිය හැකිවිය. ඒ අතින් ඔහු චරිතට වඩා ඉදිරි දැක්මක් ඇත්තෙකි. උගත්, වියත් පඬිකම් ඉදිරියට දමාගෙන මේ අය හැසිරුණේ තම පක්ෂයේම අයට බැටේ දෙමිනි. ජනතාව උගත්, බුද්ධිමත් අය පාර්ලිමේන්තු යැවිය යුතු යැයි කියමින් මේ අය අමුතු තොවිලයක් නැටුවේය. එයින් ඔවුන් පෙන්වූයේ ගෝඨා නම් ආතුරයා බේරා ගැනීමට ඇති එකම විකල්පය ඔවුන් බවය. දැන් ආතුරයා තදබල අනතුරකය.

දහනවයේ අපලය


දහනව වන සංශෝධනය කනපිට ගසා වැඩ කිරීමට ගෝඨා සමත්ය. එහෙත් ප්‍රශ්නය දහනවයෙන් ඇති කළ බලතල ඇත්තේ වෙනකෙකු ළඟ නොව මහින්ද ළඟවීමය. මහින්ද ගෝඨා බලයට ගෙන ඒමේ පුරෝගාමියාය. කොටින්ම ගෝඨා දිනුවේ මහින්දගේ ඡන්දවලිනි. මහින්ද රට වටා යමින් පොහොට්ටු වනමින් ඡන්ද ඉල්ලුවේ ගෝඨා දිනවීමට වුවත් ඔහුට බලය ලබා ගන්නටය. ඔහු මනාව දන්නා කාරණය නම් 19 අනුව බලය ඇත්තේ අගමැතිට බවය. ඒ අනුව ගෝඨා දිනවීමේ පෙරේතකම මහින්දට ඇති වන්නේ ඒ උත්තේජනය මතය. අද අමුතු පොටකට අර අඳින සිරිසේන වුව බලනුයේ ඔහු කළ පරිදිම ගෝඨාත් මහින්ද ඉවත් කොට අයෙකු තේරුවහොත් ඒ තැන ඔහු ගන්නටය. ඔහුත් දැන් හිටියාට වඩා තෙම්පරාදු වී ඇත. රාජපක්ෂලා බලය ලබා ගත්තේ නම් පොළොව යට බව කී සිරිසේන එය දන්නා නිසාම ඔවුන්ගෙන් ඈත් නොවී ඔවුන්ව වැලඳගෙනම සිටී. මේ හැම කරනුයේ එකිනෙකා රවටා ගනිමින් තම තැන රැක ගැනීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ බොහෝ අයටත් බැසිල් ප්‍රමුඛ පිරිසෙන් ලැබුණේ කෙණෙහිලිකම්ය. ඒ හැම උපහාසයක්ම අපහාසයක්ම විඳිමින් සිරිසේන ලගින්නේ නිකම්ම නොවේ. ඔහුගේ ගැලවුමටය.


මේ දිනවල සිරිසේන කරනුයේ හතුරාට ප්‍රේමකිරීමය. ඒ තමාගේ ගැලවුමටය. පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකාරයන් සොයා කාදිනල්තුමාව සනසන්නේ නම් මුලටම ගල් ගසන්නට සිදුවන්නේ සිරිසේනටය. සිරිසේනත් එය දනී. තමා බලයේ ඉද්දී හේමසිරි සහ පූජිත්ව බිල්ලට දුන්නද එහි සැබෑ වගකිවයුත්තා නම් තමා බව සිරිසේන හොඳාකාරවම දනී. ඔහුට දැන් එයින් ගැලවීමට ඇති එකම පිහිටත් රාජපක්ෂලාමය. ඒ නිසා ඔවුන්ගේ කුස්සියේ වැඩ කොට හා් තමා ගැලවීම එකම ගැලවිජ්ජාව බවට සිරිසේන තෝරාගෙන ඇත. එමෙන්ම ඒ අතරතුර ගෝඨා තනිවී ඇති බවද තමා ජනාධිපති ලෙසත් අගමැති රනිල් හමුවේ අසරණ වූ ප්‍රමාණයත් එම ඛේදවාචකයම මහින්ද ඉදිරියේ ගෝඨාත් පත්ව ඇතැයි සිරිසේන හොඳාකාරවම දනී. අද ගෝඨාගේ වියත් මග මහමගට ඇද දමන විට වඩා සතුටු වන මිනිහා සිරිසේන බව නොකිව මනාය.


