ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

පසුගිය දින දහයක කාලසීමාව පිළිබඳ විමසීමේ දී දිනකට මෙරටින් හඳුනාගන්නා කොවිඞ් ආසාධිතයන්ගේ සංඛ්‍යාවල සාමාන්‍ය අගය 422කටත් වැඩි සංඛ්‍යාවක් බව පෙනෙනවා. මේ තත්ත්වය සැලකූ විට ඉදිරි දින කීපය වන විට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් තිබෙන අදහස මොකක් ද?


මේ රෝගය ව්‍යාප්ත වීම ආරම්භයට සාපේක්ෂව මෑත කාලය වන විට එක් දවසකට රෝගීන් හයසීය ඉක්මවා වාර්තා වන අවස්ථා තිබෙනවා. ඒ නිසා හාරසියයකට වැඩි සාමාන්‍ය අගයකින් මේ වන විට දිනකට රෝගීන් වාර්තා වෙනවා. ඒ වාර්තා වන්නේ පසුගිය දිනවල වාර්තා වුණු රෝගීන්ගේ ආශ්‍රිතයන්. රෝගියෙක් වාර්තා වුණු විට එම රෝගියාගේ ආශ්‍රිතයන්ට රෝගය වැළඳී ඒ අය තුළ වාහකයා පෙනහළු පද්ධතියෙන් එළියට එන්න තවත් සති දෙකක් පමණ ගත වෙනවා. 67000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනය වෙමින් ඉන්නවා, ඒ වගේම තවත් අය දිනපතා නිරෝධායනය වෙමින් ඉන්නා කණ්ඩායමට එකතු වෙනවා. ලංකාවෙන් හඳුනාගත් මුළු කොවිඞ් රෝගීන් සංඛ්‍යවෙන් 5000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට රෝහල්වලින් නිවෙස්වලට ගොස් තිබුණත් නිරෝධායනයට යොමුකර සිටින අයත් තවම රෝගී වීමේ සීමාවේ සිටින අයයි. ඒ අයගෙන් දිනපතා යම් සංඛ්‍යාවක් රෝගීන්ගේ ලැයිස්තුවට එකතු වෙනවා. ඊට අමතරව ආශ්‍රිතයින් හඹා ගොස් කරන පරීක්ෂාවල දී ත් අලුතෙන් රෝගීන් වාර්තා වෙනවා. ඒ නිසා තව සති දෙකක් පමණ ගත වන විට අනිවාර්යෙන්න්ම රෝගීන් මුළු රෝගී සංඛ්‍යාව තව දහස් ගණනකින් වැඩි වීමේ අවදානම තිබෙනවා. නමුත් දැන්ම සිට අපි මේ රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තව සති දෙකක් තුනක් පමණ හරියට අනුගමනය කළොත් පසුගිය කාලයේ වාර්තා වුණු රෝගී පොකුරු නිවී ගිය ලෙසම මේකත් නිවී යෑමේ අවස්ථාව උදා කරගන්න පුළුවන් වේවි. නමුත් ඒකට දැඩි කැපවීමක් අවශ්‍යයි.

ඔබ කැපවීම ලෙස අදහස් කරන්නේ මොකක් ද?


මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය උපදෙස් හරියට ම පිළිපැදිය යුතුයි. දුරස්ථභාවය තබා ගැනීම්, සබන් භාවිතා කර අත්සේදීම්, මාස්ක් නිසි ආකාරයෙන් පැළඳීම් ආදී ලෙස නිර්දේශ කර තිබෙන සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදිය යුතුයි. අපි මාස්ක් එකක් පළඳින්නේ බාහිර පරිසරයේ තිබෙන කොවිඞ් වෛරසය අපේ ශරීරයට ඇතුල්වීම වැළැක්වීමටයි. ඒ නිසා මාස්ක් එකේ පිට පැත්තේ කොවිඞ් වෛරසය ගෑවී තිබෙන බවට සැක කළ යුතුයි. නමුත් අපේ රටේ බොහෝ දෙනා මාස්ක් එක දාගෙන ඒක පිටතින් අල්ලා එහෙට මෙහෙට කරනවා. රටේ දේශපාලන නායකයෝ, ආගමික නායකයෝ, වෛද්‍යවරු බොහෝ දෙනා ඒ විධියට මාස්ක් එක නිතර ඇල්ලීම කරනවා. බාහිර පරිසරයේ කොවිඞ් ආසාධිතයෙකුගෙන් කොවිඞ් වෛරසය මාස්ක් එක මතට ඇවිත් තිබෙනවා නම් මේ විධියට ඇල්ලීම හරහා එය තමන්ටත් ආසාධනය විය හැකියි. ඒ වගේම මාස්ක් එක පහළට කර මූණ ඇල්ලීමත් කරනවා, එතකොට දන්නේම නැතිව භාහිර පරිසරයේ තිබෙන වෛරසය මූණේ ගෑවීමටත් ඉඩ තිබෙනවා. කතා කරනව විටත් මාස්ක් එක පහළට කර කතා කිරීම කරනවා, ඒ සියලු දේ වැරදියි. ඒ නිසා මාස්ක් එක වුණත් නිවැරදි ආකාරයට භාවිතා වෙන්න ඕනෑ.


රෝගය තවම සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණි බවක් වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී නැහැ. එහෙත් විවිධ රජයේ ආයතන, මාධ්‍ය ආයතන මෙන්ම විවිධ ප්‍රදේශ වලිනුත් කොවිඞ් ආසාධිතයන් හඳුනාගැනීම සිදුවෙනවා. මේ සියලුදෙනා තවමත් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් ලෙසයි. ඒ, ඒ පිළිබඳ සැබෑ ලෙසම තහවුරුකරගෙන ද?


ඒක තාක්ෂණික කාරණයක්. වසංගත රෝග විද්‍යා ඒකකය කියන්නේ බෝවන රෝග මර්දනය සඳහා වන ප්‍රබල ඒකකයක්. එහි මෙහෙයුම් ජාලය ඉතාම ප්‍රබලයි. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා කියන පුද්ගලයාට බොහෝ බලතල තිබෙනවා. ඒක ඒ බලතල ක්‍රියාත්මක කර මේ රෝගය පැතිරීම පාලනය කරන්න පුළුවන් විධියේ තනතුරක්. ඒ නිසා ඒ ආයතනයෙන් මේ වසංගත රෝගය පිළිබඳ ලබා දෙන පුරෝකථන, අර්ථ දැක්වීම් ආදී සියලු දේ අපිට පිළිගැනීමට වෙනවා. ඒ නිසා රෝගය සමාජගත වී ඇති ද කියන කාරණය තහවුරු කරන්න ඕනෑත් වසංගත රෝග විද්‍යා ඒකකයෙන්මයි. වෙන කණ්ඩායමක් විද්‍යාත්මක සහ තාක්ෂණිකව ඒකට සුදුසු නැහැ. ඒ නිසා මේ සොයාගන්නා හැම රෝගීන්ම ඒ පොකුරු දෙකෙන් එකකට සම්බන්ධයි කියලා ඒ අය පුන පුනා කියනවා නම් අපිට ඒකට තර්ක කිරීමට තරම් විද්‍යාත්මක නොවන පදනමකට බහින්න ඕනෑ නැහැ. හැබැයි ඒකත් කියන්න ඕනෑ සොයාගන්න බැරි සම්බන්ධතාවයක් කොහෙන්හරි හම්බවුණාමයි. එවැනි එකක් හෙට හම්බවුණත් කියවෙන්නේ මේ රටේ ඕනෑම තැනකින් රෝගියෙක් වාර්තා වෙන්න පුළුවන් කියලායි. රටේ විවිධ වූ ස්ථාන වලින් රෝගීන් වාර්තා වන අතර ඒ පොකුරු අතර අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා නම් සමාජ ව්‍යාප්ති මට්ටමකට පැමිණ ඇති බවට විද්‍යාත්මක ලෙස පිළිගැනෙනවා. එහෙම නම් ඒක සමාජයේ ඕනෑම තැනක තිබිය හැකියි. ඒ වගේම එවැනි එක් අහඹු සිදුවීමක් පමණක් නම් ඒ මට්ටමට එළඹී ඇතැයි තීරණය කරන්න බැහැ. එවැනි අහඹු සිදුවීම් කීපයක් ම වුණොත් ඒ තීරණය ගන්න පුළුවන්. ඒක ඇත්තටම විද්‍යාත්මකව නිර්වචනය කිරීමක් පමණයි. නමුත් දැන් රෝගීන් වාර්තා වන හැටියට සම්බන්ධතාවය හොයාගෙන මේක කරනවාට වඩා දැන් මේක ඒ තත්ත්වයට ගිහින් කියලා හිතාගෙන කටයුතු කරන එක ආරක්ෂිතයි.


