විජයානන්ද ජයවීර

(මානව හිමිකම් කවුන්සිල යෝජනාව පිළිබඳ සාකච්ඡුාවේදී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ආරාධනයෙන් 21/03/2021 දින කළ මැදිහත්වීම) එක්සත් ජාතීන් විසින් සම්මත කරගත් විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනයේ (Universal Declaration of Human Rights) ඉතිහාසයක් පිළිබඳ 2012 මම පොතක් පළ කළා. එහි නම ‘නියත විවරණය’ – මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ කතන්දරය. ප‍්‍රකාශනය රාවය ප‍්‍රකාශකයෝ. මානව හිමිකම් මොනවාද? ඒවා සම්මත වුණේ ඇයි? ඒවා ප‍්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රටක් වශයෙන් වගේම පුද්ගලයන් වශයෙන් අපට වගකීමක් තියෙන්නේ ඇයි? යන කාරණා සම්බන්ධයෙන් එකී ඉතිහාසය ඇසුරෙන් මේ සාකච්ඡුාවට වැදගත් වන කරුණු කිහිපයක් මතක් කරන්නයි මම අදහස් කරන්නේ. මීට වසර 72කට පෙර 1948 දෙසැම්බ්ර් 10 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් විසින් සම්මත කරගත් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ එන වගන්ති 30ක මනුෂ්‍යයන් වශයෙන් අප විසින් ප‍්‍රවර්ධනය කොට පිළිපැදිය යුතු මානව හිමිකම් හිමිකම් ලයිස්තුව අඩංගුයි:

මේ විශ්ව ප‍්‍රකාශනයේ පූර්විකාවට පසුව එන පළමුවෙනි වගන්තියේ සඳහන් වන්නේ මෙහෙමයි. ”සියලූ මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත්තෝය. අභිමානයෙන් සහ හිමිකම්වලින් එක සමාන වන්නෝය. යුතු අයුතුකම් පිළිබඳ හැඟීමෙන් සහ හෘදසාක්ෂියෙන් සම්පන්න වූවෝය. මනුෂ්‍යයෝ ඔවුනොවුන්ට සැලකිය යුත්තේ සහෝදරාත්මක ජීවගුණයෙනි.” දෙවෙනි වගන්තියෙන් ”මේ ප‍්‍රකාශනයේ සඳහන් වෙන මානව හිමිකම් ජාති, වර්ණ, ලිංග භේදය, භාෂාව, ආගම, දේශපාලන හෝ අනිකුත් මතිමතාන්තර, වත් පෙහොසත්කම් නොතකා හැම කෙනෙකුටම සමානව උරුම බවද, රටක් ස්වාධීනද යටත්ද යන්න නොතකා එම රටේ හැම පුරවැසියෙකුටම මෙකී හිමිකම් අයත් වන බව” ද මතක් කරනවා. ඉන්පසු එන වගන්ති 30න් මේ මානව හිමිකම් මොනවාද යන්න විස්තර කෙරෙනවා. ඒ අනුව ලූහුඬින් සඳහන් කළොත් මානව හිමිකම් යනු:- මිනිසෙක් වශයෙන් හැම පුද්ගලයෙකුටම තම ජීවිතයට, නිදහසට හා ජීවිතාරක්ෂාවට ඇති අයිතිය, සිය අදහස් ප‍්‍රකාශ කිරීමට හා භාෂණයට ඇති අයිතිය – ඕනෑම මාධ්‍යයක් ඔස්සේ තොරතුරු දැනගැනීමට හා බෙදා ගැනීමට ඇති නිදහස – තමන් අභිමත මතයන් දැරීමට, සම්භාෂණයට, එක්රැස්වීමට හා ගමනක් බිමනක් යාමට ඇති නිදහස – නිදහස් චින්තනයකට, හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමට හා තමන්ට අභිමත ආගමක් විශ්වාස කිරීමට ඇති නිදහස – වද හිංසනයට, අමානුෂික හෝ ආත්ම ගෞරවය කෙලෙසනසුලූ සැලකිලිවලට හා දඬුවම්වලට භාජනය නොවීමට ඇති අයිතිය – වහල්භාවයට පත්වීමෙන් තොරව වීසීමට ඇති නිදහස – නීත්‍යනුකූල නොවන ලෙස හෝ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට පත් නොවීමට ඇති අයිතිය. – සිය පුද්ගලිකත්වය, පවුල, වාසස්ථානය හා ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් අන්‍යයන්ගේ අත්තනෝමතික මැදිහත්වීමකින් තොරව ජීවත්වීමට ඇති අයිතිය – නීතිය ඉදිරියේ සමාන සැලකිලි සහ රැකවරණය ලැබීමේ අයිතිය – සාධාරණ හා ස්වාධීන වූ අධිකරණයක විනිශ්චයකට පමණක් පාත‍්‍රවීමේ අයිතිය – පරිපීඩනයෙන් මිදීම පිණිස විදේශයක අභිමත රක්ෂස්ථානයක් සොයා යෑමේ අයිතිය ”නමකට හා ජාතිකත්වයකට හිමිකම් කීමේ අයිතිය- මනුෂ්‍යන්ගේ අභිමානයට හා සමානාත්මතාවට සරිනොවන අඩුසැලකිලි දැක්වීම්වලට භාජනය නොවී සිටීමේ අයිතිය – අභිමත පරිදි ඡන්දය පාවිච්චි කිරීමේ හා පොදු කටයුතුවල නිරත වීමේ නිදහස – හැකි ඉහළම මට්ටමේ මානසික හා ශාරීරික සෞඛ්‍යයකට ඇති අයිතිය- සුදුසු අධ්‍යාපනයකට ඇති අයිතිය – සාධාරණ හා යහපත් කොන්දේසි මත රැකියාවක නියැලීමට ඇති අයිතිය – ප‍්‍රමාණවත් ආහාර, ඇඳුම්, නිවාස පහසුකම් සහ සමාජ ආරක්ෂණය සඳහා ඇති අයිතිය – සංස්කෘතික පරිපෝෂණයට හා මනා ප‍්‍රවර්ධනයකට ඇති අයිතිය සහ තම හිමිකම් හා නිදහස සාක්ෂාත් කරගත හැකි සමාජමය හා ජාත්‍යන්තර රටාවකට ඇති අයිතිය – මේ මානව අයිතිවාසිකම් පරිපූර්ණව භුක්ති විඳීමේ හැකියාව මිනිසුන්ට ලබාදීම රජයක මූලික වගකීමයි. මේ අන්දමට මානව හිමිකම් නිශ්චිතව තීරණය කර සම්මත කර ගැනීමට සිදුවුණේ ඇයි?

මානව හිමිකම් පිළිබඳ කතිකාවට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. උදාහරණ වශයෙන් වහලූන් වශයෙන් යොදා ගැනීමට මිනිසුන් විකිණීමට එරෙහිව 18 වන සියවසේ ඇතිවූ ව්‍යාපාරය. බි‍්‍රතාන්‍යයේ ආධිපත්‍යට එරෙහිව සිදුවූ ඇමෙරිකානු විප්ලවයේ ප‍්‍රතිඵලයක් ලෙස 1776 නිදහස පිළිබඳ අමෙරිකානු ප‍්‍රකාශනය American Declaration of Independence සහ ප‍්‍රංශ විප්ලවයේ ප‍්‍රතිඵලයක් ලෙස 1789 මිනිසාගේ අයිතින් පිළිබඳ ප‍්‍රංශ ප‍්‍රකාශනය French Declaration of the Rights of Man හරහා මතු වූ අයිතිවාසිකම් කතිකාව දැක්විය හැකියි. එහෙත් පරිපූර්ණ ලෙස වර්තමානයේ පවතින අන්දමින් මානව අයිතිවාසිකම් මොනවාද යන්න තීන්දු වුණේ Universal Declaration of Human Rights විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනය මගින්. ඒ සම්බන්ධයෙන් ඇති වූ වාද විවාද මගේ ‘නියත විවරණය’ නමැති පොතේ දීර්ඝ ලෙස විස්තර වෙනවා. විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනය බිහිවීමේ ආසන්නම හේතුව දෙවැනි ලෝක මහා යුද්ධයේ අවසානයේ අනාවරණය වුණු 1933 සිට 1945 දක්වා අවුරුදු 12ක් ජර්මනියේ ආඥාදායක පාලකයාව සිටි හිට්ලර් සහ ඔහුගේ සහචර නාසිවාදීන් විසින් කරන ලද ඉතාමත්ම අමානුෂික නොමිනිස් කුරිරුකම් සහ සමූල ජනඝාතය හෙළිවීම නිසා ශිෂ්ට සමාජය තුළ ඇතිවූ බරපතළ කම්පනයයි. පළමුවෙනි ලෝක මහා යුද්ධයෙන පැරදී මානසිකව වැටි සිටි ජර්මනිය නැවත කෙළින් කර ගැනීම සඳහා ඇති කරගත් හිට්ලර්ගේ ජර්මන් ජාතිවාදය ජර්මන්වරුන් සුපිරි ආර්ය වංශික වර්ගයට අයත්යැයි ගොඩනගා ගත් විශ්වාසයක් පදනම් කොට ඇති වූවක්. හිට්ලර්ගේ දේශපාලන පක්ෂය හැඳින්වුණේ නැෂනල් සෝෂලිස්ම් (ජාතික සමාජවාදී) හෙවත් නාසි (Nazi) යන නමින්. නාසිවාදී දේශපාලන දර්ශනයේ පදනම වුණේ ආර්ය ජාතිකයන් යැයි හිට්ලර් විසින් නාමකරණය කළ ජන කොටස් හැරෙන්න අනෙකුත් ජාතීන්ට අයත් මිනිසුන් මෙලොවින් තුරන් කළ යුතුයැයි ප‍්‍රශ්න විරහිතව විශ්වාස කිරීමයි. හිට්ලර්ගේ Mein Kampf හෙවත් ‘මගේ සටන’ නමැති කෘතියේ ‘ජාතිය හා වර්ගය’ යනුවෙන් නම් කළ 11 වැනි පරිච්ඡේදයේ එන අන්දමට සුපිරි ආර්ය ජාතීන්ට අයත් වන්නේ ජර්මානු, ස්කැන්ඩිනේවියානු, නෙදර්ලන්ත, එංගලන්ත හා නෝර්වේ ජාතිකයන් පමණයි. ඒ හැර හැන්ස් වර්ගයට අයත් චීනුන් සහ ජපන් ජාතිකයන් පෙරදිග ආර්යයන් වශයෙන් සැලකුණා. ඊට අතිරේකව එංගලන්ත ජාතිකයන් නොවන බි‍්‍රතාන්‍යයන් (අයිරිෂ්, ස්කොටිෂ්) ප‍්‍රංශ ජාතිකයන්, ඉතාලිය සහ මධ්‍යධරණී මුහුද අවට වැසියන් සහ ඉරාන පර්සියානු ජාතිකයන් සැලකුණේ දෙවැනි මට්ටමේ ආර්යන් ලෙස. ඒ හැරෙන්නට පෝලන්ත ජාතිකයන්, ස්ලාව් ජාතිකයන්, රොමානි ජිප්සීන් සහ යුදෙව්වන් හැඳින්වුනේ මිනිසුන් වශයෙන් නොව අර්ධ මනුෂ්‍යන් වශයෙනුයි. කළු ජාතිකයන් ද සැලකුණේ අර්ධ මනුෂ්‍යයන් ලෙසයි. මේ අනුව අවුරුදු දහසක් පවතින සුපිරි ආර්ය ජාතියක් ගොඩනැගීමට නම් මේ අර්ධ මනුෂ්‍යයන් මිහිපිටින් තුරන් කළ යුතුයැයි හිට්ලර් සහ ඔහුගේ සගයන් විශ්වාස කළා. යුරෝපයේ විසූ යුදෙව් ජාතිකයන් කෙරෙහි විශේෂ වෛරයක් නාසිවාදයේ ගැබ්ව තිබුණා. අනෙකුත් ජනවර්ග සමූල ඝාතනය කොට සුපිරි ආර්ය ජාතියක් ගොඩනැගීම හුදෙක් විශ්වාසයක් විතරක් නොවෙයි. දේශපාලන වැඩපිළිවෙළක්. ඒ අනුව හිට්ලර් ජර්මනියේ නීති පද්ධතිය වෙනස් කළා. (උදාහරණ වශයෙන් ආවේනික රෝගවලින් පෙළෙන දරුවන්ගේ ජීවිත පැවැත්ම වළක්වන 1933 පැනවූ නීතිය, ආර්යන් සහ ආර්ය නොවන ජාතීන් අතර ආවාහ විවාහ තහනම් කිරීමේ නීතිය වැනි නීති සලකන්න පුළුවන්. හිට්ලර් බලයට පත්වුණේ විශාල ජර්මන් ජන වරමකින්. තමුන්ගේ ජර්මානු ආර්යෝත්තමවාදී වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට නම් පළමුවෙන් යුරෝපය පුරා ජර්මානු ආධිපත්‍ය පැතිරවිය යුතුයැයි හිට්ලර් විශ්වාස කළා. දෙවැනි ලෝක මහා යුද්ධය ඇතිවුණේ මේ විපරීත මතවාදයෙන් මත්වුණු හිට්ලර් සහ ඔහුගේ නාසිමාමක ජාතිවාදී සහචරයන් විසින් පළමුව ජර්මනියේත් අනතුරුව යුරෝපය පුරාත් සෝවියට් රුසියාවේ කොටසකත් මුදාහරින ලද ආක‍්‍රමණශිලී භීෂණයේ ප‍්‍රතික‍්‍රියාවක් වශයෙන්. 1939 සිට 1945 දක්වා දින 2174ක් පැවති දෙවැනි ලෝක මහා යුද්ධයෙන් විනාශ වූ ජීවිත සංඛ්‍යාව මිලියන 70කට අධිකයි. (එකල ලෝක ජනගනය බිලියන 2.5. ඒ අනුව සමස්ත ලෝක ජනගහනයෙන් 3%ක් මැරුම් කෑවා. එහෙත් යුද්ධ කිරීමෙන් පමණක් නොවෙයි මිනිසුන් මියගියේ. යුද්ධයට කිසිම සහභාගිත්වයක් නොතිබුණු යුදෙව්වන් සහ ජිප්සීන්, අනාර්යන්යැයි සැලකුණු ජන කොටස් සහ විරුද්ධ මතධාරීන් හිට්ලර්ගේ මෙහෙයවීමෙන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් මරා දැමුවා. ‘අවසාන විසඳුම’ යනුවෙන් හැඳින්වුණු එම ප‍්‍රතිපත්තිය යටතේ ගණන් බලා ඇති අන්දමට බාල, මහලූ හා තරුණ යුදෙව් ජාතිකයන් මිලියන හයක් හුදෙක් ඔවුන් යුදෙව්වන් වීම නිසාම මරණයට පත් කෙරුණා.

