ක්‍රිෂාන් සිරිවර්ධන


කොවිඞ්-19 ලොව පුරා ව්‍යාප්තවීමත් සමගම එය ලොව පුරා ජනමාධ්‍යවල ප්‍රධානතම මාතෘකාව බවට පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් අන්තෝනියෝ ගුටරෙස් මෑතකදී පැවසුවේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය මුහුණදෙන භයානකම තත්ත්වය කොවිඞ්-19 වසංගතය බවයි. එවන් වාතාවරණයක් තුළ මාධ්‍ය මගින් ඊට විශාල ප්‍රචාරයක් ලබාදීම පුදුමයට කරුණක් නොවේ. එසේම වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා ජනතාවට විශාල වගකීමක් පැවරෙන මෙවන් හදිසි අවස්ථාවක, මාධ්‍ය මගින් ඒ පිළිබඳව ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමද අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඞ්-19 පිළිබඳව වාර්තාකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් ඉදිරිපත් කර තිබේ. එසේ ඉදිරිපත් කර තිබෙන මූලික කරුණු කිහිපයක් පහත දැක්වේ.


■ වාර්තාකරණයේදී කොවිඞ්-19 අසාධනය වූවන්, ප්‍රතිකාර ලබන්නන් හෝ කොවිඞ්-19 ආසාධනය වී මියගිය පුද්ගලයන් එලෙසින් හැඳින්විය යුතු අතර කිසිසේත් කොවිඞ්-19 ට ගොදුරු වූවන් (victims) යැයි සඳහන් නොකළ යුතුය.


■ කොවිඞ්-19 වැළඳී ඇතැයි අනුමාන කෙරෙන අය එලෙසින් හැඳින්විය හැකි වුව ද වෛරසය වැළඳී ඇතැයි සැකකරන්නන් හෝ සැකකරුවන් (suspects) යැයි සඳහන් නොකළ යුතුය.


■ අනෙක් අයට “වෛරසය බෝකරන්නන්” වැනි යෙදුම් භාවිත නොකළ යුතු අතර, වෛරසය ආසාධනය වූවන් අපරාධකරුවන් යයි හැඟෙන වාර්තාකරණයෙන් වැළකිය යුතුය.


■ කොවිඞ්-19 අවදානම පිළිබඳව විද්‍යාත්මක දත්ත හා නිල සෞඛ්‍ය අංශවලින් ඉදිරිපත් කෙරෙන නවතම තොරතරු ඉදිරිපත් කළ යුතු අතර, තහවුරු නොවූ දෑ, කටකතා හා අනවශ්‍ය ලෙස බිය ඇතිකරන තොරතුරු ඉදිරිපත් නොකළ යුතුය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන “ආචාර ධාර්මික මාධ්‍ය ජාලයේ” (Ethical Journalism Network) සංස්කාරිකා හැනා ස්ටෝර්ම් විසින් කොවිඞ්-19 වෛරස අවධියේ මාධ්‍යවේදීන් විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම මෙසේ සඳහන් කරයි.


“ජනතාව අනවශ්‍ය ලෙස බියට හා උද්වේගයට පත්වන රූප රාමු, ජායරූප ආදිය පළ නොකළ යුතුය. උදාහරණයක් ලෙස සුපිරි වෙළෙඳසල්වල හිස් රාක්ක ආදිය පෙන්වීම මගින් ජනතාව තව තවත් තිගැස්මට ලක්විය හැකිය. වාර්ගිකත්වය අනුව රෝගීන් සඳහන් නොකළ යුතුය. ආගම, ජාතිය හෝ වෙනත් සාධක මත රෝගීන් හැඳින්වීම නොකළ යුතුය. එමෙන්ම වෛරසයේ ආරම්භය සිදුවූයේ කුමන ප්‍රදේශයෙන්ද යන්න පුන පුනා සඳහන් කිරීමෙන් වැළකිය යුතුය. වෛරසයේ බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ අනන්‍යතාවන් ආරක්ෂා කළ යුතුය. ඔවුන්ගේ නම්, ඡායාරුප හෝ අනන්‍යතාව හෙළිවන කිසිදු තොරතුරක් ඉදිරිපත් නොකළ යුතුය.


