රොෂාන් සල්පගේ[email protected]


කුවේටයේ සිට මැයි මස 19 හා 20 දිනවල ලංකාවට ගෙන්වා ගත් 466 ක පිරිස අතරින් අතිබහුතරයකට හා කටාර්වලින් ගෙන්වා ගත් 270 න් අඩකටත් වඩා වැඩි ගණනකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග ලංකාවේ සෞඛ්‍යය අංශ තැතිගැන්මට ලක්ව ඇත. ලාංකීය සෞඛ්‍ය අංශයේ ධාරිතාව ගැන සැලකූ විට ඔවුන්ගේ එම තැතිගැන්ම සාධාරණය. කටාර් රාජ්‍යයේ සිටින ලාංකියකන් 1061 ක් ආසාදිතයන් බවට පත්ව ඇති බවට පුවත් පළවීම හා කුවේට්වලින් රැගෙන ආ රෝගින් දෙදෙනෙකු මියයාමත් සමග මෙම තැති ගැන්ම දෙගුණ තෙගුණ වී ඇත. ඩුබායි රටේ ද 150 කට අධික ලාංකීය ආසාදිතයන් ඇති බවද දැනගැනීමට ඇත. රෝගීන් 2500 ඉක්මවූ පසු ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට එය දරාගත නොහැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දේ.


“විදෙස්ගත මිතුරනි කොරෝනා හදාගෙන ඔබ මෙහේ එන්න එපා, ඉන්න තැනකට වෙලා පරිස්සමට ඉඳල කොරෝනා ඉවර වුණාම ලංකාවට එන්න.”


“පිටරටවල ඉන්න මිනිස්සු බයට ලංකාවට දුවන් එන එක ඔක්කොටම වඩා භයානකයි වගේ. සෙට් එකම පිටින් positiv වෙන්නෙ. ඉන්න තැනක පරිස්සමට ඉන්න.”


මේ සමාජ මාධ්‍යය තුළ ලංකාවේ ජනයා පිටරටින් කොරෝනා රෝගීන් පැමිණීම පිළිබඳව දක්වා ඇති අදහස් අතුරින් කිහිපයකි. මෙයින් ගම්‍යමාන වන්නේ පිටරටින් පැමිණෙන පුද්ගලයන් නිසාම ලංකාව කොරෝනා තවානක් වී රටම අනාරක්ෂිත වෙතැයි යන සිතුවිල්ලය. අතිවිශාල ණය කන්දක් සමග පොරබදන සෞඛ්‍ය පහසුකම් සීමාසහිත රටක පුරවැසියන් මේ ගැන මෙතරම් බියවීම පිළිබඳවද අප පුදුම විය යුතු නැත. නමුත් මෙම මැදපෙරදිග සේවකයන් යනු රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එමින් අපේ මව්බිමේ ආර්ථිකය පෝෂණය කළ ජනතාවකි. එනයින් ගත් කල ඔවුන් සබැඳිව අත්හළ නොහැකි වගකීමක් අප සතුව ඇත. ගඟෙන් එතෙර වූ පසු පාරුව කර තබා ගෙන නොයෑම ලාංකීයන්ගේ අභිමානවත් සිරිතකි. කොරෝනා මර්දන සටනේ විරුවන් වූ නාවික හමුදා සෙබළු රණවිරුවන් ලෙස හඳූන්වා පසුව සමාජ මාධ්‍යයේ ඇතැම් අයට ඔවුන් නේවිකාරයන් වූයේ ද, ඔවුන් ගැන හා ඔවුන්ගේ පවුල් ගැන පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කළේ ද ස්ලැබ් එක සවි වූ පසු සැටලිම ගැලවීම අපේ භාවිතාව වූ බැවිනි. ලංකාවට වැඩිම ආදායම් ලබන කේෂ්ත්‍රය වන්නේද විදේශ සේවා නියුක්තියයි. එයිනුත් මැදපෙරදිගින් ලැබෙන පංගුව ඉතා විශාලය. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා 2019 වසරේදී ප්‍රකාශ කළ පරිදි ඒක පුද්ගල ණය බැර රුපියල් 535,000කි. රටම ණයව ඇති මොහොතක විදෙස්ගතව තම දාඩිය මහන්සිය වපුරා රටට විදේශ විනිමය එවා ණය බර සැහැල්ලු කළ රට විරුවන් ලෙස අපිම ලේබල් ගැසූ මොවුන් සැබෑ ලෙසම මව්බිමට අපට වඩා යුතුකම් ඉටුකර ඇති රටට ණය නැති අපේම පුරවැසියන් ය. ඔවුන් එවූ මුදල් රටක් ලෙස පරිභෝජනය කළ අප, ඔවුන් අමාරුවේ වැටී ඇති මේ මොහොතේ ඔවුන්ට වෙනස්කම් කළ හැකි ද? යුද්ධය තිබූ කල්හි රණවිරුවන් වූ ත්‍රිවිධ හමුදා සෙබළුන් යළිත් සත්‍යය ලෙසම රණවිරුවන් ලෙස අභිෂේක ලබන්නේ කොරෝනා නිසාවෙනි. කොරෝනාවලට පෙර රට විරුවන් ලෙස කිරුළු පළන් විදෙස්ගත ශ්‍රමිකයා දැන් අසරණ වූ පසු එසේ රට විරුවකු නොවේද? අප ඔවුන්ට රට විරුවකු ලෙසම සලකා තිබේ ද යන්න අප අපගේම හෘදය සාක්ෂිය තුළින්ම ප්‍රශ්න කළයුතු හෝරාව දැන් එළබ ඇත.


