රසික ගුණවර්ධන


හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ආරක්ෂකයන්ට ජීවිතය පුදන්නට සිදුවූ රාජේන්ද්‍රන්ගේ සිදුවීම අප වාර්තා කළේ මීට සති දෙකකට පෙරාතුවය. ඉනික්බිති අප සොයා ආ බුත්ගමුවේ රාජගෝපාල් ඇන්තනී පැවසූවේ එවැනිම අවනඩුවක් ඔහුටද පැවසීමට ඇති වගය. ඒ සිදුවීම මීට පෙර රාජේන්ද්‍රන් පිළිබඳ ලිපියේ දී සඳහන් කළ දියේ ගිලී මියගිය ජානිගේ මරණය සම්බන්ධවය. රාජගෝපාල් ඇන්තනී ජානි සමග මාලු ඇල්ලීමට ඔරුවේ ගිය ඔහුගේ සගයාය.


ජානිගේ සම්පූර්ණ නම සෙල්වනායගම් ලෝරන්ස් ය. ඔහු තිස්පස් වියැති දෙදරු පියෙකි. මෙම වසරේ පෙබරවාරි මස 09 වන දින ඔහු රාජගෝපාල් ඇන්තනී නොහොත් රාජා සමග මාලු අල්ලන්නට පිටත්ව යන්නේ ජානිගේ ඔරුවෙනි. ඒ වන විට වේලාව උදෑසන දහයට පමණය. ඉන්පසු ඔවුන්ට මුහුණදීමට සිදුවූ සිදුවීම රාජා අපට පැවසුවේ මෙසේය.
“අපි කෝච්චි පෙට්ටිය තියන හරියට (දියත ස්ටේෂන්) තමයි ගියේ. එතකොට එතන හිටිය වෝටර්ස් එජ් එකේ සිකියුරිටිල පොලිසියට කෝල් කළා. ඊට පස්සෙ වැලිකඩ පොලීසියෙ අලියාර් සාජන් එතනට ආවා. එතකොට අපි දැල පන්න පන්න හිටියෙ. එයාල කෑන් බෝට්ටුවෙ ඇවිල්ල ලීයක ගැට ගහපු කොක්කක් වගේ එකක් දාල අපේ ඔරුව එයාලගෙ බෝට්ටුව ළඟට ඇදල ගත්තා. එතකොට මම ගඟට පැනල එහා පැත්තට ගියා. ඒ වෙලාවෙ ජානිත් ගඟට පැන්නා. එවේලෙ ජානි කීව මගේ සර් දැල් බෝට්ටුව කියල. “දැල් බෝට්ටුව උඹේ නම් වරෙන්” කීවා. ඒ පාර මෙයා එයාලගෙ බෝට්ටුවට නැඟල දැල් ටික ඇදල ගත්තා. අපේ දැලට ඉස්සරහින් මගෙ නංගිගෙ පුතයි එයාගෙ යාලුවෙකුයි ගහපු දැලක් තිබ්බා, ඒකත් ඇදල අපේ රෙදි මුට්ටෙටම ඒකත් දැම්මා.


ඊට පස්සෙ මම ගොඩට ඇවිල්ල විනාඩි හතක් අටක් බැලුව එවන පාටක් නෑ. වෙනදට පොලිසියෙන් ඇල්ලුවහම දැල අරගෙන අපිව යවනවා. ඔරුව ගන්නෙත් නෑ.


ඊට පස්සෙ අපේ වත්තෙ ඉන්නව මාලු වලට අයිස් ගහන අය. මම ඇවිල්ල එයාට කීව අපිව පොලිසියෙන් ඇල්ලුව ජානිව එව්වෙ නෑ කියල. කොහොමහරි හවස් වෙනකම් බැලුවත් ජානි ආවෙ නෑ. හැබැයි මම ඒ වෙනකම් සිද්ධිය ගෙදරටවත් කීවෙ නෑ. ඊට පස්සෙ හවස හයට විතර ජානිගෙ පවුලයි, අම්මයි ඇවිල්ල මගෙන් ඇහුව කෝ ජානි කියල. මම කීව පොලිසියෙන් අල්ලන් ගියා කියලා.