යුද්ධය අවසන් වීමෙන් පසු හිට්ලර් කළ ජනඝාතක අපරාධ 1945 ජර්මනියේ නියුරම්බර්ග් නුවර පැවති නඩු විභාගයේදී අනාවරණය වුණා. ඒ අනුව විශාලතම යුදෙව් සමූල ඝාතනය ලෙස සැලකුණේ ඔපෙර්ෂන් රයින්හාර්ඞ් නමින් හැඳින්වුණු 1942-1943 අතර දින 100ක් ඇතුළත පෝලන්ත යුදෙව්වන් ලක්ෂ 17ක් (මිලියන 1.7ක්) මරා දැමීමයි. ඒ අයගෙන් බෙහෝ දෙනෙකු බෙල්සෙක්, සොබිබෝර් සහ ටෙබින්කා මිනිමරු කඳවුරු වල නොකඩවා ක‍්‍රියාත්මක වුණු ගෑස් කාමරවලට දමා මරා දැමිණි. බොහෝ මළසිරුරු සමූහ අදාහනාගාරවල පුලූස්සා තිබුණා. හිට්ලර්ට එරෙහි මිත‍්‍ර හමුදාවල ප‍්‍රධාන අණදෙන නිලධාරීයා වූ පසු කලෙක ඇමෙරිකානු ජනාධිපති වූ ඩවයිට් අයිසන්හවර් මින් බුකන්වොල්ඞ් වැනි ඇතැම් ඝාතන කඳවුරුවලට පෞද්ගලිකව ගොස් බැලූවේ මේ අදහාගත නොහැකි ජනඝාතය පිළිබඳ සාක්ෂි සිය දෑසින්ම දැක බලා ලෝකයාට වාර්තා කිරීමටයි. (වොෂිංටන්වල පිහිටි හොලෝකාස්ට් මෙමොරියල් මියුසියම් වෙබ් අඩවියෙන් මේ අපරාධ පිළිබඳ ජායාරූප සහ චිත‍්‍රපට විශාල සංඛ්‍යාවක් බලා ගන්න පුළුවන්.) මේ සමූල ඝාතන කඳවුරුවලට කෙළින්ම දුම්රිය මගින් ප‍්‍රවාහනය කළ යුදෙව්වන්ගේ සංඛ්‍යා ලේඛන පිළිබඳ ලියකියවිලි නියුරෙම්බර්ග් නඩු විභාගයේ චෝදකයන් විසින් සොයාගෙන තිබුණා. ඒ අනුව 1941 -44 දක්වා දින 1066 කාලය තුළ අඩි 32 දුම්රිය පෙට්ටිවල යුදෙව්වන් 50 සිට 100 දක්වා දැමූ එක දුම්රියකට පෙට්ටි 50 බැගින් ඇමුණු දුම්රිය 1601 කින් පෝලන්තයේ පිහිටි මරණීය සිර කඳවුරුවලට යුදෙව්වන් ලක්ෂ 40ක් ගෙන ආ බව තහවුරු වුණා. මේ යුදෙව් ජාතික බාල මහලූ ස්ත‍්‍රී පුරුෂයන් අතරින් යුද්ධය අවසානයේ බේරාගත් සිය ගණනක් හැරෙන විට අනෙක් සියල්ලන් ගෑස් කාමරවල දමා මරණයට පත් කළ බව ඔප්පු වුණා. සිර කඳවුරුවලින් මිදීගත් අය පමණක් නොව සිරකඳවුරු වල සේවය කළ ඇතැම් ජර්මන් ජාතිකයන්ද මේ කරුණු තහවුරු කළා. මරා දැමූ මිනිසුන් ගේ කණ්ණාඩි කුට්ටම්, ලොකු කුඩා සපත්තු, කාන්තා අත්බෑග්, සූට්කේස් මීටර් ගණන් උසට කඳු ගසා තිබී මිත‍්‍ර හමුදාවන්ට සොයා ගන්නට ලැබුණා. ඔෂ්විස් (Auschwitz) ඝාතන කඳවුරේ පමණක් දිනකට 12000 බැගින් මරා දැමීමට ගෑස් කාමර පහසුකම් ගොඩනගා තිබුණා. සෝවියට් හමුදාව විසින් මුදාගත් ඔස්විෂ් ඝාතන කඳවුරට අමතරව බෙල්සෙක්, චෙල්ම්නෝ, සෝබිබෝර්, මැජ්ඩනෙක්, ට‍්‍රබේලින්කා (Bełżec, Chełmno, Sobibór, Majdanek, Treblinka) කියන සිර කඳවුරුවල පිහිටි ගෑස් කාමරවල ද මිනිසුන් ලක්ෂ ගණනක් එසේ සමූල ඝාතනයට ලක් කර තිබුණා. මේ මරණීය සිර කඳවුරු හැර යටත් කරගත් ප‍්‍රදේශවල හිට්ලර් පාලනය විසින් රඳවා ගැනීමේ කඳවුරු 44000කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන ගිය බව අනාවරණය වී තිබෙනවා. යුදෙව් ජාතිකයන් හා ජිප්සීන් හැරෙන විට ආබාධිතයන්, සමලිංගිකයන්, යොහෝවාගේ සාක්ෂිකරුවන් නමින් හැඳින්වූ ආගමික කණ්ඩායම, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ඇතුළු හිට්ලර්ගේ ආර්යෝත්තම වාදයට බාධකයක් ලෙස ගැණුන සියල්ලන් මරා දැමීම නාසිවාදීන්ගේ ප‍්‍රතිපත්තිය වී තිබුණා. කෙසේ වෙතත් අවසානයේ යුද්ධයෙන් ජර්මනිය පැරදෙන බව දැනගත් හිට්ලර් 1945 අපේ‍්‍රල් 30 වැනිදා ඔහුගෙ ප‍්‍රියම්බිකාව ඊවා බ්‍රෝන් සමග සිය දිවි නසාගත්තා. හිට්ලර්ගේ ප‍්‍රචාරක ඇමති ජෝසප් ගොබල්ස් තමුන්ගෙ අවුරුදු 5 සිට 13 දක්වා වූ අහිංසක දරුවන් හය දෙනාම සිහිනැති කොට සයනයිඞ් දීලා මරණයට පත් කොට ඉන්පසු බිරිඳ මැග්ඩා සමග සිය දිවි නසාගත්තා. (ජාතිවාදයට මිනිසුන් මොනතරම් නරුමයන් බවට පත් කරන්න පුළුවන්ද?)

