දිනී ජයසේකර


පැය අටක ගමනාන්තයකින් පසු අපි වව්නියාවට පැමිණියෙමු. අධික වූ පිපාසාව හේතුවෙන් වතුර වීදුරුවක් පානය කිරීම සඳහා කඩයකට පැමිණ ජල කරාමය විවෘත කළෙමු. එවිට එහි වූ සේවකයෙක් අප වෙත පැමිණ ජල කරාමයේ වතුර නොබොන ලෙස උපදෙස් ලබා දී පසෙකින් වූ ෆිල්ටර් වතුර බෝතලයක් පෙන්වා “ඔය වතුරවල කැල්සියම් තියෙනවා. ඒ නිසා අපි බොන්නෙ ෆිල්ටර් වතුර.” යැයි පැවසීය.


තවද ඔහු එයට උදාහරණ වශයෙන් වතුර උණු කරන හීටරයත් ඇලුමිනියම් භාජන කිහිපයත් පෙන්වූවේය. එහි තැනින් තැන සුදු පැහැති පැල්ලම්ය. ඒවා කුමන විදියකින් සේදුවත් නොයන පැල්ලම් බව අපට වැටහුණේ ඔහු එම ඇලුමිනියම් භාජන අතුල්ලා සේදූ පසුවය.


“ඔය වගේ තමා මෙහෙ මිනිස්සුන්ගෙ ශරීරෙ ඇතුළ. වතුර නිසා බොහොමයක් අය වකුගඩු රෝගයට ගොදුරු වෙලා ඉන්නේ. බාලවයස්කාරයාගෙ ඉඳල වැඩිහිටියා වෙනකන් ගොදුරු වෙලා.”


වැඩිහිටි පුද්ගලයකුට සාමාන්‍යයෙන් දිනකට කැල්සියම් මිලිග්‍රෑම් දාහක පමණ ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය කරන බව වෛද්‍ය නිගමනයයි. එමෙන්ම කැල්සියම් ශරීරයට අධික ලෙස ලැබීමත් ශරීරයට හානිකර වන අතර ඉතා සීමිතව ලැබීමත් පුද්ගල ශරීරයට හානිකර වේ. වව්නියා දිස්ත්‍රික්කයේ වැසියෝ තමන්ගේ ශරීරයෙහි අධික කැල්සියම් ප්‍රමාණයක් තැන්පත් වීම හේතුවෙන් වකුගඩු රෝගයෙන් එකා දෙන්නා මියයමින් සිටිති. මන්දයත් වෙළෙඳ සේවකයා පැවසූ පරිදි දළ වශයෙන් වව්නියාව දිස්ත්‍රික්කය තුළ මරණ පහක් සිදුවුවහොත් එයින් තුනක් පමණ වකුගඩු රෝගය නිසා සිදු වූ මරණ බැවිනි.


රුපියල් පන්දාහයි/රුපියල් දාහයි


“වකුගඩු රෝගය හැදුණම සමහර අයට සතියකට සැරයක් ලේ මාරු කරන්න වෙනවා. ඒ අයට රුපියල් පන්දාහක මුදලක් මසකට සැරයක් රජයෙන් දෙනවා. මොකද ලේ මාරු කරන එක ටිකක් වියදම් වැඩියි. ලෙඬේ සාමාන්‍ය අමාරු තත්ත්වයකට ආවම මසකට රුපියල් දාහක (1000) මුදලක් දෙන්නේ. සතියෙන් සතිය මුදල් ඉල්ලුම්පත් විශාල වශයෙන් වැඩි වෙනවා. මේ සතියට වඩා ඊළඟ සතියට පස්හය දෙනෙක් වැඩි වෙනවා.” සමාජ සේවකයකු වන ශ්‍රී නිවාසන් පැවසීය.


