ආචාර්ය ප‍්‍රභා මනුරත්න සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් මතින් සැකසුනකි

චින්තක රණසිංහ

මාලතී ද අල්විස් පිළිබඳ යමක් සාකච්ඡා කිරීමේදි පැහැදිලිවම කිව යුත්තේ ඇය එකවරම පර්යේෂිකාවක සහා ක‍්‍රියාකාරිනියක යන භුමිකා දෙකම සාර්ථකව නිර්මාණය කරගත් විරල භුමිකාවක් බවයි. බොහෝ විද්වතුන්ගේ අර්බුදය වන්නේ එක්කෝ ප‍්‍රායෝගික පක්ෂය වර්ධනය කර පර්යේෂණාත්මක පක්ෂය අවම කිරීමත් නැතහොත් පර්යේෂණාත්මක පක්ෂයේ ඇලි ගැලි සිටිමින් ප‍්‍රායෝගිකත්වයට නැඹුරු නොවීමත්ය. එහෙත් මාලතී තම ජීවිත කාලය තුළම මෙම භූමිකා දෙක සමව රැුගෙන යාමටත් එය විශිෂ්ටතම ආකාරයෙන් නඩත්තු කිරීමටත් ඉහළ හැකියාවක් පෙන්නුම් කළාය.

ඇගේ විෂය වූයේ මානව විද්‍යාවයි. එම විෂය තුළ අගේ අවධානය යොමු වූයේ සමාජ සංස්කෘතික (soicl-cultural anthropology) වෙතටයි. ඒ පිළිබඳ ඇය සිදු කළ පර්යේෂණ ගණන ගුණාත්මකව මෙන්ම ප‍්‍රමාණාත්මකවද විශාලය. ඒවා මෙරට පමණක් නොව දකුණු ආසියානු කලාපයේ රටවල බුද්ධිමය සම්ප‍්‍රදාය තුළ පවා ගෞරවයට හා අවධානයට ලක්වී තිබේ.

මාලතී තම දර්ශනසූරි (PHD) උපාධිය ලබා ගන්නේ කිර්තිමත් චිකාගෝ සරසවියෙනි. ඊට පෙර ඇය MA පශ්චාත් උපාධි දෙකක් නිමකර පර්යේෂිකාවක ලෙස විශිෂ්ට පුහුණුවක් අත්පත් කරගෙන සිටියාය. ඒ 1985 ඇමරිකා එක්සත් ජනපදයේම Mount holyoke කොලිජියෙන් හා 1989 චිකාගෝ සරසවියෙනි. ශාස්ත‍්‍රීය ලෝකයේ ඇය අත්පත් කරගත් ගරු නම්බු රැසකි. නවසීලන්තයේ චිකාගෝ සරසවිය, ජර්මනියේ Ruhr සරසවිය, ඉන්දියාවේ ජවහල්ලාල් නේරු සරසවිය විවිධ ශිෂ්‍යත්ව ලබා දෙමින් ඇගේ බුද්ධිමය දායකත්වය ඇගයීමට ලක් කළෝය.

ශාස්ත‍්‍රීය ලෝකයේ (postdoctarea) ලෙස හැඳින්වෙන ආචාර්ය උපාධියක් ලැබූ අයෙකුට පිරිනැමෙන එම ශිෂ්‍යත්ව මගින් කෙරුණේ නව දැනුම් හුවමරුව හා නව පර්යේෂණ සඳහා අව්‍ය භෞතික හා චින්තනමය පසුබිම සකස් කිරිමයි.

මව්වරුන්ගේ පෙරමුණ

ඇගේ දර්ශනසූරී (PHD) උපාධිය සඳහා ඇය තෝරාගත්තේ ‘‘මව්වරුන්ගේ පෙරමුණ’’ නම් තේමාවයි. 88-90 මහා භීෂණයෙන් පසු තම දරුවන් අහිමි වූ මව්වරුන් විසින් පිහිටුවා ගත් මව් පෙරමුණ විවිධ මානයන් ගෙන් ගැඹුරින් විශ්ලේෂණය කිරීමට ඇය සමත් විය.

