නාලක ගුණවර්ධන

එඞ්වින් ආරියදාස (1922-2021) සූරීන්ගේ නික්ම යාම මෙරට ජනමාධ්‍යය ඉතිහාසයේ යුගයක අවසානය සනිටුහන් කළා යයි කිව හැකියි.

ශ‍්‍රී ලංකාවට දේශපාලන නිදහස ලැබී වසරක් ඇතුළත, 1949 මාර්තුවේ ලේක්හවුසියේ ජනමාධ්‍ය ජීවිතය ඇරඹූ ඔහු, දශක තුන හමාරක් සේවය කළ පසු සිය ඉනිම අවසන් කළත් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයෙන් කිසි දිනක විශ‍්‍රාම ගියේ නැහැ. එනිසා ඔහුගේ මාධ්‍ය මෙහෙවර වසර 70 කටත් වැඩි වුණා.

එයින් වසර හතළිහක් පුරා මා ඔහුගේ සෙවණේ දිරිගැන්වීම් සහ මගපෙන්වීම් ලද බව සිහිපත් කරන්නේ මහත් සේ කෘතවේදී ලෙසින්.

1981දී මා ඔහු මුලින්ම හඳුනා ගත්තේ පාසල් සිසුවකු ලෙස. මගේ මූලිකත්වය යටතේ කොළඹ ආනන්ද විදුහලේ සිසු පිරිසක් සංවිධානය කළ පාරිසරික සම්මන්ත‍්‍රණයක දේශනයක් පවත්වන්නට අප ඔහුට ඇරයුම් කළා. දෙස් විදෙස් මූලාශ‍්‍ර ඇසුරු කොට හොඳින් සූදානම් වී පැමිණි ඔහු, දැනුම සපිරි කතාවක් සිත්ගන්නාසුලූ විලසින් කළ සැටි මතකයි.

එදා පටන් ගෙවී ගිය 40 වසර පුරා මා ඔහුගෙන් ගුරුහරුකම් ලැබුවා. මෙරට ජනමාධ්‍ය වෘත්තියේ වෙනත් බොහෝ ජ්‍යෙෂ්ඨයන් මෙන් කුහක නොවී, උද්යෝගයෙන් සහ සුහදත්වයෙන් ඔහු නවකයන්ට අත හිත දුන් සැටි මා යළි යළිත් දුටුවා.

එසේම අතිශය නිහතමානී ලෙස ඔහු මගෙන්ද නව දැනුම විමසා තහවුරු කර ගත් අවස්ථා පසුකාලීනව තිබුණා. අප දෙදෙනා එකම සභාවේ, එකම ගුවන් තරංග ඔස්සේ හා එකම ප‍්‍රකාශනවල සහයෝගයෙන් සන්නිවේදන වැඩ කළා.

ආරියදාසයන් අනූවිය සපුරන්නට සති කිහිපයකට පෙර, 2012 ඔක්තෝබර් මාසයේ දිනෙක මා සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවක් වීඩියෝ ගත කළා. පැය දෙකකට අධික කාලයක් පුරා ඔහුගේ මාධ්‍ය ජීවිතය, මෙරට මාධ්‍ය ක්ෂේත‍්‍රය ගැන ඔහුගේ විග‍්‍රහය හා විද්‍යා සන්නිවේදනය ගැන අප කථාබහ කළා.

ඉංග‍්‍රීසි බසින් අප කළ සාකච්ඡාව සංස්කරණය කොට වීඩියෝ 3ක් හැටියට වෙබ් ගත කොට තිබෙනවා. එසේම එහි මුල් පිටපත Groundciews.orgට නම් වෙබ් අඩවියේ 2013 දී පළ වුණා.

https://goo.gl/WVMRp0

පහත හමුවන්නේ එම ඉංග‍්‍රීසි මුල් සාකච්ඡාවේ තෝරා ගත් කොටස් ඇසුරෙන් මා කළ සිංහල අනුවාදයයි. (පරිවර්තනයක් නොවේ!)