ඔහු පවසන ආකාරයට දිනෙන් දින වකුගඩු රෝගයට මුහුණපාන්නන් වැඩිවනවා මිස අඩුවීමක් දක්නට නොමැත. වකුගඩු රෝගය පැතිරයාමේ අවදානම ඇත්තේ ඔවුන් පාවිච්චි කරන ජලය නිසාය යන්නත් ඔවුහු තරයේ විශ්වාස කරති. එයට හේතුව පාවිච්චියට ගන්නා ජලයේ කැල්සියම් උග්‍රව තිබීම නිසාය. වගු අංක එකෙහි දක්වා ඇත්තේ මසකට රුපියල් පන්දාහක මුදලක් ලබන පිරිස්ය. වගු අංක දෙකෙහි දක්වා ඇත්තේ මසකට රුපියල් දාහක මුදලක් ලබා දෙන පිරිසයි.

උක්ත දත්ත අනුව වර්තමානයේදී වව්නියා බල ප්‍රදේශයේ වකුගඩු රෝගීන් හරදාස් හත්සියය (4700)ක ප්‍රමාණයක් ජීවත් වෙති.


චෙට්ටිකුලම්


“චෙට්ටිකුලම් සහ කට්ටාන ප්‍රදේශයෙ තමා වකුගඩු රෝගීන් වැඩිපුර ඉන්නේ. මේ ප්‍රදේශවල සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් සිදුවෙලා තියෙනවා.” ශ්‍රී නිවාසන් පැවසුවේය.


චෙට්ටිකුලම් ප්‍රදේශයේ වකුගඩු රෝගීන් එක්දාස් එකසිය අනූ දෙකක් (1192) ජීවත් වෙති. සමහරෙක් එදිනදා වියදම උපයා ගනු ලබන්නේ කුලී රස්සා කරමිනි. තවකෙක් ගොවිතැන් කරති.


“මම කුලී වැඩ කරල තමයි ජීවත් වෙන්නේ. දවසට රුපියල් හත්සීයක් (700) විතර තමා ලැබෙන්නේ. හැමදාම කුලී වැඩ ලැබෙන්නෙත් නැහැ. කාලයක් ඉඳල මට වකුගඩු ලෙඬේ තියෙනවා කියලා දොස්තරල කියලා තියෙනවා. මම ඒවට බෙහෙත් ගන්නවා. මම ගෙදර ගෘහමූලිකයා නිසා මම තමයි පවුලටම කන්න දෙන්නෙ. හදිස්සියෙවත් මට මොනව හරි උනොත් ඒක පවුලටම බලපානවා.” රාසයියා පැවසීය.


“මම ගොවිතැන් කරල ජීවත් වෙන්නේ. ගොවිතැන් කරා කියලත් මහ ලොකු ආදායමක් ලබන්න බැහැ. මමත් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. මාසෙකට සැරයක් ක්ලීනික් යනවා. මෙහෙ කුලී රස්සාවක් හොයාගන්න එකත් ලේසි නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට එක වේලක් කාල ඉන්නවා. බඩගින්නට වතුර බොන්නද? වතුර බීවොත් ලෙඩ. අපිට මොනව කරන්නද කියල තේරෙන්නෙ නැහැ. හදිස්සියෙවත් මට මොනව හරි වුණොත් දරුවො ටික තනි වෙනවා.” යැයි වීරපෙරුමාල් පැවසුවේය.


“මගේ මහත්තය වකුගඩු රෝගය නිසා මීට මාසෙකට කලින් මරණයට පත්වුණා. එයාව දවස් කීපයක් ඉස්පිරිතාලෙ තියාගෙන ඉන්නකොට තමයි දන්නෙ වකුගඩු රෝගයෙන් පීඩා ලබනවා කියලා. රෝගය උත්සන්න වෙනකන් අපි දන්නෙ නැහැ. ඊටපස්සෙ එයා මැරුණා.” රාවනේෂ්වරී පැවසුවාය.


දෙලොව් චන්ද්‍රන්ගේ අදහස මෙසේය.
“අපේ තාත්තගෙ ලේ චෙක් කරල දවස් විස්සක් ගියාට පස්සෙයි දන්නෙ වකුගඩු රෝගයට ගොදුරු වෙලා කියලා. ඊටපස්සෙ ආයෙ දවස් විස්සක් ඉස්පිරිතාලෙ ඉන්නකොට තමයි තාත්ත මරණයට පත්වෙන්නේ.”


