විමලනාත් වීරරත්න

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර නව අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් පැවසුවේ මින්මතු ජනතාව කිසිවකුට කප්පන් නොදිය යුතු බවය. එමෙන්ම කුඩු බිස්නස්කාරයන්ට කීවේ වහාම කුඩු විකිණීම අත්හැර වෙනත් රැකියා සොයා ගන්නා ලෙසය. ඔවුන්ට රැකියා ලබා දීමට රජයට හැකියාවක් ඇති බවද හෙතෙම කීවේය. උපාධිධාරින් පනස්දහසකට හා අඩු ආදායම්ලාභී ලක්ෂයකට රැකියා ලබාදුන් වැඩ සටහනට සමගාමීව කුඩු විකිණීම අත්හරින අයට රැකියා ලබාදීමේ වැඩසටහනක්ද රජය ක්‍රියාත්මක කරනවාදැයි නොදනිමු. ඊළඟට ඔහු පාතාලයට කීවේ ආයුධ බාරදෙන ලෙසය. ඒ අනුව ක්‍රියා නොකළහොත් නරකින් එම තත්ත්වය පාලනය කරන බවද ඔහු කීවේය. නරකින් පාලනය කරන බව කියන්නේ නිත්‍යානුකූලව එය කළ නොහැකි නිසාද, නීත්‍යානුකූලව කරන විට නීතියේ හිල් ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂව ඇතුවාට සැක නැත. මාකඳුරේ මධුෂ් ලංකාවෙන් ඩුබායි රටට ගියේ වෙනත් නමකින් සකස් කරන ලද ගමන් බලපත්‍රයකිනි. මධුෂ්ගේ යැයි කියවෙන කට උත්තර වලින්ද පෙනී යන්නේ බන්ධනාගාරය තුළ පොලිසියේ මෙන්ම ආරක්ෂක අංශවල පාතාලය සමඟ කල්ලි ගැසුණු පිරිස් සිටින බවය. මධූෂ් ඇතැම් මිනිස් ඝාතන සඳහා අවි ලබාගෙන ඇත්තේ ආරක්ෂක අංශවල හිතවතුන්ගෙන් බව කියවේ. මේ තත්ත්වය සලකා නීතියට පිටින් බලය යොදා පාතාලය මැඬිය යුතුය යන්න ඇමති වීරසේකරගේ අදහස විය හැකිය. ඔහුට අප යෝජනාවක් කිරීමට කැමැත්තෙමු. සිදුවිමත් දුර දිග නොසිතන ඇතැම් පුරවැසියන් කවර හෝ ආකාරයකින්, නිදසුනක් ලෙස මධුෂ් ඉවර කැරුණු ආකාරයට හෝ පාතාලය ඉවර වෙනවානම් රිසි වන්නට පුළුවන. එහෙත් දැනුවත් හා නීතිගරුක ජනයා ආයුධ පෙන්වීමට ගොස් ජවනිකාව අවසන් කැරෙන මිනීමරු ක්‍රමයකට රිසි නැත. එවැනි පිළිගත නොහැකි දඬුවම් වැඩිවීම පාලන තන්ත්‍රයක සුජාතභාවයට යහපත් නැත. ඒවා වැඩිවීම කළු ආණ්ඩුවක් ලෙස ලැයිස්තුගතවීමට හේතුවකි. මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ ප්‍රශ්නය ඕනෑම වේලාවක, එවැනි තත්ත්වයකදී අන්තර් ජාතිකව මතුවෙන්නට පුළුවන. පාතාලය ආණ්ඩුවේ තවත් පාතාල ක්‍රියාවකින් මර්දනය නොකර නීත්‍යානුකූල ක්‍රමයකට එය කිරීම වැදගත්ය. ඒ සඳහා බාධක තිබේනම් නීත්‍යානුකූලව එම බාධක ඉවත් කිරීම කළ යුතුය. එසේ නොමැතිව බාධක මගහැර තවත් අනීතික ක්‍රමයක් අභ්‍යාස කිරීම රටක් නොකළ යුත්තකි. නිදසුනක් ලෙස බන්ධනාගාර නිලධාරීන් පාතාලය හෝ සිරකරුවන් සමඟ සබඳතා පවත්වනවානම් එම නිලධාරින්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කළ හැකිය. දිගු කාලයක් එම අධීක්ෂණය සිදුවන විට සාපේක්ෂව හෝ අදාළ ආයතන පිරිසිදු ස්ථාන බවට පරිවර්තනය වියහැකිය. ආරක්ෂක අංශ වලටත් මේ සම්බන්ධයෙන් දැඩි නීති පැනවිය හැකිය. කුඩු ව්‍යාපාරයට සම්බන්ධ නාකොටික් නිලධාරින්ට දැඩි දඬුවම් පැමිණවීමෙන් මේ වැඬේ ඇරඹිය හැකිය.


