දේශපාලන ක්‍රියාකාරිකයකු වූ මැතිව් ප්‍රනාන්දු සහෝදරයා 04-10-2020 දින හදිසියේ මරණයට පත්විය. ඔහු මට මුණ ගැසී ඇත්තේ එක් වතාවක දී පමණි. ඔහු ශිෂ්‍ය දේශපාලනයේ සුවිශේෂ ගුණාංගවලින් හෙබි පුද්ගලයෙකු වී ඇත. ඔහු අතිශයින් ප්‍රියමනාප පුද්ගලයෙකු බව මාගේ ද අත්දැකීම ය. 89/90 ප්‍රචණ්ඩකාරී යුගයේ අවස්ථා කිහිපයකදීම ඔහු ජීවිතය බේරා ගත්තත්, හදිසි හෘදයාබාධයකින් ඔහුට ජීවිතය අහිමි විය. ඔහුගේ අරගලයේ ප්‍රතිඵලය කුමක් වුවත් ඔහුගේ මතවාදයන් සම්බන්ධයෙන් වෙනත් අයට විවිධ ගැටලු තිබිය හැකි වුවත් ඔහු අරගල කළේ වඩාත් හොඳ, යහපත් සමාජවාදී ලෝකයක් වෙනුවෙනි. පහතින් පළවන ලිපිය මා ලියන ලද්දේ දැනට වසර පහකට පමණ පෙර ය. එය වෙනත් තැනක පළ කළේද නැත. මෙම ලිපියෙන් මැතිව්ගේ මරණය සම්බන්ධයෙන් කිසිවක් නොකියවේ. මේ ලිපිය මරණය සම්බ්න්ධයෙන් එක් දාර්ශනික කෝණයක සිට ලියන ලද්දකි. මැතිව් මියගිය පුවත ඇසීමෙන් මා තුළ හටගත් සාංකාමය හැඟීම නිසා මෙම ලිපිය පළ කිරීමට සිතුවෙමි. මැතිව් වැනි අයගේ ජීවිතය අරගලය හා මරණය සම්බන්ධයෙන් භෞතිකවාදී කියවීමක් අවශ්‍ය වේ. මැතිව් ගැන මට වඩා හොඳට දන්නා සහෘදයන් එය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මිනිස් පැවැත්ම හා නැවැත්ම ගැන බුදුන් වහන්සේ සහ මාර්ටින් හෛඩෙගර්


Philosophy East and West ශාස්ත්‍රීය සඟරාවේ 20 වන වෙලුමේ අංක 3 (1970) කලාපය වෙන්වී තිබුණේ මාර්ටින් හෛඩෙගර් හා පෙරදිග චින්තනය පිළිබඳ සාකච්ඡා කිරීමට ය. මෙම කලාපයට පෙරදිග හා බටහිර දර්ශනවාදයන් පිළිබඳ හසල උගතුන් ගණනාවක් ශාස්ත්‍රීය ලිපි හා එම ලිපි සම්බන්ධ විමර්ශනයන් ඉදිරිපත් කර තිබෙන අතර Takeshi Umehara ඉදිරිපත් කර තිබෙන Heidegger and Buddhism ලිපිය විශේෂ වැදගත්කමක් උසුලයි. මාගේ මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එම ලිපියේ අදහස් සංක්ෂිප්තව සාකච්ඡා කිරීම හා මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තවත් අදහස් එකතු කිරීම ය.


ෆෙඞ්රික් නීට්ෂේ කියා සිටියේ දෙවියන් මැරී ඇති බව ය. මෙය වනාහී නූතන යුරෝපා ශිෂ්ටාචාරයේ ඉරණම විය. නූතන යුරෝපය එවන් ඉරණමකට ඇද දැමුවේ විද්‍යාව හා තාක්ෂණය ය. විල්හෙල්ම් හෙගල්ට අනුව රෙනේ ඩෙකාට්ස් වනාහි නූතන දර්ශනවාදයේ සත්‍ය සමාරම්භකයා ය. එයට හේතුව නම් චින්තනය, සබුද්ධිකත්වය (thought of rationality) දාර්ශනික මූලධර්මය වශයෙන් මුල්වතාවට පිළිගැනීම ය. තවදුරටත් සැක කළ නොහැකි, සිතන ආත්මය (thinking thing, thinking subject/substance) සොයා ගැනීම ය. මෙය හුදෙක් කාටිසියානු දර්ශනයේ ආරම්භක ලක්ෂය පමණක් නොව නූතන දර්ශනයේ සහ නූතන ශිෂ්ටාචාරයේ ආරම්භක ලක්ෂය ද විය. මෙයින් එක් පැත්තකින් සොබාදහම සම්බන්ධයෙන් යාන්ත්‍රික ලෝක දැක්මක් නිර්මාණය කළා සේම අනෙක් පැත්තෙන් තමන්ගේ අභිමතය පරිදි සොබාදහම පාලනය කිරීමේ හැකියාව ද මිනිසාට ලබා දුන්නේ ය. මේ අනුව ඩෙකාට්ස්ගේ සොයා ගැනීම නූතන ශිෂ්ටාචාරයේ ප්‍රබල සිද්ධියකි (event).