රතනගේ පත්තුවීම


මේ දිනවල නැවත වීරයා බවට පත්ව ඇත්තේ අතුරලියේ රතන හිමිය. තමාව රාජපක්ෂ කඳවුරෙන් නෙරපූ පසු ඒ හිමි උමතු වී ඇත. කාලෙන් කාලෙට අතන මෙතන වන රතන දැන් කියනුයේ මහින්ද විශ්‍රාම යා යුතු බවය. ගෝඨාට වැඩ කිරීමට ඉඩදිය යුතු බවය. රතන හිමි කෙරෙහි අපට ඇත්තේ ජුගුප්සාවකි. එහෙත් එකී කතාව කෙරෙහි ඇත්තේ ප්‍රියතාවකි. එනම් මහින්ද විශ්‍රාම යා යුතු කතාව කෙළින් කීමම වටිනා බැවිනි. එහෙත් රතන කිව්වා කියා මහින්ද විශ්‍රාම යන්නේ නැත. නව පක්ෂයකින් ආවද රතන හිමිට මෙවර පාර්ලිමේන්තු එන්නට නොහැකි වන බව නම් ස්ථිරය. එනම් රට, ජාතිය ගැන හිතන තව අය වුවමනා නැත. රට, ජාතිය ලියා ගත් පපුවේ කොටා ගත් අය අද පාලකයෝය. එබැවින් දැන් රට, ජාතිය බේරා ගන්නට රතන හිමි, ඥානසාර හිමි ආවා කියා වැඩක් නැත. ඒ අයත් මීට පෙර රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්කරුවන් බව දන්නෝ දනිති. දැන් කරන්නට වැඩ නැති නිසා හෝ රාජපක්ෂලා වැඩ නොගන්නා නිසා මේ අයට යන එන මං නැතිවී ඇත. දැන් මේ අය කුමක් කිවද ජනතාව ඒවා එතරම් තකන්නේ නැත. මහින්ද වෙනුවට මේ අයම ජනතාව විශ්‍රාම යවනවා නියතය. එය හොඳය. එක එක කල්ලි එකින් එක හෝ අපායට යා යුතුමය.