ඔබ වසර 35ක් ලේක්හවුස් ආයතනයේ සේවය කළා. පත‍්‍ර කලාවට යොමු වුණේ කොහොමද?

ඔව්, 1949 සිට 1985 දක්වා කාලයේ. මා ලේක්හවුසියට බැඳුණේ උපාධිධාරී තරුණයකු ලෙසයි. එහෙත් ඊටත් පෙර මා ලේක්හවුස් පත්තරවලට ලිපි ලියමින් සිටියා. මුල් වරට මගේ නම පත්තරයක පළවුණේ මට වයස 12 දී සිළුමිණේ (1933). කමලා ළමා සමාජයට මා ලිපියක් ලියුවේ එතරම් බාල වියේදී.

වෘත්තිය ලෙස පත‍්‍ර කලාවම තෝරා ගත්තේ ඇයි?


ලංකා විශ්ව විද්‍යාලයේ කලා උපාධියේ අවසන් පරීක්ෂණයට උත්තර ලියා මා උණවටුන ගමට ආපසු ගියා. මගේ පාසල වූ මහින්ද විද්‍යාලයේ ටික කලක් උගැන්වූවා.

නොබෝ දිනෙකින් රක්ෂණ සමාගමක තනතුරක් මට ලැබුණා, රියදුරකු හා වාහනයක්ද සමග. ඉන් එහාට ලොකු අරමුණු තිබුණේ නැහැ. ටික කලකින් ලේක්හවුස් අධිපති එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතා මට පණිවුඩයක් එව්වා. ලේක්හවුස් කර්තෘ මණ්ඩලයට බැඳෙන්න කියා. මා එය ගණන් ගත්තේ නැහැ. මාසෙකට පසු ඔහු යළිත් ඇරැුයුම් කළා.

මා එවකට නැවතී සිටියේ ගල්කිස්සේ බෝඩිමක. අසල්වැසියකු වූ මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් මා හඳුනාගෙන සිටියා. ලේක්හවුසියේ හිටපු කතුවරයකුද වූ ඔහු සමග මේ ගැන කථා කළා. සම්මුඛ සාකච්ඡුාවකට යන්නට ඔහු මා දිරිමත් කළා.

එස්මන්ඞ් වික‍්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡුාව අවසානයේ මට රැුකියාවක් දෙන බවත්, එවකට මට ලැබුණු වැටුපට වඩා ගෙවන බවත් කියා සිටියා. 1949 මාර්තු 3 වනදා මා ලේක්හවුස් රැුකියාව ඇරඹුවා.

ඔබට මුලින් භාර කෙරුණු වගකීම් වූයේ මොනවාද?

මට සිංහල – ඉංග‍්‍රීසි ද්විභාෂික හැකියාව තිබුණු නිසා දිනමිණ හා ඬේලිනිවුස් පත‍්‍ර දෙකේම කතුවරුන්ට මා හඳුන්වා දෙනු ලැබුවා. එවකට ඬේලිනිවුස් කතුවරයා ජයන්ත පද්මනාභ මහතා. දිනමිණේ කර්තෘ පියසේන නිශ්ශංක මහතා. දෙදෙනාම දක්ෂ පත‍්‍ර කලාවේදීන් මෙන්ම හසල විද්වතුන්.

අලූතෙන් නිදහස ලබා සිටි ලංකාවේ මාධ්‍යකරණය කෙසේ සිදු කෙරුණාද?


මා ලේක්හවුස් සිංහල හා ඉංග‍්‍රීසි කර්තෘ මණ්ඩල දෙකෙහිම සේවය කළා. ආසියාවේ පැරණිම ඉංග‍්‍රීසි පුවත්පත වූ ඔබ්සවර්හි විශේෂාංග ලේඛකයකු ලෙස ක‍්‍රියා කළා. ද්විභාෂික හැකියාව හා පුළුල් වූ දැනුමකින් පත‍්‍ර කලාවට පිවිසීම එකල අප බොහෝ දෙනෙකුට පොදු වූ සාධකයක්. නිදහස් ලංකාවේ අනාගතය පිළිබඳ සුභවාදී ආකල්ප හා පැතුම් අපට තිබුණා. ජාතිය ගොඩනැංවීම හා ලැබූ ස්වාධිපත්‍යය ප‍්‍රායෝගිකව තහවුරු කර ගැනීම ගැන හරවත් සංවාද එවකට පුවත්පත් හරහා සිදු කෙරුණා.