ඉතා විශාල වශයෙන් දුස්තොරතුරු ව්‍යාප්ත වන නිසා, ඉතා සුපරීක්ෂාකාරීව තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
සැමවිටම විද්වත් මත ජනතාවට ඉදිරිපත් කළ යුතු අතර, විද්‍යාත්මක අනාවරණ හා අවවාද පවා නිරන්තරව වෙනස්වන නිසා යාවත්කාලීන වීම වැදගත් වේ.”


කොවිඞ්-19 වෛරසය හා ලොව පුරා මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය වාර්තා කිරීමේදී එවැනි ආචාර ධර්ම රකින හා සදාචර සම්පන්න භාවිතයක් සමාජය ඉල්ලා සිටියදී අපගේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය භාවිතය ගැන කිව හැක්කේ කුමන්ද? එය කෙතරම් ආචාර්ධාර්මික භාවිතයක්ද? මේ ලිපිය ලියන මොහොත වන විට ශ්‍රී ලංකාවෙන්ද රෝගීන් 151ක් හා මරණ 03ක් වාර්තා වී තිබෙන හා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ මෙරට ජනමාධ්‍ය මගින් කොවිඞ්-19 වාර්තාකරණය සිදුකරන්නේ කුමනාකාරයෙන්ද යන්න විමසා බැලීම ඉතා වැදගත් වන්නේ එනිසාවෙනි.

ඇඳිරි නීතිය පනවා ඇති තත්ත්වයක් තුළ මුද්‍රිත මාධ්‍ය බොහොමයක් මුද්‍රණ කටයුතු නවතා ඊ-පුවත්පත් වෙත යොමුවී ඇත. එනිසා ජනතාවට වැඩි වශයෙන් තොරතුරු ලබාගන්නට සිදුව ඇත්තේ විද්‍යුත් හා සමාජ මාධ්‍ය මගිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෙසු ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන මාර්ගෝපදේශන හා ආචාර ධාර්මික වාර්තාකරණය පිළිබඳව කෙතරම් කරුණු දක්වා තිබුණද මෙරට මාධ්‍ය ආයතන බොහොමයක් ඒවා එතරම් මායිම් කරන බවක් නොපෙනේ. මෙරට යම් පුද්ගලික ආයතනවල මාධ්‍යවේදීන් පොලිසීය සමග කැමරා ආම්පන්න රැගෙන යමින් මාධ්‍ය පොලිස්කරුවකුගේ භූමිකාව රඟදක්වන බව පෙනේ. දැනට දින කිහිපයකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය පොලීසිය හා සෙසු ආයතන වෙත දැනුම් දුන්නේ මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අපහසුතාවට පත් නොවන ලෙසට කටයුතු කළ යුතු බවයි. මුහුණු ආවරණ පැළඳීම මේ මොහොතේ ආරක්ෂාව පැත්තෙන් වැදගත් පියවරකි. නමුත් එසේ මුහුණු ආවරණය නොකළ පුද්ගලයන්ට පොලීසිය තරවටු කරන විට මාධ්‍ය එම පුද්ගලයන්ගේ අනන්‍යතාවන් හෙළිකිරීම කිසිසේත් ආචාරධාර්මික වාර්තාකරණයක් නොවේ. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යම් නිවසක් පරීක්ෂා කිරීමට යන විට මාධ්‍යකරුවන් එහි ගොස් එම නිවෙස් ලෝකයට නිරාවණය කිරීම නිතර දක්නට ලැබේ. මෙවන් තත්ත්වයකදී පවා පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් මාධ්‍යකරණයේ නිරතවීම වගකීමක් වන්නා සේ ම ඉතා වැදගත් වේ.