ලීටරය එක එක ගණන්


වව්නියාව බල ප්‍රදේශයේ ඇවිද යන විට බොහෝ තැන්වල ඇත්තේ ෆිල්ටර් වතුර කඩය. ඒවායේ සඳහන්ව ඇත්තේ වතුර ලීටර් එකක් රුපියල් තුනක් යන්නය. තව තැනක රුපියල් දෙකයි යනුවෙනි. තවත් තැනක රුපියල් හතරක් යන්නය. නානාප්‍රකාර ගණන්වලට වතුර අලෙවි වේ. සාමාන්‍ය උදාහරණයක් ලෙස ගත් විට කුටුම්භයකට දවසට පානය සඳහා පමණක් වතුර ලීටර් පහක් පමණ උවමනා වේ.


“අපේ මනුස්සයට වකුගඩු අමාරුව තියෙනවා. වතුර කඩෙන් ගන්නෙ නැහැ. පෝලිමේ ඉඳල සමහරක් වෙලාවට පිරිපහදු කරන තැනින් ගන්නවා. ඇත්තටම කඩෙන් වතුර ගන්න තරම් අපිට වත්කමක් නැහැ. සල්ලි තියෙන මිනිස්සු නම් කඩෙන් තමයි වතුර ගන්නේ. අපි කරන්නෙ කුලී රස්සා. සොච්චම් පඩියක් ලැබෙන්නෙ. ඉතින් ගෙදර වැඩයි මනුස්සයගෙ ලෙඬේට යන වියදමුයි දරන්න අමාරුයි. කරන්න දෙයක් නැහැ ඉක්මනට මැරිල යන්න තියෙන්නෙ අපිටත්.”
ඇය වැනි පිරිස් තව කොතෙකුත් ඇත්ද? ඔවුන් සියල්ලට අත්ව ඇති ඉරණම එයද? වත්තක ළිදක් හාරා ගැනීමට ඉඩපහසුව නොමැතිව මුදලට නළ ජලය ලබාගන්නා අයට ඔවුන්ගේ නැතිබැරිකම වැටහෙනවාද යන්න ප්‍රශ්නයකි. නමුත් මොවුන්ට ළිදක් හාරා ගැනීමට ඉඩ පහසුව ඇත. ඔවුන්ට ඇත්තේ ඒ ජලය පාවිච්චි කිරීමට ඇති නොහැකියාවයයි.


ව්‍යාපෘති


“ජල පිරිපහදු ව්‍යාපෘති බොහොමයක් රජයෙන් ලබා දුන්නෙ නැහැ. මිනිස්සු මිනිස්සු එකතු වෙලා හදාගත්තුවත් තියෙනවා. අනුරාධපුරේ පොළොන්නරුවෙත් වකුගඩු රෝගය පැතිරිලා තියෙන නිසා අපි එහෙන් තමයි දැනගත්තෙ ජලපිරිපහදු කරන ක්‍රම. ඒවා බලාන ඇවිත් තමයි මෙහෙ ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ.”


“අපි වතුර ගන්න එන්නෙ ගොඩක් දුර ඉඳල. සල්ලිවලට වතුර ගන්න විදියක් නැති නිසයි දුර ගෙවාගෙන එන්නේ. අපිට ඕන ඕන වෙලාවට මෙතනින් වතුර ගන්න බැහැ. ලොක් දාල තියෙන්නේ. උදේ 8ට ලොක් ඇරියම ආයේ උදේ 11ට වහනවා. ඒ වහල හවස 3.30 ඉඳල 5.30 වෙනකන් වතුර දෙන්නේ. එහෙම ගොඩක් ගන්නත් බැහැ. ලීටර් පහක් හයක් පමණ තමයි දෙන්නේ.” රාක්අම්මාගේ අදහසයි.