ඔබේ සමකාලීනයන් හා ජ්‍යෙෂ්ඨයන් ගැන මතකයන් මොනවාද?

මා පත‍්‍ර කලාව හරහා අපූරු චරිතයන් රැුසක් හඳුනා ගත්තා. දැවැන්තයන්ගේ සෙවණැල්ලේ සිට ඔවුන්ගෙන් උගත්තා. නිශ්ශංක මහතා බොහෝ දැනුම තිබූ, ඉතා නිහතමානී කෙනෙක්. දේශීය හැම දෙයක්ම අගය කළ අයෙක්. ඔහු දිනමිණ කතුවැකිය ලියා ටයිප් සෙටින් අංශයට දී ගාලූ මුවදොර පිටියේ ඇවිදින්නට යනවා. මාත් ඔහු සමග යන්නට පුරුදු වුණා. එතැන තිබූ කුඩා හෝටලයකින් කේක් කා, තේ බී අප ආපසු එන විට කතුවැකියේ සෝදුපත් සූදානම්.

සිංහල කලාවන් හා සාංස්කෘතික තොරතුරු හැකි තරම් ඉංග‍්‍රීසි පාඨකයන්ටත් ලියා දෙන මෙන් මා දිරිමත් කළේ (ආනන්ද කුමාරස්වාමි සූරීන්ගේ මුණුපුරකු වූ) පද්මනාභ මහතා.

මා හඳුනාගත් විශිෂ්ටතම කතුවරයෙකු වූයේ ඩෙන්සිල් පීරිස් මහතායි. වැඩට බැස්සාම කෑම බීම පවා අමතක වනවා. ඒ තරමට කැපවීමක් තිබුණා. පත‍්‍ර කලාව රටේ අනාගතයට කෙසේ දායක විය යුතුද යන්න ගැන හොඳ දැක්මක්ද ඔහු සතු වුණා. ද්විභාෂික දක්ෂයකු වූ ඔහු ඔබ්සර්වර් කතුවරයා වූ අතර කලක් (ලේක්හවුස් සවස පත‍්‍රය) ජනතා කතුවරයා ලෙසද ක‍්‍රියා කළා.

මා ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔබ්සර්වර් පත‍්‍රයද දහවල නිකුත් වන එකක් වුවත් පෙරවරු 10.30ට නිකුත් කිරීමට ඔහුට ඕනෑ වුණා. ඉතින් අප උදෙන්ම කාර්යාලයට එනවා. කතුවැකිය ලිවීම බොහෝ විට භාර වුණේ මටයි. ඔහුත් මාත් කථා කර එකඟ වන මාතෘකාවකට අනුව ශීඝ‍්‍රගාමීව මා කතුවැකිය ලියනවා. පිටුවක් ලියා හමාර වූ විට එය කියවමින්ම ඔහු මුද්‍රණ අංශයට යන්නේ අවශ්‍ය සංශෝධන කරමින්. ඔහු ආපසු කර්තෘ මණ්ඩලයට එන විට මා ඊළඟ පිටුව ලියා හමාරයි. අපි වැඩ කළේ හරියට රිලේ (සහය) දිවීමක් වගෙයි!

එවකට ඔබ වැන්නන් සතුව තිබූ ද්විභාෂා කුසලතාව නිසා පත‍්‍ර කලාවේ නිම්වලලූ පුළුල් වූවා නේද?

අප එවකට සිංහල හා ඉංග‍්‍රීසි පත‍්‍රවල සේවය කළේ අන්‍යොන්‍ය සුහදත්වය හා ගෞරවය පෙරටු කර ගෙනයි. බහු සාංස්කෘතික අපේ රටට එබඳු ප‍්‍රවේශයක් බෙහෙවින් අවශ්‍යයි. කනගාටුවෙන් කිවයුත්තේ අද පත‍්‍ර කලාවේ ද්විභාෂිකත්වය හමු නොවන බවයි.