ඇතැම් කොවිඞ් ආසාධිතයන් මියගොස් තිබුණේ නිවෙස්වල රැඳී සිටිය දී වන අතර ඔවුන්ට කොවිඞ් ආසාධිත බව තහවුරු වූයේ මිය ගිය පසුයි. ඇතැම් විට මෙලෙස රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවීමේ තත්ත්වයට හේතුව අනිසි බිය ද?


හෘද රෝගවලට, වකුගඩු රෝගවලට හා වෙනත් රෝගාබාධවලට ප්‍රතිකාර ලබා ගත් අය දැන් කොවිඞ් පරීක්ෂණයට බය නිසා රෝහල් වලට ඒම අඩුවී තිබෙනවා. ඒක හරිම අපරාධයක්. රෝහල් කාර්ය මණ්ඩලය කොවිඞ් වලට බය නැහැ, කොවිඞ් හදාගන්නේ නැතිව වැඩ කරන්න ඕනෑ ආකාරය ඔවුන් දන්නවා. ඒ නිසා බයවෙලා ඉන්න අවශ්‍ය නැහැ. ජාතික රෝහලේ පවා වෙනත් රෝග වලින් සිදුවන මරණ දිනකට දහයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. කොවිඞ් රෝගයෙන් සිදුවන මරණ වලට වඩා වැඩි සංඛ්‍යාවක් ඒ නිසා වෙනත් රෝග නිසා වාර්තා වෙනවා. එසේ බිය වීමට හේතුව සම්බන්ධයෙන් මට හරි නිර්වචනයක් දිය නොහැකියි. අන්තර්ජාලයේ ප්‍රචාරය වන ඒවාටත් ඇතැම් විට මිනිස්සු බය වෙන්න ඇති. කොහොම වුණත් ඒකට හරි හේතුව මොකක් ද කියලා ඔප්පු කරගත් කාරණයක් අපි ළඟ නැහැ.


පවතින තත්ත්වය සැලකිල්ලට ගත් විට ඉදිරි සති කීපය තුළ පළාත් මට්ටමින් හෝ රට හෝ සම්පූර්ණ වසා දැමීමකට නොගොස් මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකි වේ යැයි බලාපොරොත්තු තැබිය හැකි ද?