ඇය තම අධ්‍යාපනයට සමාන්තරව මෙම තේමාව යටතේ පළ කළ ලිපි ගණන විශාලය. ඒවා තුළ කැපී පෙනෙන්නේ ඡායාරූප විශ්ලේෂණය කරමින් තමා තෝරාගත් තේමාව විභාග කිරීමේ ක‍්‍රමවේදයයි. එහිදී ඇය ඡායාරූප පෙළක් (text) ලෙස සලකමින් තම විග‍්‍රහය නිර්මාණය කරන අතර මේවායේ අර්ථ විවිධ සන්දර්භවල ගොඩනැගෙන ආකාරය පිළිබඳ විමසිල්මත් වෙයි. එම ඡායාරූප සඳහා ස්ථාපිතව නිර්මාණය වී තිබූ අර්ථ වෙනුවට නව අර්ථ නිර්මාණ්‍ය වීම ඇගේ අවධානයට ලක්වෙයි. එහිදී ඡායාරූප වටා නිර්මාණයව තිබූ අනුහස් සහිත අර්ථ වෙනුවට විවිධ සන්දර්භ මත නිර්මාණය වන අර්ථ මෙහිදී අවධානයට ලක්වෙයි. සන්දර්භ හා නව තත්ව විවිධ දේවල් අර්ථකථනය කිරීමේදි කෙතරම් තීරණාත්මක සාධක වන්නේද යන්න ඇගේ මෙම විග‍්‍රහය මගින් මැනවින් ඉදිරිපත් වන කාරණයකි.

නැගෙනහිර ශ‍්‍රී ලංකාවේ වැලපීම හා පුරුෂත්වය

සුනාමි ඛේදවාචකයේ ප‍්‍රතිඵල පිළිබඳ ඇය කළ පර්යේෂණයක් මගින් ලියවුණු නැගෙනහිර ශ‍්‍රී ලංකාවේ වැලපීම හා පුරුෂත්වය ඉතා වැදගත් සුවිශේෂ ලිපියකි. බොහෝ ස්ත‍්‍රීවාදීන් විසින් පුරුෂත්වය දෙස බලන මතුපිට රලූ කතිකාව වෙනුවට එහි සැගවී පවතින භාවාත්මක ඛේදවාචකය, සංවේදීතාව ශාස්ත‍්‍රීය විමර්ශනයට ලක් කළ පර්යේෂණයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. පිරිමි බව, පිරිමිකම වටා ගොඩ නැගී තිබෙන ස්ථාපිත මතවාද යම් ආකාරයකින් දැඩි ලෙස ප‍්‍රශ්න කරන ස්වභාවයක් මෙම පර්යේෂණයේ දක්නට ලැබේ.

මේ අනුව මාලතී ජනප‍්‍රිය ස්ත‍්‍රීවාදි කතිකාව නියෝජනය නොකරන අතර මෙරට බොහෝ ස්ත‍්‍රීවාදීන් විසින් මතුකරන ව්‍යාජ පුරුෂ විරෝධය වෙනුවට මානව දයාවෙන් යුක්ත වූ ගැඹුරු මානයන් ස්පර්ශ කිරීමට සමත් වෙයි.

සම්ප‍්‍රදාය හා දෛනික ජීවිත

සම්ප‍්‍රදාය වෙත නැඹුරු වූ බොහෝ පර්යේෂකයන් දෛනික ජීවන තතුවලින් ඈත් වුවද මාලතී මේ අංග දෙකම තම පර්යේෂණවලදී ගැඹුරින් උපයෝගී කොටගත්තාය. එකක් අනෙකෙන් පෝෂණය කළාය.

අවතැන් වූ මුස්ලිම් ස්ත‍්‍රීන්ගේ දෛනික චර්යා වල ස්වභාවය විමසමින් ඇය කළ එක් පර්යේෂණයක විවිධ කතිකා විශ්ලේෂණයේ ආභාෂය මැනවින් පෙනීයයි. තවද පත්තිනි වන්දනාව කන්නගී වන්දනාව වැනි සම්ප‍්‍රදාය තුළ විශාල අර්ථ සම්භාරයක් ජනනය කරන පද්ධතීන් ඇගේ පර්යේෂණවලදි කැපී පෙනේ.