ඊට පස්සෙ මෙයාල කීවා. නෑ. අපි පොලීසියට ගිහිල්ල බැලුවා, පොලීසියෙන් කීවා එහෙම කාවවත් අල්ලගෙන ආවෙ නෑ කියලා.


ඊට පස්සෙ රෑ ගිහිල්ල අපි හැම තැනම හෙව්වා. නේවි කෑම්ප් දෙකක් තියනවා. ඒ පැත්තටත් අපි ඔරුව අරගෙන ගියා. ජානියේ… ජානියේ කියල කෑ ගහගහ හැම තැනම හෙව්ව. හම්බ උනේ නෑ.


දැන් මම වත්තට යන්න බයවෙලා ඉන්නෙ. මොකද හැම තැනම හෙව්වා, ආ ගිය අතක් නෑනෙ. මෙයාල හිතන්නෙ මම මරලද, මොනව කරලද කියලනෙ. මම වත්තට යන්න බයේ ඉද්දි, කෝට්ටෙ මාලිගා පාරේ අපේ ඥාතීන් කට්ටියක් ඉන්නවා. එහෙ මළගෙයක් තිබ්බ එහෙට වෙලා හිටියා. දවස් ගාණක් තිස්සේ මම එහෙ ඉන්නව මම වත්තට එන්නෙ නෑ.


ඊට පස්සෙ වැලිකඩ පොලීසියෙ ඕ.අයි.සී. මහත්තය ආවා. එයා කීව රාජ ඇවිල්ල උඹ කටඋත්තරයක් දියන් කියල මාව ජීප් එකේ දාගෙන, තව වත්තෙ කොල්ලො දෙන්නෙකුත් දාගෙන ගියා.


අපිව අරගෙන කෙළින්ම ගියේ දියවන්නාවට. එතන සී.සී.ටී.වී. කැමරා තියන කාමරයකට. එතනට ගියාට පස්සෙ කැමරාව දාල පෙන්නුවා. ඒකෙ තියනව අපි අල්ලන එක, හැම එකක්ම. ජානිව පෙන්නුවා. එයා වටපිට බලල හෙමීට ගඟට පැනල පීනනවා. පීනල ගොඩ එන්න ඔන්න මෙන්න කියල පළවෙනි පාර යට යනවා. ආයෙ උඩ එනවා, දෙවනි පාර යට යනවා ආයෙ උඩ එනවා, තුන්වෙනි පාර යට යනවා, එතනින් එහාට එන්නෙ නෑ.


එතකොට වෙලාව දවල් එකොළහයි පනස් දෙකයි. හැමෝටම හොඳට පේන වෙලාව. අනික ඒ වෙලාවට ඔතන කට්ටිය ඉන්නවා. එයාල මෙයාව ගිලෙනකන් බලාන ඉඳල තියනවා.”


රාජා පවසන ආකාරයට ජානි දියේ ගිලී මියයන්නේ මහ දවල් ආරක්ෂකයන් ඉදිරිපිටදීය. අනෙක් අතින් ඔහු පොලිස් අත්අඩංගුවේ පසු වූ අයෙකි. ඒ නිසා එහි සම්පූර්ණ වගකීම පොලීසිය සතුය.


මෙයාව අල්ල ගත්ත නම් පැනල යනකොට එයාල දකින්න ඇතිනෙ. එයාව බේරගන්න හදපු නැති එක තමයි අපට තියන ප්‍රශ්නය.


“මීට කලිනුත් පොලීසියෙන් අල්ලගෙන තියනවා. අල්ලගෙන බෝට්ටුව අල්ලන් යනවා. මෙයාව එවනවා. ඊට පස්සෙ අපි පොලීසියට ගිහිල්ල කතා කරල අරගෙන එනවා. එක සැරයකුත් එහෙම උනා. ” සුභාෂිණී, ජානිගේ බිරිඳ මුලින්ම අප හා දොඩමලු වූවාය.


සුභාෂිණී වෘත්තියෙන් ප්‍රදේශයේ නිවසක දෛනික කටයුතු සිදු කරන්නීය. ජානිගේ වියෝවෙන් පසු ඇය සිය පවුල නඩත්තු කරන්නේ එකී රැකියාවෙන් ලැබෙන සොච්චමෙනි. ඒ නිසා ඇයට වෙහෙස නොබලා දිනපතා සිය රැකියාවේ යෙදීමට සිදුව ඇත. ජානි එදාවේල සොයා ගැනීමට ගොස් අවසන් ගමන් ගිය ඉරිදා ඈ මතක් කළේ මෙසේය.