ද්විභාෂිකත්වය යනු හුදෙක් දේශීය භාෂාවක් හා ඉංග‍්‍රීසිය මනාව හැසිරවිය හැකි වීම පමණක් නොවෙයි. භාෂාවට පදනම් වන සංස්කෘතීන්ට සමීප වීම හා සාංස්කෘතික විවිධත්වයන්ට ගරු කිරීමට ද එහි මූලික ගුණාංගයක්. තමන් ඉපදුණු සංස්කෘතිය පවත්වා ගන්නා අතරම සෙසු සංස්කෘතීන් හා හර පද්ධතිද ඇසුරු කිරීම හරහා අප වඩාත් පිරිපුන් පුද්ගලයන් බවට පත්වනවා. විශේෂයෙන් පත‍්‍ර කලාවේදීන් හා කතුවරුන් අතර මේ ගුණාංගය තිබීම වැදගත්. එසේ නොමැති වීම නිසා තමයි පටු විග‍්‍රහයන් හා සමාජය භේද බින්න කරන ආකල්ප අපේ මාධ්‍ය හරහා අද පැතිරෙන්නේ.

1950 හා 1960 දශකවල මෙරට පත‍්‍ර කලාවේ ප‍්‍රමුඛයෝ තම දේශීය අන්‍යතාව හා බහු සංස්කෘතික යථාර්ථය මනාව තුලනය කර ගත්තා. ඔවුන් සෙවණේ හැදුණු අපට තමා සහ අනෙකා (Us and Them) යැයි අපේම ජනයා බෙදා වෙන් කිරීමක් කිසිදා සිතට ආවේ නැහැ.

1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ අයට ඔබව වඩාත්ම මතක තිබෙන්නේ නවයුගය පත‍්‍රයේ කතුවරයා හැටියටයි. ඒ ගැන ආවර්ජනය කළ හැකිද?

ලේක්හවුස් ආයතනයේ සියලූම සිංහල හා ඉංග‍්‍රීසි පත‍්‍රවලට මා යම් අයුරකින් දායක වුණා. එහෙත් මගේ විචිත‍්‍රතම මතකයන් ඇත්තේ නවයුගය පත‍්‍රයේ කතුවරයා ලෙස ක‍්‍රියා කළ වසර කිහිපයයි (1978-1983).

සඟරාවක් ලෙස අරඹන ලදුව පසුව දෙසතියකට වරක් පළවන ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයේ පත‍්‍රයක් ලෙස පැවති නවයුගයට ආවේණික පෞරුෂයක් තිබුණේ නැහැ. එය සිසුන්ට දැනුම ගෙනෙන ප‍්‍රකාශනයක්ව තිබුණා. මා එහි කතුවරයා වූ පසු නව දැනුම බෙදා දීම ඉලක්කය කර ගත්තා. ඒ සඳහා සරල බසින්, සිත්ගන්නාසුලූ ශෛලීන්ගෙන් දෙස් විදෙස් තොරතුරු විග‍්‍රහයන් ඉදිරිපත් කිරීම ඇරඹුවා.

නවයුගය බොහෝ කලක් කියවූ ළමා හා තරුණ පාඨකයකු වූ මට ඒ යුගය හොඳට මතකයි. අද මෙන් ඉන්ටනෙට් නොතිබි එවකට ඔබ එය කළේ කොහොමද?

මා ඉංග‍්‍රීසියෙන් පළවූ පුවත් සඟරා (ටයිම්, නිව්ස්වීක්) නිතිපතා කියවූවා. තානාපති කාර්යාලවලින් බෙදාහරින තොරතුරු පරිශීලනය කළා. අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන NASA සමග සන්නිවේදනය කොට අලූත්ම තොරතුරු ගෙන්වා ගත්තා.

