රසික ගුණවර්ධන


මාලිගාවත්ත ප්‍රදේශයේ මුදල් බෙදාදීමක් අතරතුර කාන්තාවන් තිදෙනෙකු මියගියේ පසුගිය බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේය. එදින “විශේෂ පුවත්” විකාශ හරහා බොහෝ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ඒ පිළිබඳව වාර්තා කළේය. මේ ලිපිය ලියන මොහොත වන විට එම සිදුවීම සිදුවී ගෙවී ගොස් ඇත්තේ දින හයක් පමණි. එහෙත් එම මුල් වාර්තා කිරීමට ඔවුන් ලබා දුන් ප්‍රමුඛත්වය තබා කිසිදු හාවක් හූවක් මේ වන විට ඒ ජනමාධ්‍ය නගන්නේ නැත. එයට හේතුව නම් එම සිදුවීම මුස්ලිම් ජන සමාජය තුළ සිදුවීම හා මුදල් බෙදීම තුළ ඇතිවන පශ්චාත් කථිකාවත තුළ ඔවුන්ට තමන්ගේ දේශපාලනමය අවශ්‍යතාවන්ට පහර වැදීමයි.
කොරෝනා ලංකාවේ ව්‍යාප්ත වූ මුල් අවධියේ සිටම බොහෝ දෙනෙකු (විශේෂයෙන් ජනමාධ්‍ය) චෝදනා කරමින් මතයක් ගොඩ නැගුවේ මුස්ලිම් ජනතාවගේ නොසැලකිල්ල නිසා මෙම රෝගය රට තුළ ව්‍යාප්ත වීම සිදුවන බවයි. ඔවුහු ඒ සඳහා විවිධ නිදර්ශක ගෙනහැර පෑහ. අවසානයේ කොරෝනා හේතුවෙන් මියයන රෝගීන් මුස්ලිම් වුවහොත් එයට විශේෂ අවධානයක් ලැබෙන තැනටම කටයුතු සිදුවිය.


මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුකැරුණු මුදල් බෙදාදීමක් අතරතුර කාන්තාවන් තිදෙනකු පෑගී මියගියේ ඉකුත් බ්‍රහස්පතින්දාය. සිදුවීමට ඒ මොහොතේ ඉහළ ප්‍රචාරයක් ලැබිණි. එහෙත් ජනමාධ්‍ය සුපුරුදු පරිදිම මාලිගාවත්තේදී පෑගී මියගිය කාන්තාවන්ගේ අභ්‍යන්තර කතාව හෙවත් ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නය සමාජයට නොකීමට වග බලා ගත්තේය. එනම් රු. 1500/-ක් වෙනුවෙන් මියයෑමට සිදුවී තිබෙන්නේ මන්ද යන්න ඔවුහු නොසලකා හැරියහ.


කෙසේ වෙතත් මාලිගාවත්ත සිදුවීමේදී අදාළ පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බව පවසමින් රජය කර හැරීමට කටයුතු කළත් ඔවුන්ට එසේ කිරීමට හැකියාවක් නැත. රුපියල් එක්දහස් පන්සීයට ජීවිත පරදුවට තැබීමට මිනිසුන්ට සිදුවේ නම් ඒ රටේ රජය ඊට වගකිව නොයුත්තේ කුමක් නිසාද?


මාලිගාවත්ත කියූ සැණින් ඒ ප්‍රදේශය දන්නා ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන්නේ කුඩු, ගංජා ආදී නීති විරෝධී මත්ද්‍රව්‍ය, දුප්පත් ලෑලි නිවාස, එදා වේල වෙනුවෙන් ඕනෑම භයානක ක්‍රියාවක නියැළෙන මිනිසුන්ගේ ජීවිත, මැරයන්ගේ අපරාධකරුවන්ගේ මතකයන්ට මාලිගාවත්ත බොහෝ සමීපය. වෙඩි හුවමාරු ද මිනී මැරුම් ගැන කතාද මාලිගාවත්ත පිළිබඳව ඈඳා කියන්නට බොහෝ දෙනා පෙළඹෙන්නේ ඒ නිසා විය යුතුය. කෙසේ හෝ මාලිගාවත්තේ මැරකම් කරන්නේද මිනිසුන්ය. මැරකමක් යනු එදාවේල හොයාගැනීමට, නිවසේ හඬන දරුවන්ගේ සාගිනි නිවීමට මගක් බවට පත්ව ඇත. සැබැවින්ම ඔවුන් සිටින්නේ එම ඛේදවාචකයට අභිමුඛවය.