ක‍්‍රියාකාරිනියක ලෙස

ස්ත‍්‍රීවාදය වෙනුවෙන්ද සමස්ත ආන්තික හා පීඩිතයන් වෙනුවෙන්ද ඇය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අනවරත අරගලයක නිරත වූවාය. දකුණු ආසියානු කලාපය තුළත් ශ‍්‍රී ලංකාවේත් ඇය ඒ වෙනුවෙන් විවිධ ආයතන හා පුද්ගලයින් සමග කටයුතු කළ අතර තම මරණය තෙක්ම එම දුෂ්කර අභ්‍යාසයෙහි නිරත වූවාය.

ස්ත‍්‍රීන්ගේ අධ්‍යාපනය හා පර්යේෂණ පිළිබඳ මධ්‍යස්ථානය (women education and Reserach centre) ගොඩනැගීමෙහි ලා ඇය ආරම්භක සාමාජිකාවක ලෙස සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළාය. ආසියාවේ ප‍්‍රධානතම සංවිධානයක් වන (Asia facific migration network) හි කටයුතු වලට ඇගෙන් ලැබුණු දායකත්වය විශාලය. එසේම, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දාහක්(1000) කිරීම සඳහා පෙරමුණ ගත් දාහේ ව්‍යාපාරය තුළද ඇය කැපවීමෙන් ක‍්‍රියාකාරී වූවාය.

රෝගාතුරව සිටියදී පවා වැල්ලවත්තේ දී තෛපොංගල් දින පැවති එම ව්‍යාපාරයේ කටයුත්තකට සහභාගි වූ ඇය එහිදී මුරුතැන් බත් බුදිමින් සෙසු අරගලකරුවන් සමඟ සහජීවනයෙන් සටනට දිරි දුන්නාය.

තරුණ පර්යේෂකයන් හා දැනුම් පිපාසිතයන් වෙත අත දීම

විශේෂ කුසලතා නිර්මාණය කරගත් විශේෂඥ දැනුම වර්ධනය කරගත් ප‍්‍රාඥයකුගේ මූලික වගකීමක් වන්නේ නව දැනුම් පිපාසිත තරුණ පර්යේෂකයන් සඳහා දයා ලූ සහයෝගය දැක්වීමයි. එය ශාස්තී‍්‍රය සම්ප‍්‍රදාය ඉදිරියට ගෙනයාම සඳහා මෙන්ම මානව සමාජය ඉදිරියට ගෙනයෑම සඳහාද අත්‍යවශ්‍ය සාධකයකි. අප රට බුද්ධිමය සම්ප‍්‍රදාය තුළ විරල, විශිෂ්ට ගුණයක් වන මෙම ගුණය ඉතා ඉහළින් මාලතී තුළ පිහිටා තිබූ අතර ඇය නිබඳවම එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළාය.

ඇගේ බුද්ධිමය හා දාර්ශනික මාර්ගෝපදේශකත්වය ඒ අනුව නව පරපුරක් වෙත ලැබුණු අතර එය ඔවුන් තම ජීවිත කාලය තුළම ඉමහත් කෘතඥතාවයෙන් යුතුව ස්මරණය කරනු ඇත.

සමාලෝචනය

මාලතීගේ මරණය ශ‍්‍රී ලාංකීය ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදායේ ඇති කළ හිස්තැන පිරවීම පහසු නොවන අතර එය පිරවීම අතිශයින්ම දුෂ්කර ඉඩ හසරකි. එහෙත් මේ මොහොතේ කළ යුතුව පවතින්නේ ඇගේ පර්යේෂණ හැකි ප‍්‍රමාණයක් සිංහල භාෂාවට පරිවර්තනය කරමින් තරුණ පාඨක පිරිස වෙත රැුගෙන යාමයි. ඒ තුළින් ඇගේ විශ්ලේෂණාත්මක ඥානය අනාගත පර්යේෂණ සඳහා යොදා ගැනීමේ හැකියාව අත්පත්වනු ඇති අතර පොහොසත් ශාස්ත‍්‍රීය සංවාදයක්ද නිර්මානය වනු ඇත.