“එදා ඉරිද දවසක්. මම උදෙන්ම වැඩට ගියා. එතකොට එයා නිදි. ඊට පස්සෙ රාජ ඇවිල්ල මාලු අල්ලන්න එයාව එක්කගෙන ගිහිල්ල තියනවා. ඊට පස්සෙ තමා ඒක වෙලා තියෙන්නෙ. හැබැයි එතකොට කවුරුත් දන්නෙ නෑ මෙයා වැටිල මැරිල කියලා. නැන්දට කවුරුහරි කියල තිබුණ මෙයාව පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ල කියලා. ඊට පස්සෙ නැන්ද මට කෝල් එකක් දුන්නා. එතකොට මම එහෙම්මම පොලීසියට ගියා. පොලීසියෙ එයාගෙ බෝට්ටුවයි දැලයි තිබුණා එයා හිටියෙ නෑ. ඊට පස්සෙ මම නැන්දට කෝල් කරල කීවා පොලීසියෙ දැලයි බෝට්ටුවයි තියනව එයා ගෙනාවෙ නෑ කියනව කියලා.


පොලීසියෙන් ඇහුවහම කීවෙ බෝට්ටුවයි දැලයි ගෙනාවට ඒ දෙන්න පැනල ගියා කියල.
එතකොට මට බය හිතුණා. මොකද එයා මොන දේ උනත් ගෙදර එනවා. බය නෑ. ඊට පස්සෙ නැන්දත් පොලීසියට ආවා. එයාල කීවා මේක උනේ වෝටර්ස් එජ් එකේනෙ. එයාල එහෙ තියාගෙන ඉන්නවද දන්නෙ නෑ කියලා. ඊට පස්සෙ අපි එහෙටත් ගිහිල්ල බැලුවා. හිටියෙ නෑ. ඊට පස්සෙ අපි ඔක්කොම ගිහිල්ල හෙව්වා.


ඊට පස්සෙ මෙයා හම්බුනෙ නැති හින්ද අපි පොලීසියට ගියා පැමිණිල්ලක් දාන්න. රෑ දහයට විතර පොලීසියට ගියාට අපට රෑ එකොළහ හමාරත් පහුවෙනකන් ඉන්න උනා ඇන්ටි්‍රය දාන්න.


අපි ඇන්ටි්‍රය දාන්න හදනකොට අපේ මහත්තයව අල්ල ගත්ත පොලීසියෙ එක්කෙනා ඇවිල්ල ඇහුව, ඇයි ඔයාල ඇන්ටි්‍රයක් දාන්නෙ කියලා. එතකොට අපි කීව ඔයා මගේ මහත්තයට ගහලත් තියනව කියලා. එතකොට එයා කීව මම කාටවත් ගහන්නෙ නෑ, මම පොලිසියෙ අනිත් අය වගේ සැර කෙනෙක් නෙවේ කියලා. ඊට පස්සෙ අපි කීවා ඔයා අල්ල ගත්තනම් කෝ මගෙ මහත්තය කියල ඇහුවා.


එතකොට ඕ.අයි.සී. මහත්තය කෝල් කළා. ඊට පස්සෙ මගෙන් ඇහුව මොකක්ද තමුන්ගෙ ප්‍රශ්නය කියලා. මම කීව මගෙ මහත්තය පොලීසියෙන් අල්ලගෙන තියනව අල්ල ගත්තට එයා නෑ කියලා. ඊට පස්සෙ ඕ.අයි.සී. මහත්තය කීවා, ආ ඔයාගෙ මහත්තයගෙ බෝට්ටුවයි දැලයි දන්නවනෙ, එයා තහනම් පැත්තට ගිහිල්ල තියනව අපි නඩු දානව කියලා. මම කීවා නඩු දාන්න කමක් නෑ මගෙ මහත්තය දෙන්න කියලා. පොලිසිය මෙහෙම කතා කරනකොට අපිට සැකයක් ඇති උනා. ඊට පස්සෙ අපි ඇන්ටි්‍රයක් දැම්මා. මෙයාල අල්ලනකොට ඒක දැකපු එතන හිටපු තව කට්ටියක් පැනලා ගිහිල්ල තිබ්බා. එයාල කීවා මහත්තය අල්ලගෙන එයාට ගැහුව කියලා.