මේ නිසා යුදෙව් සමූල ඝාතනය සහ අනෙකුත් යුධ අපරාධ ගැන ජර්මනියේ නියුරෙම්බර්ග් නුවරදී නාසි නායකයන්ට එරෙහිව පැවතුනු නඩු විභාගයේ ප‍්‍රධාන විත්තිකරුවන් බවට පත්වුණේ හර්මන් ගොරිං, රුඩොල්ෆ් හෙස්, ජෝකිම් වොන් රිබෙන්ට්‍රොප් සහ හිට්ලර්ගේ තවත් ඉහළ පෙළේ නාසි සගයන් 18 දෙනක් පමණයි. නියුරෙම්බර්ග් මහ නඩුව යන නමින් හැඳින්වුණු නියරෙම්බර්ග් නඩු විභාගය 1945 නොවැම්බර් 20 දින ආරම්භ වන විටත් යුධ අපරාධ යනුවෙන් අපරාධ විශේෂයක් ජාත්‍යන්තර නීතියේ තිබුණේ නැහැ. නීතියේ නැති අපරාධයකට දඬුවම් දිය නොහැකියි යන තර්කය ඉවත දැමූ විනිසුරු මණ්ඩලය ඉදිරිපත් වූ සාක්ෂිවල ස්වභාවය අනුව විත්තිකරුවන් මනුෂ්‍යත්වයට එරෙහිව දරුණු අපරාධයක් කර ඇති බව සැකයකින් තොරව ඔප්පු වන බව තීරණය කළා. දින 218ක් තිස්සේ පැවැති නඩු විභාගය අවසානයේ හිට්ලර්ගේ ගුවන් හමුදා ප‍්‍රධානියා සහ දකුණත් සව්වා වූ හර්මන් ගෝරිංට තවත් 11 දෙනෙකු සමඟ මරණ දඬුවම නියම වුණා. අත්අඩංගුවට ගත නොහැකිව සැඟවුණු හිට්ලර්ගේ නියෝජ්‍ය නායක මාටින් බෝර්මන්ට විරුද්ධ චෝදනා ඔහු නැතිව විභාග වුණා. නඩු විභාගය අවසානයේ චූදිතයන් හත් දෙනෙකුට දිගු සිර දඬුවම් නියම වූ අතර තිදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. තීන්දුවෙන් දින පහළොවකට පසු මරණ දඬුවම නියමවූවන් උසාවියට යාබද බන්ධනාගාරයේ එල්ලා මරා දමනු ලැබුවා. ඊට පෙර දින රාත‍්‍රියේ සිය සිරකුටියේදී වස පෙති ගිල දමා හිට්ලර්ගේ ගුවන් හමුදා ප‍්‍රධානී හර්මන් ගොරිං සියදිවි නසා ගත්තා. ප‍්‍රථම අන්තර්ජතික අපරාධ යුක්ති විනිශ්චය සභාව ලෙස සැලකිය හැකි න්‍යුරම්බර්ග් මහ නඩුවේ තීන්දුව අදටත් වැදගත් වන්නේ තමන් අයිතියැයි සැලකෙන ජාතියය පිළිබඳ අසත්‍ය විශ්වාස නිසා මිනිසුන් නොමිනිසුන් බවට පත්වී ”මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” සහ ”ජනඝාතය” කිරීමට පෙළඹෙන බව එය අපට නිරන්තරයෙන් සිහිගන්වන බැවිනුයි. න්‍යුරම්බර්ග් නඩු විභාගයේ පැවතුණු දින 218 තිස්සේ දිගහැරුණු ඇඟකිළිපොලා ගිය සාක්ෂිවලින් අනාවරණය වූ මිලියන හයක බාල තරුණ මහලූ ස්ත‍්‍රී පුරුෂයන්ගේ අවසන් මරලතෝනිය මනුෂ්‍යයෙකු යනු කුමන ආකාරයක සත්ව විශේෂයක්දැයි නිර්වචනය කිරීම අභියෝගයක් ලෙස භාරගැනීමට ශිෂ්ට ලෝකයට බල කළා.