ශ්‍රමිකයන් වර්ග


එක් එක් අය මුහුණ දී ඇති අවදානම වඩා හොඳින් තේරුම් ගැනීම පිණිස රැකියාව හා ජීවත්වන පරිසරය අනුව මැදපෙරදිග විගමණික ශ්‍රමිකයන් වර්ග 05 කට බෙදා දක්වමි.

01.ස්වදේශික අරාබි නිවෙස්වල සේවය කළ සේවකයන්
අරාබි ජාතිකයන්ගේ නිවෙස්වලට වී සේවය කරන ගෘහ සේවිකාවන්, ළමයින් බලාගන්නා නැනීවරු හා ගෘහස්ත රියදුරන් මෙම කොටසට අයත් වේ. ඩුබායි රාජ්‍යයේ නම් ස්වදේශිකයන් වැඩිපුර සිටින අල් රෂ්ඩියා වැනි ප්‍රදේශවල මේ කාණ්ඩයට අයත් ලාංකිකයන් වැඩි වශයෙන් සේවය කරන අතර නිවසේම වෙනත් කොටසක හෝ නිවසින් පිටත නමුත් නිවසට ආසන්නව ඉඳුම් හිටුම් පහසුකම් සපයා ඇති බාහිර සමාජය සමග ගැටීම අවම බැවින් කොරෝනා අවදානම ඉතා අවම ය.

02.සුදු කරපටි රැකියා කරන අය
කළමනාකරුවන්, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් හා ප්‍රමාණ සමීක්ෂණ වැනි රැකියාවල නියුතු ඉහළ වැටුප් ලබන මූල්‍ය අතින් ස්ථාවර පිරිසකි. බාහිර සමාජය හා ගැටුණද පුද්ගල දුරස්ථභාවය තබාගෙන තම එදිනෙදා ජීවිතය ගෙන යාමේ හැකියාවක් මෙම කාණ්ඩයට අයත් පිරිසට තිබෙන බැවින් සාපේක්ෂව මොවුන් ආරක්ෂිතය. ඩුබායිවල රැකියාවල නියුතු බොහෝ අය සාජාවල සිට තමන්ට අයත් මෝටර් රථවලින් ගමන් පහසුව ලබා ගනී. මෙම කොටසට අයත් බොහෝ අය පවුල් ඒකක ලෙස පදිංචිව සිටින අතර තානාපති අංශ සමග ද සුහදව කටයුතු කරයි. එම රටවල පාසල්වලට තම දරුවන් යවා උගන්වන මොවුන්ගෙන් ඇතැම් එම රටේ මුල්‍ය ආයතනවලින් ණය ලබාගෙන එම මුදල් ලංකාවේ ව්‍යපාරවල ආයෝජනය කර ඇත. එම ණය නොගෙවා මෙරට පැමිණීමේදී ගැටලු මතුවන බැවින් වැටුප් කප්පාදු කිරීම්, රැකියා අහිමිවීම් හා ළමුන්ගේ පාසල් ගාස්තු ගෙවීම දුෂ්කරවීම හමුවේ මොවුන්ද යම් මට්ටමකින් අසරණව ඇත.