1500ට පෑගී මියයෑම උඩ දමන ජනමාධ්‍ය ඔවුන්ගේ ජීවිතවල මේ සැඟවුණු යථාව මතුකරන්නේ නැත. ටයර් කඩයක වැඩ කිරීම, බස්වල වතුර බෝතල් විකිණීම, ලිතයි, පොතයි කියවීම, වාහන සේදීම, යකඩ එකතු කිරීම, කඩල හා සව් කංජි විකිණීම, ඔවුන් දෛනිකව කීයක් හෝ හරි හම්බ කරගත් රැකියාය. මාසයක් එය අහිමිවීමෙන් ඔවුන් 1500ට පෑගී මැරෙන තැනට ඇද වැටුණු බව සැබෑවයි.


රජය පාර්ශ්වයෙන් කොරෝනාවට සමඟාමීව ජනතාවට මවා පෙන්වූ මිරිඟු අතරෙහි ඉදිරියෙන්ම තිබුණේ රුපියල් පන්දහස බෙදා දීමය. දාහක් කතා කියා, දාහක් නීති දමා අවසානයේ ආණ්ඩුව රුපියල් පන්දහසේ දීමනාව තමන්ගේ දේශපාලන හිතවතුන්ට බෙදුවේය. එය දේශපාලනීකරණයද කළේය. කාට බෙදුවත් රුපියල් පන්දහසකින් මාසයක් ජීවත්වීමට හැකි බවට ආණ්ඩුව උපකල්පනය කිරීම තුළම ඇත්තේ සෑහෙන විසිළුසහගත බවකි. අනෙක් පැත්තෙන් ආණ්ඩුව කියන්නේ රටේ ආර්ථිකය අනුව මීට වඩා දෙන්නට බැරි බවකි. ඒ නිසාම ආණ්ඩුවේ බැරිකමට වන්දි ගෙවන්නට මාලිගාවත්තේ කාන්තාවන් තිදෙනාට සිදු විය.


දුප්පත්කම නැති කිරීම ලංකාවේ බොහෝ කාලයක පටන් සාකච්ඡාවට බඳුන් වූ පිළිණු මාතෘකාවකි. පත්වූ බොහෝ රජයන් දුප්පත්කම නැති කිරීම උදෙසා නානාප්‍රකාර ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් ලංකාවේ ජනතාව එක්දහස් පන්සියයට සිය ජීවිත පරදුවට තබති.


ලංකාවේ අප දකින බොහෝ ක්‍රියාමාර්ග පොකට්ටුව පුරවා අවසන් වන ඒවාය. මාලිගාවත්තේ සිදුවීමද විග්‍රහ කරගත යුත්තේ ඒ අර්ථයෙන්මය.


මුස්ලිම් ආගමට අනුකූලව ව්‍යාපාරිකයන් සිය ලාභයෙන් කොටසක් (සාමාන්‍යයෙන් 2.5% ක් පමණ) දුප්පතුන් අතර බෙදා දිය යුතුය. පසුගියදා සිදුවූයේද එවැන්නකි. මුල්කාලීනව (තවමත් ඇතැම් පළාත්වල) මේ මුදල් බෙදීම සිදුවන්නේ ප්‍රදේශයේ පල්ලියට එම මුදල් ලබාදෙන පිරිසගේ මුදල් එකතු කර ඒ හරහා මුදල් ලැබිය යුතු පිරිස් වෙත බෙදා හැරීමෙනි. නමුත් ඇතැම් ස්ථානවල පෞද්ගලිකව මෙය සිදු කරන ව්‍යාපාරිකයෝ සිටිති. හජ්ජියාර්වරයෙකු විසින් මාලිගාවත්තේ ජනතාවට මුදල් බෙදා දෙනු ලැබුවේ ඒ අනුවය. සල්ලි බෙදීම සහ දුප්පත්කම නැති කිරීම අතර සම්බන්ධයක් නැත. මුදල් දෙන්නේ දරිද්‍රතාව නැති කිරීමට නොව පිං පිණිසය. එවිට හජ්ජියාර්ලාගේ පින සඳහා දුප්පත්කම පැවතිය යුතුය.