යුරෝපා ශිෂ්ටාචාරය විද්‍යාවට හා තාක්ෂණයට යටත්වීමෙන් පසු ශිෂ්ටාචාර අර්බුදයක් හටගත්තේ ය. එහි දියුණු නිෂ්පාදන බලයත්, බලවත් අවි ආයුධත් මගින් ශිෂ්ටාචාරය අර්බුදයකට හැරියේ ය. නූතන බටහිර විද්‍යාවට හා තාක්ෂණයට යටත් නොවූ කිසිම රටක් අද ලෝකය තුළ සොයා ගත නොහැකි ය. යුරෝපා ශිෂ්ටාචාරයේ ඉරණම මුළු මහත් ලෝකයේම ඉරණම තීන්දු කරන්නක් විය.


නිට්ෂේ දුටු ආකාරයට දෙවියන් සරලව මියගියා නොවේ. අපි දෙවියන්ව මරා දැමුවෙමු. මෙයින් පසුව දෙවියන් හුදෙක් ප්‍රයෝජනයක් නොමැති පුද්ගලයකු බවට පත් විය. මිනිසා සම්පූර්ණයෙන්ම තර්ක බුද්ධිය මත විශ්වාසය තැබීමත්, භෞතික ලෝකය තමන්ට අභිමත ආකාරයට පාලනය කළ හැකි බව දැන ගැනීමත් මගින් දෙවියන් මියගියාට පසු දෙවියන්ගේ තැන මිනිසා අත්පත් කර ගත්තේය.


ඩොස්ටොව්ස්කි ඉවාන් අතින් මෙසේ කියවා ගත්තේය. දෙවියන් වහන්සේත්, අමරණීයත්වයත්, නොමැති නිසා ඕනෑම දෙයක් කිරීමට මිනිසාට අවස්ථාව ඇත. දෙවියන් වහන්සේ නොමැතිව මරණය කියා දෙයක්ද නොමැත. මෙහිදී කර්මසෝව් ඔහුගේ පුත් ඉවාන්ගෙන් මෙසේ අසයි. දෙවියන් වහන්සේත්, අමරණීයත්වයත් නොමැති නිසා දීර්ඝ කාලයක් පූජකයින් විසින් අපව රවටා ඇත. මෙයට පිළිතුරු දෙමින් ඉවාන් මෙසේ කියයි. දෙවියන් වහන්සේත්, අමරණීයත්වයත්, නොමැතිව අපගේ ශිෂ්ටාචාරයට පැවැත්මක් නොමැත. ඉවාන් මෙයින් අදහස් කරන්නේ සෑම ශිෂ්ටාචාරයක්ම ආගම මත පදනම් වී ඇති බව ය. කෙසේ නමුත් ඉවාන්ගේ අදහසට වෙනස්ව අද ශිෂ්ටාචාරය දෙවියන් වහන්සේ හා අමරණීයත්වය නොමැතිව වෙනත් ආකාරයකට සැකසී ඇත.


දෙවියන් නොමැතිව ශිෂ්ටාචාරයට අර්ථයක් තිබේද? නූතන ජපානය ක්‍රිස්තියානිය නොපිළිගත් අතර විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ යුරෝපා ශිෂ්ටාචාරය ද පිළිගත්තේය. බුදුදහම මෙන්ම කොන්පියුසියස් දහම ද අත්හැර දැමුවේය. නූතන ශිෂ්ටාචාරයේ නාමයෙන් දෙවියන්ව මරා දැමුවේය. දෙවියන් මරා ජපානය නූතනත්වය අත්පත් කර ගත්තේය. ලෝකයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත්තේය. දෙවියන් නොමැති ජපානය පාරිභෝගික භාණ්ඩවලට හා ලිංගික කාම ලෝකයට ආසක්ත විය. දෙවියන් අහෝසිවීමෙන් සදාචාර ඇගැයුම් ද අහෝසි විය. මෙසේ මතු වූ තත්ත්වයන්ට පිළිතුරු තුනක් ගොනු වී ඇත.

  1. දෙවියන් නොමැතිව මිනිසාට ජීවත් විය හැකිය. තමන්ටම දෙවියන් විය හැකිය. මෙවැනි අදහසක් මාක්ස්, නීට්ෂේ, සාත් සහ කැමු වැනි අය අතින් ඉදිරිපත් වී ඇත.

2. මිනිසාට දෙවියන් අවශ්‍යය. පැරණි දේව විශ්වාස පදනම් කර ගනිමින් අලුත් දේව උත්පත්තියක් සිදුවීමට ඉඩ ඇත. මෙවැනි අදහසක් සෙන් බුදුසමය බටහිර ලෝකයට හඳුන්වා දුන් ඩී.ටි. සුසුකි දරා ඇත.