ලෙහෙසි නොවූවත් ඕනෑකම හා උද්යෝගය සමගින් මා නව දැනුම සොයා ගියා. මුලින් මා දැනුවත් වී ඉන් පසු එය සරල සිංහලෙන් අපේ පාඨකයන් සමග බෙදා ගත්තා. අලූත් දැනුම සොයා ගැනීම දුෂ්කර වූ එවකට නවයුගය ඉටු කළ මෙහෙවර ගැන ඔබ වැනි පාඨකයන් තවමත් කථා කරනු ඇසීමම මට මහත් සතුටක්!

ඔබ සිංහල භාෂාව, සභ්‍යත්වය හා ඉතිහාසය ගැනද තොරතුරු ගවේෂණය කළ, නව මත ඉදිරිපත් කළ අයෙක්. ඒ ගැන ටිකක් කිව්වොත්?

පෙරදිග හා අපරදිග සියලූ චින්තන සම්ප‍්‍රදායයන් හා දැනුම් සම්භාරයන් මා ගවේෂණය කළා. ඉතිහාසය, සංස්කෘතිය හා කලා ශිල්ප ගැන මා කවදත් උනන්දුයි. කාලයක් මා සිළුමිණ පත‍්‍රයේ ශාස්ත‍්‍රීය අතිරේකය සංස්කරණය කළා. අපේ විද්වතුන්ගේ පර්යේෂණාත්මක ලිපි සිංහල පාඨකයන් අතර ගෙන යාම අරමුණ වුණා.

උදාහරණයකට මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සඳකඩ පහන ගැන අර්ථකථනයක් ඉදිරිපත් කරමින් ඉංග‍්‍රීසියෙන් විද්වත් සඟරාවකට ලියා තිබූ ලිපි මා ඔහුගේ අවසර ඇතිව සිංහලට පෙරළුවා. එවකට එවන් ලිපි අගය කළ පාඨක පිරිසක්ද සිටියා. ඒත් අද එවැනි සාරගර්භ ලිපි පත‍්‍රවල පළවන්නේ කලාතුරකින්. ඉඳහිට පළ වූවත් ඒ හරහා ශාස්ත‍්‍රීය සංවාද ගොඩ නැගෙන්නේ නැති තරම්.

අපේ ඉතිහාසය හා සභ්‍යත්වය ගැන ආඩම්බර වූවාට මදි. එය විචාරශීලීව ගවේෂණය කරන පර්යේෂකයන් හා ඔවුන්ගේ ලිපි කියවන කුතුහලයෙන් යුත් පාඨක පිරිසක් අවශ්‍යයි. මුද්‍රණ තාක්ෂණය දියුණු වී පත‍්‍ර හා සඟරා වඩාත් සිත්කලූ නිමාවකින් අප අතරට ආවත් මීට පරම්පරාවකට දෙකකට පෙර තිබූ දැනුම් පිපාසය හා රට ලෝකය ගැන අසීමිත කුතුහලය අද පෙනෙන්නට නැහැ. මේ ගැන මා නිතර සිතනවා.

දැනුම සොයා යන්නට රිසි නම් මූලාශ‍්‍ර හා තාක්ෂණයන් අද බහුලයි නේද?

ඇත්තටම අද අප අත් විඳින පරස්පර විරෝධතාව එයයි. මතුපිට පෙනුම හා අලංකාරය වැඩි වී ඇතත් මුද්‍රිත මාධ්‍ය හරහා හරවත් අන්තර්ගතය සන්නිවේදනය වන්නේ අඩුවෙන්. එසේම එබදු අන්තර්ගතය ඉල්ලා සිටින පාඨක පිරිසද සීමිතයි.

ඔබේ දශක හතක පමණ මාධ්‍ය ජීවිතය පදනම් කර ගෙන විග‍්‍ර‍්‍ර‍්‍රහ කළොත්, මෙරට මුද්‍රිිිත මාධ්‍ය කලාවේ ස්වර්ණමය යුගය ලෙස ඔබ සලකන්නේ කුමන වකවානුවද?

