දිනී ජයසේකර


ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ත්‍රිත්වයෙන් එකක් වන්නේ පොල් ය. නමුත් අවාසනාවට වර්තමානයේදී පොල් නිෂ්පාදනය විශ්වාස කළ නොහැකි ආකාරයේ පහළ මට්ටමක තිබෙන බව අප සියල්ලෝම දනිමු. ඊට බලපෑ හේතු බොහෝය.


දේශීය වශයෙන් වගා කර අවශ්‍යතා සපුරාගත හැකි අමුද්‍රව්‍ය සඳහා රජය විසින් ආනයන තහනමක් පැනවූයේද දේශීය ගොවියා නගාසිටුවීමේ වැඩපිළිවෙළක් සකස් කර හැකිතරම් අපනයන සංවර්ධනය කළ යුතුය යන අදහසිනි. ඒ බව අප කිහිප විටෙකම ලියූවෙමු. නමුත් ස්ථීරවම කිවයුත්තේ අප සිටින්නේ අපනයන තියා දේශීය අවශ්‍යතාවන්වත් සපුරා ගැනීමට නොහැකි තත්ත්වයකය. නිදසුනක් ලෙස මූලික වශයෙන් දේශීය වශයෙන් සිදුවෙන පොල් නිෂ්පාදනය දැක්විය හැකිය. වෙළෙඳ පොලේ පොල් ගෙඩියක් රුපියල් සියයක මුදලකට අලෙවි වූවද පොල් වගාකරුවා අත ඇත්තේ පොල් ගෙඩියකට රුපියල් හතළිහක පනහක මුදලක් පමණි. ඉන් බොහෝ ලාභයක් ලබන්නේ අතරමැදියායි. අවසානයේ පොල් වගාකරුවාට තමන්ගේ වියදමවත් පිරිමසා ගැනීමට නොහැකිය. මේ ඔවුන්ගේ කතාවයි.


පාලන මිලේ විහිලුව


පාරිභෝගික අධිකාරියේ අණ පරිදි 2020 සැප්තැම්බර් 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් හැත්තෑව (70)ක්ද, වට ප්‍රමාණය අඟල් 12-13 අතර පොල් උපරිම සිල්ලර මිල රුපියල් හැට පහ (65)ක්ද, වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් හැට (60)ක මුදලක්ද නියම විය. පාරිභෝගික අධිකාරිය විසින් ඉහත නිවේදනය නිකුත් කිරීමට පෙර පොල් සඳහා පාලන මිලක් නොතිබූ බැවින් රුපියල් සියයේ මුදලටත් පොල් අලෙවි විය.


අපට සිතෙන පරිදි වට ප්‍රමාණය අනුව මිල තීරණය කිරීම ප්‍රායෝගික නැත යන්නයි. මන්ද පොල් අලෙවි කරන්නෝ නිතර අඟල් ගණන තීරණය කරමින් පොල් විකිණීම සිද්ද නොකරති. බොහෝ විට පොල් ලෙල්ල බාගෙට ගැලවීමෙන් පොල්ගෙඩියේ ප්‍රමාණය තරමක් විශාල ලෙස දර්ශනය කිරීමේ හැකියාවක් ඇත. එනිසා ඉහත මිල සැකසුම පාරිභෝගික අධිකාරිය විසින් යෙදූ දුර්වල ගණයේ වැඩ පිළිවෙළක් යැයි කිව යුතුය.


පාරිභෝගික අධිකාරිය විසින් පාරිභෝගිකයාගේ සුබ සෙත උදෙසා වට ප්‍රමාණය අනුව හෝ පාලන මිලක් නියම කළද ඔවුන් පොල් වගාකරන්නන්ගේ තත්ත්වය දෙස එකදු බැල්මක් යොමු කළේ නැත. මන්ද පොල් වගාකරුවන් පවසන්නේ පවතින වකවානුවේදි පොල් හිඟ නිසා ඊට සරිලන මිලක් නියම කළ යුතු බවයි. එහිදී ඔවුන්ගේ අදහස වගාකරුවාගේ අතටද සැලකිය හැකි අන්දමේ මුදලක් ලැබෙන බවය. නමුත් පාරිභෝගික අධිකාරියත් පවතින රජයත් පොල් වගාකරුවා වෙත අවධානය යොමු කරනු නොපෙනේ. ඔවුහු විකටයන් සේ ටේප් කරකවා පොල්ගෙඩියේ වට ප්‍රමාණය මනිමින් සිටිති.