03.කර්මාන්ත සේවා ආයතනවල සේවය කරන කම්කරුවන්
පිරිසිදු කරන්නන්, ආරක්ෂකයින් හා නඩත්තු කම්කරුවන් ලෙස සේවය කරන මොවුන් කම්කරුවන් සඳහාම වෙන්වූ ජනපද හා ජනාවාසවල (Labor camp) නවාතැන් පහසුකම් සේවායෝජකයා විසින් ලබා දී ඇත. සීමිත ඉඩකඩක් තුළ වැඩි පිරිසක් සිටීම හා සනීපාරක්ෂක පහසුකම් සීමිතවීම නිසා මෙම පිරිස කොරෝනා හමුවේ ඉහළ අවදානමකට මුහුණ පා ඇත. කොළඹ බණ්ඩාරනායකපුර කොරෝනා අවදානම ජන ඝනත්වය නිසා ආසාදිතයන් වර්ධනය වුයේ යම් සේද ඊටත් ඉහළ අවදානමක් මෙම කම්කරු ජනපදවල පවතී. අල් කූස් , අල් ජබල් අලි, අල් සෆා යනු ඩුබායිහි සුප්‍රකට කම්කරු ජනපදයන්ය. මාසිකව ගෙවීමේ පදනම මත ඉන්දියානු අවන්හල්වලින් හෝ ණය පදනම මත ඉන්දියානු වෙළෙඳසැල් වෙතින් භාණ්ඩ මිලට ගෙන තමන්ම ආහාර සකසා ගනී. කම්කරු ජනපදවල ස්වභාවය මෙම චර්යා නිසා මොවුන් වැලිසර නාවික හමුදා සෙබළුන් මුහුණ දුන් තරමේ ඉහළ අවදානමකට මුහුණදෙමින් සිටී. ඕමානය, ලෙබනනය හා ජෝර්දාන් රටවල මෙවැනි ජනපද අවම වුවත් සෙසු රටවල මෙවැනි කම්කරු ජනපද දක්නට ලැබේ. විශේෂයෙන්ම කටාර් හා ඩුබායි රටවල මේවා ඉතා සුලබය. ස්වදේශිකයන් මෙම පෙදෙස්වල වාසය නොකරන බැවින් මේ ප්‍රදේශවලට එම රටවල සෞඛ්‍ය අංශවල අවධානයට ලක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලට ලක්වන ආකාරයෙනි. සේවායෝජකයා කුලී ගෙවා නවාතැන් සපයා ඇති බැවින් මොවුන් භුක්ති විඳින එකම සැනසිල්ල වන්නේ නිදන්නට ඇති ඇඳ අහිමිව පාරට නොවැටීම යන සුරක්ෂිත බව පමණි.