සෞඛ්‍ය අංශ සහ රජය එකතු වී ගන්නා තීරණ වලට විවිධ වූ කාරණා බලපානවා. රටක් වසා දැමීම පහසු කාරණයක් නෙමෙයි. විවිධ රටවල් විවිධ නිර්ණායක හදාගෙන කොවිඞ් වලින් වැඩි බලපෑමක් වෙන්න පුළුවන් කණ්ඩායම් හඳුනාගනිමින් කටයුතු කරමින් යනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න වෙන්නේ කොවිඞ් කියන්නේ තවත් එක්තරා බෝවන රෝගයක් විතරයි කියලායි. එයින් වන මරණ සංඛ්‍යාව අඩුකරගෙන රටකට සිදුවිය හැකි ආර්ථික හා අනෙක් සිදුවිය හැකි බලපෑම් අඩුකරගෙන යන ක්‍රමවේදයකට යෑම මිස ලොක්ඩවුන් කරනවා කියන දේ මේකට එකම උත්තරය නොවෙයි. එය එක්තරා දෙයක් විතරයි. විය යුතු වන්නේ එක්වරම වැඩි වුණු විට තාවකාලිකව වසා යම් මට්ටමකට පාලනය කරගැනීමයි. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරනවා නම් ඇත්තටම ලොක්ඩවුන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.


මේ වන විට මෙරටින් හඳුනාගන්නා කොවිඞ් ආසාධිතයන්ගේ ශරීරගතව ඇති වෛරස කාණ්ඩය ඊ.1.42 නම් ප්‍රබල අනුකණ්ඩයකට අයත් බවත් එහි යම් යම් ලක්ෂණත් තහවුරු වූ බව පසුගිය දිනවල වාර්තා වුණා. එම හඳුනාගැනීම් සමග ඒ සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ තිබූ ක්‍රමවේදය වැඩි දියුණු කරගැනීම් සම්බන්ධයෙන් කිසිවක් සිදුව තිබේද?


වෛරසය ලේසියෙන් හා ඉතා ඉක්මනින් බෝ වන බවට ඒ අනුව මහජනතාවට දැනුම් දුන් නිසා වඩාත් උපක්‍රමශීලී ලෙස කටයුතු කිරීම වැදගත් වෙනවා. ලේසියෙන් බෝ වී ලේසියෙන්ම මිනිස්සුන්ගේ ස්වසන පද්ධතිය ආසාධනය කළාම වෙනදාට වැඩි ප්‍රමාණයක් මිනිස්සුන්ගේ ආසාධිතයන් බවට පත්වීම, රෝහල්ගත කිරීම, මරණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒක දැන් ඔප්පු වෙලාත් තියනවා. ඒ නිසා මේකෙන් අවබෝධ කරගත යුතු කාරණය එයයි, ඒ අනුව කටයුතු කළ යුතුයි.


කොවිඞ් පාලනය වෙනුවෙන් මෙරටට ඩොලර් බිලියන ගණනක ආධාර ලැබී තිබෙනවා. නමුත් කොවිඞ් පාලනය සම්බන්ධයෙන් වන පහසුකම් වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් ඒවා නිසි භාවිතයක යෙදී නැති බව පෙනෙනවා. මේකට හේතුව මොකක් ද?


ඇත්තටම ඒවා පිළිබඳ ප්‍රකාශ කිරීමට තරම් මම දැනුවත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටින නිසා මට බොහෝ ප්‍රශ්න යොමු වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මට නිල තනතුරක් ලබා දී හෝ පත්වීම් ලිපියක් ප්‍රධානය කර හෝ වගකීමක් පැවරීමක් හෝ බලයක් ලබා දීමක් සිදු කර හෝ නැහැ.

අමාත්‍යවරියගෙන් ඒගැන විමසූ විට කියා සිටියේ මේ අවස්ථාවේ රෝගයෙන් බේරී සිටිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම් සහ අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය කාරණා සම්බන්ධනේ මිනිස්සු දැනුවත් කිරීමට අදාළ ප්‍රකාශ ලබා දෙන ලෙසයි. රටේ මිනිස්සු දැනුවත් කරන ලෙස අමාත්‍යවරිය කළ ඉල්ලීමට මට පිටුපෑමට නොහැකියි, මම ඒ වගකීම ඉටු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නම් වගකීම් රාශියක් දැරිය යුතු තනතුරක් වුවත් එවැනි තනතුරක් නිල වශයෙන් මට ලබා දී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here