ඒ අනුවයි මිනිසෙකු යනු මොනවාගේ හිමිකම් සහිත සත්වයෙක්ද යන්න නිර්ණය කිරීමට විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනය බිහිවුණේ. නියුරම්බර්ග් නඩුවෙන් මේ කුරිරු ජනඝාතය හෙළිවන විට, මානව හිමිකම් උල්ලංඝණය කරන රටවල පාලකයන් ජාත්‍යන්තර අධිකරණයකට පමුණුවන ක‍්‍රියාත්මක විධික‍්‍රමයක් පැවැතිණි නම් දෙවැනි ලෝක මහා යුද්ධය වළක්වා ගැනීමට බොහෝවිට ඉඩකඩ තිබිණැයි මතයක් ඇතිවෙන්නට පටන් ගත්තා. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ ජනප‍්‍රිය ගත්කතුවරයෙකුවූ එච්.ජී. වෙල්ස්ගේ ප‍්‍රධානත්වයෙන් ඇතිවු ජාත්‍යන්තර ආන්දෝලන ව්‍යාපාරයේ මූලික අරමුණ වූයේ දෙවන ලෝක මහා යුද්ධාවසනයේදී මිනිස් හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර පනතක් සම්මත කොට ක‍්‍රියාත්මක කිරීමයි. ඇතැම් රටවල නීතීඥ සංගම්, අධ්‍යාපනඥයන් හා වෘත්තිකයන්ගේ සංවිධාන යුද්ධාවසනයේ ඇතිවන සාම සම්මුතීන්ලදී මානව හිමිකම් ගරු කිරීම ගැන හා ඒ අනුව රාජ්‍යයන් කටයුතු කිරීම ගැන සොයා බැලීමට ප‍්‍රමාණවත් බලයක් හා සම්පත් ඇති ජාත්‍යන්තර සංවිධානයක් ඇතිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ. මේ සඳහා එක් උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ පිහිටි අමෙරිකානු නීති ආයතනය නම් කීර්තිමත් වෘත්තීය සංවිධානය 1944 ප‍්‍රසිද්ධ කළ ‘අත්‍යවශ්‍ය මානව හිමිකම් පිළිබඳ ප‍්‍රකාශය’ සඳහන් කළ හැකියි. නැවතත් විනාශකාරී ලෝක මහා යුද්ධයක් ඇතිවීම වැළක්වීම සඳහා ක‍්‍රියාකාරී ජාත්‍යන්තර සංවිධානයක් බිහිකිරීම හිට්ලර්ට විරුද්ධව නැගී සිටි රටවල විශේෂයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ බි‍්‍රතාන්‍යයේ සහ සෝවියට් රුසියාවේ ප‍්‍රධාන වගකීම යයි එවකට අමෙරිකාවේ ජනාධිපතිව සිටි ප‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් කල්පනා කළා.

හිට්ලර්ට එරෙහිව යුද ප‍්‍රකාශ කළ රටවල් හැඳින්වීම සඳහා ‘එක්සත් ජාතීන්’ යන යෙදුම ප‍්‍රථමවරට රූස්වෙල්ට් විසින් 1941 දී භාවිත කොට තිබුණා. ලෝකයේ සියලූ නිදහස් රටවලින් සමන්විත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානයක් පිහිටු විය යුතු බවයි රූස්වෙල්ට් අදහස් කළේ. ඔහුගේ අදහස යුද්ධය අවසානවීමට ආසන්නව 1945 පෙබරවාරියේ යෝල්ටාවේ පැවැති ඉහළ පෙළේ සමුළුවේදී බි‍්‍රතාන්‍ය අගමැති වින්සන්ට් චර්විල් සහ සෝවියට් සංගමයේ නායක ජෝෂප් ස්ටාලින් නිල වශයෙන් අනුමත කළා. යුද්ධය අවසන් වීමෙන් පසු 1946 ජුනි 26 වැනිදා ලංකාවද ඇතුළු රටවල් පනස් එකක නියෝජිතයෝ අමෙරිකා එක්සත් ජනපදයේ සැන්ප‍්‍රැන්සිස්කෝ නුවරට රැස්වී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ ප‍්‍රඥප්තිය සම්මත කරගත්තා. එම ප‍්‍රඥප්තිය ආරම්බයේම සියලූ රටවල් එසේ සංවිධාන ගතවීම පිණිස එකඟ වූ පරමාර්ථය සඳහන්වන්නේ මෙසේයි. ”එක්සත් ජාතීන්ගේ ජනතාව වන අප – (We the people of the United Nations)