3. දෙවියන් අවශ්‍යය නමුත් ඒ අතීත දෙවියකු නොවේ. අලුත් දෙවියකු සොයා ගත යුතුය. නමුත් මිනිසාට තවමත් ඒ දෙවියන් හමු වී නැත.


මෙහිදී හෛඩෙගර් ක්‍රිස්තියානියටත් නොයා මාක්ස් හා සාත් වැනි අයගේ අදේවවාදයටත් නොයා නව විකල්ප මාවතක් යෝජනා කරයි. මේ මාවත තුළ විමුක්තිකාමී සත්භාවවේදයක් (liberating ontology) යෝජනා කරයි. මේ සත්භාවවාදය දෙවියන් පිළිබඳ ප්‍රශ්නය නගයි (Emad 2007:126). මෙය දෙවියන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් නව ධර්මයක් නොවේ. දෙවියන් මැරී ඇත. අලුත් දෙවියෙක් තවමත් මිනිසාට හමුවී නැත. හමු නොවූ දෙවියන්ට තැනක් ස්ථාපනය කිරීමය හෛඩෙගර් විසින් කරන්නේ. අලුත් දෙවියෙකු කැන්දවා ගැනීමට නම් ඊට ගැළපෙන පසුබිමක් සකස් කළ යුතුය. ‘දෙවියන් සඳහා ස්ථානය’ යන්න යුරෝපියානුවෙකු සිතන්නේ තමන්ගේ ලෝක සීමාව යටතේ ය.

යුරෝපියානු ලෝක සීමාවෙන් ඔබ්බට ගියොත් බොහෝ ආගම් හා දෙවිවරුන් මුණ ගැසෙනු ඇත. හෛඩෙගර් ක්‍රිස්තියානි දෙවියන් වහන්සේගෙන් ඈත් වූවත් යුරෝපියානු නොවන සංස්කෘතීන්හි දෙවිවරුන්ට අවස්ථාවක් උදා කර ඇත. ඒකදේවවාදී ආගම් මෙන්ම බහුදේවවාදී ආගම් ද මුණ ගැසේ. හෛඩෙගර් කියූ දෙය යුරෝපියානු නොවන සංස්කෘතීන්වලට උරා ගැනීමේ හැකියාවක් තිබෙන බව පෙනිණි.

හෛඩෙගර් දාර්ශනිකව කියන්නට උත්සාහ කළ දෙය මුලින්ම තේරුම් ගත යුතුය. ඔහුගේ මූලික දාර්ශනික ප්‍රශ්නය වූයේ සත්තාව (being) යනු කුමක්ද යන්නය. සත්තාව සාමාන්‍යයෙන් අර්ථකථනය වූයේිඒ තුළින්ම ඔප්පු වන’ිස්වයං සාක්ෂිමය’ (self evidence) පදනමක් ලෙසට ය.

සත්තාව යනු හුදෙක් යමක පැවැත්ම එනම් ගහක, ගලක පැවැත්ම නොවේ. මෙහිදී හෛයිඩෙගර් කියා සිටි කාරණය වූයේ සත්තාවම (being itself) හා සත්තාවන් (beings) අතර වෙනසක් තිබෙන බවය. මෙම වෙනසට හෛඩෙගර් ලබාදුන් නාමය වූයේ සද්භාවවාදී වෙනස (ontological difference) යන්න ය. හෛඩෙගර් මෙහිදී මතක් කර දෙන කාරණයක් වන්නේ සාම්ප්‍රදායික පාරභෞතිකවාදය (metaphysics) හා සද්භාවවාදය කර තිබෙන වරද වන්නේ සත්තාව ගැනම පිළිබඳ ප්‍රශ්නය විවිධ සත්තාවන් පිළිබඳ ප්‍රශ්න සමග පටලවාගෙන තිබීම ය. හෛඩෙගර්ට අනුව විවිධ සත්තාවන්ට වඩා සත්තාව ප්‍රාථමිකය. හෛඩෙගර් මෙසේ ප්‍රශ්න කරයි. සත්‍ය සත්තාව කුමක්ද? ඒ මිනිස් සත්තාවයි. එයට හෛඩෙගර් ලබාදුන් නම වූයේ Dasein ය. මෙහි සාමාන්‍ය අර්ථය මිනිස් පැවැත්මයි (human existence). මිනිස් පැවැත්මේ අර්ථය කුමක්ද? මිනිස් සත්තාව තේරුම් ගත හැක්කේ කාලය (time) හරහා ය. මෙහි කාලය යනු වාස්තවික, ඔරලෝසු කාලය නොවේ. ආත්මීය වශයෙන් සංජානනය කළ හැකි කාලයද නොවේ. හෛඩෙගර්ට අනුව කාලය යනු සීමිතත්වය ය; පරිමිතත්වය ය (finitude). සත්තාව යනු කාලය ය. සීමිත බව යනු මිනිස් සත්තාව, පැවැත්ම මරණයෙන් සීමාවන බව ය (being unto death). මිනිස් සත්තාව කාලිකය (temporal). මිනිසා සාමාන්‍යයෙන් මරණය අමතක කර ක්‍රියාත්මක වෙයි. එසේ මරණය අමතක කර දේවල් (things) සමග ජීවත් වේ.