සිංහල සමාජය තුළ බොහෝ දෙනෙකු සිතා සිටින්නේ මුස්ලිම් ජාතිකයන් යනු පොහොසත් යමක් කමක් ඇති පිරිසක් ලෙසය. එහෙත් සැබෑ කාරණය මෙවැනි සිදුවීම් හරහා විශද වේ. අගනගරයට ආසන්න ප්‍රදේශයක එක්තරා පෞද්ගලික වෛද්‍යසායනයක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකු අප සමග පැවසුවේ මෙවැන්නකි. “අපට ආරංචියක් ආව මාලිගාවත්තෙ සමහර අම්මල තමන්ගෙ දරුවන්ව සල්ලිවලට විකුණනව කියල. අපි මේක ඇත්තද බලන්න අපේ කෙනෙක්ව දාල ළමයෙක්ව සල්ලිවලට ගන්න හැදුව. ඒ අම්ම ළමයට රුපියල් දෙදාහක් දෙන්න කීව. අපි දෙදාහ දීල ළමයව අරගෙන එන්න හදද්දි ඒ අම්ම ගේ ඇතුළට ගිහිල්ල තව ළමයෙක්ව වඩාගෙන ඇවිල්ල කීව, මෙයාවත් අරගෙන තව රුපියල් දාහක් දෙන්න කියල.”
ඊළඟ කතාවද වෛද්‍යවරයෙකු විසින් පැවසූවකි. ඔහු කොළඹින් දුර බැහැර රෝහලක සේවය කරන ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකි. ඔහුගේ රෝහල පිහිටා ඇත්තේ මුස්ලිම් ගම්මානයකට සහ සිංහල ගම්මානයකට අතර මැදිවය.


“මගෙන් බෙහෙත් ගන්න ගොඩක් මුස්ලිම් කාන්තාවන් එනව. ඔවුන් සෑම දෙනෙක්ම ඇඳගෙන එන්නෙ ඔවුන්ගෙ කළුපාට ඇඳුම (බුර්කාව වැනි). ඒ ඇඳුම කකුල් දෙක ගාවටම දිගයි. හිටගෙන ඉද්දි කකුල් දෙකම වැහෙනව. මෙයාල බෙහෙත් ගන්න මම ළඟට ඇවිල්ල පුටුවෙ ඉඳ ගත්තහම ගවුම ටිකක් ඉස්සෙනව. එතකොට මම දකින පොදු දෙයක් තමයි මෙයාල මේ කළු ඇඳුම යටින් ඇඳගෙන ඉන්නෙ බොහොම පරණ වෙච්ච, ඉරුණු ඇඳුම්. එහෙම නැත්නම් ඒ ඇඳුම් ගෙදරට අඳින එළියට අඳින්න තරම් සුදුසු නොවන ඇඳුම්. ඇත්තටම දුප්පත් මුස්ලිම් මිනිස්සුන්ට බුර්කාව කියන්නෙ තමන්ගෙ දුප්පත්කම වහගන්න හොඳ ආවරණයක්.”


සැබෑම කාරණය මෙයයි. මේ අප ජීවත්වන ආර්ථික ක්‍රමය තුළ ඇති විසමතාව මුස්ලිම් සමාජයටද පොදුය. එය හමුවේ ඔවුන් පීඩාවට පත්වන අවස්ථාද ඇත.