ඇයි පොල් ගණන්


කොළඹ, කුරුණෑගල සහ හලාවත හඳුන්වන්නේ පොල් ත්‍රිකෝණය ලෙසය. මන්ද බහුලව පොල් වගාවන්නේ කොළඹ, ගම්පහ සහ පුත්ලම් දිස්ත්‍රික්කවල නිසාය. එහිදී පොල් වගකරුවන් බොහොමයක් සිටින්නේද ඉහත දක්වා ඇති ප්‍රදේශවලය. හිඟතාවක් නොමැතිව ලංකාවේ පාරිභෝගිකයාට පොල් ලබාදීමේ උත්සාහයක නිරත වන්නේද ඔවුන්ය. එහිදී පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබදව පොල් වගාකරුවෙක් වූ පණ්ඩුක මහේෂ්ගේ අදහස මෙසේය.
“මේ කාලෙට පොල් ගණන් යන එක සාමාන්‍යයි. මොකද පොල් නිෂ්පාදනය සීමිත වෙලා තියෙන්නෙ දැන්. ඊට බලපාන ප්‍රධානම සහ ආසන්නතම හේතුව 2016, 2017 වර්ෂවල නියඟයයි. ඒ කාලවලදී ගස් බාල වුණා. ඒ නිසා අස්වැන්න අඩු වුණා. අස්වැන්න අඩු වුණාම පොල් හිඟ වෙනවා. හිඟ වුණාම මිල ගණන් ඉහළ යනවා. අනෙක් කාරණාව ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි මාසවල වියලි කාලගුණයක් තිබෙන නිසා පොල් අස්වැන්න සැලකිය යුතු මට්ටමක තිබෙනවා. නමුත් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල වර්ෂාව නිසා පොල් කැඩෙන්න කල් යනවා. ජනවාරි ඉඳන් ජූලි මාස එකහමාරෙන් එකහමාරට පොල් කඩන්න පුළුවන් නමුත් ඊට පස්සෙ මාස දෙකක් විතර යනකන් ඉන්න ඕනි පොල් කඩන්න. ඒ බලපෑමත් තියෙනවා පොල් හිඟයට.”


ඕනෑම භාණ්ඩයක් හිඟවන අවස්ථාවකදී එම භාණ්ඩයේ මිල ඉහළ යෑම සාමාන්‍ය සිදුවීමකි. එයට යහපාලන ආණ්ඩුව තිබුණද රාජපක්ෂ ආණ්ඩුව තිබුණද අදාළත්වයක් නැත. මන්ද ඕනෑම වගාවක අස්වැන්න සඳහා කාලගුණ තත්ත්වය විශාල වශයෙන් බලපාන්නේය. එය පහ වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු පවා දන්න කරුණකි. නමුත් කනගාටුවට කරුණක් වන්නේ රාජ්‍ය පාලනය කරන්නන් එය නොදැනීමයි. ඔවුන්ට පොල් මිල ඉහළ යෑම රටේ පාරිභෝගිකයාටත් වඩා බලපාන බව අපට පෙනෙන්නට තිබෙන්නේය. ඊට ආසන්නතම හේතුව වන්නේ බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොල් මිල සම්බන්ධව කතා කරන්නේ කාලය කා දැමීමටය. මන්ද සමහරුන්ට පොල් සම්බන්ධව මෙලෝ දැනුමක් නොමැතිව වට ප්‍රමාණයට පොල් මිල පාලනය කිරීම සුදුසුයි කියති. තවත් සමහරෙක් පොල් ගෙඩියේ වට ප්‍රමාණයට උපරිම සිල්ලර මිල තීරණය කළ අයවලුන්ව සොයමින් සිටිති. ඉතා සුළු පිරිසක් ඊට එකඟ නැතැයි යන්න තර්ක ඉදිරිපත් කරමින් කල් මරති. එහිදී අපට සිතෙන පරිදි ඔවුන් තවමත් පාර්ලිමේන්තුව ඇතුළත කාලය කා දමමින් ජනතාව රවටන්නේය. ඒ සම්බන්ධව බහුතර පොල් වගාකරුවන්ගේ අදහස මෙසේය.


“ආණ්ඩුව නින්දෙන් නැගිටින්නෙ පොල් ගණන් ගියාම විතරයි. එතකොට තමයි පාරිභෝගිකයත් දන්නෙ පොල් මිල ඉහළ ගිහින් කියලා.”


