එස්. නන්දලාල්

ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මහමැතිවරණයෙන් තේරී පත් වූ කණ්ඩායමට පාලනය භාර ගන්නට ඉඩ නොහැර ඔවුන් පලවා හැර පාලනය සියතට ගත් මියැන්මාරයේ හමුදාව පවත්වා ගෙන යන දුර්දාන්ත අනම්‍ය පාලනයට මේ වනවිට සති දහයක් පමණ ගතවී තිබේ. එරට ජනතාව හමුදාවේ කුමන්ත‍්‍රණයට සහ මර්දනයට එරෙහිව වීදි බැස සිටිති. හමුදාවේ සහ පොලීසියේ වෙඩිතැබීම්වලින් 600ක් පමණ දෙනා මේ වනවිට මියගොස් ඇති බව අනුමාන වශයෙන් සඳහන් ය. තුවාල ලත් සංඛ්‍යාව කොතෙක් ද කියා සඳහන් නොවේ.

මේ වනවිට සියලූ ආකාර අන්තර්ජාල පහසුකම් කපා හැර ඇති බැවින් එරට සිදුවන්නේ මොනවාද කියා නිශ්චිත වශයෙන් බාහිර ලෝකය දන්නේ නැත. අල්ජසීරා වාර්තාවක දැක්වෙන පරිදි හමුදා කුමන්ත‍්‍රණය දියත් කළ දා සිට එරට හමුදා ප‍්‍රධානීහු බොහෝ දුරට රටේ ඡායාමාත‍්‍ර අගනුවර වන නයිපයිඩාවෝ හි හුදෙකලා වී සිටිති.

හදිසි නීිතිය පනවා ඇති අතර පාර්ලිමේන්තුව වසා දමා ඇත. මේ සියල්ල සිදුවනුයේ ව්‍යවස්ථාවට අනුකූල ව ය. අවශ්‍ය වෙතොත් හදිසි නීිතිය තවත් සයමස බැගින් දෙවරක් දීර්ඝ කරන්නට එම ව්‍යවස්ථාවේ ම ප‍්‍රතිපාදන තිබේ.

සියලූ විදෙස් වාර්තාකරුවන් රටින් පිටමං කැර ඇති අතර දේශීය මාධ්‍ය වාරණයට ලක් කරනු ලැබ තිබේ. මේ නිසා එරට සිදුවන දෑ පිටතට දැනගන්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. සීඑන්එන් සහ තවත් මාධ්‍ය අතළොස්සක පමණක් වාර්තාකරුවන්ට රටේ තත්ත්වය සියැසින් දැක බලා ගන්නට තත්මදෙව් නමින් හැඳින්වෙන එරට හමුදා පාලනය අවසර දී තිබුණු අතර මේ වනවිට ඔවුන් ද පිටත්ව ගොසිනි.

මේ මාධ්‍ය නියෝජිතයන්ට වර්තමාන පාලනයේ ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජනරාල් සෝ මින් තුන් කරුණු පැහැදිලි කොට ඇති අතර ඔහුට අනුව පසුගිය නොවැම්බරයේ පැවැති මහ මැතිවරණයේ දී අවු සාං සූ කී නායකත්වය දුන් එන්එල්ඞී පක්‍ෂය ජයගෙන ඇත්තේ කුමන්ත‍්‍රණයකිනි. එහි දී දහස් ගණනක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුව ඇත. අවශ්‍ය වුවහොත් හදිසි නීතිය දිර්ඝ කරනවාය යනුවෙන් පවසා ඇත්තේ එම නිලධාරියා විසිනි. ‘ඉන්පසුව අන්තර්ජාතික නිරීක්‍ෂකයන්ගේ අධීක්‍ෂණය යටතේ මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇත’ සියල්ල සිදුවනු ඇත්තේ 2008 සම්මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ඔහු පුන පුනා ප‍්‍රකාශ කොට ඇත.

කෙසේවෙතත් ඉදිරියේ කිසියම් අවිනිශ්චිත දිනයකදී පැවැත්වෙනු ඇතැ’යි කියන මහ මැතිවරණයට අවුන් සාං සූ කී ඇතුඵ එන්එල්ඞී ප‍්‍රබලයන්ට සහභාගි වන්නට ඉඩ ලැබෙනු ඇත් ද යන්න විමසන ලදුව ඊට හමුදා ප‍්‍රකාශකයන් විසින් ඍජු පිළිතුරුක් දී නැත. ‘ඔවුන් කළ වැරදි මේ වනවිට අනාවරණය වී තිබෙන්වා. ඉදිරියේදී නීත්‍යනුකූල කි‍්‍රයාමාර්ගයක් ගනු ඇත’ ඔහු දී ඇති පිළිතුරයි. එයින් හැඟවෙන්නේ ඔවුන් නීත්‍යනුකූලව සිරගත කෙරෙනු ඇති බව මිස අන් යමක් නොවනු ඇත. ‘ඔවුන් කළ වැරදි අනාවරණය කැරගත යුුතුයි. ඔබ දන්නවා මිනීමැරුමක් කර තිබෙනවා නම් ඊට සාක්ෂි සොයා ගන්නට කල් ගතවන බව’

විරෝධතාකරුවන්ගේ සාහසික කි‍්‍රයා පිළිබඳව සිය ගණනක් සාක්‍ෂි හමුදාව විසින් ඉදිරිපත් කොට ඇත. ඒ අතර බෞද්ධ භික්‍ෂුන්, හමුදා පවුල්වල සාමාජිකයන් යනාදිහු වෙති. මේ අය කතා කළේ හමුදාව විසින් ලියා දෙන ලද පිටපත්වලට අනුව බව අල්ජසීරා වාර්තාවේ සඳහන් ය. ති‍්‍රධම්ම නම් භික්ෂුවක් තමන්ට ත‍්‍රස්තවාදීන් පහර දෙන්නට සිටින බව පැවසූ විට අධීක්‍ෂණය කළ හමුදා නිලධාරියා වහාම මැදිහත්ව ඒ අය ත‍්‍රස්තවාදීන් නොව විරෝධතාකරුවන් දිය යුතු බව පෙන්වා දී ඇති බවත් පාපත ඔවුන්ගේ බව වටහා ගැනීමට එය එක් සාක්ෂියක් වූ බවත් එම වාර්තාවේ දැක්වේ.