04.නිදන අවකාශය කුලියට ගත් ගැහැනුන් සහ මිනිසුන්
සුපිරි වෙළෙඳ සැල්වල සේවකයින්, මුදල් අයකැමිවරු, අර්ධකාලීන ගෘහසේවකයන් හා සේවිකාවන් හා ආයතනවලට අනුයුක්තව සේවය කරන රියදුරන් මේ කොටසට අයත් ලෙස සැලකිය හැකි ය. තම නිවසේ ඇති ඉඩ පහසුකම් හොඳම කාමරය බෙදාගැනීමට තම සහෝදරයා, සහෝදරිය සමග අඬදබර කළ අපේ ලාංකිකයන් වර්ග මීටර 16ක් තරම් වූ කුඩා ඉඩක තට්ටු ඇදන් 4 ක් දමා ඇඳන් 8 ලෙස සකසාගෙන 8 දෙනෙකු සඳහා නිදාගැනීමට පහසුකම් සපයා ගනී. එසේ නිදන අවකාශයක් කුලියට ගැනීමට නම් ඩුබායිවල නම් ඩිරාම් 500 ක් (රු 25000 ක් වැනි මුදලක්) ගෙවිය යුතුය. අල් සත්වා, අල් කරාමා හා අල් ජුමේරා ඩුබායි රටේ මෙවැනි අය ජීවත්වන ප්‍රදේශයන්ය. මොවුන් විසින් මෙතෙක් කරනු ලැබූ රැකියාවන් බොහෝ දෙනෙකුගේ අහිමිව ඇත. රැකියාව අහිමිවීමත් සමගම රැකියාව සමග ඔවුන්ට හිමිව තිබු සෞඛ්‍ය රක්ෂණ ය ද අහිමිව ඇත. ආහාර හා බෙහෙත් සඳහා වියදම් අත ඉතිරි මුදලින් දරාගැනීමට සිදුව ඇති නිසා මොවුන්ට තමා කුලියට ගත් නිදන ඇඳ අහිමිවන තැනකට දැන් පැමිණ ඇත. නිදන ඇඳ අහිමිව ගිය විට හිතවතකු ළඟට ඔවුන් සමග කාමරය බෙදාගැනීම මොවූන් හුරුව ඇත. ඉතා කුඩා ඉඩක පුද්ගල දුරස්ථභාවය යනු සත්‍යය වශයෙන්ම විහිළුවක්ම පමණි. ඒ නිසාම මෙම පිරිස කොරෝනා ආසාදිතයන් වීමේ ඉතා ඉහළ අවදානමකට දැන් ලක්ව ඇත. මුල් කාලය තුළ කාමරයේ සිටින එක් අයකුට කොරෝනා වැළඳුණු පසු සාත්තුව සඳහා ඉදිරිපත් වන එක් අයකු හෝ දෙදෙනෙකු හැර අනෙක් වෙනත් නවාතැනක් සොයා ගියද අත ඇති මුදල් අවසන් වීම නිසා දැන් හැකි ලෙස පරිස්සමෙන් ආසාදිතයා සමගම වාසය කිරීමට විගමණික ශ්‍රමිකයන් දැන් හුරුව ඇත.

05.ගිවිසගත් සේවායෝජකයා හැර ගිය පිරිස (Absconding workers)
මෙම පිරිසට අයත් වන්නේ තමා නීත්‍යනුකූලව සේවය කිරීමට පැමිණි ආයතනය හෝ නිවස නොදන්වා හැරදා ගොස් වෙනත් රැකියාවලට යොමු වූ පිරිසය. මේ පිරිස අතුරින් බොහෝ දෙනෙකු සතුව වලංගු වීසා හෝ ගමන් බලපත්‍ර නොමැත. මොවුන් බොහෝ විට ස්වදේශික නොවන අරාබි ජාතිකයන්ගේ නිවෙස්වල හා ඉන්දියාවෙන් පැමිණ ඉහළ රැකියා කරන අයගේ නිවෙස්වලද සේවය කරමින් සිටී. එම පුද්ගලයන් ද, රැකියාවන්ද අහිමිවීම හා වැටුප් කප්පාදුවට මුහුණ දී ඇති නිසා මෙන්ම කොරෝනා අවදානමට බියවීම නිසා ඔවුන් විසින් මෙම සේවකයන්ගේ සේවය ප්‍රතික්ෂේප කරමින් සිටින තත්ත්වයක් උදා වී ඇත. මෙම පිරිස පිළිබඳ තානාපති කාර්යාල සතුවද දත්ත නොමැති වීම තුළ නිසි සම්බන්ධීකරණයක් නොමැති බැවින් මොවුන් ඉතාම අසරණ අඩියකට පත්ව ඇත. කොරෝනා හමුවේ වඩා ඉහළම අවදානමට ලක්ව ඇත්තේ මෙම පිරිස වන අතර මොවුන් වෙත යම් මට්ටමකින් හෝ සරණක්ව ඇත්තේ ඉහත තුන්වන හා හතරවන කාණ්ඩවලට අයත් ලාංකිකයන්ය.


ආහාර හා ඖෂධ


රැකියාව හා සෞඛ්‍ය රක්ෂණය අහිමිවීම නිසා මැදපෙරදිග කලාපයේ සේවකයන් ආහාර හා ඖෂධ හිඟයකට මුහුණදෙමින් සිටී. තනි පුද්ගලයන්ට කළ හැකි සීමාව මෙන්ම සිවිල් සංවිධානයන්හි ධාරිතාවද ඉතා ඉක්මනින් අවසන්වෙමින් පවතී. මැදපෙරදිග සෞඛ්‍යය වියදම් ඉතා මිල අධිකය. හෙම්බිරිස්සාවක් වැළඳුණද බෙහෙත් ගැනීම සඳහා රුපියල් 7500 ක් වැනි මුදල් ඔවුන්ට දැරීමට සිදුවේ. කඩිනමින් මොවුන් ගෙන්වා නොගතහොත් කොරෝනා වැළඳෙන තෙක් වත් ජීවත්ව නොසිට ආහාර හා වෙනත් රෝග සදහා ඖෂධ නොමැතිව මොවුන් මියයනු ඇත.