ඒ සමගම රටෙහි මේ මොහොතේ සිදුවන දේවල් වලින් නීතියේ ලොකු අවුලක් ඇති බව ඇමති වීරසේකරට පෙනී යා යුතුය. වීරසේකර නියෝජනය කරන ආණ්ඩුව තමන්ට ඕනෑ අය නිදොස්කොට නිදහස් කරයි. රාජ්‍ය දේපළ අවභාවිතය, පාතල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම සේම රටක්, ජන සමාජයක් පරිහානිය කරා ගෙන යන්නකි. තමන් වංචා කළ මුදල් පසුව ගෙවා දමා චෝදනා වලින් නිහස් විය හැකි අවස්ථා වත්මන් ආණ්ඩුවේ සමහරුන්ට හිමිවිය. ඊළඟට රාජ්‍ය ආයතනයක මුදල් ලෙස රුපියල් මිලියන 600 ක් කිසිවකු විසින් අවභාවිතා කළේ නම් චූදිතයා කිසියම් ක්‍රමයකින් නිදහස් වුවත් මිලියන හයසියය යළි අදාළ ආයතනයට බැර වන්නේ නැත. ඒ අතින් සතොසින් බඩු ගැනීම හා ස්මාරක ඉදිකිරීමට වියදම් කිරීමෙහි ලොකු හානියක් නැත. මන්ද එම මුදල් පසුව ලැබුණි. සමාජයක මුදුන නොහදා පරිවාරය ශිෂ්ට කිරීමට හැකි යැයි ඇමති වීරසේකර සිතනවාද ? සිවිල් ආරක්ෂක කමිටු සෑම ගමකම ඇතිකොට මත්ද්‍රව්‍ය මාෆියාව අවසන් කිරීමට දායක කරගන්නා බව හෙතෙම කියයි. සිවිල් ආරක්ෂක කමිටු වලට කුඩු ඇල්ලීමට හෝ පාතාලය ගැන ඔත්තු දිය නොහැකිය. මාකඳුරේ මධූෂ් යනු සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සිටි කොල්ලෙකි. වෙලේ සුදා බඩෝවිට දුප්පතෙකි. උන් දෙදෙනාම කුඩු රජවරුන් වුයේ තනියම නොවේ. උන්ට පැටි අවදියේම සිදුවූ සමාජ අසාධාරණකම් වෛරයක් ලෙස එකතුවනවිට එය අවියක් ලෙස පාවිච්චි කැරෙන දේශපාලන ආවරණයක් සහිත මත්ද්‍රව්‍ය ව්‍යාපාරික මාෆියාවක් රටෙහි තිබුණි. මධූෂ් මිය ගියත් ඔවුන් හසුව සිටි යාන්ත්‍රණය මිය නොයයි. ඒ ගැන සිවිල් ආරක්ෂක කමිටුවලට කළ හැකි කෙංගෙඩියක් නැත. නීත්‍යානුකූල පුරවැසියන් පිළිබඳ තොරතුරු එකතු කිරීම නම් ඔවුන්ට කළ හැකිය. ඒ නීතිගරුක පුරවැසියන් විනිවිද පෙනෙන දිවියක් ගත කරන නිසාය.