පොල් වගාකරුවා


දේශීය ගොවියාට කවදත් කුඩම්මගේ සැලකිල්ල බව අප කවුරුත් දන්නෙමු. මන්ද දේශීය ගොවියා නගා සිටුවනවා කියන එක පුද්ගලයෙක්වත් කිසිදිනෙක බිමට බැස්සේ නැත. ඔවුන් නිතරම මාධ්‍ය සංදර්ශන පැවැත්වූවා පමණි. පොල් වගාකරුවාද මේ මොහොතේ ගිනි පෙනෛල්ලෙන් බැට කන බව ඔවුන් හා කතාබහේදී අපට වැටහිණි. මන්ද ඔවුන්ට පොහොර නැත. වන සතුන්ගේ කරදර එමටය. ඊටත් එහා ගිය රතු කුරුමිණි සහ කළු කුරුමිණි උවදුරින්ද ඔවුහු පීඩා විඳිති. මේ සම්බන්ධව පොල් වගාකරුවෙකු වූ සංජීව කරුණාසාගරගේ අදහස මෙසේය.


“අපි පොල්වලට දාන්නෙ කාබනික පොහොර. ඒවාට රජයෙන් සහන නැහැ. රසායනික පොහොර පාවිච්චි කරනව නම් විතරයි රජයෙන් සහන තියෙන්නේ. අනෙක් කාරණය මේ දවස්වල සල්ලිවලටවත් පොල් ගස්වලට අවශ්‍ය පොහොර ගන්න නෑ. රජය විසින් පොල් මිල ගැන නම් කතා කරනවා. නමුත් පොල් ගහක් හැදෙන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන කවදාවත් කතාබහ කරනවා අපි දැකලා නැහැ. අවුරුදු දහයක් විතර ඉඳන් රතු කුරුමිණි කළු කුරුමිණි උවදුර නිසා පොල් ගස් ඇදගෙන වැටෙනවා. ඒත් තවම ඊට විසඳුමක් දීලා නැහැ. අපි කියන්නෙ පොල් නිෂ්පාදකයාට ඉතා සීමිත මුදලක් දීල අතරමැදියට විශාල මුදලක් යන විදියට කටයුතු කළාම පොල් වගාකරුවාට වෙන්නෙ පොල් වගා කරන එක නවත්වන්න. අපිට අතින් වියදම් වෙච්ච මුදලවත් පොල් වගාවෙන් ලැබෙන්නෙ නැතිනම් ඇත්තටම මේවා වගා කරලා තේරුමක් නැහැනේ.”

ඔහුගේ හඬ බාලවනවාත් සමග ඩී.ජේ. ඇන්තනිගේ හඬ උස්විය.

“පොල් වගාකරුවා පුදුම දුකක් විඳින්නෙ තමන්ගෙ වගාවන් ආරක්ෂා කරගන්න. වෙන වගාවන් වගේ නෙවේ පොල් වගාව. ගහක් හැදෙන්නම අවුරුදු ගාණක් යනවා. ඊටපස්සෙ හරියට වෙලාවට පොහොර ටික ලැබුන් නැති වුණාම අස්වැන්න අඩු වෙනවා. ඒ මදිවට වල් අලි, වඳුරෝ, දඬුලේන්නු සහ වල් ඌරෝ වගේ සත්තු ඇවිත් පොල් වගාව නාස්ති කරලා දාලා යනවා. ඒ සේරම පාඩුව අපියි විඳින්න ඕනි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කීවම කියනවා සත්තුන්ට වෙඩි තියලා දාන්න කියලා. නමුත් අපි කොහොමද සත්තුන්ට වෙඩි තියන්නේ. සත්තුත් ජීවත් වෙන්න ඕනි. නමුත් රජය මැදිහත් වෙලා ඊට යෝග්‍ය වැඩපිළිවෙළක් සකස් කරා නම් මේ කරදරවලින් ගැලවෙන්න තිබුණා.”


පොල් වගාකරුවන් මුහුණදෙමින් සිටින්නේ විශාල අර්බුදයකටය. මන්ද මුදලටත් පොහොර මිලදී ගන්නට නොමැති වූ විට ඔවුන්ට තම වගාවන් කෙරෙහි වූ විශ්වාසය බිදෙනු ඇත. වත්මන් ආණ්ඩුව පොල් ගණන් ගිය විට “අම්මෝ පොල්වල ගණන්” කියා ඇස් නළලෙ තියා බලන්නේය. පසුව පාරිභෝගිකයාට සහනයක් සලසනවා යැයි කියමින් එකවර පොල් මිල පහළ දමන්නේය. නමුත් ඔවුන් කිසි දිනෙක “පොහොර නැහැ” කියා ප්‍රසිද්ධියේ කියනවා අප දැක නැත. එහෙත් ඔවුන්ගේ කතාව ආනයන නවතා දේශීය ගොවියා නගා සිටුවීමය.