හෛඩෙගර් මෙහිදී සත්තාව සම්බන්ධයෙන් සාංදෘෂ්ඨික අර්ථයක් (existential understanding of being) වර්ධනය කරයි. මිනිස් සත්තාව පරිමිත එකක් වශයෙන් හා මිනිස් සත්තාව මරණය දෙසට යොමු වී ඇති බව සලකා හෛඩෙගර් විග්‍රහයක් ඉදිරිපත් කරයි. හෛඩෙගර්ගේ ප්‍රධාන කෘතිය වූ ඊැසබට ්බා ඔසපැ වල තේමාව මෙය ය. මෙය අතිමූලික සත්භවවාදය (fundamental ontology) ලෙසට හෛඩෙගර් හඳුන්වා ඇත. මේ සත්භවවවේදය තේරුම් ගත හැක්කේ දේවල් හරහා නොව පරිමිත මිනිස් සත්තාවන් හරහා ය.

මරණය සම්බන්ධ කාරණය වඩාත් සමීප වන්නේ පෙරදිග ආගම් සමග ය. විශේෂයෙන්ම බුදුදහම සමග ය. මරණය ක්ෂිතිජයක් (horizon) වශයෙන් සලකා මිනිස් පැවැත්මේ අර්ථය තේරුම් ගැනීම බුදුදහමට පොදු කාරනයකි. බුදු දහමේ මූලික සත්භාවවාදය වන්නේ සියළු සංස්කාරයන් නැසෙන බවත්, සියළු සංස්කාරයන් දුක උපදවන බවත් සියළු ධර්මතාවන් අනාත්ම බවත් ය. බුදු දහම මෙහිදී අවධාරණය කරන කාරණය මෙන්ම හෛඩෙගර් කියා සිටින කාරණය ද යුරෝපීයයානු ශිෂ්ඨාචාරයට ආගන්තුක ය.


බටහිර සමාජයේ සුවිශේෂ මරණ දෙකක් ඇත. ඒ සොක්‍රටීන්ගේ හා ජේසුස් වහන්සේගේ මරණයන් ය. සොක්‍රටීන්ගේ මරණයෙන් ලබාදෙන ගම්‍යයන් මොනවාද? සොක්‍රටීස්ට අනුව මරණයෙන් ඔප්පු වන්නේ ආත්මයේ අමරණීයත්වයයි (immortality of the soul). එනිසාය සොක්‍රටීස් කිසිදු චකිතයකින් තොරව මරණය සියතින්ම වැළඳ ගන්නේ. මරණයෙන් පසු ඔහුගේ ආත්මය අමරණිය වන බව සොක්‍රටීස් නිසැකවම දනී. ආත්මය අමරණීය නම් මරණයෙන් ජීවිතයට සීමාවක් පැනවෙන්නේ නැත. මරණය මිනිසාගේ සදාකාලික ආත්මය තහවුරු කරන සිද්ධීන් ය.


ජේසුස් වහන්සේගේ මරණයෙන් ලබා දෙන ගමයන් මොනවාද? ජේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා නම් උන් වහන්සේ අවශ්‍යයෙන්ම අමරණිය ය. උන් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීම උන්වහන්සේගේ පාපයක් නොව මිනිසුන්ගේ පාපයකි. උන් වහන්සේ මරණයෙන් නැගී සිටින අතර දෙවියන්ගේ රාජ්‍යය උදාකරනු ඇත.

උන්වහන්සේගේ මරණයෙන් ද ඔප්පු කෙරෙන්නේ ආත්මයේ සදාකාලිකත්වය ය. ජේසුස් වහන්සේගේ මරණයෙන් ලබාදෙන පොරොන්දුව සොක්‍රටීස්ගේ මරණයෙන් ලබාදෙන පොරොන්දුවට වඩා ප්‍රභල ය.


පෙරදිග බුදුදහම මරණය සම්බන්ධයෙන් ලබාදෙන්නේ වෙනත් තේරුමකි. මිනිසා සොබාදහමින් උපදින අතර ඔහු/ඇය නැවතත් සොබාදහමට එකතු වේ. ඒ නිසා මරණය සම්බන්ධයෙන් අප සිත කළඹවා ගත යුතු නැත. නමුත් බුදු දහම ස්වභාවික නොවන මරණයන් සම්බන්ධයෙන් දරන්නේ වෙනත් අදහසකි. ඝාතනයක්, සියදිවි නසා ගැනීමක් පරමාදර්ශී මරණයක් ලෙස සලකන්නේ නැත. බුදුන් වහන්සේ අවුරුදු 80ක් ජීවත් වී මිය ගිය සේක. අවසන් මොහොතේ උන් වහන්සේ කියා සිටියේ තම මරණය අනෙක් අයට සිත කලබලකර ගැනිමට තරම් කාරණයක් නොවන බව ය.