මහජන දේපළ මංකොල්ල නොකන නිසාය. ඊට එරෙහි මතයක් දරන තත්ත්වයක් තුළය. ආරක්ෂක කමිටු ක්‍රමයක් සාමාන්‍යයෙන් ආණ්ඩු පාවිච්චි කරන්නේ විරුද්ධවාදින් මර්දනයටය. නීතිගරුක පුරවැසියන් තොරතුරු එකතු කරනවාට බිය මන්දැයි කෙනෙකු ප්‍රශ්න කිරීමට පුළුවන. ආණ්ඩුවක අත්තනෝමතික ක්‍රියාවන්ට විරුද්ධ වන්නේ නීතිගරුක පුරවැසියන්ය. මහජන දේපළ අවභාවිත කරනවාට විරුද්ධ ඔවුන්ය. එක්රැස් කළ ආකාරය විමර්ශනයට ලක් නොකරන මුදල් රට තුළට ඒමට ඔවුහු විරුද්ධවෙති. පට්ට හොරු නිදොස්කොට නිදහස් කිරීම පිළිබඳ ඔවුන්ට ප්‍රශ්නයක් තිබේ. සිරකරුවන් ඝාතනය කර සමාජ විරෝධීන් ලෙස ඔවුන් හංවඩු ගසා ඝාතන වසා දැමීමට යත්න දැරීමට නිතිගරුක පුරවැසියන් විරුද්ධය. ඒ කාටත් කොවිඞ් යැයි ගුප්ත ආකාරයට චෝදනා කර මරණ පරික්ෂණ නොතබා ආදාහනය කරනවාට සාධාරණත්වය පතන පුරවැසියන් විරුද්ධය. ජනාධිපති සියලු බලතල අත්පත් කරගත් ව්‍යවස්ථා වැඩසටහනකට ඔවුන් විරුද්ධය. ආණ්ඩුව සමග ව්‍යාපාර කරන ගජ මිතුරන් රාජ්‍ය සේවා කොමිසමට පත්වීම ගැන දැනුවත් ජනයාට ඇත්තේ පිළිකුලකි. ජනාධිපතිට හා ආණ්ඩුවට මහත් ලැදියාවක් ඇති පිරිස් වලින් රටක මූලික ව්‍යුහය සකස් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ඔවුන්ට තිබේ. ආණ්ඩුවේම කෙනෙක් මානව හිමිකම් කොමිසමේ සභාපතිධුරය හෙබවීම ශිෂ්ට පුරවැසියන්ට විමතියක් නොවේද ? ආණ්ඩුව මානව හිමිකම් කඩකිරීමකදී, ඔහු තම ස්වාමිවරුන්ට විරුද්ධ වේද ? එසේ වන්නේ නැත. ඊළඟට බරපතළම ප්‍රශ්නය උදාවෙයි. එයනම් මිලිටරි ස්වභාවයේ පාලන ක්‍රමයක් විසින් නීතිගරුක පුරවැසියන්, ගුප්ත හා පිළිකුල් සහගත ක්‍රමය ප්‍රශ්න කරන පුරවැසියන් පළමුව උගුලට හසුකර ගැනීමය. ඒ අනුව වීරසේකර කියන සිවිල් ආරක්ෂක කමිටු ගැන සමස්තයක් ලෙස සැක කළ යුතු නැද්ද ?


දේශප්‍රේමය ගැන ඇමති වීරසේකරගේ අදහස් කෙසේද ? සුමන්දිරන් සමඟ පාර්ලිමේන්තුවේදි ඔහු ඇති කරගත් වාදයේදී ඔහුගේ දේශප්‍රේමයේ පාර්ශ්වීය දුබල බව විiාමාන විය. රට බෙදීමට ගිය එල්. ටී. ටී. ඊ නායකයන් සැමරීමට ඉඩ දිය නොහැකි නමුත් රට බෙදීමට නොපිළිපන් ජේ. වී. පි. යේ සැමරුම් ප්‍රශ්නයක් නැති බව ඔහු කීවේය. වීරසේකර පළමුව කළ යුතුව තිබුණේ ඒ දෙකම අතිශය ප්‍රචන්ඩ මිනිමරු මැදිහත්වීම් බැවින් පිලිකුලින් ප්‍රතික්ෂේප කිරීමය. එහිදි ඔහු එක් ප්‍රචණ්ඩ ක්‍රියාවකට සහතිකයක් ලිව්වේය. වීරසේකරගේ සහතික එපා කීම ජවිපෙත් නොකළේය. මෙයද දුර්වල දේශපාලන භාවිතාවක ගතිය මිස අන් යමක් නොවේ.


අනෙක් අතට උතුරේ එල්.ටී.ටී.ඊ හිතවාදින් විරුවන් සැමරීම ගැන ඇමති වීරසේකර බිය විය යුතු නැත. මන්ද ජනාධිපතිවරයා උතුරේ ප්‍රශ්නය හුදු අර්ථික ප්‍රශ්නයක් ලෙස දකින බැවින් ඔහු උතුරට ආර්ථික සමෘද්ධිය ඇති කිරීමත් සමග එහි විරු සමරු නැත්තටම නැතිවන බැවිනි. දකුණටත් ආර්ථික සමෘද්ධිය ලබා දී ජේ.වී.පී සැමරුම අවසන් කර දැමිය හැකිය. ආණ්ඩුවේ ප්‍රධානීන් සැම ප්‍රශ්නයක්ම අල්ලා ගන්නේ වලිගයෙනි. නැතහොත් වීරසේකර මහතා මහජන ආරක්ෂක ඇමතිකමෙන් පාතාලයයි, කුඩුයි සියල්ල නැත්තටම නැති කර දැමිය හැකි බව සිතන්නේ නැත. ඇමති වීරසේකරට තනියම කුඩු හා පාතාල යාන්ත්‍රණය මැඬිය නොහැකිය. එය ජනාධිපති ප්‍රමුඛව ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියක් බවට පත්විය යුත්තකි. ඒ සඳහා වන මූලධර්මය නම් පටිසෝතඝාමීව ක්‍රියා කිරීම හෙවත් ප්‍රභේද ඉක්මවා ක්‍රියා කිරීමය. එහෙත් ආණ්ඩුව විශද කරන්නේ ඒ පිළිබඳ සමත්කමක් නොව ප්‍රභේද නොඉක්මවීමේ අසමත්කමය.