“රජය විසින් ෆාම් ඔයිල් ගෙන්වන නිසා ලංකාවෙ පොල් තෙල්වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. පොල් නිෂ්පාදනයෙන් 70%ක ප්‍රමාණයක් මාළු පොල් (ආහාර සඳහා පාවිච්චි කරන පොල්) ඉතිරි 30% කර්මාන්ත සඳහා තමයි යොදවන්නේ. ෆාම් ඔයිල් ගෙන්වන එක නතර කරනකන් අපේ පොල්වලට නිසි මිලක් තියාගන්න වෙන්නෙ නැහැ. මොකද දැන් තත්ත්වය අනුව ෆාම් ඔයිල් වෙළෙඳපොළ ආක්‍රමණය කරල ඉවරයි. මිනිස්සු වුණත් දැන් ඩීසීවලට වඩා ෆාම් ඔයිල් තමයි ගන්නේ. ඒවගෙ මිල අඩු නිසා.” එසේ පැවසුවේ ඇන්තනී මහතාය.


අස්වැන්නට යටි වගාව


බහුතර පොල් වගාකරුවෝ තම වගාවට යටි වගාවක් යොදති. මන්ද සෑම පොල් වගාකරුවකුගේම පොල් ඉඩම එක යායට නොමැත. තවද යටි වගාවන් කිරීම නිසා පොල් අස්වැන්න සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන බවද පොල් වගාකරුවන්ගේ අදහසයි.


“යටි වගාවල්වලට හොඳම ශාකය තමයි ගස්ලබු පලතුර. පොල් වගාකරුවො ගොඩක් දුරට යටි වගාවකට යන්නෙ එයිනුත් හොඳ අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් තමයි. ගස්ලබු කියන්නෙ පොල් එක්ක වගා කරන්න හොඳ පලතුරක්. මොකද ගස්ලබුවලට නිතර නිතර පොහොර යොදන්න අවශ්‍ය වෙනවා. එදිනෙදා වතුර දාන්නත් අවශ්‍යයි. මේ නිසා නියඟ කාලයක් ආවත් පොල්වලට බලපානව අඩුයි නිතර වතුර වැටෙන නිසා. මොකද ගස්ලබුවලට වතුර දාද්දි ඒව පොල් ගසුත් උරා ගන්නවා. එතකොට අපිට පොල්වලින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. දැන් කාලේ පොල් ගහේ මුල හිස්. ඒ අවට තෙතමනය රඳව ගන්නවත් අමුද්‍රව්‍ය නැහැ. ඒ නිසා වගාකරුවෝ යටි වගාවකට යන එක ඉතාමත් හොඳයි.” පොල් වගාකරුවකු වූ චාමර සඳරුවන් අප සමග පැවසීය.


මූලික වශයෙන් උක්ත කරුණු සියල්ල හමුවේ නිගමනය කළ හැකි ප්‍රධානම කාරණය පොල් මිල සම්බන්ධව වගේම පොල් වගාකරුවාද දැවැන්ත අර්බුදයක සිටින බවයි. සාමාන්‍යයෙන් පොල් වගාව සඳහා කාබනික පොහොර යොදන විට පොල් ගහෙන් ඉවතලන අමුද්‍රව්‍ය, විශේෂයෙන් පොල් ලෙලි වගේ දේවල් නැවත පොල් ගසටම අවශ්‍ය බව වගාකරුවෝ පවසති. නමුත් සිද්ද වන්නේ ඒවා අපනයනය කිරීමය. අපට අනුව පොල්ලෙලි වැනි ද්‍රව්‍ය අපනයනය කිරීම හොඳය. නමුත් ඒ සඳහා ආදේශකයක් හෝ පොහොර ලබාදීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් වහාම සැකසිය යුතුය.