ඊට පස්සෙ එදා උදේ පාන්දරම අපට එන්ඩ කීවා. මම පොලීසියට යන්න ලෑස්තිවෙලා ඉන්නකොට වත්තෙ අනිත් පැත්තට ඕ.අයි.සී මහත්තය ඇවිල්ල තිබ්බා. ඊට පස්සෙ මට එන්ඩ කීවා. මගෙන් ඇහුව මහත්තය ගැන මුකුත් දැන ගන්න හම්බුනාද කියලා. මම නෑ සර් කීවා. ඊට පස්සෙ බලමු අපි කියල, මගෙන් ඇහුව ගඟේ කිඹුලො එහෙම ඉන්නවද කියල. ඊට පස්සෙ අපට සැකයි.


ඊට පස්සෙ සී.සී.ටී.වී. කැමරා බලන්න කියල වත්තෙ දෙතුන් දෙනෙක් එක්කගෙන ගියා. එතකොට මට හිතුන මොකක්හරි වෙලා ඇති කියලා. මොකද මහත්තය එළිවෙනකන් ගෙදර ආවෙ නෑනෙ.”


ජානිගේ මව ෆාතිමා, අප අසලට වී මේ කතාබහ බොහෝ වේලාවක් අසා සිටියාය. අවසානයේ ඇය සිය හඬ අවදි කළාය.


“මෙයා ගඟේ ගිලෙන්න ගිය කීප දෙනෙක්ම බේරගෙන තියනව. මෙයාගෙ අයියගෙ පුතාව බේරගෙන තියනව. මෙයා හොඳට දන්නව පීනන්න. එයාව අල්ල ගන්නව දැකපු අය කීව එයාගෙ ඔළුවට ගැහුව කියලා. ඒ ගහපු පාරක් නිසා පීනගෙන එද්දි කලන්තෙ හැදුණද කියල අපිට සැකයි.


එයා පැනල යනකොට එයාව අල්ල ගන්න තිබුණනෙ, එතන එස්.ටී.එෆ් බෝට්ටු තියනවා. එකකින් ගිහිල්ල හරි එයාව අල්ල ගන්න තිබුණා. එහෙම නැත්තන් අපට හරි කියන්න තිබුණ මෙතන එක්කෙනෙක් ගිලුණා කියලා. අපි හවස පහ හමාරෙ ඉඳල මෙයාව හොයනවා. මේ ළමයි දෙන්නට මොකද වෙන්නෙ. එක ළමයෙකුට අවුරුදු පහළොවයි. අනිත් කෙනාට අවුරුදු හතයි.


අපි පොලිසියට විරුද්ධ නෑ. මෙයා එතනට මාලු අල්ලන්න ගිය එක වැරදියි.
එයාගෙ තාත්තත් අවුරුදු තිස් දෙකෙන් මැරුණා. බංගලාවල වැඩ කරල තමයි මම මේ ළමයි ටික හැදුවෙ. මට පුතාල හතර දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් මැරුණා. අනිත් කෙනත් නැති උනේ මාලු අල්ලන්න ගිහිල්ල කකුලට විෂබීජයක් ගිහිල්ලා. එයා මැරිල මාසෙකින් මෙයත් මැරුණා. මම පොලීසියටත් කීව මගෙ අනිත් දරුව මැරිල මාසයක් නෑ මෙයාව මට කොහොම හරි හොයල දෙන්න කියලා.


මම එළි වෙනකන් මෙතන, දොර ළඟ වාඩිවෙලා හිටිය එයා එයි කියල. මොකද එයා කොහෙවත් හැංගිල ඉන්නෙ නෑ. ගෙදර එනවා.


රාජා, සුභාෂිණී සහ ෆාතිමාත්, මියගිය ජානිගේ දරුවන් දෙදෙනාත් බලා සිටින්නේ එකී සත්‍ය දැනගැනීමටය. ■