බොහෝ දෙනා කිසිවක් කියන්නට මැලි වී ඇති අතර කිහිප දෙනක් පමණක් සත්‍ය තත්ත්වය හෙළිදරව් කොට ඇති බැව් සඳහන් ය.

මේ සාකච්ඡාවේ දී සූ කීගේ පාලනය විවේචනයට ලක් කරමින් කතා කර ඇති හමුදා නිලධාරීන් සිය සාධාරණ පාලනය ගැන වගාඩම්බර දොඩා ඇත. හමුදාව විසින් කරන ලද මිනිස් ඝාතන ගැන ඔවුන් පවසන්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසා එසේ කරන්නට සිදුවන්නට ඇති බවයි. එහෙත් හමුදා වෙඩිතැබීම්වලින් කුඩා දරුවන් පවා මියගොස් ඇති බව පෙන්වා දුන් විට ඒ ගැන පැහැදිලි හේතු ඉදිරිපත් කරන්නට ඔවුන් අපොහොසත් ව තිබේ. විරෝධතා මැඬපවත්වන්නට යාමේ දී අඩුම තරමින් බාලවයස්කරුවන් පනහක්වත් මිය යන්නට ඇති බව විශ්වාස කෙරේ. මේ අය විරෝධතාවලට සහභාගි වුවන් නොව මඟ දෙපස සිටි නරඹන්නන් ය.

විරෝධතා මේ වනවිටත් පැවැත්වෙයි.

මේ අතර මියැන්මාර වැසියන්ගේ විරෝධය චීනය කෙරේ ද එල්ල වෙයි. හමුදා කුමන්ත‍්‍රණයට පිටුබලය සැපයෙන්නේ චීනයෙන් බව ඔවුන්ගේ අදහසයි. චීනය හමුදා පාලනයට මූල්‍යමය වශයෙන් ද ආධාර දෙයි. එසේ් කරන්නේ හමුදාව ලවා තමන් මර්දනය කරවන්නට ය’යි මියැන්මාර් ජනයා තුළ කියති.

විරෝධතාවලට මිලියනයක් පමණ දෙනා සහභාගි වී සිටින බව පැවසේ. විරෝධතාකරුවන් විසින් මාර්තු තුන්වන සති අන්තයේ ගිනිතබා වනසා ඇති චීන කම්හල් සංඛ්‍යාව පහළොවක් බව පැවසේ. මියැන්මාර් අපනයනවලින් තුනෙන් එකකට පමණ දායකත්වය සපයන්නේ මේ කම්හල්වල නිපැයෙන ඇඟලූම්, පාවහන් සහ යාන්ති‍්‍රක උපාංග ය.

මේ ගැන චීනය සිය බලවත් විරෝධය පළ කරයි. තම රජය මියැන්මාරයේ කම්හල්වල ආයෝජනය කරන ලද්දේ සමස්ත මියැන්මාර ජනතාවගේ අභිවෘද්ධිය පතා බවත්, ඒවා WW (WIN WIN) ව්‍යවසාය බවත් ඔවුහු පෙන්වා දෙති. මේ විනාශයෙන් අහිමි වන්නේ තම රටේ දේපළ පමණක් නොව මියැන්මාරයට ද අයත් සම්පත් ය.

එත්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක දී චීන නියෝජිතයන් ඒ බව පැවසී ය. මියැන්මාර පාලනයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමට කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවක් චීනයේ විරෝධය නිසා ප‍්‍රතික්ෂේප විය. ආරක්‍ෂක කවුන්සිලයේ නිෂේධ බලය ඇති රටවල් පහෙන් එකක් වන චීනය ලොව කොතනක හෝ මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවන්නේ නම් එසේ උල්ලංඝනය කරන්නවුන් සමඟ සිට ගන්නා බවට හොඳම උදාහරණයකි මේ.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය හෝ මානව හිමිකම් කවුන්සිලය මියැන්මාර් වර්තමාන පාලනයට එරෙහිව කිසිදු යෝජනාවක් මේ දක්වා සම්මත කොට නැත.

1 COMMENT

  1. Several decades ago General Ne Win captured power in Burma. The entire country erupted against the army. Burmese – irrespective of religion or race opposed the army, and when army shoots at people, the whole crowd, Buddhists, Muslims and Christians jump over parapet walls of Pansalas seeking safety. The road side tea kiosk run by Muslims supplied tea to the rebels, and these scenario was captured by Al Jazeera TV. You could see the mansions of the army rulers and the cottages of citizens side by side even now. Later rulers, splintered the unity of masses and made them weak. Karen Rebels, Muslims and minority were targeted by the majority led by priests. Sadly now, the Buddhist Burmese are isolated now. Do you see any parallel here?

Comments are closed.