ගෝඨා – බය


19යට බයවී සිටින ගෝඨාට නැවත ලැබී ඇත්තේද 19යමය. එනම් කොවිඞ් 19ය. දහනවය මෙතරම් අපලයක් බව ගෝඨා කිසිදිනක නොහිතන්නට ඇත. කොරෝනා පරාජය කිරීම ගෝඨා හමුදාවට භාර දී ඇත. වෙනදාට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රැස්වී මේවාට විසඳුම් සොයනු පෙනුණද මෙවර ඒ කිසිවක් සිදු නොවේ. අද සියල්ල හමුදාවට දී ඇත්තේ ගෝඨාගේ විශ්වාසය මතය. ඔහුට ඇති එකම විශ්වාසවන්තයෝ ඔවුන්ය. මේ නිසාම මහින්ද හීනියට කරනුයේ ගෝඨාට ඇණ ගසන්නට ඉඩහැර ඡන්දයට උනන්දුවීමය. අද මෙතරම් ව්‍යසනයක් වී ඇතත්, මහින්ද ඒ ගැන අත පොවන ප්‍රමාණය අඩුය. සියල්ල ගෝඨා තනිව කරන තැනට තල්ලු වී ඇත. ගෝඨා වැඩ බැරිව අනාථ වී ඇත. ඒ තත්ත්වය වර්ධනය කරනුයේ මහින්දය. එනම් මහ මැතිවරණයෙන් පසු බලය ඔහු සියතට ගන්නා අතර ඉන්පසු ගෝඨාට සිදුවන්නේ පූස් පැටියකු බවට පත්වන්නටය. ගෝඨාට නියම සිංහ වෙස් ගන්නට නම් ඔහු බලසම්පන්නයෙක් විය යුතුය. එසේ වන්නට මහින්ද ඉදිරියේ නොහැකිය. රාජපක්ෂ පවුලේ සෙසු අය ඉන්නේ මහින්ද සමගය. ගෝඨා දින්නේ තාත්තා නිසා යැයි කියන තැනට පත්ව නාමල්ද මේ මොහොතේ වීරයෙක් වී ඇත. අනෙක් අතට රාජපක්ෂලාගේ මහ මොළකරු වන බැසිල් මේ සියල්ල කරනුයේ මහින්ද සමග එකතුව මහින්දගේ වුවමනාවටය. ගෝඨා කල් යල් බලාම කීවේ තමාට මේ වසර පහ ඇති කියාය. සැබැවින්ම ඔහුට ඊට වඩා සිටිය නොහැකි වනු ඇත. මේ යන විදිහ අනුව සිරිසේන මෙන්ම ගෝඨාත් එකෙන්ම විසිවනු ඇත.


සිරිසේනට රනිල් ඉවත් කොට මහින්ද අගමැති කළ හැකි වුවත් ගෝඨාට මහින්ද ඉවත් කොට වෙනකෙකු අගමැති කිරීම සිතීමටවත් නොහැකි වනු ඇත. එසේ වුවහොත් මහින්ද ගෝඨා එලවනවා සහතිකය. දේශපාලනයේ උපන් කපටියකු වන මහින්ද ඉදිරියේ ගෝඨා නාමල් තරම්වත් පරිණත නැති බව කිව යුතුය. මේ සියල්ල එකතු වී ඇති නිසා ගෝඨා අසරණයකු වී ඇත. ඔහුට යන්තමින් හෝ හයිය විය හැකිව තිබූ වියත් මගද දැන් යන එන මං නැති තැනට මහින්ද සහ බැසිල් විසින් පත් කොට ඇත. මේ ගෝඨාට කරන තරවටුවය. වඩා හිතුවක්කාරී වන්නට ගියහොත් අයියලා ගැන දන්නේ අපිට වඩා ගෝඨාමය. ගෝඨා ගෙදර සිටි අහිසංකම දරුවා නම් ඒ ගැන කවර කතාද? අද ගෝඨා නිකරුණේ හිනා වෙන්නෙක් බවට පත්ව ඇත. තුනෙන් දෙකක් ලබා ගන්නට ගෝඨාට නොව සක්කරයාට වුව බැරිය. මහින්දට තුනෙන් දෙකක් වුවමනාද නැත. දැන් ඇත්තේ ගෝඨාගේ ඡන්දය නොව මහින්දගේ ඡන්දය. එය පවත්වන්නේ මහින්දට ඕනෑ හැටියට මහින්දගේ කට්ටිය එක්කය. මේ බැසිල් එකතු කරන්නේ අගමැති මහින්දට වුවමනා පිරිසය. හෙට දවසේ අගමැති මහින්දගේ ආණ්ඩුවේ බැසිල් ප්‍රබලයෙකි. එවිට නැවත පුරුදු පරිදි ආණ්ඩුව මහින්ද සහ බැසිල්ගේය. ගෝඨාට ආරක්ෂක ලේකම්කමේදී කළ වැඩ ටිකවත් ඉදිරියේදී කිරීමට නොහැකි වනු ඇත. ආරක්ෂක ඇමති පත්කිරීමට ගෝඨාට මෙවර බැරි වුවද මහ මැතිවරණයෙන් පසු මහින්ද එය සියතට ගනු ඇතිය. එවිට ගෝඨාට සිරිසේනගෙන් උපදෙස් ගන්නා තැනට පත්වනු ඇත. මහින්ද බැසිල් දුන් බිල්ල ගෝඨා බව දැන් පැහැදිලිය. දැන් තරම් හෝ පාර්ලිමේන්තු බලයක් ඉදිරියේදී ගෝඨාට නැතිවනු ඇත. අගමැති ඉවත් කළද රනිල් මෙන් මහින්දට යටත් කළ හැකිය. ඒවාට අවැසි උපදෙස්ද කල්තියාම ලැබුණි. ගෝඨාත් සිරිසේන ගාණටම වැටුණි. ඊට වඩා අසරණ වනුයේ මිස වෙන කිසිවක් සිදු නොවේ.