මෙරට රූපවාහිනී නාලිකා බටහිර රටවල කොවිඞ්-19 නිසා සිදුවූ මරණ පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ ක්‍රිකට් තරගයක ලකුණු පුවරුව වාර්තා කරනවා මෙන් සංඛ්‍යාවන් අතිශය උත්කර්ෂයට නංවමිනි. මේ පිළිබඳව ඉතා සියුම්ව නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේ ඊනියා බටහිර විරෝධයක ලක්ෂණද මෙම ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ ගැබ්වී ඇති බවය. එක් රූපවාහිනී නාලිකාවක් වරෙක සඳහන් කළේ “ඉතාලිය මේ වන විට මරණ ——- ප්‍රමාණයක් වාර්තා කිරීමට සමත් වේ” යනුවෙනි. ඉන් කියවෙන්නේ ඉතාලිය මරණ වැඩි කර ගැනීමට මහන්සි වන බවකි. කොවිඞ්-19 නිසා මරණ සිදුවීම කිසිවකු විසින් සිතා මතා සිදුකරන ඒවා නොවේ. එනිසා එම වාර්තාකරණ සංයමයකින් සිදුකළ යුතුය.


පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් දක්නට ලැබුණු බරපතළම තත්ත්වය නම් වාර්ගික අනන්‍යතා මත රෝගීන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමයි. ඉතාලියේ සිට මෙරට පැමිණ සැඟවුණු හෝ රාගමදී තමන්ට කොවිඞ්-19 වැළඳී ඇති බව දැන දැනම වසන් කළ අයගේ වාර්ගික අනන්‍යතා හෙළි නොකළ මාධ්‍ය, අටලුගම ආසාදිතයා මුස්ලිම් අයකු බව වාර්තා කළේය. ආසාදිත පුද්ගලයන් මුස්ලිම් බව ඍජුව ප්‍රකාශ නොකළ මාධ්‍ය පවා ඉතා සූක්ෂ්ම ලෙස මුස්ලිම් බවට හැඟවෙන අයුරින් වාර්තාකරණ සිදු කළේය. ජාතික පුවත්වත් යැයි තමන්ව හඳුන්වා ගන්නා පුවත්පත් පවා “මුස්ලිම් රෝගියෙකු වාර්තා විය” ආදී වශයෙන් සඳහන් කළ අවස්ථා දක්නට ලැබුණි.


මෙය පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට යම් යම් මාධ්‍ය ආයතන හැසිරුණු ආකාරයේම තවත් ස්වරූපයකි. මෙහි මෙතෙක් වූ උච්චතම අවස්ථාව සටහන් වූයේ එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක අතරමැද විවේකය අතරතුරදී එහි නිවේදකයා ප්‍රකාශ කළ වර්ගවාදී අදහස් ඔවුන්ගේම අත්වැරදීමකින් සමාජයට නිරාවරණය වීමත් සමගය. වැඩසටහනේදී එයට සහභාගී වූ දේශපාලනඥයෙක් ඉතා පැහැදිලිව රෝගීන්ගේ වාර්ගික අනන්‍යතා හෙළිවන තොරතුරු ඉදිරිපත් කළේය. විරාමයේදී නිවේදකයා පැවසුවේ “එලෙසින් ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීම සඳහා ඔබ මට ගාණක් ලබා දිය යුතුයි” යනුවෙනි. එමෙන්ම එක්තරා සුළුතර ජනවාර්ගික පිරිසකට මාධ්‍ය මගින් ප්‍රහාර එල්ල කළ යුතු බව නිවේදකයා සඳහන් කළේය.
මෙවැනි හැසිරීම් මගින් මාධ්‍ය සතු න්‍යාය පත්‍ර කෙතරම් අශිෂ්ට අශීලාචාර ඒවා ද යන්න සමාජයට නිරාවරණය වුවද ඔවුන් සිය කාර්ය නිර්ලජ්ජීව, සුපුරුදු පරිදි ඉදිරියටත් කරගෙන යනු ඇත. මෙවැනි ආචාර ධාර්මික නොවන මාධ්‍ය භාවිතයන්ට එරෙහිව සමාජ කතිකාවක් ඇති කිරීමට අප අපොහොසත් වුවහොත් කොවිඞ්-19 ට වඩා බරපතළ මාධ්‍ය වෛරසයක් මෙරට සමාජ දේහය පුරා උඩුදුවනු නිසැකය.