අප සිතන පරිදි අපනයන බෝගයක් වූ පොල් ආනයනය කිරීමට තරම් වන වටපිටාවක් නිර්මාණය වී තිබීම කනගාටු දායකය. මන්ද යහපාලන ආණ්ඩු කාලයේදීද මෙවැනිම පොල් ගැටලුවක් පැමිණි පසු පොල් මද ආනයනය කළා අපට මතකය. එය ඉන් නොනැවතී රාජපක්ෂ ආණ්ඩුවත් පොල් මද ආනයනය කළ බව පොල් වගාකරුවෝ කියති. කෙසේවෙතත් අප පුන පුනා පවසන්නේ දේශීය වගාකරුවා වෙත මීට වඩා විශාල අවධානමක් රජය විසින් යොමු කළ යුතු බවය. මන්ද උපරිම සිල්ලර මිලක් නියම කළද සුපිරි වෙළෙඳ සැල්වල පොල් අලෙවි වන්නේ රුපියල් අනූපහක (95) මුදලකටය. එසේනම් පාරිභෝගික අධිකාරිය විසින් යෙදූ උපරිමය කුමනාකාරයෙන්වත් ප්‍රායෝගික වී නැත. තවද පොල් සම්බන්ධව ආයතන කිහිපයක් ඇති බව අප දනිමු. ඒවා නම් පොල් සංවර්ධන මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය සහ පොල් වගාකිරීමේ මණ්ඩලය වේ. ඒවායින් සිද්ධ විය යුතු මැදිහත්වීම හා සුපරීක්ෂණය ඉටු නොවීමද ප්‍රශ්න කළ යුතුය.

කොවිඞ් නිසා පොහොර නෑ
පොල් සංවර්ධන අධිකාරියේ වැ.බ. අධ්‍යක්ෂ
පී. එදිරිමාන්න


“මේ මාස කිහිපයේ පොල් අස්වැන්න කොහොමත් අඩුයි. විශේෂයෙන්ම ගිය වසරවල තිබූ නියඟයත් ඊට බලපෑවා.
මේ වෙලාවෙ පොල් වගාකරුවා වෙත සැලකිය යුතු මුදලක් ලැබෙනවා. එයින් ඔවුන්ගේ වියදම පිරිමැහෙනවා. නමුත් පාරිභෝගිකයාට තමා අසාධාරණයක් වෙලා තියෙන්නේ. ඒකයි පාලන මිලක් දැම්මේ. පොල් වගාකරුවාට පොහොර ප්‍රශ්නය නම් ටිකක් දුරකට තිබෙනවා. ඒකට හේතුව කොවිඞ් වසංගතය නිසා පොහොර එන්නෙ නැහැ ලංකාවට. නමුත් ඉදිරියේදී ඒ ගැටලුව විසදේවි.”

පොල් මිල රු. 150/- පනියි
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති
රංජිත් විතානගේ


“මෙරට පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.8ක් වන අතර පොල් සංවර්ධන මණ්ඩලයේ 2019 වර්ෂයේ සංඛ්‍යා ලේඛනවලට අනුව පොල් සහ පොල්තෙල් මිල පාරිභෝජනය සහ අපයනය වෙලා තියෙන්නේ මාළු පොල් අනුව ගෙඩි බිලියන 1.8යි. පොල්තෙල් සඳහා ගෙඩි බිලියන 0.4යි. පොල් අපනයනය වෙලා තියෙන්නේ බිලියන 1.3යි. එතකොට වාර්ෂිකව පොල් ගෙඩි හිඟය පොල් ගෙඩි බිලියන 0.7ක් වෙනවා. අපට හිතෙන විදියට ඉදිරියට පොල් ගෙඩියක් රුපියල් 100 යෙන් නවතින්නෙ නැතිවෙයි. රුපියල් 150ක මුදලක්වත් වැය කරන්න වෙයි. මේක වළක්වා ගන්න පොල් වතු සඳහා පොහොර සහනාධාර ලබාදිය යුතුයි. අනෙක් කාරණය පොල් වතුවලට යටි වගාවන් හුරු කළ යුතුයි. මොකද පොල්වතුවලින් පොල් සඳහා භාවිත කරන්නේ 25%ක් පමණ ඉඩම් ප්‍රමාණයක් පමණයි.”

වැඩපිළිවෙළ ප්‍රායෝගිකයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති
මේජර් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක


“අපි පාරිභෝක අධිකාරිය විදියට පාරිභෝගිකයාට සාධාරණයක් වෙන විදියටයි උපරිම සිල්ලර මිල නියම කළේ. එතකොට පොල් වගාකරුවා ගැන අපිට හිතන්න බැහැ. ඒක බලාගන්න ඕනේ පොල් වගා කිරීමේ සංවර්ධන මණ්ඩලයයි.


පොල් අලෙවි කරන්නෝ පොල් ගෙඩියේ ප්‍රමාණය විශාල කරල පෙන්වන්න හදනව නම් පාරිභෝගිකයට අයිතිය තියෙනවා ඒ ගැන කතා කරන්න. අනෙක් කාරණය ඕනෑම අවස්ථාවක වංචනිකව පොල් අලෙවි වෙනව නම් අපිව දැනුවත් කරන්නත් පුළුවන්. මම හිතන්නෙ මේ ඉතාමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක්. ”