  • අපගේ ජීවිත කාලය තුළ දෙවරක් මුළු මහත් මනුෂ්‍ය සංහතියටම අප‍්‍රමාණ දුක් වේදනා ළඟා කළ යුද්ධෝපද්‍රවයන්ගෙන් අනාගත පරම්පරාවන් මුදවා ගැනීමටද
  • මූලික මානව අයිතිවාසිකම් කෙරෙහිත් මනුෂ්‍යාත්මභාවයේ ගරුත්වය හා වටිනාකම කෙරෙහිත් ස්ත‍්‍රී පුරුෂ සියලූ දෙනාගේ සහ ලොකු කුඩා සියලූ ජාතීන්ගේ සමාන හිමිකම් කෙරෙහිත් විශ්වාසය යළි තහවුරු කිරීමටද
  • ගිවිසුම්ගත හා ජාත්‍යන්තර නීතිගත වෙනත් ලියවිලි වලින් උද්ගතවන යුතුකම්වලට ගරුකිරීම හා ඒ යුතුකම් සාධාරණ ලෙස ඉෂ්ටවීමට තුඩුදෙන කොන්දේසි ඉටු කිරීමටද
  • වඩා පුළුල් නිදහසක් ඇති පරිසරයක සමාජ ප‍්‍රගතිය සඳහා ක‍්‍රියා කිරීමට හා ජීවන තත්ත්වයන් උසස් කිරීමට අධිෂ්ඨාන කරගෙන,
  • යථෝක්ත පරමාර්ථ සාධනය අරභයා ඉවසීමෙන් යුක්තව හොඳ අසල්වැසියන් ලෙස අන්‍යෝන්‍ය සමගියෙන් එකට ජිවත්වීමටත්,
  • ජාත්‍යන්තර සාමයත් ආරක්ෂාවත් සලසා ගැනීමට අපේ ඒකාබද්ධ ශක්තිය උපයෝගී කරගැනීමටත්,
  • ප‍්‍රතිපත්ති පිළිගැනීමෙන් සහ සම්ප‍්‍රදායන් පිහිටුවීමෙන් පොදු ශුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීමට මිස අන් කිසිම කරුණක් සඳහා යුද්ධ බලය පාවිච්චි නොකිරීමටත්,
  • සියලූම ජනතාවගේ ආර්ථික හා සමාජයීය ප‍්‍රගතිය උච්චස්ථානයට පමුණුවාලීම සඳහා ජාත්‍යන්තර කාර්ය පටිපාටියක් ඇති කිරීමටත්, ඒ අරමුණු මුදුන්පත් කරලීම සඳහා අපේ ප‍්‍රයත්නයන් සම්බන්ධ කරලීමට අධිෂ්ඨාන කරමු.

මේ තීරණයට අනුව සැන්ෆ‍්‍රැන්සිස්කෝ නගරයට එක්රැස්වූ නියෝජිතයන්ගේ මාර්ගයෙන් ස්වකීය පූර්ණ බලතල යථා ස්වරූපයෙන් විදහා දැක්වූ අපේ ආණ්ඩු එක්සත් ජාතීන්ගේ මෙම ප‍්‍රඥප්තියට එකඟවූයෙන් එක්සත් ජාතීන් හැඳින්වෙන ජාත්‍යන්තර සංවිධානයක් මෙසේ පිහිටුවා ගතිමු. ”එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් අතර ඇති මූලික සම්මුතිය වන එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ ආරම්භයේ එසේ මානව හිමිකම් පිළිබඳ කර ඇති සඳහන හැරෙන විට ප‍්‍රඥප්තියේ 55 වන හා 56 වන වගන්තිවලට අනුව ”මානව හිමිකම් සහ මනුෂ්‍යන්ගේ මූලික නිදහස විශ්ව සාධාරණ ලෙස පිළිපැදීම සහ ගරුකිරීම අරභයා තනි තනිව මෙන්ම ඒකාබද්ධව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලූ සාමාජික රටවල් බැඳී සිටී” යන සඳහන විශේෂයි.