“වතුර බිව්වමත් ලෙඩ. නොබී හිටියමත් ලෙඩ. අපිට තේරෙන්නෙ නැහැ මොනවා කරන්නද කියලා. ඒ නිසා ඕන එකක් වෙන්න කියල අපි ළිං වතුරම බොනවා. සාමාන්‍යය දකුණෙ වගේ වකුගඩු රෝග එන්නෙ පරම්පරා ගතවයි. නමුත් මෙහෙ එහෙම නැහැ. ඕනම ගෙදරක වකුගඩු රෝගියෙක් ඉන්නවාමයි.” එසේ පැවසුවේ වීරපෙරුමාල් ය.


පහසුකම් මදි


“වව්නියාව මහ ඉස්පිරිතාලෙ ලේ පිරිසිදු කරන මැෂින් හතරයි තියෙන්නේ. ඒවත් පවිච්චි කරන්න බැරි තත්වෙක තියෙන්නේ. ඒ නිසා ගොඩක් ලෙඞ්ඩු යාපනේට හරි කොළඹට හරි යවනවා. ඊටපස්සෙ තමයි ඔපරේෂන් කරන්නේ. අනිත් කාරණාව ලෙඬේ හඳුනාගන්න කාලයක් ගතවෙනවා පහසුකම් මදි නිසා. ලෙඬේ හඳුනා ගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. ඒ නිසා ජීවිත අවදානම් වැඩියි. මෙහෙ මිනිස්සු හරියට දුක් විඳිනවා. සමහරුන්ට මුදල් නැහැ බෙහෙත් ගන්න. රජයෙන් මීට වඩා හොඳ වැඩපිළිවෙළක් යෙදුව නම් හොඳයි කියල හිතනවා සහ ඉදිරියෙදි මේක මුළු සමාජෙටම බලපාන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා” යැයි පැවසුවේ ශ්‍රී නිවාසන් ය.


ගෙයි ගිනි


අප චෙට්ටිකුලම් වෙත පැමිණියද වකුගඩු රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන් සමග කතාබහ කිරීමට අවස්ථාවක් ලබාගැනීම ඉතා අපහසු විය. එයට හේතුවක් වන්නේ ඔවුන් අප හා කතාබහ කිරීම තරමක් ප්‍රතික්ෂේප කිරීමයි. මන්ද ඔවුන් ඉදිරිපත් කළ තර්කය වූයේ පිටගමකින් අපට විවාහයක්වත් කර ගැනීමට නොහැකි වනවාය යන්නයි. එය සැබෑවකි. වයස පරතරයකින් තොරව වකුගඩු රෝගයට ගොදුරු වීම නිසා විවාහ නොවී සිටින පිරිස් බොහෝය. සහ රෝගයට ගොදුරු වී අසාධ්‍යව සිටින විට තමන්ගේ කුටුම්භය දෙකඩ වී ඇති අයුරු ද මෝන්දන් හා කතාබහේදී අපට වැටහී ගියේය.
“අපේ පවුලෙ කාටවත් වකුගඩු රෝගය තිබිල නැහැ. ඒක හැදුණට පස්සෙ මගේ බිරිඳ ළමයිනුත් අරගෙන එයාලගෙ ගෙදර ගියා. ඒ ගියාට පස්සෙ තවම ආවෙ නැහැ. මට නැගිටල එහාට මෙහාට යන්නවත් බැහැ. අම්මයි මල්ලියි තමයි මගේ වැඩ කරන්නේ.”


“මේක ශීඝ්‍රයෙන් වැඩි වෙනව මිසක් අඩුවෙන්නෙ නැහැ. ඉතින් අපි කියන්නෙ මුදල් වලට වතුර ගන්න බැරි මිනිස්සුත් ඉන්නවා. ඔවුන්ට පිරිසිදු කරපු වතුර නොමිලේ පාවිච්චි කිරීමට අවස්ථාවක් ලබාදෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා හිටිනවා.” දෙලොව් චන්ද්‍රන් එසේ පැවසී