ඉතා පැහැදිලිිව මට කිවහැක්කේ ඒ 1960 දශකය බවයි. නව දැනුම සොයා යාමේ ඕනෑකමක් 1960 දශකයේ අපට දැකිය හැකි වුණා. සැබැවින්ම රටේ හා ලෝකයේ කුමක් සිදුවන්නේද හා එයට හේතු මොනවාදැයි තේරුම් ගන්නට දැනුම් පිපාසයක් සමාජයේ ප‍්‍රබලව මතුව ආවා.

එයට නිසි ප‍්‍රතිචාර දක්වන්නට එවකට සිටි පත‍්‍ර කතුවරුන් හා පත‍්‍රකලාවේදීන් සමත් වුණා. තාක්ෂණය අද තරම් නොදියුණු එවකට පුවත්පත් හා පාඨකයන් අතර සමීප සබඳතා ගොඩනැඟුණා. මේ මහජන විශ්වාසය හා ළබැඳියාව හරහා සමාජ අභිවෘද්ධියට වැදගත් බොහෝ දේ කිරීමට පත්තරවලට හැකියාව ලැබුණා.

මාධ්‍ය කර්මාන්තයේ පැවැත්මට මෙම සමාජ පිළිගැනීම අත්‍යවශ්‍යයි. කොපමණ විකිණුනත්, කොපමණ තරබාරු වුවත් මහජනයා පිළි නොගන්නා, නොතකන පත්තරයකින් වැඩක් නෑ!

කුමන හෝ හේතූන් නිසා එම සමීප සබැඳියාව 1970 දශකයේ ටිකෙන් ටික ගිලිහී ගියා. ඉන් පසු ඒ තත්ත්වය යළි උදාවූයේ නැහැ. මෙයට හේතු අපට විවාද කළ හැකියි.

පාඨකයෝ ඩිජිටල් මාධ්‍යයට සංක‍්‍රමණය වන නිසා දියුණු රටවල පත්තර වැසී ගෙන යනවා. මුද්‍රිත මාධ්‍යයේ අනාගතය කෙසේ වනු ඇතිද?

කඩදාසිවල මුද්‍රණය වන පත්තර තව කොපමණ කලක් අපේ වැනි රටවල පවතීද යන්න නිශ්චිතව කිව නොහැකියි. දැනටමත් පුවත් වාර්තාකරණය බොහෝ දුරට වෙබ්ගත වෙලා. ඩිජිටල් පුවත් සේවා ගැන මීට දශක තුනකට පෙර අප අනාගතවේදීව කී බොහෝ දේ සැබෑ වෙලා. ලොව වෙනත් රටවල මුද්‍රිත පුවත්පත් ටිකෙන් ටික අභාවයට යනවා. පුවත්පත් අප අතට එන්නේ කඩදාසිවලද වෙබ් හරහාද යන්නට වඩා එහි අන්තර්ගතයේ හරවත් බව හා සමාජයීය අදාළත්වය ගැන අප වැඩි අවධානයක් යොමු කළ යුතුයි. තාක්ෂණික ප‍්‍රවාහයන්ට එරෙහි වනු වෙනුවට ඒවා නිසි ලෙස සේවයට යොදා ගත හැකියි.

ඔබ කියන්නේ පත්තර කර්මාන්තයේ ”ළඟ එන අභාවය” ගැන සිතනවාට වඩා මාධ්‍ය කලාවේ මූලධර්මවලට අප යළිත් යොමු විය යුතු බවද?

ඇත්තටම ඔව්! මාධ්‍ය පරිභෝජනය කඩදාසියේ වුවත්, ගුවන් තරංග හරහා වුවත්, වෙබ්ගතව වුවත් මාධ්‍ය සුරැකිය යුතු මූලික හරයන් තිබෙනවා. නිවැරදි බව, සමබර බව, බහුවිධ පැතිකඩ විග‍්‍රහ කිරීම හා ආචාර ධර්මීය වීම ඉතා වැදගත්. මේ හරයන් නොරකින මාධ්‍ය වෙළෙඳපොළ ප‍්‍රවාහයන් හරහා වඳ වී යාම වඩා හොඳයි!
ඉතිරි කොටස ලබන සතියේ