ඒ අනුව අපි අපේ රටේ මානව හිමිකම් රටක් ලෙස ප‍්‍රවර්ධනය කොට ආරක්ෂා කිරීමට වගේම අනෙක් රටවල් සමග ඒකාබද්ධව මානව හිමිකම් ප‍්‍රවර්ධනය හා ආරක්ෂා කිරීමටත් එක්ස්ත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙන් බැඳී සිටිනවා. ඒ අනුවම කිසියම් රටක මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවෙනවා නම් ඒ ගැන ඒකාබද්ධව කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුව අනෙකුත් සියලූ රටවල් ද බැඳී සිටිනවා. මේ කටයුත්ත සම්බන්ධීකරණය කොට ඉටු කිරීමේ කාර්යභාරය වර්තමානයේ පැවරී තිබෙන්නේ සාමාජික රටවල් 48කින් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැම රටක්ම සහභාගි වන රහස් ඡුන්දයකින් තෝරාපත් කරන මේ කවුන්සිලයේ සංයුතිය වසර තුනෙන් තුනට වෙනස් වෙනවා. ඒත් හැම විටම එහි සාමාජිකත්වය අප‍්‍රිකානු රටවල් 13කින්ද ආසියා පැසිපික් කලාපයේ රටවල් 13 කින්ද ලතින් අමෙරිකානු රටවල් 8 කින්ද යුරෝපිය රටවල් 7කින් සහ නැගෙනහිර යුරෝපීය රටවල් 6කින් ද සමන්විත විය යුතුයි. මානව හිමිකම් කවුන්සිලයට අවශ්‍ය සහයෝගය ලබාදීම මහා මණ්ඩලයේ අනුමැතියට යටත්ව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් විසින් පත් කරනු ලබන මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්ය භාරයයි. වර්තමානයේ මහ කොමසාරිස් ධුරය දරන්නේ චිලී රටේ ජනාධිපති ධුරයට දෙවරක් ජන්දයෙන් තේරීපත් වූ මිෂෙල් බැචලේ මහත්මියයි. 2010 දී සහ 2014 දී ඇය ජනාධිපති ධුරයට තෝරාපත් වුණේ 1973දී චිලී රටේ ඇති වූ හමුදා කුමන්ත‍්‍රණයකින් මරා දැමූ ජනාධිපති සැල්වඩෝර් අයන්ඬේගේ සමාජවාදී පක්ෂයෙන්. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ පවතින තත්ත්වය ගැනA/HRC/46/20 යන යොමු අංකය දරන ඇගේ වාර්තාව Promoting reconciliation, accountability and human rights in Sri Lanka – Report of the United Nations High Commissioner for Human Rights පහත සඳහන් වෙබ් අඩවියෙන් බාගත හැකියි. මේ වාර්තාව අපේ පාර්ලිෙම්න්තුෙව්දි සාකච්ඡා කළ යුතුව තිබුණා.

https://www.ohchr.org/…/Documents/A_HRC_46_20_AEV.docx

ශ‍්‍රී ලංකාවට අතිරේකව නිකරගුවාව, සයිප‍්‍රසය යන රටවල සහ පලස්තීනයේ මානව හිමිකම් ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මහ කොමසාරිස් ගේ වාර්තාද මෙවර සැසිවාරයෙදී සාකච්ඡුාවට ලක් වෙනවා. මහ කොමසාරිස් වාර්තා හැරෙන විට මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කරන විශේෂ රපොර්තු කරුවන්ගේ වාර්තා මගින්ද කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල මානව හිමිකම් ක‍්‍රියාත්මක වන ආකාරය විමසුමට ලක් කරනවා. ඒ හැර සර්ව වාරාන්තර සමාලෝචනය (Universal Periodic Review) යනුවෙන් හැඳින්වෙන විමර්ශන ක‍්‍රමය යටතේ වසර හතරකටම වරක් හැම රටක්ම මානව හිමිකම් ක‍්‍රියාත්මකවීම පිළිබඳ සමාලෝචනයකට ලක් වෙනවා. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සර්ව වාරාන්තර සමාලෝචනයක් 2017දී පැවතුණා. එයට ශ‍්‍රී ලංකාවේ රජය මානව හිමිකම් කොමිසම රාජ්‍ය නොවන සංවිධානද වාර්තා ඉදිරිපත් කළා. එම සමාලෝචනයයේදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට අමතරව නිරීක්ෂකයන් වශයෙන් සහභාගි වූ රටවල් ද ඇතුළුව රටවල් 88 ක් අදහස් ප‍්‍රකාශ කළා. එම සමාලෝචනයෙන් නිර්දේශ 113ක් ශ‍්‍රී ලංකා රජයට ඉදිරිපත් කළා.  https://lib.ohchr.org/HRBodies/UPR/_layouts/15/WopiFrame.aspx?sourcedoc=/HRBodies/UPR/Documents/Session28/LK/MatriceRecommendationsSriLanka.docx&action=default&DefaultItemOpen=1


ඒ නිර්දේශ අතර මරණ දන්ඩණය අහෝසි කිරීම(ICCPR second optional protocol), වද හිංසනයට එරෙහි අන්තර්ජාතික සම්මුතියේ වෛකල්පික ප්‍රොටෝකෝලය අනුමත කිරීම ද වුණා. මේ ප්‍රොටෝකෝලයෙන් කියවෙන්නේ අත්අඩංගුවේ ඉන්නා පුද්ගලයන්ට සලකන ආකාරය නිරීක්ෂණය කිරිමට ජාත්‍යන්තර හා ජාතික ස්වාධීන නියෝජිතයන්ට ඉඩ දිය යුතු බවයි. 2018 මාර්තු 7 වැනිදා පාර්ලිමේන්තුව අනුමත කළ පුද්ගලයන් අතුරුදහන්වීමෙන් වැළැක්වීමේ පනත ද මේ නිර්දේශවල ප‍්‍රතිඵලයක්. අවාසනාවකට මෙන් ලංකාවේ දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය හා පූජ්‍ය පක්ෂය ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් මේ නිර්දේශ පිළිබඳව සාවධාන සාකච්ඡුාවක් කිරීමේ වගකීම අතහැර දමා තිබෙනවා. ඊට හේතුව අපේ රටේ දේශපාලනය කියලා කියන්නේ බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයක් මිස බලය යුක්තිගරුක කිරීමේ දේශපාලනයක් නොවෙන නිසා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here