ඡන්දය කල් දැමීම


මොන උවදුරු ආවත් මේ මොහොතේ ඡන්දය ඇත්තේ තමන්ට බව අගමැති මහින්දගේ විශ්වාසයය. එය එසේය. එබැවින් ඔහු බලනුයේ කල්නෑර මේ බලය ලබාගැනීමය. කල්යන තරමට ඒ අය පිරිහෙන බව ඔවුහු දනිති. යහපාලනය ඡන්ද කල් දමා ඇණගත් හැටි මහින්ද දනී. ලංකාවේ මිනිසුන් වෙනස් වන්නේ විදුලි වේගයෙනි. තව මාස කිහිපයක් යන තැන ඔවුන්ගේ කැමැත්ත හීන විය හැකිය. මේ නිසා කොරෝනා අස්සේම ඡන්දය කරන්නට මහින්ද කැමතිය. මහින්ද දේශප්‍රිය ඉන්නේ මහින්දගේ මතයේමය. හෙට මහින්ද කිවහොත් මේ මහින්දද ඡන්දය කල් දමනවා ඇත. ඔහුගේ භාවිතාව දැන් පැහැදිලිය. හූල් සිටගෙන ඇත්තේ කොහිද? එහි අනෙක් අන්තය දේශප්‍රියය.


කෙසේ වෙතත් දැනට පවතින තත්ත්වය හමුවේ මැතිවරණය කල් දැමීම හොඳම දේ බව ඉතා ඉක්මනින් තහවුරු වනු ඇත. එය කොරෝනා විසින් තහවුරු කරනු ඇත. ඇත්තටම ජනතාවට දැන් වුවමනා මේ වසංගතයෙන් ගැලවීමය. ඉන්පසු ඡන්ද කළ හැකිය. ඒ නිසා ගෝඨා මැදිහත්ව ඡන්දය කල් දමා මේ උවදුරින් රට බේරා ගන්නට සම්පූර්ණ කැපවිය යුතුය. මෙම කොරෝනා ප්‍රශ්නයේදී ආණ්ඩු මැදිහත්වීම හැම අතකින්ම අසාර්ථකය. අද යහපාලනය මේ ලෙස ක්‍රියා කළේ නම් රාජපක්ෂ නඩය මේ අය විනාශ කරනු ඇත. මෙහිදී අසාර්ථකකමට හෝ වත්මන් විපක්ෂය එතරම් පහතට නොවැටීම හොඳය. පාස්කු ප්‍රහාරයත් සමග රටේ ආර්ථික මර්මස්ථාන යන්තම් ඔළුව උස්සාගෙන ආවා විතරය. එහෙත් කොරෝනා සමග ඔවුන් බිමටම සමතලා වන අයුරු පෙනේ. මේ වැටිල්ලෙන් ඔළුව එසවීම ලේසි නැත. සියල්ල කම්මුතුවීමේ ආරම්භය මෙය විය හැකිය. බැසිල් කල්තියාම ගෝඨාට ටර්මිනේටර් කිව්වේ ඒ නිසා විය යුතුය. ටර්මිනේටර් ගෝඨා නොව මහින්ද සහ බැසිල්ය. එහෙත් ගෝඨාට එය වැටහෙන විට සියල්ල කම්මුතුය.