තමන්ගේ මරණය ස්වභාවික එකක් බවත් තම වගකීම් හරියට ඉටුකර තිබෙන බවත් උන්වහන්සේ කියා සිටියහ. කෙසේ නමුත් සොක්‍රටීස්ගේ මරණය බුදුදුහමේ අර්ථයෙන් ස්වභාවිකව හැම කෙනෙක්ම ලබන අත්දැකීමක් නොවේ. ජේසුස් වහන්සේගේ මරණය බුදු දහමේ අර්ථයෙන් ආත්මයේ සීමිතත්වය ඔප්පු කරන්නක් ද නොවේ.


හෛඩෙගර්ට අනුව බැලුවොත් සොක්‍රටීස්ගේ හා ජේසුස් වහන්සේගේ මරණයන් ජිවිත සත්තාවට ලබාදෙන දාර්ශනික අරුතක් නැත. යුරෝපීය ශිෂ්ඨාචාරයට ලබාදුන් දාර්ශනික පණිවුඩයක් ද නැත. හෛඩෙගර් කියන්නේ බටහිර සම්ප්‍රදායික සත්භාවවේදය තුළ මරණයට සංකල්පීය අර්ථයක් නැති බව ය. හෙයිඩෙගර් කථා කරන පරිමිත සත්තාවට (finite being) අනුව ඒ මරණවලට තේරුමක් නැත.


බෞද්ධ සද්භාවවේදයේ ප්‍රධාන අංග ලක්ෂණයක් වන්නේ දුක, විඳවීම (suffering) පිළිබඳ ප්‍රශ්නය ය. ඉපදීම, ජරාවට යාම, ව්‍යාධීන් ඇතිවීම ය. අනාගතයේ ලැබිය හැකි මරණය සම්බන්ධයෙන් වර්ථමානයේදී දුක් වීම මිනිසාට පොදු කාරනයකි.


මිනිසා මැරෙන සත්ත්වයෙකු නිසා ජීවිතය දුකක් කර ගෙන ඇත. මෙහිදීත් පෙනී යන්නේ මිනිස් පැවැත්ම මරණය නම් සීමිතත්වය අනුව සැකසෙන බව ය. බුදුන් වහන්සේ දුකට හේතුව වශයෙන් ගත්තේ උපාදානය ය (grasping) ආත්මයේ අමාරණීයත්වය හෝ සදාකාලික ජීවිතය පිළිබඳ අදහස පිළිගැනීමෙන් තොරව මේවා අධානග්‍රාහිත්වයන් ලෙස සලකා ජීවිත සත්තාව පිළිබඳ විග්‍රහයක් බුදුදහම ඉදිරිපත් කර ඇත. බුදුදහමට අනුව ආත්මයේ අමරණියත්වය මෙන්ම සදාකාලික ජීවිතය මිනිස් පැවැත්මේ සීමීත බව නම් කාරණයන්ගෙන් ගැලවීමට සාදාගත් උපක්‍රමන් ය. බුදුන්ට අනුව මරණයට මෙතරම් බිය වන්නේ වර්තමාන ජීවිත පැවැත්මට මිනිසා ලොල්වන නිසා ය. යමෙකුගේ වර්තමාන ගැටළුව මේ දැන් මෙතන (now and here) විසඳා ගැනීමට හැකි නම් මරණය ගැටළුවක් කර ගැනීමට අවශ්‍යතාව නැත.

හෛඩෙගරියානු චින්තනයේ ප්‍රධාන තැන සත්තාවට (being) ලැබුණත් බුදු දහම වැඩි අවධාරණයක් කර තිබෙන්නේ ශූන්‍යත්වය (nothingness) එනම් නොපවැත්මට ය (no­being).

“The Nothing is the possibility of the (non) existence of all things, literally “Nothing”      (Lemay and Pitts 1994:35)


සත්තාව මෙන්ම ගුන්‍යත්වයත් ග්‍රහණය කිරීම අපහසු වන්නේ මේ දෙකටම තිබෙන්නේ ස්වයං සාක්ෂිමය පදනමක් වීම නිසා ය. ශුන්‍යත්වය ග්‍රහණය කර ගත්තොත් අපගේ සත්තාව පහසුවෙන් තේරුම්ගත හැකි ය. විශ්වය, ලෝකය, ගස්, ගල් වැනි සියළු සත්තාවන් සාදන සත්තාව තේරුම් ගැනීම කළ හැකිය. සත්තාව හා ශූන්‍යත්වය නම් භව්‍යතාවන් දෙක අතරය අනෙකුත් සියළු දේවල් පවතින්නේ. සෑම මිනිස් සත්වයෙක්ම සිය සත්තාව අවසානයේ ශුන්‍යත්වය අත් විඳියි. එනම් ඔවුන් මරණය අත් විඳී යි. සෑම මිනිස් සත්තාවකටම ශූන්‍යතාව මුණගැසේ (every Dasein has to face the Nothing). එනම් මිය යාමට සිදු වේ. මෙය අවබෝධකරගත් විට මිනිස් සත්තාවේ සියළු සබඳතා පරිවර්තනය වේ.