ආන්දෝලනාත්මක වූ කුවේටය


කුවේටය තුළ ලාංකිකයන් 110,000ක් පමණ සිටින අතර එයින් 17000 කට ආසන්න පිරිසක් වලංගු වීසා බලපත් නොමැතිව සිටින බව විශ්වාස කෙරේ. කුවේට් රාජ්‍යය විසින් අප්‍රේල් මස 1 වන දින සිට 30 වන දින දක්වා වීසා බලපත් නොමැති අය සඳහා පොදු සමා කාලයක් ලබාදුන්නද ලක් රජය එම අවස්ථාව භාවිත කොට සේවකයන් ගෙන්වා නොගත් බව කුවේටයේ රැඳී සිටින ලාංකිකයන්ගේ චෝදනාව වේ. මෙම පොදු සමා කාලය තුළ කුවේටයේ ෆර්වානියා නගරයේදී බාර වූ පිරිසක් වලංගු ගමන් බලපත් නොමැතිවීම මත තානාපති කාර්යාලය විසින් තාවකලික බලපත් සකසා නොදීම නිසා ඔවුන්ට ලංකාවට පැමිණීමට නොහැකිව අසරණව සිටින බව ඔවුන් දැඩිව චෝදනා කරයි. මෙම පිරිස රැකියාවලින් ඉවත්ව තම නවාතැනින් ඉවත්ව පැමිණ ඇති නිසා මොවුන් දැඩිව අසරණ වී ඇත. කුවේට් රටේ සිට කෙළින්ම පැමිණ ඇත්තේ කොරෝනා ආසාදිතයන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි. සිදුව ඇති දෙය පිළිබඳව කල්පනා කොට බැලූ විට එය සත්‍යය බවද වැටහී යයි. කොතැනක හෝ වැරදී ඇත. නමුත් අවශ්‍ය වන්නේ ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව ගෙන මැදපෙරදිග සේවකයන් ආරක්ෂිතව ගෙන්වා ගැනීමය.


සිවිල් සංවිධාන හා පුද්ගල කණ්ඩායම්


මැදපෙරදිග අසරණ වූ අයට මේ මොහෙතේ වියළි සලාක හා ඖෂධ බෙදා දෙමින් පිහිට වෙමින් සිටින්නේ “සහන” හා “එතෙර අපි” වැනි විගමණික ශ්‍රමිකයන් විසින්ම සකසා ගත් සිවිල් සංවිධාන හා පුද්ගල කණ්ඩායම් විසිනි. තොරතුරු ගවේෂණයේදීද දිගු කලක් ඩුබායිහි රැඳී සිටි බුද්ධික යසස් හා කුවේට්හි ඉන්දික සුපුන් යන අය මා වෙත අනගි සහයක් ලබා දෙන ලදි.


