විමලනාත් වීරරත්න

ලංකාව අන්තර්ජාතිකව මුහුණ දිය යුතු ප‍්‍රශ්නවලදී ක‍්‍රියා කරන්නේ අඳබාල ආකාරයටය. 46 වැනි ජිනීවා මානව හිමිකම් සැසියේදී විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන කියා තිබුණේ ලංකාව මානව හිමිකම් විෂයේදී උපකාරීව කටයුතු කරද්දී මහ කොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව කනගාටුදායක එකක් බවය. ලංකාව මානව හිමිකම් විෂයෙහි උපකාරීව හෙවත් සහයෝගීතාව පෙරදැරිව කටයුතු කරන රටක්ද? ජිනීවා වාර්තාවේදී ශානි අබේසේකර අද මුහුණ දී සිටින ප‍්‍රශ්නය මතක් කර තිබුණි. නීතිඥ හිජස් හිස්බුල්ලා රඳවාගෙන සිටීමේ සිද්ධිය සඳහන් කර තිබුණි. මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කරනු ලබන පාලන ක‍්‍රමයකට ශ‍්‍රී ලංකාව ගමන් කරමින් සිටින හෙයින්, මානව හිමිකම් කඩවීමෙන් වින්දිතභාවයට ලක්වූ පුද්ගලයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරිය A/HCR/46/20 යනුවෙන් අංකනය කර ඇති වාර්තාව මගින් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රාජ්‍යයේ මිලිටරිකරණය, ව්‍යවස්ථාදායක රැකවරණය අහිමවීම වැනි රාජ්‍ය ව්‍යුහයේ සිදුකර ඇති හානිකර වෙනස්කම් ගැන එහි සඳහන් කර ඇත.

ආණ්ඩුව ඉතා ඉක්මනින් තම හිතවතුන් නිදොස් කොට නිදහස් කරගන්නා අයුරු ආසන්න වකවානුව තුළ දක්නට ලැබුණි. යළි එම පිරිස් රාජ්‍ය සේවයේ මර්මස්ථානවල ස්ථානගත කිරීමට කටයුතු කැරිණි. රාජ්‍යයේ මිලිටරිකරණය බරපතළ කාරණයක් ලෙස ඉස්මතුව පෙනෙයි. මිනිස් ඝාතක සැරයන්වරයකුට ජනාධිපති සමාව ලැබුණි. මේ තත්ත්වය තුළ මානව හිමිකම් හා යුක්තිය විෂයෙහි ලංකාව උපකාරී රටක් ලෙස ක‍්‍රියා කරනවා යන්න සාවද්‍යය. බැෂලේගේ වාර්තාව ප‍්‍රතික්ෂේප කළ එකක් බවත්, නව ආකාරයකින් එන එය යළි ප‍්‍රතික්ෂේප කරන ලෙස සියලූ රටවල් වෙතින් තමන් ඉල්ලා සිටින බවත් විදේශ ඇමති පවසා තිබුණි. ඇත්ත තත්ත්වය වන්නේ ලංකාව එම වාර්තාව සමග කට්ටි පනින සෙල්ලම කිරීමය. වාර්තාවේ ප‍්‍රධාන තර්කවලට හා ප‍්‍රශ්නවලට පිළිතුරු නොදී ලංකාව සිය අභ්‍යන්තරයේ නැති පිරිසිදුකමක් ගැන දොඩවයි. මේ තත්ත්වය ලෝකයේ මානව හිමිකම් අගය කරන රටවල් දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කළ විට සිදුවන්නේ ලංකාවේ නායකයන් මානව හිමිකම් විෂයේදී කරන කට්ටි පැනීම හෙළිදරව්වීමය. එනම් ලංකාවේ මොනර නැටුම පැහැදිලිව දර්ශනයවීමය. දැනටමත් ඒ දේ සිදුව ඇත. එබැවින් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරුණු බැෂලේගේ වාර්තාව ලෝක නායකයන් ප‍්‍රතික්ෂේප කරන්නට විදියක් නැත. එසේ කිරීමට නම් ලෝකයේ සියලූම නායකයන් ගෝඨාභය රාජපක්ෂලා සහ දිනේෂ් ගුණවර්ධනලා මෙන් විය යුතුය.