බුදු දහමට අනුවත් පරිමිත, සීමිත ජීවිතයට මිනිස්සු ඇලෙන්නේ නැත්නම්, ජීවිතය දිගින් දිගට නඩත්තු කිරීමට මිනිස්සු උත්සාහ කරන්නේ නැත්නම් විමුක්තිය අවබෝධ කරගත හැකිය. බුදු දහමේ බලාපොරොත්තුව වන්නේ මිනිස් පැවැත්ම හා ශූන්‍යත්වය සම්බන්ධයෙන් ස්වයං-සම්ප්‍රජානනයක් ලබා දීමය. මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ ශූන්‍යත්වය යන්න උච්ඡේදවාදයක් (nihilism) නොවන බව ය.


යුරෝපියානු දර්ශනය පැත්තෙන් ගත්තොත් හෛඩෙගර් තමන්ට පෙර දාර්ශනිකයන් හා ආගමිකයන් නොඇසු ප්‍රශ්නයක් ඇසුවේ ය. සයිමන් ක්‍රිත්ලිට අනුව

It is essential that we constantly project our lives onto the horizon of our death what

Heidegger calls “being-towards-death”.


මරණයේ අර්ථය පිළිබඳවත් ඔහුගේ ප්‍රශ්න කිරීම මගින් සම්ප්‍රදායික දේවධර්මයත්, සත්භාවවාදයත් යන දෙකම ප්‍රශ්න කෙරෙයි. මේ සම්ප්‍රදායන්ට හෛඩෙගර් කියන්නේ onto-theo-logic (ontotheology) කියාය. මෙහිදී අවධාරණය කළ යුත්තේ හෛඩෙගර්ගේ ප්‍රශ්න කිරිම තුළ බුදු දහමේ සාකච්ඡාවට නැවත ඉඩක් විවර වුවත් හෛඩෙගර් හා බුදු දහම මිනිස් සත්තාව හා ශූන්‍යත්වය සම්බන්ධයෙන් එකම අදහසක් නොදරන බව ය. Takeshi Umehara මේ වෙනස අවධාරණය කර නැත. Parvis Emad තමන්ගේ On the Way to Heidegger’s Contribution to Philosophy කෘතියේ මෙසේ සටහන් කර ඇත.

We must keep in mind the difference between the liberation inherent in the ontology of Be-ing and the freedom promised by metaphysical theories. Recalling that by enacting the so-called projecting- opening man can throw himself free from beings, We recognize that at stake in the liberating ontology of is man throwing himself free from beings, which is not the same as achieving what is called freedom from or a accomplishing a detachments that rewards with salvation la Buddhism  (Emad 2007:127).

හෛඩෙගර් මරණය සම්බන්ධයෙන් සද්භාවවාදී විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. එය බුදහමේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් වලට වඩා වෙනස් ය. හෛඩෙගර් ආමන්ත්‍රණය කරන්නේ පැවැත්මේ (Existence) අතිමූලික ප්‍රශ්නයකි. මෙහිදී නොපැවැත්ම (Inexistence) පිළිබඳ සාකච්ඡාව පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේම කොටසක් ලෙස සාකච්ඡාවට බඳුන් කරයි. මරණය යන්න හෛඩෙගර්ට වියුක්ත සහ නොවැදගත් සංකල්පයක් නොව අතිශයින්ම සංයුක්ත ප්‍රශ්නයකි.

හෛඩෙගර්ට පෙර සිටි බටහිර දාර්ශනිකයන් මරණය පිළිබඳ සිතා තිබෙන්නේ වියුක්ත ආකාරයට ය. මරණය යනු දැනගත හැකි සහ අවබෝධ කරගත හැකි ඥානවිභාගාත්මක කාරණයක් නොව පැවැත්ම හා ගැටගැසුණු සද්භාවවාදී සංකල්පයකි. මිනිසාට අදාළ සත්‍යයක් හා ගැටගැසුණු සංකල්පයකි. හෛඩෙගර් තමන්ගේ What is Metaphysics ග්‍රන්ථයේ මේ ආකාරයට සඳහන් කරයි.


Existence is a way of understanding what constitutes his own existence (Heidegger 2014:299).

මිනිස් පැවැත්ම යන්න මූලික දාර්ශනික ප්‍රශ්නය වන අතර එය නොපැවැත්ම සමඟ අත්‍යන්තයෙන් සම්බන්ධය; මරණය සමඟ සම්බන්ධය. හෛඩෙගර් තවදුරටත් ලියන ආකාරයට

The end of the world – is death. The ‘end’ that belongs to existence limits and defines the whole of existence … death is just s fellow Existence (Heidegger 2014: 302).