ප්‍රායෝගික විසඳුම්


ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට (IHR) අනුව යම් රටකදී කොරෝනා වැළඳුණු පසු රෝගියා පිළිබඳ වගකීම භාරගෙන ප්‍රතිකාර කිරීම සම්මතය වේ. නමුත් එය එලෙසම සිදුවන තෙක් බලා නොසිට කුවේට්, කටාර්, ලෙබනන්, සෞදි හා ජෝර්දාන් යන රාජ්‍යයන් වෙත අපගේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් යවා PCR පරීක්ෂණ ඔවුන් ලවා සිදුකර නිවැරදිව ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් අදාළ රටේ ප්‍රතිකාර සඳහා යොමු කිරීම හා හඳුනාගත් නිරෝගීවුවන් ලංකාවට ගෙන ඒම වඩා යෝග්‍ය විසඳුමක් වනු ඇත. විගමණික ශ්‍රමිකයන් කොරෝනා නොව වෙනත් ලෙඩවලින්ද පීඩා විඳින බැවින් මෙවැනි සෞඛ්‍ය කණ්ඩායමක් යැවීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඩුබායි රාජ්‍යයේ නම් PCR පරීක්ෂණ නිවැරදිව සිදු කරගැනීමේ අවකාශය ඇති බැවින් තානාපති කාර්යාලය හරහා රජය මැදිහත් වී ලාංකිකයන් ගෙන ඒම සඳහා යවන ගුවන් යානයක රැගෙන ඒමට අපේක්ෂා කරන පිරිස් පිටත්වීමට ආසන්නම දිනක PCR පරීක්ෂණයට ලක් කොට නිරෝගීවුවන් ලංකාවට රැගෙන ඒමට ක්‍රියාකළ හැක. වර්තමාන දේශපාලනය තුළ ක්‍රියාකාරීව සිටින වෛද්‍යවරුන් වූ මැති ඇමතිවරුන්ට මේ සඳහා පක්ෂ භේදයකින් තොරව දේශපාලන නායකත්වය ලබාදිය හැක. ලංකාවට රැගෙන එන තෙක් නවාතැන් හා ආදායම් අහිමි වූ පිරිස් කුලියට ගත් සුරක්ෂිතාගාරයක (Safe house) රැඳවිය හැකි නම් රෝගය වැළඳීමේ අවදානමෙන් මෙම පිරිස් යම්තාක් දුරට ගලවාගත හැකි වනු ඇත.


විගමණික ශ්‍රමිකයාගේ ජන්ද අයිතිය තහවුරු කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය හැකි නම් ඔවුන් ගැන මීට වඩා රටේ හා දේශපාලකයන්ගේ අවධානය ඉදිරියේදීවත් යොමුවනු ඇත.


රටට යුතුකම් ඉටුකළ විගමණික ශ්‍රමිකයාට මව්බිමේ උපකාරය අවශ්‍යම මොහොත දැන් උදා වී ඇත. අප හා සංවාදයේ යෙදුණු බොහෝ අය ඉල්ලා සිටින්නේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉහළ සැප පහසුකම් නොව, තම ජීවිතය බේරා දෙන ලෙස පමණි. ආරක්ෂිතව ඔවුන් මව්බිමට ගෙන්වා නිවැරදි ලෙස නිරෝධානය කළ ඔවුන්ට මෙම අනාරක්ෂිත බවින් ගලවා ගතහොත් ඔවුන් තව බොහෝ කලක් මව්බිමට තම යුතුකම් ඉටුකරනු ඇත. එය අප විසින් කළ යුතුමය. මැයි මස තුළදී බාහිර සමාජයෙන් කිසිදු අසාදිතයකු හමු නොවන ලෙස කොරෝනාව පාලනය කළ රජයට හා සෞඛ්‍ය අංශවලට එය කළ හැකි බවද විස්වාස කරමි.

3 COMMENTS

  1. මැදපෙරදිග වැලිකතරට රහසේම අවසන් හුස්මපොද පා කර හරින, කුසගින්න හා ප්‍රතික්ෂේප වීම විසින් ජීවිතේ අවසාන බළාපොරොත්තුවද අහිමි කළ අපේම මිනිසුන්ගේ #රාවය
    ආර්ථිකය ශක්තිමත් කරන ජීවනාලිය වූ වරදට ජීවිත වලින් වන්දි ගෙවන මිනිසුන්ගේ #රාවය

  2. කොරෝනා රෝගය නිසා මැදපෙරදිග අසරණ වී සිටින ශ්‍රමිකයන් පිලිබදව රටට දැන ගැනීමට සැලැස්වීම සමිිබන්ධව අපගේ ස්තුතිය.රැකියා වැටුප් කෑම බීම බෙහෙත් නවාතැන් අහිමිව සිටින අතර අපේ දරැපවුල්ද ඉතා අසරණ වී ඇත.එහෙත් බළධාරීන් ගේ ඇස් අප දෙස යොමුවනු නෙපෙනේ.බෝරාන් වරැ,සහ යුරෝපයේ ධනපතියන් ගෙන්වීමට ඇති උනන්දුව අපට නොමැත.අපේ දේශපාලන පක්ෂ ද ඇමරිකානු ජාතිකයෙකුට පක්ෂව උද්ගෝෂන කලත් ලාංකීක අප ගෙන්වා ගැනීමට උනන්දුවක් නැත.සෙි සම්බන්ධයෙන් බලධාරින් ගේ අවධානය යොමු වෙිවා…

Comments are closed.