පසුගිය දිනවල කොරෝනා අරමුදල වෙනුවෙන් රජයට මුස්ලිම් ව්‍යාපාරිකයෝ මිලියන ගණන් පරිත්‍යාග කළහ. ඊට පෙර විවිධ උත්සව අවස්ථාවල, විශේෂයෙන් බෞද්ධ ආගමික උත්සව සඳහා මුස්ලිම් ව්‍යාපාරිකයන් නොමසුරුව දායක විය. එහෙත් ඒ කිසිවෙකුට සිය දරුවන් මුදලට විකිණීමට තරම් දරිද්‍රතාවයෙන් පෙළී සිටින මුස්ලිම් ජනතාව පෙනුණේ නැත. ලෝකෙට පෙනෙන්නට පිංකම් කිරීමට සිංහල, මුස්ලිම් ජාතිභේද නැත.


ලංකාවේ බොහෝ මුස්ලිම් ව්‍යාපාරිකයන්, උගතුන්, සමාජ ක්‍රියාකාරිකයන් සිතා සිටින්නේ සල්ලි ටිකක් වියදම් කළ පමණින් ජාතිවාදය නැතිකර සංහිඳියාව ඇති කළ හැකි බවකි. ඔවුහු ඒ වෙනුවෙන් බොහෝ වෙහෙසෙති. අවසානයේ ඒවා පුස් වෙඩි බවට පත්වෙයි.


මුස්ලිම් ව්‍යාපාරිකයන් සංහිඳියාව, දුප්පත්කම නැති කිරීම ආදී ඉතාම බරපතළ මාතෘකා දෙස සරල ඇසින් බැලීම දැන්වත් නැවැත්විය යුතුය. මිනිසුන් රැස්කර සල්ලි බෙදා තමන්ගේ මහජන සබඳතාව හදා ගත්තා කියා එදාවේල හම්බකර ගන්නා අසරණ මිනිසුන්ට ලැබෙන යමක් නැත.


පසුගිය දිනක මාධ්‍ය වාර්තා කළේ රුපියල් පන්දහස බෙදා දීමට සමෘද්ධි නිලධාරීන් වෙත මේ වන තෙක් මුදල් ලබා දී නොමැති බවයි. ආණ්ඩුවට සැබෑවටම ජනතාවට රුපියල් පන්දහසක් ලබා දී ඔවුන්ගේ ජීවිතවලට සහන සැලසීමේ උවමනාවක් නැත. ඔවුන් මීට පෙර මැතිවරණ කොමසාරිස්වරයාගේ පිට දමා රුපියල් පන්දහස බෙදා දීම මඟ හැරීමට මාන බැලුවේය. ආණ්ඩුවටද අවශ්‍ය වන්නේ මාලිගාවත්තේ හජ්ජියාර් මෙන් මේ මාස කිහිපය ඇතුළත මහජන සබඳතාව තර කරගෙන ඡන්ද ටික ඩැහැ ගැනීමටය.


වගකිව යුතු ආණ්ඩුවකට මුදල් බෙදූ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන මුනිවත රකිමින් සිටිය නොහැකිය. අප මේ ජීවත් වන්නේ තමන්ගේ පුරවැසියන් රුපියල් එක් දහස් පන්සියයක් වෙනුවෙන් දිවිදුන් අසරණ මිනිසුන් සිටින, විරුවන්ගේ සමයකය. රජය ව්‍යාජ වීරයන් බිහිකරන නිරර්ථක විළිරුදාවෙන් මිදී පෑගී මියයන දුප්පතුන්ට නොපෑගී සිටිය හැකි ආර්ථික පසුබිමක් හදන වැඩපිළිවෙළක් සකස් කර දිය යුතුය. ඒ ගැන ධනවත් හජ්ජියාර්ලාටත් මගපෙන්වන තැනකට රජයට යා හැකිය. මෙය හුදෙක් සිදුවීමකින් ඔබ්බට ගෙන ක්‍රියාකිරීමෙන් තොරව ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන බවත් අවධාරණය කළ යුතුය.■