හෛඩෙගර් සොයා යන්නේ මරණයට බිය මිනිසෙකු නොව මරණය ඉදිරියේ සුරක්‍ෂිත මිනිසෙකි. හෛඩගර් කියා සිටින්නේ මිනිසෙකුගේ සෑම පවැත්මකටම මරණය මුහුණ දෙන බවය.


හෛඩෙග Dwelling යනුවෙන් අදහස් කරන්නේ යමෙකු ආරක්‍ෂිත තැනක (safe place) ඉන්නවා යන අත්දැකීම ය. මේ අනුව මරණය යනු යමෙකුගේ ආරක්‍ෂාවට තර්ජනකාරී එකකි. මෙහිදී බොහෝ දෙනෙකු කරන්න පෙළඹෙන්නේ මරණයෙන් පළායාමේ මාර්ග සෙවීම ය. සමහරක් මෙහිදී කරන්නේ මරණය අමතක කර වැඩ කිරීමය; ආතතියෙන් හා බියෙන් ජීවත් වීමය; මරණය ඉක්මවා යාම වෙනුවට මරණයට විරුද්ධ වීමය. කෙසේ නමුත් එයින් මිනිසාට ලැබෙන ආරක්‍ෂිතභාවයක් නැත. හෛ ඩෙගර්ට අනුව මරණය යනු ගුප්ත නිශේධනයක්ල හිස් හෝ තෙරක් නැති ආගාධයක් නොවේ. එය සත්තාවේම කොටසකි. හෛඩෙගර් පවසන ආකාරයට පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය නඟන්නේ නැති තැනක අව්‍යාජ ජීවිතයක්ද නැත.


හෛඩෙගර් දකින ආකාරයට මරණය හරහා පැමිණෙන සාංකාව (Angst) පාරභෞතිකවාදය හරහා ගලා එන්නකි. පාරභෞතිකවාදය මඟින් සාංකාව වර්ධනය වෙනවා විනා යමෙකුගේ වාසස්ථානය සම්බන්ධයෙන් ආරක්‍ෂිත හැඟීමක් ඇතිකරන්නේ නැත.
හෛඩෙගර් මෙසේ ලියයි.


Death is not possible to ‘achieve’ and does not give to Existence and his own death is nothing that can be realized. Death is possible regardless of any behavior by any existence. (Heidegger 2014: 337)


මරණය යන්න සාක්ෂාත් කරගත හැකි දෙයක් නොවේ. පැවැත්ම ගැන නොතකා මරණය සිදුවිය හැකිය. හෛඩෙගර් මතුකළ තවත් දාර්ශනික ප්‍රශ්නයක් වූයේ දේවල් නොපවතිනවා වෙනුවට ඒවා පවතින්නේ ඇයිද යන්න ය. හෛඩෙගර් ‘නොපවතිනවා’ (inexistence; nonexistence; absence of existence) ලෙස ගන්නේ කුමක්ද? ‘නොවැපැත්ම’ යනු සෑම දෙයකම ප්‍රභවය වේ. සෑම සත්තාවකටම පූර්ව පැවැත්ම වන්නේ ‘නොපැවැත්මය’.


සාංකාව (anxiety, dread) (Angst) යන්නෙන් හෙළිදරව් කරන්නේ නොපැවැත්ම ය. එය ආරම්භ වන්නේ ‘නොපැවැත්ම’ යන්නට මුහුණ දුන් විට ඇතිවන සද්භාවාත්මක තත්ත්වයක් ලෙසට ය. එය සද්භාවවාදී අත්දැකීමකි (ontological experience) මරණය හමුවේ පුද්ගලයා ‘නොපැවතිම’ ගැන දැනුවත් වීමට පටන් ගනී. මේ ‘නොපැවැතිම’ හමුවේ තර්කය බුද්ධිය යන ඒවා ශුන්‍ය බව අවබෝධ කර ගත හැකිය. ‘නොපැවැතිම’ හරහා ජනනය වන සාංකාව හෛඩෙගර්ගේ සද්භාවවාදී දර්ශනයේ ප්‍රධාන තේමාවකි. සාංකාව යන්න බිය (fear) යන්නෙන් හෛඩෙගර් වෙන් කරයි. බිය යන්න හැම විටම යම් තර්ජනාත්මක දෙයක් සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයකි. යමෙකු බිය වන්නේ යම් සුවිශේෂ සතෙකුට (මකුළුවෙකු වැනි) විය හැකිය. මේ වස්තුව නැති තැන බියද අහෝසි වී යයි. බිය යන්න නිශ්චිත ව තීන්දු වන එකකි. සාංකාව යන්න නොපැවැත්ම, ශුන්‍යතාවය හමුවේ ඇතිවන්නකි (fear is about some thing, anxiety is about nothing) මේ නිසා සාංකාව අවිනිශ්චිත ය. මෙය සයිමන් ක්‍රිත්ලි දක්වන ආකාරයට ‘anxiety is anxious about being- in-the-world as such’’

සාංකාව තුළ මාගේ දෛනික ලෝකය මගෙන් ගිලිහී යන අතර මගේ නිවහන අභූත දෙයක් (uncanny) බවට පත්වේ (unheimlich) එමෙන් ම මට ලෝකය අමුතු දෙයක් වේ. සාංකාව දේවල් වලින් හා අන්‍යන්ගෙන් ගැලීමක්, වියෝවීමක් වන අතර එවැනි මොහොතකදීය මම මා ගැන නිදහස ලෙස සිතීමට පෙළඹෙන්නේ.

හෛඩෙගර් මරණය සම්බන්ධයෙන් පැරණි කියමනක් මතු කරයි. to philosophise is to learn how to die. මරණය මඟින් ය අපගේ ස්වීයත්වය හැඩගන්වා ගන්නේ. හෛඩෙග ‘being- towards-death’  යන්නෙන් කරුණු හතරක් අවධාරණය කරයි. එය අසම්බන්ධිත එකකි (non-relational) නිශ්චිත වූවකි (certain); අනිශ්චිත වූවකි (indefinite); එය පසුකොට යා නොහැකි එකකි (not to be outstripped)සම්බන්ධිත (non relations) යැයි කියන්නේ මරණය ඉදිරියේ අනෙකා සම්බන්ධයෙන් සියළු සම්බන්ධතා වලින් පරිපූර්ණ වශයෙන් බිඳෙන බව ය. අනෙක් අයගේ මරණය හරහා යමෙකුට තමන්ගේ මරණය සම්බන්ධයෙන් අනුභූතිමත් විය නොහැකිය. මට මරණය නිශ්චිත යැයි පවසන්නේ අපි මැරෙන බව නියත නිසයි. මරණයෙන් අපගේ ජීවිතය අවසන් වනවා යන්න නියතයකි. මරණය අවිනිශ්චිත එකක් යැයි කියන්නේ මරණය නිශ්චිත වූවත් එය කවදා සිදුවේද යන්න අවිනිශ්චිත නිසා ය.

මරණය අපගේ දොරට තට්ටු කරන්නේ කවදාද යන්න අපට අවිනිශ්චිත ය. මරණය යන්න පසුකර යා නොහැකි එකක් යැයි කියන්නේ මරණය මඟින් සියළු විය හැකියාවන් පසුකර යාම නිසා ය; අභිබවායාම නිසා ය. මේ නිසා හෛඩෙගර් විරුද්ධාභාසමය ප්‍රකාශයක් මෙලෙසින් ඉදිරිපත් කරයි. ‘death is the possibility of impossibility’ යමෙකුගේ ජීවිතය සීමා කරන්නේ මේ මරණයේ ස්වභාවය ය.


මරණය යන්න අනාගතයේදී සිදුවන සිද්ධියක් (event) නොවේ. එය අපගේ පැවැත්මේ අතිමූලික ව්‍යූහයකි. මරණය යනු අපගේ පැවැත්මේ අවසානයද නොවේ. මරණය වනාහි අපගේ පැවැත්මේ අභ්‍යන්තරික ව්‍යූහය ය. පැවැත්ම සඳහා විවිධ විය හැකියාවන් තිබුණත් මරණය මඟින් වෙනත් පැවැත්මක් සඳහා ඇති විය හැකියාව නතර කරයි. අනෙකාගේ මරණය හරහා මාගේ මරණය අවබෝධ නොවේ. හෛඩෙගර් ලියන ආකාරයට

His death is the possibility of no-longer-being-able-to-be-there (Heidegger 2014: 323).

මාගේ මරණය නියෝජනය කිරීමට හෝ එයට ආද්ශකයක් වීමට වෙනත් කිසිවක් නැත. මරණයේ අත්දැකීම එකතිනෙකට විශේෂ වනවා විනා අනෙකාගේ මරණය මගේ මරණය ගැන කිසිවක් නොකියයි. පැවැත්මේ නැවතීම අනිවාර්යෙන් සිදුවේ.

ආශ්‍රිත ග්‍රන්ථ

1 Takeshi Umhera (1970) ‘Heidegger and Buddhism’ in Philosophy East and West, Vol.xx, No 3, 

   July 1970, the University of Hawaii Press.

2. Ervc.C, Lemay and Jennifer A.Pitts (1994), Heidegger for Beginners, England: Writers and  

    Readers publishing, Inc.

3. Parvis, Emad (2007) “On the Way to Heidegger’s Contribution to Philosophy, England:  

    The University of Wisconism Press.

4. Simon Critchley. www’guardian.co.uk

5. Martin Heidegger (2014) What is Metaphysics, Phoenix Publishing.

ආචාර්ය සමන් පුෂ්පකුමාර,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන හා මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය,